සමාජ මාධ්‍ය යුගයේ විකල්ප පුවත්පත්

(මෙම ලිපියේ මුල් කොටස සමාජවාදය වෙනුවෙන් විකල්ප පත්තර - 1 මැයෙන් කලින් පළ විය.)

වේබ් 2 හෙවත් අන්තර්ජාලයේ දෙවන පරම්පරාවේදී සිදු වූ දෙයක් තමයි, හුදෙක් එක් පැත්තක සිට තොරතුරුලබා දෙන වෙබ් අඩවි වෙනුවට සන්නිවේදකයාගේ අන්තයෙන් මෙන් ම ග්‍රාහකයාගේ අන්තයෙන් ද පණිවුඩ සන්නිවේදනය සිදු වන අන්තර් ක්‍රියාකාරී මාධ්‍ය අවකාශයක් විවෘත වීම. මේක පණිවුඩ හා ප්‍රතිචාර සම්බන්ධ වන සාමාන්‍ය සන්නිවේදන ආකෘතිය වෙනස් කළ තත්වයක්. මෙහිදී සිදු වුණ තවත් දෙයක් තමයි, ඇතැම් වෙබ් අඩවිවල ප්‍රකාශකයා හුදෙක් ම තාක්ෂණික වේදිකාවක් සපයන්නකු බවට පත් වී පාඨකයා ම අන්තර්ගතයන් නිර්මානය කරන්නා බවට පත් වීම. 

පුරවැසි මාධ්‍යකරුවාගේ භූමිකාව සජීවී වුණේ මෙම තත්වය තුළයි. ඕනෑම පුරවැසියකුට තමන්ගේ තොරතුරු හා අදහස් සෙසු අයත් සමග පහසුවෙන් බෙදා හදා ගන්න පුළුවන් අවකාශයක් අන්තර්ජාලයේ නිර්මානය වුණා.  එහි පළමු විප්ලවීය වෙනස තමයි, මාධ්‍ය වෘත්තිකයාගේ ආධිපත්‍යය බිඳ වැටීම. තොරතුරු හා අදහස් නිර්මානයේදීත්, ඒවා බෙදා හදා ගැනීමේදීත්, එය පාලනය කරන්න මාධ්‍ය වෘත්තිකයාට තිබුණු බලය දිය වී යන්න පටන් ගත්තා. පුරවැසි මාධ්‍යකරුවාගේ ප්‍රධාන මාධ්‍ය අවකාශය වුණේ සමාජ මාධ්‍ය.

ලෝක ව්‍යාප්ත ජාලයේ මේ වන විට සමාජ මාධ්‍ය රාශියක් ක්‍රියාත්මකයි. ඒ අතර ෆේස්බුක්, ට්විටර් මූලිකව මිනිසුන් අතර සම්බන්ධතා ඇති කිරීමට වෙන් වූ සමාජ ජාල. බ්ලොග් නිදහස් අදහස් ප්‍රකාශනය සඳහා විවෘත අවකාශයක්. දැන් ෆේස්බුක් හා ට්විටර්ත් අදහස් ප්‍රකාශනය සඳහා පුළුල් අන්දමින් භාවිතා කෙරෙනවා. බ්ලොග් දැන් අදහස් හුවමාරු කර ගන්න සංසද ලෙසත් ක්‍රියාත්මකයි. ලින්ක්ඩින් වැනි සමාජ ජාල විසින් කරන්නේ පුද්ගලයන් පිළිබඳ වෘත්තිකමය තොරතුරු ජාලගත කිරීම. විකිපීඩියා වැනි සමාජ මාධ්‍යවලින් කෙරෙන්නේ විශ්වකෝෂ ගොඩනැඟීමයි. ෆ්ලිකර්, පිකාසා වෙබ් ඇල්බම් ආදිය කරන්නේ ඡායාරූප බෙදා හදා ගැනීම. යූටියුබ් වීඩියෝ බෙදා හදා ගන්නවා. 

සමාජ මාධ්‍යවල ප්‍රධාන කාර්යයක් තමයි, බෙදා හදා ගැනීම. තොරතුරු බෙදා හදා ගන්න තමයි, පුවත්පත් බිහි වුණේත්. පුවත්පතුත් අන්තර්ක්‍රියාකාරීයි. ඒ කියන්නේ ලේඛකයන්, පාඨකයන් අතර අදහස්, තොරතුරු හුවමාරු කරගැනීමක් ඉස්සර ඉඳලා ම තිබෙනවා. ඒත්, ඒවා කෙරුණේ ලිපි, දුරකථන ඇමතුම් ආදිය හරහායි. සමාජ මාධ්‍යවලින් ඇති කරන ලද පෙරළිය තමයි, මේ කාර්යය ඉතා සජීවී දෙයක් බවට පත් කිරීම. 

සමාජ මාධ්‍යවල තවත් විශේෂත්වය තමයි, පාඨකයා ම කර්තෘ බවට පත් කිරීම. එතකොට පාඨකයා සංස්කාරකවරුන්ගේ, උප කර්තෘන්ගේ ආධිපත්‍යයෙන් මිදෙනවා. හැබැයි, එය ගැටලුවක් වන අවස්ථාත් එමටයි. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන පුවත් හා අදහස්වල විශ්වසනීයත්වය හා ගුණාත්මකභාවය පිළිබඳ බරපතල ගැටලු තිබෙනවා.

අපේ ප්‍රස්තුතය විකල්ප පුවත්පත් නේ. ඇත්තෙන් ම විකල්ප පුවත්පත් අවශ්‍ය වන්නේ ඇයි? සම්ප්‍රදායික ප්‍රධාන ධාරාවේ පුවත්පත් විසින් පුවත් බවට පත් නො කරනු ලබන පුවත් විකාශයට. ඒ වගේම, ප්‍රධාන ධාරාවේ පුවත්පත් විසින් ප්‍රවර්ධනය නො කරනු ලබන අදහස් පතුරුවා හරින්න. 

සමාජවාදය සඳහා වන විකල්ප පුවත්පත් උත්සාහ කරන්නේ ධනවාදයට එරෙහිව අරගළ කරන සටන්කරුවන් පිරිසක් බිහි කරන්නනේ. මම නම් කියන්නේ අද දවසේ දෘෂ්ටිවාදීමය අරගළයක යෙදී සිටින සටන්කරුවන් අනිවාර්යයෙන් ම සමාජ මාධ්‍ය පිළිබඳ අවබෝධයක් ඇති අය විය යුතුයි. 

ඒත්, යථාර්ථයේදී විකල්ප පුවත්පත්වල පාඨකයන් වන පිරිසගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සමාජ මාධ්‍ය ඇසුරු නො කරන අය. එතකොට විකල්ප පුවත්පත්වලට මුහුණ දෙන්න සිදු වන අභියෝගයක් තමයි, සමාජ මාධ්‍ය ඇසුරු කරන හා නො කරන දෙ පිරිසකට ම එක වර සේවා සපයන්න සිදු වීම.

එතකොට විකල්ප පුවත්පත් සිය ගුණ, රුව නිර්මානය කර ගනිද්දී අන්තර්ජාලයත්, පුරවැසි මාධ්‍යකරුවන් හා සමාජ ජාලත් අතර මනා තුලනයක් පවත්වා ගත යුතුයි. පුවත්පත් මේවායින් පෝෂණය වෙනවා වගේ ම සමාජ මාධ්‍ය පෝෂණය කරන්නත් පුවත්පත සමත් විය යුතුයි. මෙතැනදී පරිවර්තකයාගේ භූමිකාවත් ඉතා වැදගත්. ප්‍රධාන ධාරාවේ සිංහල පුවත්පත් විසින් පරිවර්තනය කර පළ කරන්නේ ලෝකයේ තිබෙන තොරතුරු, දැනුම් හා වින්දනාත්මක මූලාශ්‍රවලින් කෙතරම් ස්වල්පයක් ද? විකල්ප පුවත්පත්වලට ආවරණය කරන්න ලෝකයක් ම ඉතිරි වෙලා. අනෙක් පැත්තෙන්, සිංහලයාට දෙමළ සංස්කෘතිය කියන්නේ වෙන ම ලෝකයක්. මේ ලෝක දෙක අතරේ නො පියවන ලද සුවිසල් තොරතුරු පරතරයක් තිබෙනවා. ජාතීන් අතර සංහිඳියාව සඳහා අත්‍යවශ්‍ය අව‍බෝධය ඇති කරන්න මේ පරතරය පියවිය යුතුයි. 

විකල්ප පුවත්පත්වලට පුළුවන් ශක්තිමත් අන්දමින් සමාජ මාධ්‍ය එක්ක සම්බන්ධ වෙන්න. පුවත්පත නිකුත් කරන ලද දිනයේ ම, මුළුමනින් ම වෙබ් පිටුවක් බවට පත් කිරීම ප්‍රධාන ධාරාවේ පුවත්පතකට ගැටලුවක් නො වෙන්න පුළුවන්. ඒත් එමගින් සීමිත අලෙවියක් ඇති විකල්ප පුවත්පතක‍ට වෙළඳපොළ ගැටලු ඇති වෙන්න පුළුවන්. හැබැයි අන්තර්ජාලය හරහා ඊ පුවත්පතක් ලෙස මිළ දී ගන්නට අවස්ථාව ලබා දීම පිටරටවල ඉන්න අයට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ වගේ ම අන්තර්ජාලය ඔස්සේ පුවත්පත ලේඛනාගාරගත කරන්න පුළුවන්. මෙහිදී පුවත්පතේ ලිපි යුනිකෝඩ් අක්ෂරවලින් වෙන ම පිටු ලෙස ඇතුළත් කිරීමයි කළ යුත්තේ. නැතිනම් ඒවා සෙවුම් යන්ත්‍ර විසින් තොරතුරු මූලාශ්‍ර ලෙස හඳුනා ගන්නේ නැහැ. 

පුවත්පතක් සමාජ මාධ්‍ය සමග සම්බන්ධ වීම කියන්නේ පුවත්පතකට වෙබ් අඩවියක් තිබීම නොවෙයි. පුවත්පතට පුළුවන් සිය සමාජ මාධ්‍ය අවකාශයන් තොරතුරු මුලාශ්‍ර වෙත පාඨකයන් යොමු කිරීමට හා ප්‍රතිචාර සඳහා මෙහෙයවන්න.

කෙසේ වෙතත්, පුවත්පතේ අන්තර්ගතය පිළිබඳ සාකච්ඡා කළ හැකි සමාජ ජාල නඩත්තු කිරීම, පුවත්පතේ ලේඛකයන් සිය ලිපි පෞද්ගලික බ්ලොග්වල නැවත පළ කිරීම වැනි ‍ක්‍රියාමාර්ග ඔස්සේ සමාජ මාධ්‍ය අන්තර් ක්‍රියාකාරිත්වයත් එක්ක පුවත්පත සම්බන්ධ කරන්න පුළුවන්. දැන් සමාජ මාධ්‍ය ජංගම දුරකථනයෙන් පරිහරණය කිරීම පහසු කර තිබෙන එකත් අමතර වාසියක්. ජනරළ පුවත්ප‍තේ ලේඛකයන්ගේ ඊමේල් ලිපිනය නමත් සමග පළ කරනවා. මමත් කලක් තිස්සේ මෙය කර තිබෙනවා. ඒත්, මම පුවත්පතකට ලියූ කිසිදු ලිපියක් සම්බන්ධයෙන් මට ප්‍රතිචාර ඊමේල් ලැබිලා නැහැ. ඒත්, ඒවා මගේ බ්ලොගයේ පළ වුණා ම මට සෑහෙන්න ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ප්‍රතිචාර සඳහා ජංගම දුරකථන අංකය යෙදීම අත්හදා බලන්න පුළුවන් අලුත් ක්‍රමයක්.

රාවය පුවත්පත පාඨක එස්.එම්.එස්. තීරුවක් පළ කරනවා. මම හිතන්නේ එය අගය කළ යුතු අලුත් අදහසක්. 

ලක්බිම පුවත්පත විශේෂාංග ලේඛකයන්ගේ කුඩා ඡායාරූපයක් නමත් සමග පළ කරනවා. මම හිතන්නේ මේක හොඳ දෙයක්. ඒක අනවශ්‍ය අන්දමින් තමන් පුම්බා ගැනීමක් ය කියා මම නම් හිතන්නේ නැහැ. ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ඇනොනිමස් ආතල් හෙවත් නිර්නාමික ප්‍රමෝදය පිළලයක් වූ තැනක්. විකල්ප පුවත්පත්වලත් සමහර මාධ්‍යකරුවෝ විවිධ නම් රැසක් භාවිතා කරනවා. මම නම් හිතන්නේ විකල්ප පුවත්පත් විශ්වසනීයත්වය ගැන මීට වඩා සිතිය යුතුයි. මගේ ස්ථාවරය වන්නේ, ‍"මම තමයි මේ දේ ලිව්වේ? ඉතින් මොකද?" කියා අසන්න එඩිතරකම නැතිනම් නො ලියා ඉන්න එක වඩා හොඳයි. හැබැයි, මේ කාරණය එහෙම ම නො ගැලපෙන විශේෂ අවස්ථා තිබෙන බව මම පිළි ගන්නවා. 
(ජනරළ පුවත්පත වෙනුවෙන් ලියන ලදී)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. "සමාජවාදය සඳහා වන විකල්ප පුවත්පත් උත්සාහ කරන්නේ ධනවාදයට එරෙහිව අරගළ කරන සටන්කරුවන් පිරිසක් බිහි කරන්නනේ"........

    අඩේ ඉක්මනට ඔය සමාජ වාජේද මොකද්ද ගොඩ නගපන් බන් පේනවනේ මගේ හැටි. මම මගේ මුලු තරුණ ජීවිතේම සමාජ වාදෙ වෙනුවෙන් කැප කරා. මට කසාදයක් බැද ගන්ඩ බැරි උනා. මගෙ පවුලෙ උන්, යාලුවෝ මාව කොන් කරා. මම දැන් කාත් කවුරුත් නැති අමු හිගන්නෙක් වගේ බෝඩිමක ජීවිතය ගෙවනවා. මම එදා ඉදලම උබල වගේ සිංහල කමට බෞද්ධ කමට වෛර කරා. ඒත් අද මට ජීවත් වෙන්ඩ කියලා කීයක් හරි දෙන්නෙත් උන්මයි. බඩගිනි වෙලාවට පන්සලකට ගිහාම දානෙ ටිකක් ලැබෙනවා. උබලා බලයි මම මේ ඉන්ටනෙට් කොටන්නේ කොහෙන්ද කියලා. යකෝ මම වැඩ කරන්නේ ඉන්ට නෙට් කැෆේ එකක​. මම ඒක බලා ගෙන ඉන්නවා. මොනවා උනත් මාක්ස්වාදෙ නිසා මගේ මුලු ජීවිතේම විනාශ උනා. කසාදයක් කරගන්ඩ බැරි උන මම දැන් අත පාවිච්චි කර කර ඉන්නවා. මට තේරෙනවා මාක්ස්වාදෙ සරණන් ගච්චාමි ගිය උබලගේ වේදනාව​. උබලගේ ජීවතත් මම වගේම කාලකන්ණි උනා නේද​? මොනවා කරන්නද පැරකුම් දැන් ඉතින් එලවට වත් මොනව හරි කර ගමු. නැත්තන් වයසට ගිහාම උබටත් වෙන්නේ මම වගේ කාත් කවුරුත් නැතිව දුක් විදින්ඩ තමයි. ළමයින්ට හොද නරක කියා දීපන්. උන්ව ධහම් පාසල් යවපන්. රෙද්දේ මාක්ස්වාදයක් ගැන කථා කරන එක දැන්වත් නවත්තපන් බන්.......
    ඇයි අවුල්ද​?

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි අය බිහි කළ සමාජවාදයක් දේශනා කළ සම්ප්‍රදායික මාක්ස්වාදීන්ගෙන් ඔබේ ගනුදෙනුව බේරාගන්න.

      අපේ සමාජවාදය යනු ඔබ සේ බලය ගැනීම වෙනුවෙන් කර අඹා දක්කන ලදුව, අපේක්ෂිත බලය නො ලැබුණු පසු ලෝකයට වෛර කරන අනුකම්පා කළ යුතු ගව සම්පත් බිහි කිරීම නො වේ.

      අපේ සමාජවාදය යනු අලුත් මිනිස්භාවයක් වෙනුවෙන් කරන අඛන්ඩ අරගලයකි. ඔබ වැනි අයට රතු පාට සිහින මවා දී අපේ අරමුණ ඉටු කර ගැනීම සඳහා කඩේ යැවීමේ දේශපාලනයක් අප කර නැත. සමාජවාදය ගොඩනැඟීමේ මැජික් බලයක් කාටවත් නැත. ඔබට ඕනෑ නම් එය ඔබෙන් පටන් ගන්න.

      සමාජවාදය යනු ජීවන විලාසයකි. ධනවාදය සමග පොරබදමින් අපි එය ජීවත් කරමින් සිටිමු. බ්ලොගය යනු අපේ ජීවිතවල කොටසක් පමණි. ජීවිතවල තව බොහෝ දේ ඇත. ඕනෑනම් අධ්‍යයනය කර බලන්න.

      Delete
    2. Muspenthu marks
      ඔබ සමාජවාදය වෙනුවෙන් ඔබේ ජීවිතයේ කිසිවක් නොකලා යය් සිතා ඔබේ ජීවිත කතාව නැවත ලිව්වොත් දැකිය හැක්කේ කුමක්ද අපි එය නැවත ලියමු
      මම බිස්නස් එක පටන් ගත්තේ ඉතා තරුණ කාලේදී .මුලින්ම කලේ පදික වේදිකාවේ මනි බඩු විකිණුව එක .බඩුවල කොලිටිය මට වැදගත් නැහැ එක එක ජරා බදු පොලට එන එවුන්ගේ ඇගේ ගහන එකය් කලේ ඉතුරු සල්ලි දුන්නේ නැහැ කේලම් කියලා අනෙක් මනිබඩු කාරයන් රණ්ඩු කෙරෙව්වා පොලට එන කෙල්ලන්ව බොරු කියලා එක එක පොට් වලට ඇද්දා මේ තත්වෙට එන්න දීපු ගේම් දන්නේ මම විතරය් දැන් මම කෝටිපතියෙක් පන්සලේ ප්රධාන දායකයා මගේ බිරිදට අමතරව හොර සම්බන්ධතා කිහිපයක් තියෙනවා පොලිසිය පළාතේ දේශපාලකයා මගේ හොද යහළුවෝ ඔවුනුත් මම වගේම අය ටවුමේ තම්බි ටික එලවා ගත්තානම් බිස්නස් එක තව දියුනුය් මම සේනාවට සපෝර්ට් කරන්නේ ඒකය් නැතුව බුද්ධාගමට හෙන ගැහුවත් මට කමක් නැහැ

      මෙයට වෙනස් කිසිදු කතාවක් ශ්රී ලාංකිකයන්ට ලිවිය නොහැක වැරැද්ද සමාජවාදයේ නොවේ ඔබේ අර්ධ මිලේච්ඡ ආත්මයේය් අජිත් පරකුම්ලට මේවා තේරෙනවානම් ඔවැනි පිළිතුරු දෙන්නේ නැත

      Delete
    3. මිනිසා ම්ලේච්ඡත්වයෙන් වත්මන් ඊනියා ශිෂ්ටත්වය කරා පැමිණියේ සමාජ ක්‍රමයන්ගේ සංවර්ධනයත් සමගයි.

      ඔබට පුද්ගලයකු ගැන ඔය බඳු කතාවක් කියන්නට සිදු වී තිබෙන්නේ සමාජ ක්‍රමයේ ගැටලුවක් නිසා ය. පුද්ගලයන්ගේ ම්ලේච්ඡ ලක්ෂණ මතු කර ගන්නා සමාජ ක්‍රමයක් පැවතීම මෙයට හේතුවයි.

      අප සමාජවාදය වෙනුවෙන් අරගල කරන්නේ ඒ නිසායි. එය සමාජ ක්‍රමයේ විප්ලවයකි.

      අප සම්ප්‍රදායික මාක්ස්වාදීන්ගෙන් වෙනස් වන්නේ අප කරන්නේ බලය ගැනීම සඳහා කුමන්ත්‍රණයක් නො වන බැවිනි.

      Delete
    4. සම්ප්‍රදායික මාක්ස්වාදීන් බලය ගැනීම සඳහා කරන අරගල කුමන්ත්‍රණ වනනේ කෙසේද?
      A. Fernando

      Delete
    5. බලය ගැනීම වෙනුවෙන් විවිධ කූට උපක්‍රම භාවිතා කිරීම තමයි, කුමන්ත්‍රණ කියන්නේ. ලංකාවේ සම්ප්‍රදායික මාක්ස්වාදීන් උදාහරණයකට ගන්න. මොවුන් බලය වෙනුවෙන් සිංහල ජාතිවාදය වැළඳගත්තා. තවත් සමහරු දෙමළ ජාතිවාදය වැළඳ ගත්තා.

      සමාජවාදය ගොඩනඟන්න නම් දියුණු මිනිස්සු ගොඩනඟන්න ඕනැ කියන එකයි අපි කියන්නේ. සම්ප්‍රදායික මාක්ස්වාදීන් බොහෝ විට කරන්නේ ඉන්න ගොබ්බ ජනතාව සීරු මාරු කර ගන්න නැතිනම් මැනිපියුලේට් කර ගන්න රතු පාට ක්‍රම හොයන එක.

      මේ පක්ෂවල නායකත්වයේ හෝ දියුණු මිනිසුන් නො සිටින බව ඒවායේ නායකත්වයේ සිට ධනේශ්වර පක්ෂවලට සම්බන්ධ වූ මිනිසුන් අධ්‍යයනය කිරීමෙන් වටහා ගන්න පුළුවන්.

      Delete
  2. hmm wat u hv said abt ano athal is very coreect. if u dnt hv th strenght to stand wit wat u write better ti keep it quiet. bt on th other hand do we hv torlerance in our society controversy . do u hv enough freedom to write

    ReplyDelete
    Replies
    1. Definitely we don't have freedom of expression. But we must have courage to fight for that right.

      Delete
  3. තමාගේ බ්ලොග් එක ට ඇනොලට ඉඩ දෙන අජිත් ඇනොල ගැන කියන්නේ මෙහෙමය්
    ලංකාවේ සමාජ මාධ්ය තුළ ඇනොනිමස් ආතල් හෙවත් නිර්නාමික ප්රමෝදය පිළලයක් වූ තැනක්.
    පෙරටුගාමීන් සමාජය තුල කරන්නේද මෙවැනිම දෙයක් (ඉතා පහත් ජාතිවාදයක් ලාංකීය සමාජය තුල වපුරා දැන් එයට විරුද්ධ වීම ) මේ ලංකාවේ දියුණු වමය්
    මෙයට සම්පුර්ණයෙන්ම විරුද්ධව සමහරුන් ඇනොලට තමන්ගේ බ්ලොග් එකට එන්න දෙන්නේ නැහැ .මානව හිතවාදය ගැන කතා කරන අයත් මේ ගොඩේ ඉන්නවා (මේ තහනම් කිරීම මහා සමාජයේ නියෝජනය කරන්නේ රාජපක්ෂ රෙජීමය )මේ ලංකාවේ දකුනය්
    නමුත් මේ දෙකටම විරුද්ධව blogger වැනි අති ධනවාදී කොම්පැනි anonymous නම් දෙයක් කිසිදු ප්රශ්නයකින් තොරව වර්ධනය කර තිබෙනවා .මේ අනුව එම කොම්පැනි ලංකාවේ වමට වඩා වාමාංශික වන අතර ඒ සමගම ලංකාවේ දකුණට වඩාත් දියුනුය් අති දියුණු සමාජවාදයක් ගැන කතා කරන අජිත්ට මේ ගැන අදහසක් තියෙනවාද

    ReplyDelete
  4. අප අකැමැති දේත් මේ සමාජයේ පවතින එක වළක්වන්න අපට බැහැ.

    පසුගාමිත්වය පරාජය කළ යුත්තේ තහනම් කිරීමෙන් නොව ඒ සමග දේශපාලනිකව කටයුතු කිරීමෙනි.

    ReplyDelete
  5. අජිත් මාම කිව්වේ එය නොවේ එය සරලව කිව්වොත් මෙහෙමයි ඔය බ්ලොග් ලියන ඒවාද ඇතුළු මෘදුකාංග නිපදවා ඇත්තේ දියුණු ධනවාදී සමජවල වෙසෙන ජනතාව වෙනුවෙනුයි .නැතුව මා වැනි තුන්වන ලෝකයේ අර්ධ වනචාරී මිනිසුනට නොවෙයි එවන් අයට මෙම මෘදුකාංග ලැබුණ විට වන්නේ කුමක්ද ඉහත ආකාර 2 ට ඇනොලා අර්ථ දක්වන්නේ ඔවුනුයි අනෙක් අතට කියනවනම් ඔබ ඇනොල ගැන දක්වන අදහස අනුව ඔබගේ ශිෂ්ට බව මැන ගැනීමට පුළුවන්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා