නීතියේ පාලනය නැති ධනවාදය කරන්දෙනියකි / Capitalism without rule of law is Karandeniya

ලංකාව නම් මරු රටකි. එහි වැඩි දෙනා චේතනාවෙන් හෝ මිනීමරුවෝ ය. සමහර මිනීමැරුම් මාධ්‍ය විසින් හුවා දක්වනු ලබන්නේ අනෙක් අපරාධවලට වඩා නරක අපරාධ ලෙස ය.


කරන්දෙනියේ වෛද්‍යවරයා මරා දැමීමේ සිද්ධියේදී ද සිදු වූයේ එයයි. මරා දමන ලද වෛද්‍යවරයා සියලු දුප්පත් ‍රෝගීන්ගෙන් මුදල් අය නො කර ප්‍රතිකාර කළ අයෙකු ලෙස ප්‍රචාරය නෙරිණි. එහි ඇත්ත නැත්ත අපි නො දනිමු. එහෙත්, ඔහු අති සාර්ථක ව්‍යාපාරිකයකු වූ බව නම් ඔහුගේ දියුණුවේ වේගයෙන් පැහැදිලිව පෙනේ. ඔහු විශාල ලාභයක් උපයා ඇති බව ද ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය කරමින් සිටි බව ද පැහැදිලි ය. රටේ නීතිය අනුව, නියමාකාරයෙන් ආදායම් බදු ගෙවා තිබේ නම්,  එහි කිසිදු වරදක් නැත. 


එහෙත්, අපට වැ‍ටහෙන අන්දමින් නම්, මෙහි තිබී ඇත්තේ හින්දි ච්ත්‍රපටවල මෙන් සුදු වීරයා හා කළු ම කළු දුෂ්ටයා අතර යුක්තිය උදෙසා සටනක් නොව, වෛද්‍ය වෙළඳපොළ ඒකාධිකාරයක් පිහිටුවා ගැනීම සඳහා මිය ගිය වෛද්‍ය ව්‍යාපාරිකයා විසින් ගන්නා ලද පියවර හේතුවෙන් ඇති වූ මාරාන්තික වෙළඳපොළ තරගයකි.


ලිබරල් ධනවාදී සමාජයක නම්, මෙම වෙළඳපොළ තරගය මේ අන්දමින් අවසන් නො වන්නට අවශ්‍ය නීතියේ පාලනය තිබේ. ලංකාව එවැනි සමාජයක් නො වේ.


දිවයින පුවත්පතින් උපුටා ගන්නා ලද පහත සඳහන් වාර්තාව බලන්න.


"නැවත පදිංචි කිරීමේ ඇමැති ගුණරත්න වීරකෝන් මහතා ඊයේ (01 දා) පෙරවරු 9.00 ට පමණ කරන්දෙණිය නගරයට පැමිණ වෛද්‍යවරයා ඝාතනය කිරීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රසාදය පළකරමින් නගරවාසීන් සමඟ කතාබහ කර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන ඒම පිළිබඳව ප්‍රසාදය පළකළ නගරවාසීහු රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වූහ.
ඇමැතිවරයා කරන්දෙණිය නගරයෙන් පිටව ගිය පසු එහි පැමිණ ඇති අතිවිශාල ජනතාවක්‌ වෛද්‍යවරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට අයත් කරන්දෙණිය බොරකන්ද රෝහල අසල පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානය වෙත ගොස්‌ ඇත.
ඒ වන විට වෛද්‍ය මධ්‍යස්‌ථානය දින කීපයක්‌ තිස්‌සේ වසා තිබිණි. එහි පැමිණි ප්‍රදේශවාසීන් වෛද්‍ය මධ්‍යස්‌ථානය වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කර ඊට ගිනි තැබූහ.
ප්‍රධාන සැකකරුට අයත් තුන්මහල් සුවිසල් නිවස පිහිටා තිබී ඇත්තේ වෛද්‍ය මධ්‍යස්‌ථානයේ සිට මීටර් 100 ක්‌ පමණ දුරින්ය. කලහකාරී පිරිස්‌ ප්‍රධාන සැකකරුගේ නිවස වෙත ගොස්‌ ඊට දැඩි ප්‍රහාරයක්‌ එල්ල කළහ. සිද්ධිය වන අවස්‌ථාවේ එම නිවසේ කිසිවකු හෝ සිට නැත.
නිවස තුළට කඩාවැදුණු කලහකාරී පිරිස්‌ ඊට පෙට්‍රල් ඉසිමින් ගිනි තැබූහ. නිවසේ ඇති වූ ගිනි ගැනීමත් සමඟම එහි තිබූ ගෑස්‌ ටැංකි කීපයක්‌ ද පුපුරා ගොස්‌ සුවිසල් නිවස එකම ගිනිජාලාවක්‌ බවට පත්විය.
මෙම සුවිසල් නිවස මීට වසර කීපයකට උඩදී ඉදිකළ එකක්‌ බවත් එහි වටිනාකම රුපියක්‌ කෝටි ගණනක්‌ බවත් ආරංචි මාර්ග පැවැසීය. නිවසේ කාමර සියල්ලටම වායු සමීකරණ යන්ත්‍ර සවිකර තිබූ අතර එහි තිබූ වටිනා භාණ්‌ඩ සියල්ල ද ගින්නෙන් පිළිස්‌සී ඇත.
මේ වන විට කරන්දෙණිය නගරයේ ඇති වී තිබූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය දැඩි උත්සාහයක නිරත වුවද අතිවිශාල ජනකායක්‌ කලහකාරී ලෙස හැසිරීම නිසා එය ව්‍යර්ථ විය.
පසුව කලහකාරී පිරිස්‌ ප්‍රධාන සැකකරුට අයත් වෛද්‍ය මධ්‍යස්‌ථානයේ සේවය කරන හෙදියකගේ නිවසට ද ගල්මුල් ප්‍රහාර එල්ල කර ඊට ගිනි තැබූහ. හෙදියට අයත් වෙළෙඳසලකට ද පහර දුන් කලහකාරී පිරිස්‌ එය ද ගිනි තබා විනාශ කර තිබේ.
මෙහිදී කලහකාරී ලෙස හැසිරුණු පිරිස්‌ එල්ල කළ ගල්මුල් ප්‍රහාරවලින් නගරවාසීන් සිව්දෙනකු ද බරපතළ තුවාල ලැබූ අතර ඔවුන් රෝහල්ගත කරනු ලැබිණි.
කරන්දෙණිය නගරයේ මෙම ප්‍රහාරය එල්ල වෙද්දී තවත් කලහකාරීන් පිරිසක්‌ කිරිබේද්ද ප්‍රදේශයේ පිහිටි සැකකාර කපිතාන්වරයාට අයත් විශාල නිවසට ගිනි තබා විනාශ කළහ. පසුව එම පිරිස කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ පිහිටි කපිතාන්වරයාගේ පියාට අයත් වෙළෙඳසලට ද පහර දී ගිනි තැබූහ. පසුව සැකකරුගේ පියාට අයත් නිවසකට ද පහර දී ගිනි තබා විනාශ කිරීමට කලහකාරීන් කටයුතු කර ඇත."
පොලිසියේ හා ආරක්ෂක හමුදා ආදියේ ඇස් වසමින් මේ සියල්ල සිදු වන්නේ රජයේ වියදමින් අති විශාල පංගුවක් ආරක්ෂාව වෙනුවෙන් වියදම් කරන රටක ය. 


ඇමති ගුණරත්න වීරකෝන් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලවීම පිටුපස සිටි බවට සාධාරණ සැකයක් මෙම වාර්තාව විසින් මතු කරයි. පොලිසිය තමන්ගේ කාර්යය කළ පසු ඇමති ගුණරත්න රැස්වීම් පවත්වමින් කරන්නේ කුමක් ද? හැම රෙද්දෙන් ම තමන්ගේ ජනප්‍රියත්වය වැඩි කර ගන්නට උත්සාහ කරන මෙවැනි දේශපාලකයන් නිසා සමාජයේ සිදු වන්නේ ව්‍යසනයි.


කරන්දෙනියේ සිද්ධි මෙහෙයවූ බලවේග පිටුපස ඇති වෙළඳ තරගකාරිත්වය සොයා බැලිය යුතු ය. තවත් චැනල් සෙන්ටර්කාරයන් මේ ගිනි තැබීම් පසුපස ඉන්නවා විය හැකි ය. මේ මිනීමැරුම හා අත්අඩංගුවට ගැනීම නිසා අලුතින් විවෘත වන වෙළඳපොළක් තහවුරු කර ගැනීම පිණිස පෙට්‍රල් ටිකක් වියදම් කරන්නට සූදානම් කරන්දෙනියෝ සිටින්නට පුළුවන. 


ධනවාදය කෲර ය. එහි සියලු දේ සිදු වන්නේ ලාභය වෙනුවෙනි. නීතියේ පාලනයක් නැති සමාජයක ධනවාදී වෙළඳපොළ තරකාරිත්වය කුමන ස්වභාවයක් ගත හැකි ද යන්න පිළිබඳ කරන්දෙනිය කදිම නිදසුනකි.


Read in English


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. උඹලා දන්නෙ නැති උනාට නොම්මර එකේ මදාවියෙක් තමයි ඔය පොර. මම හැමදාම කියන කතාව ඒකයි. ඔක්කොම මර්වින් සිල්වලා. නමුත් ඌ ග්‍රේට් මොකෝ ගේමට එන්නේ පොරමයි. අනික් උන් දෙන්නේ ගෝලයන්ට කියලා. පොලිසියත් කන්ට්‍රැක්ට් ගන්න රටේ මොන නීතියක්ද බන්...

    ReplyDelete
  2. ලංකාව නම් මරු රටකි - ඇත්ත.පැරකුම් බඳු ‍බ්ලොග් රචකයින් ද එසේමය.
    උදා,
    වෛද්‍යවරයා සියලු දුප්පත් ‍රෝගීන්ගෙන් මුදල් අය නො කර ප්‍රතිකාර කළ අයෙකු ලෙස ප්‍රචාරය නෙරිණි. එහි ඇත්ත නැත්ත අපි නො දනිමු.
    ඕක හරි කියමු.දැන් බලන්න මේක
    ඔහු අති සාර්ථක ව්‍යාපාරිකයකු වූ බව නම් ඔහුගේ දියුණුවේ වේගයෙන් පැහැදිලිව පෙනේ. - පැරකුම් ඔහුව අතීතයේ සිටම දැන සිටියාද?

    ReplyDelete
  3. ලංකාවේ ඉන්නසාමාන්‍ය ජනයා කියන බහුතරය වැඩවසම් යුගයේ ඉඳල කුල තන්ත්‍රයක් විසින් පීඩනයට ලක් කරපු...බටහිර පාලනයන් යටතේ තරමක් නිදහස ලබා ගත්...එහෙත් නවීකාරක වටිනාකම් වලට ඇතුල් වෙන්න ප්‍රමාණවත් ඉඩප්‍රස්තා නොලැබුන...ඒ නිසාම නවීන ආයතන ලැබුනට ඒවාට අනුගතවීමට හරි හමන් අධ්‍යපනයක් ලබා නොදීම නිසා...කපටි ආරක්ෂකයන් විසින් තමන්ගේ වාසියට එක එක පැත්තට දක්කන මිනිස්සු රොත්තක්...මේ විදිහට තිරිසන් සමාජය තුල ජීවත් වුන විදිහට අර්බුද කළමණා කරන්නට උත්සහ කරන...පර පීඩක ප්‍රචණ්ඩත්වය නිදහසේ මුදා හරින්න ඉඩ ලැබුනම සියලු සදාචාර පිලිගැන්නීම් බල්ලට දාන...මුන්ට සමාජයක් කියන්නත් බැහැ...මේ තමා ගඩාෆි ගේ මිනිස්සු...මන්ත්‍රීල ඇමතිලා වෙනුවට මෙයාල ඉල්ලන්නේ මේ වගේ සිද්ධි වලදී තමන් ලඟට ඇවිල්ල නීතිය අතට ගන්න අනුබල දෙන ගැන්ග් ලීඩර්ස්ල...ජනදිපතිලා අගමැතිලා වෙනුවට මෙයාල ඉල්ලන්නේ රජෙක්... ඒකාධිපතියෙක්...ධනවාදය හෝ සමාජවාදය හෝ වෙන මොන ආකාරයක නවීකාරක සමාජ අර්ථ ක්‍රමයක් මෙතනට ගෙනාවත් ඒකට මෙයාලාව වෙනස් කරන්න බැහැ ...ඒ සිස්ටම් ඒක වාෂ්ප වෙනවා...මම හිතන්නේ සමාජ ඉදිරි ගමනක් ගැන හිතන මිනිස්සුන්ට මේ සංස්කෘතිය එක්ක තමා ප්‍රශ්නය තියෙන්නේ ...ඔය ඊනියා පාලක පන්තිය එක්ක නෙවේ...

    ReplyDelete
  4. "ඇමති ගුණරත්න වීරකෝන් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලවීම පිටුපස සිටි බවට සාධාරණ සැකයක් මෙම වාර්තාව විසින් මතු කරයි. පොලිසිය තමන්ගේ කාර්යය කළ පසු ඇමති ගුණරත්න රැස්වීම් පවත්වමින් කරන්නේ කුමක් ද?"

    ඕනෑම ඇමතිවරයෙක් තමන්ගේ පලාතේ සිදුවන කටයුතු පිලිබදව සොයා බැලීමක් සිදුකරනව... එම නිසා එතුමාව සම්බන්දකර මේ දේවල් සිදුකලා කියන්න බෑ.. අනෙක එතුමා නැවත එම අවස්තාවට සහබාගි වී එම තත්වය මැඩ පවත්වන්න කටයුතු කරනවා...

    අනික ඔබ තුමා කියන්නෙ ජනතාව කරපු වැඩේ වැරදී කියලද ??
    පොලිසියෙන් සාදාරනය්ක් වෙන්නෙ නැත්තන් ජනතාව අනිවා වීදි බහින්න ඕනේ....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා