සුන්දර ඉංගිරිසි: සිංහල අකුරු ඉංග්‍රීසියෙන් ලියන්නට අලුත් යෝජනාවක්

සිංහල අකුරින් ලියැවුණ වචන ඉංග්‍රීසි අකුරෙන් ලිවීම සුලබව සිදු වෙන දෙයක්. වර්තමානයේදී නම් විශේෂයෙන් ම කෙටි පණිවුඩ ලිවීම සඳහා මේ ක්‍රමය බහුලව භාවිතා වෙනවා. 

ඒ නැතත් අපට නම්, ගම් ආදිය ඉංග්‍රීසියෙන් ලියන්න සිදු වෙනවා. 

ඒ විතරක් නොවෙයි, ඇතැම් සිංහල වදන්වලට ඉංග්‍රීසි පරිවර්තන නැහැ. උදාහරණයක් ලෙස රජය පිරිනමන කලාශූරී වැනි නම්බු නාම අපට ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න බැහැ. ඒවා ඉංග්‍රීසියෙන් ම ලියන්න වෙනවා.

මේ ආදී හේතු නිසා අපට සිංහල වචන ඉංග්‍රීසියෙන් ලියන්න සිදු වෙනවා. මේ සඳහා පිළිගත් ක්‍රමයක් නැති නිසා අපට මුහුණ දෙන්නට සිදු වන ගැටලු පිළිබඳ අපි පසුගිය ලිපි කීපයකින් සාකච්ඡා කළා. 

මේ ගැටලුවට විසඳුම් ලෙස අලුත් ලතින් අකුරු හඳුන්වා දීම සුදුසුයි කියා මා පිළි ගන්නේ නැහැ. හේතුව දැනට තිබෙන අක්ෂරවලින් ම මේ ගැටලුව විසඳා ගන්නට පුළුවන් නිසායි. 

අද අපි උත්සාහ කරන්නේ මේ සඳහා විධිමත් ක්‍රමයක් යෝජනා කරන්නටයි. 

අද අපි භාවිතා කරන නූතන සිංහල හෝඩියේ අක්ෂර 64ක් තිබෙනවා. ඒවා වෙන වෙනම ශබ්දයි. ඒවා ඉංග්‍රීසියෙන් ලිවිය යුත්තේ කෙසේ ද යන්න විමසා බලමු. 

අපි මුලින් ම අවධානය යොමු කරන්නේ සිංහල ස්වරවලටයි. 

සිංහල වර්ණ මාලාවේ යෙදෙන වර්තමාන භාවිතයේ තිබෙන ස්වර මෙසේ ය: අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ (අං අඃ)

මේවා ඉංග්‍රීසියෙන් ලිවීම සඳහා අපට යොදා ගත හැකි ඉංග්‍රීසි අකුරු මෙසේ ය: උදාහරණයක් අක්ෂරයට ඉදිරියෙන් දැක්වෙනවා.
අ - a උදා: අමර - Amara
ආ - aa උදා: ආනන්ද- Aananda
ඇ - ae උදා: ඇල්පිටිය- Aelpitiya
ඈ - aea උදා: ඈතගම - Aeathagama
ඉ - i උදා: ඉංගිරිය - Ingiriya
ඊ - ee උදා: මීගොඩ - Meegoda
උ - u උදා: උපුල්- Upul
ඌ - uu උදා:ඌරාපොළ - Uurapola
ඍ - ru උදා:කර්තෘ - Karthru
ඎ - ruu උදා: කෘෘර - Kruura
එ - e උදා: එගොඩඋයන - Egodauyana
ඒ - ea උදා: අවිස්සාවේල්ල - Awissawealla
ඓ - ai උදා: ඓරාවණ - Airawana
ඔ - o උදා: ඔරුවල - Oruwala
ඕ - oo උදා: ඕපාත - Oopatha
ඖ - au උදා: ගෞතම - Gauthama
අං - ng  උදා: සිංහ - Singha
අඃ - uh උදා:පොල්ම:කාර - Polmuhkara

මෙහිදී මතභේදාත්මක අක්ෂර වන්නේ ඇ, ඈ, ඌ, ඒ, ඕ යන ස්වර වෙනුවෙන් යෙදූ ඉංග්‍රීසි අක්ෂරයි. 

දැනට භාවිතාවේ පවතින ක්‍රමයට අනුව ඇ, ඈ, එ, ඒ යන ස්වර හතර ම ලියන්නේ e අකුර භාවිතා කරලායි. Elpitiya (ඇල්පිටිය), Ethagama (ඈතගම), Eluwila (එලුවිල), Weweldeniya (වේවැල්දෙනිය) යන ග්‍රාම නාම ලියන ආකාර මේ කරුණ පැහැදිලි කර ගැනීමට උදාහරණ ලෙස සැලකිය හැකියි. 

ඒ වචන ටික ම මම යෝජනා කරන ආකාරයට ලිවිය යුත්තේ මෙහෙමයි: Aelpitiya, Aeathagama, Eluwila, Weaweldeniya

ඌ ස්වරය ඉංග්‍රීසියෙන් ලිවීම සඳහා දැනට භාවිතා කරන oo වෙනුවට මම යෝජනා කරන්නේ uu යන අකුරු දෙකයි. ඒ අනුව Rookantha ලිවිය යුත්තේ Ruukantha ලෙසයි.

දීර්ඝ ඕ ස්වරය ලිවීම සඳහා ඇතැමෙක් දැනටත් oo භාවිතා කරනවා. උදාහරණයක් ලෙස තෙන්නකෝන් ලියන්නේ Thennakoon ලෙසයි.

සිංහල ව්‍යංජනාක්ෂර හෙවත් ගතකුරු ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද කියන එක අපි ඊළඟට බලමු. 

මෙහිදී මූලිකව ම දැනට භාවිතා වන අක්ෂර ම භාවිතා කිරීමත්, එක් අක්ෂරයකට වඩා භාවිතා වේ නම්, ඒ අතුරින් එක් අක්ෂරයක් අත්හැර දැමීමටත් මම යෝජනා කරනවා. 

මෙහිදී ලොකු ම ප්‍රශ්නය මතු වන්නේ ව අක්ෂරය වෙනුවෙන් අපි භාවිතා කළ යුත්තේ w ද v ද යන්න සම්බන්ධයෙනුයි. 

ඉංග්‍රීසි w අකුරේවත්, v අකුරේවත් ශබ්දය පූර්ණව සිංහල වයන්නේ ශබ්දයට සමාන වන්නේ නැහැ. ඒත්, ඉංග්‍රීසි v අකුරේ ශබ්දය තරමක් ෆ ශබ්දයට බර 'fව' ශබ්දයක් නිසා එය සිංහල ව ශබ්දයට කිසි සේත් ම නො ගැලපෙන බවයි මගේ අදහස. ඒ නිසා මම යෝජනා කරන්නේ w අක්ෂරය පමණක් භාවිතා කරන්නටයි. 

තවත් ප්‍රශ්නයක් මතු වන තැනක් තමයි ද ශබ්දය. මෙහිදී අපි භාවිතා කළ යුත්තේ d ද th ද යන්න ප්‍රශ්නයක්. 

මා යෝජනා කරන්නේ ද ශබ්දය වෙනුවෙන් d භාවිතා කළ යුතු බවයි. එවිට ඇති වන ප්‍රශ්නය වන්නේ ඩ වෙනුවෙන් භාවිතා කරන අක්ෂරය කුමක් ද යන්නයි. මෙයට විසඳුමක් අපි කල්පනා කළ යුතුයි. එතෙක් ද හා ඩ යන ශබ්ද දෙක ම වෙනුවෙන් d භාවිතා කරන්නට සිදු වෙනවා. 

එතකොට ත වෙනුවෙන් th භාවිතා කරන්නට පුළුවන්. 

මහාප්‍රාණ අක්ෂර වෙනුවෙන් අපට මූලික අක්ෂරයට h අකුර එකතු කරන්නට පුළුවන්. kh, gh, dh යනුවෙන්. ඒත්, මහාප්‍රාණ ථ වෙනුවෙන් මොනවද කරන්නේ. මම යෝජනා කරන්නේ තයන්න වෙනුවෙන් යෙදෙන thට තවත් hඅකුරක් එකතු කරන්න කියායි. ඒ අනුව මහාප්‍රාණ ථයන්න thh ලෙස ලිවිය යුතුයි.

මේ ප්‍රශ්නය ම ඡ අක්ෂරය සම්බන්ධයෙනුත් මතු වෙනවා. මේ ක්‍රමවේදය අනුව ඡ අක්ෂරයත් chh ලෙස ලිවිය යුතුයි. 

ඒත්, තවත් ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. ඒ තමයි මහාප්‍රාණ ඨයන්න ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද කිය කාරණයයි. th ලෙස ලිව්වොත් තයන්න වෙනවානේ. එතකොට ඨ ලියන්න විධියක් නැහැ. මම යෝජනා කරන්නේ ඒ සඳහාත් t අක්ෂරය පමණක් භාවිතා කරමු කියායි. මන්ද, ඨ අක්ෂරය පුද්ගල හා ග්‍රාම නාමවල යෙදෙන අවස්ථා ඉතා විරල නිසා. සිංහල අකුරු ඉංග්‍රීසියෙන් ලියන්න අවශ්‍ය වෙන ප්‍රධාන හේතුව සිංහල පුද්ගල හා ග්‍රාම නාම ලියන්න සිදු වීමනේ. 

මේ ප්‍රශ්නය ම මහාප්‍රාණ ඪ සම්බන්ධයෙනුත් එනවා. දැනට අපි ද හා ඩ යන අක්ෂර දෙක ම වෙනුවෙන් යෝජනා කර තිබෙන්නේ d අකුරයි. මහාප්‍රාණ ඪයන්නත් ග්‍රාම හා පුද්ගල නාමවල යෙදෙන්නේ අඩුවෙන් නිසා අප ඪ වෙනුවෙනුත් d භාවිතා කරමු. දැන් එතකොට අපි d අකුර ශබ්ද තුනක් වෙනුවෙන් භාවිතා කරනවා. ඒ ද, ඩ හා ඪ යන ශබ්ද තුනයි. මෙය ගැටලුවක්. එය විසඳා ගත යුතු ආකාරය සාකච්ඡා කරමු.

මහාප්‍රාණ ඵයන්නත් පුද්ගල හා ග්‍රාම නාමවල යෙදෙන්නේ ඉතා කලාතුරකින්. ඒ නිසා ඒ සඳහාත් p අක්ෂරය ම යොදා ගන්න පුළුවන්. මන්ද, ph විසින් ඉංග්‍රීසියේදී f අක්ෂරයේ ශබ්දය ලබා දෙන නිසා අපි මහාප්‍රාණ ඵ වෙනුවෙන් ph භාවිතා කළොත් පටලැවිල්ලක් ඇති වෙන්න පුළුවන්.  

න ශබ්දයත්, ං හෙවත් ඞ ශබ්දයත් අතර වෙනසක් තිබෙනවා. න ශබ්දය සඳහා n අකුරත්, ං හෙවත් ඞ ශබ්දය සඳහා ng අකුරු දෙකත් යෝජනා කරන්නේ ඒ නිසායි.

ක - මේ සඳහා k පමණක් භාවිතා කරමු. c භාවිතය අත්හරිමු.
ඛ - kh (උදා: සංඛ - Sankha)
ග - g
ඝ - gh (උදා: සංඝදාස - Sanghadasa)
ච - ch
ඡ - chh (උදා: ඡායා - Chhaya)
ජ - j
ඥ - gn (උදා: ඥානපාල - Gnanapala) 
ට - t
ඨ - t (උදා: අරිට්ඨ - Aritta)
ඩ - d
ඪ - d 
ත - th
ථ - thh (උදා: අත්ථදස්සි - Aththhadassi)
ද - d
ධ - dh (උදා: සිරිවර්ධන - Siriwardhana)
න / ණ - n
ප - p
ඵ - p (උදා: ඵුස්සදේව - Pussadewa)
බ - b
භ - bh (උදා: භාෂණ - Bhashana)
ම - m
ය - y
ර - r
ල / ළ - l
ව - w (උදා: විමල් වීරවංශ - Wimal Weerawansha)
ස - 
ශ / ෂ - sh (උදා: ශර්මිලා - Sharmila)
හ - h
ං / ඞ - ng (උදා: සිංහ - Singha)
ෆ - ෆ

මෙතැනදී සිංහල අක්ෂර කීපයක් නො තකා හැර තිබෙනවා. න, ණ, ල, ශ, ෂ, ඤ, ඥ, ජ, ඣ අක්ෂර අතර වෙනස සිංහල අකුරු ඉංග්‍රීසියෙන් ලියද්දී අදාළ වෙන්නේ නැහැ. මන්ද, මේ අක්ෂර උච්චාරණයෙන් වෙනස් නො වන නිසා. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. ප්‍රා යෝගික ව පහසුවක් ඇති කරන්නා වූ යෝජනාවකි. මීගොඩ යන්නෙහි ඊ ශබ්දය ii ලෙස Miigoda යනුවෙන් ද අවිස්සාවේල්ල යන්නෙහි ඒ ශබ්දය ee ලෙස Awissaweella යනුවෙන් ද ලිවීම සුදුසු වෙතැ යි සිතේ. එ සේ ම ක ශබ්දය සඳහා c භාවිතය අත්හරින්නේ නම් c අක්ෂරය අල්පප්‍රාණ ච සඳහා ද ch අක්ෂරය මහාප්‍රාණ ඡ සඳහා ද යෙදීමේ බාධාවක් නො පෙනේ. චන්ද්‍රපාල යන්න Candrapala ලෙස හා ඡන්න යන්න Channa ලෙස වශයෙනි.

    ReplyDelete
    Replies
    1. ඉතා වැදගත් එකතු කිරීමකි.

      Delete
  2. දැන් ඕකද අපට තියෙන දැවෙන ප්‍රශ්නය?

    ReplyDelete
  3. W අකුරේ ශබ්දය "උව" යන හඬ ගෙන දෙනවා. මෙය මා ඉගෙන ගතාතේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය ගේ ඉංගිලිසි පොතෙන්.

    උදාහරණය Window ශබ්ද කළ යුත්තේ "උවින්ඩෝඋ" කියායි.

    එනිසා විමල් වීරවංශ යන්න WImal Weerawansa යනුවෙන් ලිවීම වැරදියි. එය ලියන්නට ඕනෑ Vimal Veeravansa (Viiravansa) කියායි. චානුක වත්තේගමත් මේ ගැන තැනක කියා තිබුණා!

    ReplyDelete
  4. water හා voter යන පද පැහැදිලිවම දෙවිදිහකටයි උච්චාරණය වෙන්නේ.... ඒ දෙවන අකුර a හෝ o වන නිසාම නොවේ. w හා v අතර පැහැදිලි උච්චාරණ වෙනස නිසා විය යුතුයි......

    ReplyDelete
  5. ආ - aa උදා: ආනන්ද- Aananda

    මෙහෙම කිව්වට පහු පහු වෙද්දි 'ආ' ශබ්දයට අකුර විතරක් පාවිච්චි කරලා නේද?

    මට නම් හිතෙනවා මෙහෙම සීමාවක් දාන්න අමාරුයි කියලා. සිංහලයේ උනත් න,ණ, ල, ළ අපි යොදන්නෙ පුරුද්දෙන්නෙ. එහෙනම් ඒවටත් එක 'න'යන්නක් පාවිච්චි කරන්න කියන්න වෙනවා. එහෙම සීමාවක් තිබ්බා නම් ආයෙ ඉංග්‍රීසියෙන් ලියන්න සීමාවක් ඕනෙ නෑනෙ.

    ReplyDelete
  6. හිතවත, ඔබගේ දැවැන්ත උත්සාහය අගය කොට සළකමි. එහෙත්, මේ සම්බන්ධයෙන් වැදගත් කරුණු දෙකක් මම දකිමි.
    1. සිංහල අකුරු හෝ දෙමළ අකුරු හෝ හින්දි අකුරු හෝ මලයාලම් අකුරු ඉංගිරිසි අකුරු වලින් ලිවීමේ අවශ්‍යතාවක් ඇති වන්නේ ඉංගිරිසි කාරයාට ය.
    2. ඉංගිරිසි අකුරු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ (එනම් අසවල් ශබ්ලය ලබාදීමට භාවිතා කළ යුත්තේ අසවල් අකුරයැයි තීරණය කිරීමේ) අයිතිවාසිකම ඇත්තේ ඒ අකුරු භාවිතා කරන්නාටය.

    චීන හෝ ජපන් අකුරු වලින් සිංහල ශබ්ද උපදවන ආකාරය ගැන සොයන්නට අපි වෙහෙස වන්නේ නැත. ප්‍රංශ අකුරු වලින් ලතින් අකුරු වලින් ග්‍රීක් අකුරු වලින් සිංහල නම් ගම් ලියන්නේ කෙසේදැයි සොයන්නට අප වෙහෙසෙන්නේ නැත. අප වෙහෙසෙන්නේ ඉංගිරිසි අකුරු ගැන පමණකි. මෙය අපේ යටි සිත තුල තැන්පත් වී ඇති යටත් විජිත මානසිකත්වයදැයි කියා මා දන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. මෙම ලිපි පෙළෙහි මුල සිටම අප මතු කර දැක්වූ කරුණක් වන්නේ ඉංග්‍රීසි යනු තව දුරටත් විදේශ භාෂාවක් නොවන බවයි. එය අපගේ උරුමයකි.

      ඉංග්‍රීසි අකුරෙන් සිංහල නම්, ගම් ලිවීම ඉතා සුලබව සිදු වන දෙයකි. උදාහරණයක් ලෙස පහේ ශිෂ්‍යත්වයේ සිට සියලු විභාග ඉල්ලුම්පත් පුරවනු ලබන්නේ ඉංග්‍රීසියෙනි.

      සිංහල නම් ගම් ඉංග්‍රීසියෙන් ලියන්නට අවශ්‍ය වන්නේ ඉංග්‍රීසි කාරයාට නො වන බව යන්තම් කල්පනා කළත් තේරෙනු ඇත. ගෝලීය සමාජයක ජීවත් වන ඔබ ඔබගේ ඊමේල් ලිපිනය ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත පිරෙව්වේ කුමන භාෂාවකින්දැයි මතක් කර බලන්න.

      ඔබේ දෙවෙනි තර්කය ඉතා බොළඳ ය. සන්නිවේදනය යන් ආරම්භක ස්ථානයක් මෙන් ම අග්‍රස්ථානයක් ද තිබෙන ක්‍රියාවලියකි. ග්‍රාහකයා නැති තැන සන්නිවේදනයක් නැත. එක් එක්කෙනා තම තමන්ට ඕනෑ අන්දමින් සිංහල වචන ඉංග්‍රීසියෙන් ලියන්නට ගියහොත් ඇති වන්නේ අවුල් ජාලයකි.

      අප පෙන්වා දුන්නේ දැනටත් මේ සම්බන්ධයෙන් අවුල් ජාලයක් නිර්මානය වී තිබෙන බවයි. අප යෝජනා කරන්නේ ඒ සඳහා විසඳුමකි. ඒ පිළිබඳ සමාජ සංවාදයක් අවශ්‍ය ය.

      සිංහලකමට ආදරය කිරීම යනු අපේ භාෂාවේ හා අපේ උරුමයක් වී තිබෙන අපේ ඉංගිරිසියේ තිබෙන මෙවැනි ගැටලු ස්පර්ශ කිරීමයි. එය යටත් විජිත මානසිකත්වයෙන් මිදීම සඳහා උත්සාහයකි.

      ඉංග්‍රීසි සුද්දන්ගේ භාෂාවකැයි සිතා සිටීම ම යටත් විජිත මානසිකත්වයේ ස්වභාවයකි.

      Delete
  7. (මා කළින් ලියු පිළිතුර තාක්ෂණික හේතුවක් මත අතුරුදහන් විය.)

    ඔබ නිවැරදිය. මට වුනේ පටලැවීමකි.
    මෙහිදී අප ඉංගිරිසි අකුරු භාවිතා කරන්නේ එක්තරා තාක්ෂණික කටයුත්තකටය. මගේ November 2, 2014 at 1:16 AM කමෙන්ටුව ලිව්වේ “ඉංගිරිසි සහ සිංහල සන්සන්දනය කිරීම“ සම්බන්ධයෙන් විවේචනයක් කරමින් සිටි මානසිකත්වයකදීය. ඔබ යෝජනා කරන්නේ ඇතැම් කාරණා සඳහා ඉංගිරිසි අකුරු කෝඩ් එකක් වශයෙන් භාවිතා කිරීමේ අවශ්‍යතාව, වැදගත්කම ගැනය. එකඟ වෙමි.

    ඉංගිරිසි යනු බ්‍රිතාන්‍යයන්ගේ භාෂාවයි. ජාත්‍යන්තර භාෂාවක් වන එය ඉගෙනගැනීම වැදගත් ය. එහෙත්, එය අපේ උරුමයක් වී ඇති බව හෝ එසේ කරගැනීමට අවශ්‍යතාවක් ඇති බව මට නොපෙනේ. සංකේත වශයෙන් ඉංගිරිසි අකුරු යොදාගැනීම වෙනම කාරණයකි. අප ගණිතය ඉගෙන ගැනීමේද ඇල්ෆා බීටා ගැමා ඩෙල්ටා යනාදී වශයෙන් ග්‍රීක් අකුරු පාවිච්චි කරමු.

    කේතයක් වශයෙන් ඉංගිරිසි අකුරු පාවිච්චි කිරීම පිළිබඳව නිරවුල් සම්මතයක් අවශ්‍ය බව මා දැන් පිළිගනිමි. ඔබගේ උත්සාහය අගය කරමි. හැකි විටකදී සහයෝගයක් ලබාදීමට උත්සාහ කරමි.
    මෙහිදී දෙමළ, බෙංගාලි, හින්දි ආදී ඉන්දියානු කුලකයේ භාෂාවන් ද, චීන සහ ජපන් වැනි මොංගෝලියානු කුලකයේ භාෂාවන් ද ඉංගිරිසි අකුරු වලින් ලියන ආකාරය හෝ ලියන්නට උත්සාහ කරන ආකාරය සොයාබැලීම ප්‍රයෝජනවත් විය හැකි බවද මම යෝජනා කරමි.

    ReplyDelete
  8. Ow,Engrisiyanu Thawaduratath widesheeya basawaknowe,Parata English beri wunanam Oka sampurna Anith peththa. ehenam "Engrisi Apata awashya nowe eya ADHIRAJYAWADEEN apawa palanaya kireemata pawichchi kala dhanapathi Awiyaki".

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා