නීතියේ පාලනය නැති ධනවාදය කරන්දෙනියකි / Capitalism without rule of law is Karandeniya
ලංකාව නම් මරු රටකි. එහි වැඩි දෙනා චේතනාවෙන් හෝ මිනීමරුවෝ ය. සමහර මිනීමැරුම් මාධ්‍ය විසින් හුවා දක්වනු ලබන්නේ අනෙක් අපරාධවලට වඩා නරක අපරාධ ලෙස ය. කරන්දෙනියේ වෛද්‍යවරයා මරා දැමීමේ සිද්ධියේදී ද සිදු වූයේ එයයි. මරා දමන ලද වෛද්‍යවරයා සියලු දුප්පත් රෝගීන්ගෙන් මුදල් අය නො කර ප්‍රතිකාර කළ අයෙකු ලෙස ප්‍රචාරය නෙරිණි. එහි ඇත්ත නැත්ත අපි නො දනිමු. එහෙත්, ඔහු අති සාර්ථක ව්‍යාපාරිකයකු වූ බව නම් ඔහුගේ දියුණුවේ වේගයෙන් පැහැදිලිව පෙනේ. ඔහු විශාල ලාභයක් උපයා ඇති බව ද ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය කරමින් සිටි බව ද පැහැදිලි ය. රටේ නීතිය අනුව, නියමාකාරයෙන් ආදායම් බදු ගෙවා තිබේ නම්, එහි කිසිදු වරදක් නැත. එහෙත්, අපට වැටහෙන අන්දමින් නම්, මෙහි තිබී ඇත්තේ හින්දි ච්ත්‍රපටවල මෙන් සුදු වීරයා හා කළු ම කළු දුෂ්ටයා අතර යුක්තිය උදෙසා සටනක් නොව, වෛද්‍ය වෙළඳපොළ ඒකාධිකාරයක් පිහිටුවා ගැනීම සඳහා මිය ගිය වෛද්‍ය ව්‍යාපාරිකයා විසින් ගන්නා ලද පියවර හේතුවෙන් ඇති වූ මාරාන්තික වෙළඳපොළ තරගයකි. ලිබරල් ධනවාදී සමාජයක නම්, මෙම වෙළඳපොළ තරගය මේ අන්දමින් අවසන් නො වන්නට අවශ්‍ය නීතියේ පාලනය තිබේ. ලංකාව එවැනි සමාජයක් නො වේ. ...