19න් පසු අලුත් යුගයට අරුත් සපයමු
ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා ජේ. ආර්. ජයවර්ධන වරක් මෙසේ පැවසී ය: “We need an executive freed from the whims and fancies of the legislators” අපට නීති සම්පාදකයන්ගේ උවමනා එපාකම්වලින් නිදහස් විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍ය බව එහි අරුතයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වුණේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්නටයි. ව්‍යවස්ථාමය වශයෙන් එවැනි දෙයක් පෙනෙන්නට තිබුණත්, 1978ට පෙර ඉතිහාසය හා සාපේක්ෂව බැලූ කල 1978න් පසු ඉතිහාසය තුළ රටේ අස්ථාවරත්වය වැඩි වී තිබේ. ධුර කාල දෙක ම බලයේ සිටි ජනාධිපතිවරු තිදෙනෙක් මේ රටේ සිටිය හ. ඒ ජේ.ආර්., චන්ද්‍රිකා හා මහින්දයි. මේ තිදෙනාගේ ම දෙවන ධුර කාලය තුළ ඔවුන් ඒකාධිපති ලෙස කටයුතු කරන්නට දැරූ උත්සාහයන් දකින්නට ලැබෙන අතර එම ක්‍රියාවන්ගේ අවසාන ප්‍රතිඵලය වූයේ රටේ අස්ථාවරත්ව වැඩි වීමයි. නිදසුනක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙවන වරට ජනාධිපති ධුරය දැරූ වකවානුවේ මේ රටේ මහ මැතිවරණ තුනක් පැවැත්විණි. මේ තුනෙන් ම බලයට පත් වුණේ එතරම් ස්ථාවර ආණ්ඩු නොවේ. ඇය දෙවරක් ම සිය බලය අත්තනෝමතික ලෙස පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරියා ය...