සමාජවාදය වෙනුවෙන් විකල්ප පත්තර - 1

දැන් මම බ්ලොගර් කෙනෙක්. පුරවැසි මාධ්‍යකාරයෙක්. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්. හැබැයි, මම මුලින් පත්තරකාරයෙක්. අපි පත්තර කෙරුවාව කළේ බඩ රස්සාවට නොවෙයි. සමාජවාදය වෙනුවෙන් කරන අරගළයේ කොටසක් හැටියට. 

පත්තර කියන්නේ සුවඳ හමන කඩදාසි. ඒවා අතට අහු වෙනවා. පිටු පෙරළනකොට කොළ සර සර ගානවා. එක පත්තරේ කීපදෙනෙක් බලනවා. අපි පත්තරෙන් බතුත් ඔතනවා.ඉස්සර මම පත්තර එකතු කළා. ලිපි කපලා ගොනු කළා. මා ළඟ පරණ නවයුගය පත්තර මිටියක් කහ ගැහි ගැහී බොහෝ කාලයක් තිබුණා.පත්තරවලට ලියපු මුල් කාලේ ඒ ලියපු ලිපි කපලා අලවලා තියා ගත්තා. පස්සෙ කාලේ සමහර පත්තර ළඟ තියා නො ගෙන විනාශ කරන්නත් වුණා. අන්තර්ජාලයට ආවාට පස්සේ කඩදාසි එක්ක සම්බන්ධය නැතිව ගියාට, ඒ ස්පර්ශයේ, සුව‍ඳේ රොමැන්තික ගතිය තවමත් තියෙනවා. 

බ්ලොගර්වරයෙක් වුණාට තවමත් මගේ හිතේ පත්තරවලට ලියන්න ආසාවක් තිබෙනවා. පත්තරවලදී අපට අන්තර්ජාලයේදී හමු වන පාඨකයන්ට වඩා වෙනස් පිරිසක් හමු වෙනවා. සමාජ මාධ්‍ය හරි ම අන්තර් ක්‍රියාකාරීයි. පාඨකයෝ ක්ෂණිකව ම ප්‍රතිචාර දක්වනවා. ඒත්, පුවත්පත් ලිපි එහෙම නෙවෙයි. ඒවායේ ප්‍රතිචාර කල්ගත වනමුත්, ඒවා ගැඹුරුයි කියා මට හිතෙනවා. තවමත් ලංකාවේ පුවත්පත් විසින් කරන බලපෑම අන්තර්ජාලයේ බලපෑමට වඩා ගැඹුරුයි.

ජනරළ උත්සාහ කරනවා හොඳ විකල්ප පත්තරයක් කරන්න. පත්තරවල මූලික ම අභියෝගය තිබෙන්නේ ප්‍රාග්ධනයත් එක්ක. වෙළඳ දැන්වීම් ආදායම මත පදනම් වූ ප්‍රධාන ධාරාවේ වානිජ පුවත්පත් එක්ක තරග කිරීම ලෙහෙසි කාර්යයක් නොවෙයි. විකල්ප පුවත්පත්වලට වෙළඳ දැන්වීම් යාන්ත්‍රණයට සම්බන්ධ වෙන්න අමාරුයි. ඒ සඳහා මුලින් ම විකල්පබව නැති කර ගන්න ඕනැ. ලංකාවේ වෙළඳපොළ රාජ්‍ය මූලික එකක්. දැන්වීම් ගන්න නම් ආණ්ඩුවත් එක්ක ගානට ඉන්න ඕනැ. රාවය පත්තරේ ආණ්ඩුවේ දැන්වීම් ලබාගන්න මේ වෙනස ඇති කර ගත්තා. ඒත්, තවමත් රාවය ස්ථාවර නැහැ. 

දැන්වීම් නැති පත්තර කෙට්ටුයි. මි‍ළ වැඩියි.ඒත්, විකල්ප පත්තරවලට සන්සන්දනය කරලා පෙන්වා දෙන්න පුළුවන්, දැන්වීම් නැති තමන්ගේ පත්තරේ කෙට්ටු වුණත්, කරුණු අතින්, ඉදිරිපත් කිරීමෙන් පිරිපුන්බව. හැබැයි, ඒක ඇත්තට ම එහෙම වෙන්න ඕනැ. පත්තරයක් මිළ දී ගැනීමේදී බත් එතීම මූලික ම සාධකය කර නො ගත් පාඨක පිරිසක් සොයා ගැනීම තවමත් අමාරු නැහැ. හැබැයි, පත්තරය සැබැවින් ම විකල්ප වෙන්න ඕනැ.

මේ වන විට වානිජ පුවත්පත් විසින් ආවරණය නො කරන කලාපයක් නැහැ. ‍ප්‍රවෘත්ති, දේශපාලනය, කලාව, ටියුෂන්, ලෙඩ විතරක් නොවෙයි, කැරළිකාරිත්වය පවා ප්‍රධාන ධාරාවේ පුවත්පත් විසින් විකුණනු ලබනවා.එතකොට විකල්ප පුවත්පත්වලට ඉතිරි වන්නේ මොනවාද? විකල්ප පුවත්පත් විසින් අලුත් දෙයක් සොයා ගත්තත්, ඒවා වැඩි දවසක් යන්න කලින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් කොපි කරනවා. 

ප්‍රධාන ධාරාවේ පුවත්පත්වලත් බොහෝ සාරගර්භ ලිපි පළ වෙනවා. ඒත්, බොහෝ විට මේවායේ සෝදුපත් කියවීම් වැරදියි. සංස්කරණය දුර්වලයි. සැලසුම් සහගත මෙහෙයවීම් තුළින් ලියැවුණ ලිපිවලට වඩා මේවායේ තිබෙන්නේ ලේඛකයන් විසින් තෝරා ගන්නා ලද මාතෘකා අනුව ලියැවුණ ලිපි එකතු. 

ලංකාවේ ලේඛකයන්ට, පුවත්පත් කලාවේදීන්ට පමණක් නොවෙයි, උප කර්තෘන් හා ප්‍රධාන කර්තෘන්ට පවා සංස්කාරක භූමිකාව ගැන අවබෝධයක් නැහැ. ලංකාවේ බොහෝ පුවත්පත්වල සංස්කාරකවරුන් වෙන්නේ ලොකු ලොකු සම්බන්ධකම් තිබෙන අය මිස සංස්කරණය කරන්න දන්න අය නොවෙයි. විකල්ප පුවත්පත් මේ තත්වය තේරුම් ගන්නවා නම් තමන්ට ක්‍රීඩා කරන්න තිබෙන අවකාශය සොයා ගන්න පුළුවන්. සංස්කාරක කෙනෙකු මූලිකව ම කරන්නේ තාක්ෂණික කාර්යයක්. තමන්ගේ පිටුව හෝ අංශ‍ය හෝ පාඨකයන්ට ඉතා හොඳින් ඉදිරිපත් කරන්න වෙහෙසෙන සංස්කාරකවරුන් අද පුවත්පත්වල නැති තරම්. හොඳ සංස්කාරක කෙනෙක් උත්සාහ කරන්නේ පාඨකයන්ට වඩාත් හොඳ ලිපි ඉදිරිපත් කරන්න මිසක ලැබෙන ලිපි ඒ අන්දමින් පළ කරන්න නොවෙයි. අපේ  පුවත්පත් ලේඛකයන්ටත් මේ සංස්කාරක භූමිකාව ගැන අවබෝධයක් නැහැ. ඒකත් ගැටලුවක්. 

විකල්ප පුවත්පත්වලට හොඳ භාෂා දැනුමක් ඇති, පාඨක රුචිය තේරෙන, නිර්මාණාත්මක සංස්කාරකවරුන් පිරිසක් බිහි කරගන්න පුළුවන් නම් පාඨකයන් හා ලේඛකයන් අතර සම්බන්ධීකාරක භූමිකාවක් කරමින් ලිපිවල ගුණාත්මකභාවය නංවන්න විශාල මෙහෙයක් කරන්න පුළුවන්.

පත්තරවල පළ වෙන මෙලෝ රහක් නැති පල් හෑලි වෙනුවට අදට ගැලපෙන කෙටි, රසවත් ලිපි පළ කරන්න බැරි ඇයි? සංස්කාරකවරුන් භාෂාව සංස්කරණයට මැදිහත් විය යුතුයි. ලිපි නැවත ලිවිය යුතුයි. තමන් ලියන ලිපියක අකුරක්වත් වෙනස් කරනවාට අකැමැති ලොකු, ලොකු නම් තිබෙන විශාරදවරු දැන් දුවන්නේ ප්‍රධාන ධාරාවේ පත්තර පස්සේ නේ. විකල්ප පත්තරවලට පුළුවන් ඔවුන් පසුපස නො ගොස් අලුත් මිනිසුන්ට ඉඩ විවර කර දෙන්න. ඔවුන් සමග මූලික එකඟතාවකට එන්න ඕනැ සංස්කාරකවරයාට ඒ ලිපි නැවත ලියන්න පවා තිබෙන අයිතිය ගැන. සංස්කාරකවරුන් සමග ගොඩනැ‍ඟෙන අලුත් මිනිසුන් තමයි විකල්ප පත්තරයකට වඩාත් ගැ‍ලපෙන්නේ.

අනෙක් පැත්තෙන් ලිපි දෘෂ්‍යකරණය හෙවත් විෂුවලයිස් කිරීමත් ඉතා වැදගත්. විකල්ප පත්තරේක හොඳ රූ රටා නිර්මාණකරුවෙක් ඉන්න ඕනැ. ඒක බොහෝ විකල්ප පත්තර තේරුම් අරගෙන නැහැ. ජනරළ පත්තරය පසුගිය කාලයේ අනුගමනය කළ පිටු සැලසුමේ වුණත් තිබුණේ අතෙන්ට පිංතූරයක්, මෙතෙන්ට මේ විධියේ අකුරු පාවිච්චි කරන ජිමික් ‍එක ඉක්මවා නො ගිය දෙයක්. පත්තරේක රූ රටා කියන්නේ ඉන් එහා ගිය කලාත්මක වැඩක් විය යුතුයි. මම නම් හිතන්නේ සිංහල පුවත්පත්වල මේ කාර්යය නිර්මාණාත්මක ලෙස කරන්න උත්සාහයක් දැරුවේ විකල්ප පත්තරකාරයන්ට වඩා දිවයිනේ ශාන්ත කේ. හේරත් ය කියලායි. 

ඡායරූපකරණය ගැන විකල්ප පත්තර මීට වඩා අවධානයක් යොමු කළ යුතුයි. හොඳ පිංතූර කියන්නේ පත්තරවලට නැතුව ම බැරි දෙයක්. කැමරාව මෙතරම් සුලභ කාලෙක, තමන්ගේ හිතවතුන් ජාලය හොඳ ඡායාරූප ගන්න මිනිසුන් ලෙස පුහුණු කරන්න විකල්ප පත්තරවලට පුළුවන්. හොඳ විකල්ප පත්තරේකට හොඳ කාටුන් ශිල්පියකුත් අවශ්‍යයි. කාටුන් නිර්මාණකරුවා තනි මතයට වැඩ නො කරන අනුන්ගේ අදහස් සාකච්ඡාවට ගන්න, ඒ ඔස්සේ නිර්මාන කරන විවෘත කෙනෙකු වෙන්න ඕනැ.  

විකල්ප පත්තරවල මූලික ගැටලුවක් තමයි, පුවත්වල නැවුම්භාවයක් හා වෘත්තිකභාවයක් නැතිකම. ප්‍රධාන ධාරාවේ පුවත්පත්වලට මග හැරෙන වැදගත් ප්‍රවෘත්ති ඕනැ තරම් තිබෙනවා. විකාශය වන පුවත්වල පවා ඇතැම් කොටස්වල වැදගත්කම ඒ පුවත්පත්වල සංස්කාරකවරුන්ට මග හැරෙනවා. ප්‍රධාන ධාරාවේ පුවත්පත් විසින් ආවරණය කරනු ලබන දේ ම ආවරණය කරන්න විකල්ප පුවත්පත් අවශ්‍ය නැහැ. මම හිතන්නේ අද වන විට කවුරුවත් එක ම ජන මාධ්‍යයක් විතරක් ඇසුරු කරන්නේ නැහැ. ඒ නිසා විකල්ප පුවත්පත් උත්සාහ කරන්න ඕනැ අනෙක් අය පළ නො කරන දේ පළ කරන්න මිස ඒ රැල්ල අනුව ම යන්න නොවෙයි. ප්‍රවෘත්ති කියන්නේ සිදු වන සිද්ධි වාර්තා කිරීමක් නොවෙයිනේ. ප්‍රවෘත්ති කියන්නේ සිදු වන සිද්ධි භාවිතා කරමින් කරන නිර්මානයක්. විකල්ප පුවත්පත් විකල්ප පුවත් නිර්මානය කරන අවකාශයක් විය යුතුයි.

සංවිධානයකට සම්බන්ධ ජනරළ වගේ පත්තරයකට තිබෙන ලොකුම හයිය තමයි තමන්ට පක්ෂපාතී මිනිසුන් පිරිසක් සිටීම. ඒත්, මට පෙනෙන විදියට නම් ඒ ජන බලවේගය පුවත්පතට ආයෝජනය වෙන්නේ නැහැ. අන්තර්ජාලයට විතරක් නොවෙයි, පුවත්පත්වලටත් පුළුවන් පුරවැසි මාධ්‍යකරුවන් බිහි කරන්න. ස්වර්ණවාහිනී වැනි ජනමාධ්‍ය මෙවැනි පුරවැසි මාධ්‍යකරුවන්ගෙන් ලබා ගන්නා වීඩියෝ බාල අන්දමින් විකුණන ආකාරය බලන්න. තමන්ගේ බලවේගයේ හැම කෙනෙක් ම සමාජ වගකීමක් සහිත පුරවැසි මාධ්‍යකරුවෙකු කරන්න ජනරළ උත්සාහ කළ යුතුයි. ඒ සඳහා පුහුණු කිරීම් අවශ්‍යයි. විකල්ප පත්තරයක් වුණා ම විකල්ප පාඨක පිරිසකුත් නිර්මානය කර ගන්න උත්සාහ කළ යුතුයි.

ප්‍රධාන ධාරාවේ පුවත්පත්වලට හසු නො වෙන කොයි තරම් කරුණු ප්‍රමාණයක් රටේ ඈත ගම් නියම්ගම්වල වගේ ම කොළඹ වුණත් තියෙනවා ද? ජනරළ වගේ පුවත්පතක‍ට තමන්ගේ හිතවතුන් මේවා අධ්‍යයනය කරන පුරවැසි මාධ්‍යකරුවන් බවට පත් කරන්න පුළුවන්. හැබැයි, ඒවා රටට ම වැදගත් පුවත් හා විශේෂාංග බවට පත් කරන්න ඕනැ. නිර්මානශීලී සංස්කාරකවරයකුගේ මග පෙන්වීම වැදගත් වන්නේ එතැනදීයි.

මෙතැනදී මවිසින් මතු කරන ලද කාරණාවල මූලික හරය තුළ තිබෙනවා, විකල්ප පුවත්පත්වල සංස්කාරකවරුන්ගේ භූමිකාවේ වැදගත්කම ගැන. සරළව කිව්වොත්, විකල්ප පුවත්පත්වල සංස්කාරකවරුන් පළමුවෙන් ම සිය වෘත්තිකභාවය ඉහළ නංවාගන්න ඕනැ. ඔව්, එතැන තමයි, විකල්ප පුවත්පත්වල විකල්පභාවය නිර්මානය වෙන්නේ.

අද විකල්ප පුවත්පත්වල වැඩිපුර පළ වන්නේ අදහස්. විවිධ පුද්ගලයන්ගේ විවිධ අදහස් වැදගත් බව ඇත්ත. අදහස්වලින් තමයි, සංවාද ගොඩනැ‍ඟෙන්නේ. ඒත්, සංවාද පෝෂණයවන්නේ කරුණුවලින්. විකල්ප පුවත්පත් කරුණු අතින් හා කරුණු ඉදිරිපත් කරන ආකාරයෙන් සරුසාර හා හරබර විය යුතුයි.

අන්තර්ජාලය ප්‍රධාන මාධ්‍ය අවකාශය වූ මේ සමාජ මාධ්‍ය යුගයේ විකල්ප පුවත්පත් හා සමාජ මාධ්‍ය අතර අන්තර් සම්බන්ධය ගැන මීළඟ ලිපියේ වෙන ම ලිවිය යුතුයි කියලා මට හිතෙනවා.

(ජනරළ පුවත්පතේ ආරාධනයෙන් ලියන ලදී)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)