අද ලෝක ගුරු දිනය: ඔබේ දරුවාට ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු වී තිබේ ද?

(2010 ඔක්තෝබර් 06, W3Lankaඅද ලෝක ගුරු දිනයයි. මෙවර ලෝක ගුරු දිනය සඳහා යුනෙස්කෝ සංවිධානයේ තේමාව වන්නේ 'ප්‍රතිසාධනය ඇරඹෙන්නේ ගුරුවරයාගෙනි' යන්නයි. (Recovery begins with teacher)


ලංකාවේ නම් පාලකයන් මෙන් ම ජනතාව ද සිතාගෙන සිටින්නේ සියල්ල ආරම්භ වන්නේ රජ පවුලෙන් ය කියා ය. ප්‍රතිසාධනය හෙවත් සමාජ සුවපත් වීම කොහෙන් හෝ ආරම්භ වෙනවා නම් හොඳ ය.


ආන්ද්‍රෙයි කොන්චවලොව්ස්කි අධ්‍යක්ෂණය කළ, 1996 රුසියාවේ චෙච්නියා යුද්ධය පසුබිමේ මානසික රෝහලක සිදු වන සිද්ධි දාමයක් පෙළ ගැසෙන House of Fools නම් චිත්‍රපටයේ අවසානයේදී පරාජිත චෙච්නියානු ගරිල්ලා භටයකු තුවක්කුව පැත්තක දමා මානසික රෝගියකු ලෙස පෙනී සිටියි. එ‍හිදී ඔහු මෙන් ම සෙසු මානසික රෝගීන් ද පවසන්නේ ඔහුට අසනීප බැවින් ප්‍රතිකාර අවශ්‍ය බවයි.


ලංකාවේ සමාජය බරපතල අන්දමින් රෝගාගුර වී ඇත. එය සුව කිරීමේ කාර්යයේදී ගුරුවරුන්ට සුවිශේෂ වැඩ කොටසක් කළ හැකි ය. එහෙත්, ඒ සඳහා ඔවුහු සූදානම් ද? අපගේ නිරීක්ෂණය වන්නේ කිසි සේත් ම නැති බවයි.


දැන් සිටින අධ්‍යාපන ඇමති ද ගුරුවරයෙකි. එහෙත්, ඔහු අධ්‍යාපනය හසුරුවන්නේ ටියුෂන් කඩයක් මෙහෙයවන ආකාරයට යයි කීවොත් වරදක් නැත. ටියුෂන් ගුරුවරු යනු ජනප්‍රියත්වය හා මුදල් පසුපස හඹා යන, අධ්‍යාපන විද්‍යාව නො තකන පිරිසක් බව කවුරුත් දනිති.


මේ වන විට 2011 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය අවුල් ජාලයක් වී තිබේ. එය කෙතරම් අවුල් වී තිබේ ද යත්, ව්‍යවස්ථා අර්බුදයක් ද ඒ හරහා නිර්මානය වන තත්වයක් දක්නට ඇත. අධ්‍යාපන අමාත්‍යංශය තිබෙන්නේ ළමුන් පාසල්වලට බඳවා ගැනීම සඳහා නො වන බව කී ඇමතිවරයා එම කාර්යයේ මුළු බලතල විදුහල්පතිට පැවරූ අතර අඩු පඩියකට සුවිසල් වගකීමකට උර දී සිටින විදුහල්පතිවරු මෙම ප්‍රශ්නය අවුල් කිරීමේ ඉතිහාසගත ශූරයෝ වෙති. අධ්‍යාපන දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණය අතින් රටේ ප්‍රමුඛ ම ආයතනය බවට පත් වීමට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ගැටලු හේතු විය. 


බඳවා ගනු ලබන සිසුන්ගේ නාම ලේඛන ප්‍රසිද්ධ වීමත් සමග දෙමව්පියන්ගේ හිස ගිනි ගෙන තිබේ. දැන් සියලු සම්මුඛ පරීක්ෂණ කමිටු අවලංගු කර පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමේදී සම්මුඛ පරීක්ෂණ කමිටුවට අධ්‍යාපන දෙපාර්ත‍මේන්තුවේ නිලධාරියකු ඇතළත් කිරීමේ පැරණි පිළිවෙත අනුගමනය කිරීමට වයඹ පළාත් සභාව තීරණය කර ඇත. විදුහල්පතිට වගකීම පැවරුවේ කැබිනට් තීරණයක් මත නිසා එසේ කළ නො හැකි බව ඇමති පවසයි. තමන් ක්‍රියා කරන්නේ පළාත් ආණ්ඩුකාරවරයාගේ හා අධ්‍යාපන ඇමති ද වන ප්‍රධාන ඇමතිවරයාගේ නියෝග මත බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පවසයි. දැන් පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව අතර බලතල පිළිබඳ ව්‍යවස්ථා අර්බුදයක් නිර්මානය කරමින් තිබේ.


මේ අතර, අද අරලියගහ මන්දිරයේදී අලුත් ගුරුවරුන් 3500කට පමණ පත්වීම් දීම ද සිදු වේ. මේ අතරින් වැඩි දෙනා විද්‍යා පීඨවලින් පිට වූ අය වෙති. මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව ඔවුන්ට පත්වීම් දුන්නේ උතුරු-නැගෙනහිර, උතුරුමැද වැනි දුෂ්කර ප්‍රදේශවලයි. මේ වසරේ පත්වීම් ගමට ම ය. ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවාට එම දිස්ත්‍රික්කයේ ම පත්වීම් දීමට පියවර ගෙන තිබේ. ප්‍රතිඵලය වන්නේ ගුරු අතිරික්තයක් ඇති දිස්ත්‍රික්කවල අතිරික්තය වැඩි වීම හා ගුරු හිඟයක් ඇති දිස්ත්‍රික්කවල හිඟය වැඩි වීමයි.


අද දෙන විද්‍යා පීඨ පත්වීම්වලින් 937ක් ම ජාතික පාසල්වලට ලබා දී ඇත. එසේ ලබා දි ඇත්තේ ජාතික පාසල් බහුතරයක විශාල ගුරු අතිරික්තයක් පවතිද්දී ය. ඇතැම් ජාතික පාසල්වල අතිරික්ත ගුරුවරුන් 50ක් පමණ නිසි වැඩක් නොමැතිව මහජන මුදලින් පඩි කන බව අධ්‍යාපන අමාත්‍යංශය ම පවසයි.


අද්‍යාපන ඇමතිවරයාගේ ඍජු පාලනය යටතේ ඇති ජාතික පාසල් 330ක් පාසල් අතර  හෝ ගුරුවරුන් තුලනය කිරීමට අධ්‍යාපන ඇමතිවරයා අසමත් වී තිබේ. මේ පාසල් දේශපාලකයන්ගේ, නිලධාරීන්ගේ හා මුදලාලිලාගේ අඹුවන්ගේ තිප්පෙල වී තිබේ. මේවායේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉතා දුරුවල ය. ගුරු ආකල්ප බොහෝ විට ඍණාත්මක ය. ලෝක ළමා දිනයේදී පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුගේ කණක් පැලුවේ මෙවන් ජාතික යයි කියන පාසලක් වන මතුගම කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත ගුරුවරියකි. 


ගුරු තුලනයේ ගැටලුව කෙතරම් බරපතල ද යත්, බස්නාහිර පළාතේ ම මතුගම අධ්‍යාපන කලාපයේ ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු 60ක් පමණ ඇත. එහෙත්, මෙවර පත්වීම් දෙන විද්‍යා පීඨ ඉංග්‍රීසි ගුරුවරුන් අතරින් බහුතරය බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංගගේ ගම්පහ දිස්ත්‍රික්කයටයි. මෙසේ කරන්නේ ඡන්ද වෙනුවෙන් බාල අන්දමින් ජනප්‍රිය වීම පිණිස ය. බස්නාහිර පළාතේ මෙහෙම නම් වෙනත් දුෂ්කර දිස්ත්‍රික්කවලට ගුරුවරුන් බෙදා හරින අන්දම ගැන කියනු කවරේ ද? ඒ ඒ දිස්ත්‍රික්කවල අධ්‍යාපන මට්ටම් හා ගුරු හිඟය යන කරුණු දැන් පත්වීම් දීමේදී සැලකිල්ලට නො ගැනේ. 


මේ අතර, අධ්‍යාපන ඇමතිවරයා සංදර්ශනාත්මකව කරන වැඩ මොනවා ද? පහේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර එකතුවක් පළ කර රු. 150 ගණනේ විකිණීම එකකි. මෙවැනි කටයුතු ඇට්ලස් හෝල් කොම්පැනිය පටන් ගත්තේ මීට බොහෝ කලකට පෙර ය. 


අධ්‍යාපන ඇමතිගේ තවත් අලුත් ම සංකල්පයක් වන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා උපකාරක සම්මන්ත්‍රණ නැවැත්වීම ය. ඒ සඳහා සම්පත්දායකයන්ගේ ශ්‍රමය ලබා ගන්නේ මුදල් ගෙවීමක් නො කර ය. එසේ ම ආදර්ශ යයි කියන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම ආදිය සඳහා වියදම් ද අමාත්‍යංශයෙන් සපයා නැත. ඇමතිවරයාගේ සංකල්පයක් අනුව මෙය කෙරෙන බව‍ට පාසල් ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීම සඳහා බැනරයක් නම් සාදවා සංගත තැටියක එවා ඇත. විදුහල්පතිවරු කොහෙන් හෝ මුදල් සොයාගෙන එය පාසල ඉද්ර්පිට එල්ලිය යුතු ය. 


විදුහල්පතිවරු සල්ලි හොයන හැටි හොඳින් දනිති. පාසල කළමනාකරණ මධ්‍යස්ථානයක් බවට පත් කරන බව කියමින් පාසල්වලට ගුණාත්මක යෙදවුම් ලබා ගැනීම සඳහා ලබා දෙන මුදල්වලින් සිදු වන්නේ මොනවාද යන්න පිළිබඳ නිසි අධීක්ෂණයක් කිරීමේ උවමනාවක් අධ්‍යාපන බලධාරීන්ට නැත. ඉතින් විදුහල්පතිවරු තමන්ට මෙතරම් අවස්ථා ලබා දෙන ඇමතිගේ බැනර් නො එල්ලා ඉඳීවි ද? 


අප මෙහි සඳහන් කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අර්බුද අතරින් කීපයක් පමණි. රටේ ඕනෑ තරම් පාසල් ඇත. ඕනැ තරම් ගුරුවරු සිටිති. එහෙත්, ඔබේ දරුවාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය හැකි යයි සහතිකයක් දීමට අපේ රටේ අද්‍යාපන අංශය අසමත් වී තිබේ. 


පාසල් යනු මහජන මුදල් නාස්තියේ රජදහන් බවට පත් වී තිබේ. ඒවායේ සිටින පුද්ගලයන් බොහෝ ගණනක් කරන නිසි රාජකාරියක් නැත. සම්පත් නාස්ති වී යයි. පාසල්වලට ලවක් දෙවක් නැතිව පරිගණක බෙදා දෙමින් තිබේ. එහෙත් ඒවා පරිහරණය කිරීමේ හා නඩත්තු කිරීමේ දැනුම ඇති අය පාසල්වල නැත. මෙම උපකරණවලින් උපරිම ප්‍රයෝජනයක් ගැනේ නම් පරිගණක සාක්ෂරතාව නැති දරුවන් විශාල පිරිසක් පාසල්වලින් පිට වන්නේ කෙසේ ද? 


වැටුප් වර්ධකය, උසස්වීම, මාරුව හදා ගත නො හැකි, නිසි පුහුණුවක් නැති, අධ්‍යාපන අවස්ථා විරල, පොත පත නො කියවන, දැනුම මළකඩ කෑ අසහනයෙන්, අනාරක්ෂාවෙන් සිටින, සිය පීඩනය ළමයින් මතින් මුදා හරින පීඩිත ගුරුවරුන් දස දහස් ගණනකින් අධ්‍යාපන පද්ධතිය පිරී ඇත. 


එවන් තත්වයක් තුළ ප්‍රතිසාධනය ගුරුවරයාගෙන් ඇරඹිය හැකි ද? පළමුව ගුරුවරයා සුවපත් කළ යුතු ව තිබේ. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. දශක කිහිපයකට පෙර පංතියක ඉන්න දක්ෂම ලමයි මොන වගේ රස්සාද තෝරා ගත්තෙ? බොහෝ විට රජයේ රැකියා. මේවායින් ගුරුකමත් මුලින්ම තිබුනා.

    ඒ කියන්නෙ ඒ කාලෙ ගුරුවරු වුනේ දක්ෂයින්.

    අද මොකද වෙනා තියෙන්නෙ? හැමෝම බලන්නෙ කොහොම හරි හොඳ ආදායමක් තිබෙන පුද්ගලික අංශයේ රැකියාවකට යන්න. ඒකෙන් ඉතිරි වෙන අය තමයි ගුරු කමට යන්නෙ. "Teaching වත් යන්න බලමු" කියලනෙ කියන්නෙ.

    ඒ නිසා මෙතන තියෙන්නෙ ආර්ථික ප්‍රශ්ණයක්. ගුරුවරුන්ගේ පඩිය දහ ගුණයකින්වත් වැඩි නොකර ඒක විසඳන්න බෑ. ඒත් එහෙම කරන්න පුලුවන්ද?

    ඒ නිසා පත්වීම් අක්‍රමිකතා සහ තවත් මෙකී නොකී දේවලින් වෙන හානිය වලක්වාගත්තත්, ගුරුකමට දක්ෂයන් නැතිවීම නිසා ඇති වී තිබෙන මූලික ප්‍රශ්ණය විසඳෙන්නෙ නෑ.

    ඒකට විසඳුම මොකද්ද? ගුරුවරයාගේ දක්ෂකම මත පමණක් රඳා නොපවතින අධ්‍යාපන ක්‍රමයක් නිර්මානය කිරීමයි. ආණ්ඩු මොනව කරත්, මේ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයෙන් සැලකිය යුතු මෙහෙවරක් වන බවයි මං හිතන්නෙ. ඒක එක දවසකින් වෙන එකක් නෑ. උනත් සර්ව අසුබවාදීන්ට ඒව පේන එකකුත් නෑ.

    ReplyDelete
  2. School system in Sri Lanka now reproduces the inequalities in society and spreads all the unsocial practices produced/maintained/promoted/ by the politicians. The most of the education administrators and the Principles are subservient to the politicians. Now finding an unscrupulous Principle is "million dollar question". Today's appointment ceremony at the President's Houses symbolizes the nature of politicization that has been taking place in the school system for sometime. The teaching career is now like "pocket money" of the politicians who thinks that they have a right to bring the nation's teachers to their houses so their mighty to them. The most important qualification to become a teacher in this country is "where were you in the last election". It has become just a job for the unemployed half-backed eggs produced by the same school system. Some teachers cannot write proper Sinhala. So we have to change the UNESCO's theme to suit our situation -
    "Recovery begins when Teacher is saved from the politicians". Remember you could find these politicians across the party divide and also among the Trade Unions which also have contributed to this mess.

    ReplyDelete
  3. මේක ගැන පිටින් ඉදලා කෑ ගහන්න නමි ලේසියි. ලියුම්කරු දැනට බොහෝ කලකට පෙර පාසල් ගොස් නිම වී ඇති සැටියි.

    මහත්වරුනි සමාජය එදා තිබ්බ තැන නෙවේ අද තියෙන්නේ. අද හරිම සංකීර්ණ සමාජ රටාවක් තියෙන්නේ. මේක ඇතුලේ ගුරුවරයා ගලවලා අරං පතුරු ගැහුවට හරියන්නේ නෑ. ඵලය අල්ලං නහින්නේ නැතුව හේතුව නැති කරන්න හැදුවා නම් සතුටුයි. තටු ගැටගහපු අපිට ඉගිලෙන්න බෑ.ජාතියක් විදියට අපි ආකල්ප වෙනස් කර ගත යුතුයි.

    ReplyDelete
  4. ගුරුවරියක වශයෙන් මෙම ලිපියට 100% එකග වෙමි. පලමුව ගුරුන් සුවපත් කරන්න. අපි විදින වේදනාව අපමණ ය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා