තොරතුරු තාක්ෂණයට තිත; මයික්‍රොසොෆ්ට් හාම්පුතුන්ට සතුට

(2010 දෙසැම්බර් 16, W3Lanka) මෙන්න ඔබ අත් අඩංගුවට ගන්න යනවා ය. ප්‍රවෘත්තිය දිනමිණේ පළ වී ඇත්තේ මෙසේ ය:‍


"බලපත් රහිතව පරිගණක මෘදුකාංග පරිහරණය කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණයක් අරඹා ඇත. මෙරට මෘදුකාංග පාවිච්චි කරන්නන්ගෙන් සියයට 75 ක් පමණ බලපත් රහිතව ඒවා පරිහරණය කරනු බවට හෙළිවී තිබෙන බව රහස් පොලිසිය සඳහන් කරයි.


"මෙසේ හොරට පරිගණක මෘදුකාංග පාවිච්චියට මෙරට ව්‍යාපාරිකයන්ගෙන් වැඩි දෙනෙකු ද පුරුදු වී සිටින බව සිදුකළ මූලික පරීක්‍ෂණ මගින් අනාවරණය වී තිබේ.මේ පුද්ගලයන් හා ආයතන ඉතා ඉක්මනින් මෘදුකාංග පරිහරණය සඳහා බලපත් ලබාගැනීමට පියවර නොගන්නේ නම් බුද්ධිමය දේපළ පනත යටතේ අධිකරණය හමුවට පමුණුවන බව රහස් පොලිසිය සඳහන් කරයි."


මෙය පටන් ගත යුතුව ඇත්තේ රජයේ ආයතනවලිනි. රජයේ කාර්යාලවල, පාසල්වල ඇති සියලු පරිගණක සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමට මුදල් ගෙවා තිබේ ද යන්න සොයා බැලිය යුතුව තිබේ. 


ලාභ ලබන පෞද්ගලික සමාගම් විශාල වශයෙන් මෘදුකාංග සොරකම් කරන බව ඇත්තකි. එය වැළැක්වීමට පියවර ගත යුතුව තිබේ. 

ලංකාවේ ගායකයන්ගේ ගී තැටි අද නිකුත් වූ විට හෙට සිට කොළඹ පදික වේදිකාවන්හි හොර කොපි ලෙස කුණු කොල්ලයට මිළ දී ගන්නට ඇත. එහෙත්, ‍අපේ ගායක ගායිකාවන්ගේ බුද්ධිමය දේපල හිමිකම ආරක්ෂාකර දෙන්නට කිසිදු වැඩපිළිවෙලක් රහස් පොලිසිය‍ට හෝ රජයට නැත. අඩු තරමේ එවැනි කලාකරුවකු කරන පැමිණිල්ලක් විභාග කරන්නටවත් උනන්දුවක් නැත. 


එහෙම තත්වයක් තිබියදී මයික්‍රොසොෆ්ට් සමාගම වෙනුවෙන් කඩේ යන්නට රහස් පොලිසිය පොළඹවන්නට ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ඇමති ඇතුළු බලධාරීන්ට ඇති අමාරුව කුමක් ද? මේ පසුපස ලංකාවේ මයික්‍රොසොෆ්ට් කොම්පැනියේ සල්ලි කැරකෙනවා විය හැකි ය. 


ලංකාවේ සාමාන්‍ය ජනයාට එක්කෝ විවෘත කේත මෘදුකාංග ඉගෙන ගැනීමට හෝ නැතිනම් සාධාරණ මිළකට මෘදුකාංග මිළ දී ගැනීමට රජය සලස්වා ඇති පහසුකම් මොනවා ද? 


මයික්‍රොසොෆ්ට් හාම්පුතුන් සතුටු කරන්නට බොරු මාධ්‍ය සංදර්ශනයක් දැම්මාට නම් කමක් නැත. එහෙත්, මේවා ඇත්තෙන් ම ක්‍රියාත්මක කරන්නට ගියොත් සිදු වන්නේ ලංකාවේ පරිගණක පරිහරණය කරන එවුන් ඔක්කෝ ම ටික මහා කඳවුරක් හදා ගාල් කරන්නට ය. අත් අඩංගුවට ගනු ලබන පරිගණක ටික දාන්නට කොළඹ නගරය විතර ලොකු යාඩ් එකක් අවශ්‍ය වනු ඇත. 

ලංකාවේ තොරතුරු තාක්ෂණයට ද එතැනින් තිත තැබෙනු ඇත. සන්තෝස ද තිස්ස? 


අවසාන වශයෙන් කිව යුතු දෙයක් ඇත. බුද්ධිමය දේපල හිමිකම් යනු ආරක්ෂා කිරීම දුෂ්කර ම හිමිකමකි. එම නීති සම්බන්ධයෙන් ආචාරධාර්මික ගැටලු රැසක් ද තිබේ. රටක සමාජය ආර්ථික, දේශපාලන හා සමාජමය වශයෙන් දියුණු නො වන තාක් මේ ප්‍රශ්න විසඳිය නො හැකි ය. හුදු ආර්ථික දියුණුව වුව නො සෑහේ. සමාජය නීතියේ ආධිපත්‍යය ස්වේච්ඡාවෙන් පිළි ගන්නා මට්ටමට ආචාර ධාර්මික විය යුතු ය. 


සරළව කීවොත්, තමන් අසන ගීය වෙනුවෙන් ගායකයාට මිළක් ගෙවීම තම යුතුකමක් ය කියා සිතන අන්දමේ රටක පමණක් බුද්ධිමය දේපල හිමිකම් රැකෙනු ඇත. 


එතැනට යන්නට මෙහෙම නම් කවදාවත් බැරි ය.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)