ජවිපෙ ලාල් කාන්තගේ දුක්ගැනවිල්ල

උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා පොතේ දොරට වැඩුම වෙලාවේ ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ලාල් කාන්ත දුක්ගැනවිල්ලක් කියා තිබිණි.

මගේ දුවගේ අම්මත් හැමදාම අවුරුදු ගාණක් උදේ හතරට නැගිටිනවා. දැන් උසස් පෙළ ඉගෙන ගන්නේ. ටියුෂන්වලට මාසෙට රුපියල් තිස් දහසක් විතර ඕනි. විද්‍යා විෂයන් ඉගෙන ගන්නේ. බිරිඳ ගුරුවරියක්. එයාගේ පඩිය මදි. මට කියක්වත් හම්බ වෙන්නේ නැහැ. එයා තනියම ඒ දුක දරාගෙන වැඩ කරගෙන යනවා.

මං කොහේ හරි රට වටේ ගියාම අපේ සහෝදර සහෝදරියන් දෙන හාල් පොල් ටිකක් ගෙදරට ගෙනත් දානවා. ඒකෙන් වැඬේ හරියන්නේ නෑ. මං කියනවා රටේම මිනිස්සු අපිට එක එක ප‍්‍රශ්න කියනවා. ගොඩක් අයගේ ප‍්‍රශ්න විසඳනවා. ඒවාට මැදිහත් වෙනවා.

එතකොට නෝනා මගෙන් ඇහුවා, ‘‘ඉතින් ඔයා ඇයි බලාගෙන ඉන්නේ. ඔයා මොකක් හරි කරන්න බලන්න.’’ ඔයා දන්නවා මම අවුරුදු 30ක් ජේවීපි එකේ ෆුල් ටයිම්. ශත පහක්වත් හම්බ කරලා නැහැ මේ අවුරුදු 30.

දැන් මට එයා කියනවා අවුරුදු තිහක් ෆුල් ටයිම් කරපු මට ‘ඔයත් මොනව හරි කරන්න බලන්න’. ඒ අම්මා අර අම්මාට වඩා වෙනස් තමයි නමුත් තාමත් දුක් විඳිනවා. (උපුටා ගැනීම නෙත් රේඩියෝව)

මේ කියන ආකාරය අනුව තවමත් ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප යන්නේ පක්ෂ අරමුදලට විය යුතු ය. ලාල් කාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අවුරුදු පහක් සිටි නිසා ඔහුට විශ්‍රාම වැටුපක් ද තිබෙනවා විය හැකි ය. එය ද යන්නේ පක්ෂ අරමුදලට ද? 

පක්ෂයෙන් මොවුන්ට ජීවත් වීමට ප්‍රමාණවත් දීමනාවක් නො ගෙවන බව පෙනේ. අනෙක් පැත්තෙන් පක්ෂ සාමාජිකයන්ගෙන් වුව ඉල්ලාගෙන ජීවත් වීම පුද්ගල පෞරුෂයට ගැටලුවකි. 

ජවිපෙ ඔස්සේ දීප්තිමත් දේශපාලකයන් බවට පත් වූ බොහෝ දෙනෙකු ජවිපෙ නො තිබිණි නම් සාමාන්‍ය මිනිස්සු ය. ඒ නිසා ඔවුන්ගේ ප්‍රතිභාවෙ මුළු අයිතිය ම ජවිපෙට හිමි යයි පක්ෂය කල්පනා කරනවා විය හැකි ය. එතකොට පක්ෂය හැදුනේ කොහොම ද? මෙවැනි මිනිසුන්ගේ ප්‍රතිභාවෙන් නොවේ ද? 

පක්ෂය සාමාජිකයන්ට හිර ගෙයක් වන්නේ නම් එය ඛෙදවාචකයකි. මේ හිර ගෙයින් නිදහස් වූ විමල් වීරවංශ වැනි අයගේ පරිහාණියෙන් නිරූපණය වන්නේ එහි භයානකකමයි. තමන් පක්ෂයට හෝ සමාජයට හෝ කළ සේවය වෙනුවෙන් ඇරියස් බලාපොරොත්තු වීම අතිශය භයානක ය. ඇරියස් ඉතිරි වුණේ ඇයි?

මෙතන තිබෙන්නේ සමාජවාදය තේරුම් ගැනීම පිළිබඳ ගැටලුවකි. ඔබ සමාජය වෙනුවෙන් කටයුතු කළ යුත්තේ ඔබගේ කාර්යභාරයක් ලෙස සිතා මිස කෘතගුණ ලැබිය යුතු සමාජ සේවයක් ලෙස නො වේ. ඔබ සමාජයේ ම කොටසක් බැවින් ඔබ වෙනුවෙන් ද ඔබට කාර්යභාරයක් තිබේ. සතුටින් ජීවත් වීම ඔබගේ සමාජ වගකීමකි.

සතුටින් ජීවත් වීම යනු කුමක් ද? ධනේශ්වර පාරිභෝජනවාදය ද? සමාජවාදියා සතුට විග්‍රහ කර ගත යුත්තේ පාරිභෝජනවාදයෙන් ගැලවීම තුළයි. භාණ්ඩ වන්දනාව හා පාරිභෝජනවාදය වෙනුවට බුද්ධිමත් පරිභෝජනය ආදේශ කිරීම තුළයි. හැමෝම කරන පළියට ගම දමා කොළඹ ඒම, ළමයින් දොස්තරලා කරන්නට වලි කෑම, පිටරට පදිංචියට යාම, අති සුඛෝපභෝගී ගෙවල් හැදීම, ලොකු කාර් ගැනීම, අලුත් අලුත් භාණ්ඩ මිළ දී ගැනීම, ලොකු හෝටල්වලින් කෑම, ට්‍රිප් යාම,  ලොකු මඟුල්, පාටි, ණය ආදියෙන් නිරූපිත පාරිභෝජනවාදී ජීවිතය වෙනුවට විකල්ප ජීවිත ප්‍රවර්ධනය කිරීම සමාජවාදීන්ගේ වගකීමකි.

ලාල් කාන්ත වැනි වාමාංශික පක්ෂ ක්‍රියාකාරිකයන්ට නැත්තේ එයයි. පක්ෂය නිසා ලැබුණු බොහෝ දේ ගැන ඔවුන්ට සතුටු වන්නට පුළුවන. එහෙත්, නො ලැබුණු දේ ගැන ඔවුහු දුක් වෙති. මේ දුක්ඛප්‍රාප්තියේ එක් ලක්ෂණයක් වන්නේ ඔවුන් දුක් වන්නේ අද තමන් සිටින තැන සිට ලබා ගත හැකි දේ ගැන සිතමින් වීමයි. උදාහරණයක් ලෙස ලාල් කාන්තව ආණ්ඩුවට ගත්තොත්, ඔහුට පළාත් සභා මන්ත්‍රී වැටුප ලබා ගත හැකි ය. තවත් බොහෝ දේ ද ලබා ගන්නට පුළුවන. 

එහෙත්, ජවිපෙ නො තිබුණා නම් ලාල් කාන්තට මොන පළාත් සභා ද? විමල් වීරවංශට මොන ඇමතිකම් ද?

රාජපක්ෂ පවුලේ අය රටට කියන දෙය ද මෙයට තරමක් සමාන ය. අපි ප්‍රභාකරන් මරලා, කොටි සමූලඝාතනය කරලා යුද්දෙ දිනුවා. ඒ නිසා අපට ඕනෑ විදියට රට කන්න දෙන එක ඔබගේ යුතුකමකි. 

මේ ධනේශ්වර චින්තනයේ ස්වභාවයයි. ජවිපෙ පූර්ණකාලිකයන්ගේ ජීවන භාවිතාව තුළ පවතින්නේ ද එය ම ය. සමාජවාදී ජීවිතයක් පිළිබඳ කතිකාවක් අවශ්‍ය මෙම සංදර්භය තුළ ය. 

සමාජවාදය යනු අද ධනපතීන් විඳින සැප සමාජයේ සියලු දෙනාට විඳින්නට සැලැස්වීම නො වේ. සමාජවාදය අලුත් ජීවිතයකි. එහි අපේක්ෂාවන් වෙනස් ය. එය වනාහි ධනේශ්වර පාරිභෝජනවාදය නො වේ. 

ජවිපෙ වැනි සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින අය විකල්ප, ප්‍රායෝගික, සමාජවාදී ජීවිත ගොඩනැගීමට උත්සාහ කළ යුතු ය. පක්ෂය පූර්ණ කාලීනව දේශපාලනය කරන ලාල් කාන්තට ජීවත් වීමට සාධාරණ වැටුපක් ගෙවිය යුතු ය. එය අඩු තරමේ පුහුණු කම්කරුවකුගේ වැටුප හෝ විය යුතු ය. 

වාමාංශිකයන් සමාජය ඉදිරියේ මෙවැනි දුක්ගැනවිලි කිය කියා යන එක තේරුමක් නැත. ලාල් කාන්ත ඇත්තෙන් ම මොනවා හරි කළ යුතු ය. මේ ප්‍රශ්නය අපට ආ විට අපි නම් කළේ වැඩ කිරීම ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. ලාල් කාන්ත කලයුත්තේ බ්ලොග් එකක් ආරම්භ කිරීමයි.... එවිට ඔහුට ඩොලර් මවන්නෙක් විය හැක....

    ReplyDelete
  2. ඇත්ත! ලාල්කාන්ත වැනි ජවිපෙ ක්‍රියාකාරීන්ට යම් සහනයක් පක්ෂයෙන් ලැබියයුතුයි.

    ReplyDelete
    Replies
    1. සමහරවිට ලැබෙනවත් ඇති. හැබැයි ප්‍රසිද්ධියේ කරන්නෙ අඬන එක. වෙන පක්ෂෙකින් නම් ඒ වෙලාවට කියනවා "යකෝ, අපි තොට මෙච්චර දෙනවා නේද, බොරු කියන්න එපා!" කියලා. අනේ රත්තරනේ, ජවිපෙ එහෙම නැහැ.

      Delete
  3. සමාජවාදය කියන්නේ ගෙඩි පිටින් ගත්තොත් දැන් යල් පැනපු දෙයක්. අනිත් එක තමයි සදාජවාදය කියන්නේත් එක් ආකාරයක හිර ගෙයක්. රුසියාවේ සමාජවාදය වැටුනට පස්සේ අපි ඒක දැක්කා, කියුබාවෙන් එන මිනිස්සු එක්ක කතා කරපුවාම අපි ඒක දැක්කා.

    සිංගප්පූරුවේ ලි ක්වයං යූ කියන්නේ සමාජවාදීන්ව පේන්න බැරි කෙනෙක්, ඒත් ලී ක්වායං ගේ පාලනයේ නමින් නොවුනත් වැඩි හරියක් තිබුනේ සමාජවාදී හරයන්. රට දියුණු වුනා. හැමොටම වගේ රස්සාවල් ලැබුනා, යම් ජීවන මට්ටමක් ලැබුනා, රටේ සම්පත් හැමෝටම බෙදුනා, ඒත් සිංගප්පුරුවේ හිටපු අය දන්නවා ඒ රට හිරගෙයක්, මොනවත් නිසා නෙවෙයි සමාජවාදී අදහස් ක්‍රියාත්මක වුන නිසා. සමාජවාදයයි, රාජාන්ඩුවයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත.

    දැන් ලොකෙට ගැලපෙන්නේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදී පාරිභෝගික ක්‍රමයක් මිසක් සමාජවාදය නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මඩපුවක්, මේ බලපංකො මචෝ මෙයා කියන කතාව. මූට දෙමුද ගේමක්?

      Delete
    2. KAS කොල්ලෝ උඹ ඉවරයි. සමාජවාදය පිරිසිඳ දත් තට්ටමයි සංසදේ අනෝලයි දෙයි උඹට හොදි ඕන්නැති වෙන්න. :D

      Delete
    3. // ඒත් සිංගප්පුරුවේ හිටපු අය දන්නවා ඒ රට හිරගෙයක්, මොනවත් නිසා නෙවෙයි සමාජවාදී අදහස් ක්‍රියාත්මක වුන නිසා. //

      සිංගප්පූරුව ධනවාදී යුටෝපියාවක් නොවේ. ඒත් එහෙම නොවෙන්නේ ඒ ර‍ටේ සමාජවාදී ප්‍රතිපත්ති නිසා නෙවෙයි. උදාහරණයක් හැටියට පුද්ගලික හිමිකම් වෙනුවට කාටත් සාධාරණ මිලට රජයේ ගෙවල් දීමේ ප්‍රතිපත්තිය ඒ රටේ මිනිසුන්ට ලොකු සහනයක් HDB සිස්ටම් එක නොතිබුනා නම් වෙන්න තිබුනු දේ හිතන කොට. සිංගප්පූරුව හිරගෙයක් වන්නේ දැඩි නීති, විරුද්ධ අදහස් මර්ධනය, රැඩිකල් චින්තකයන්ට ඉඩක් නැතිවීම, දරදඬු පාලනය, සමාජයීය වශයෙන් මිනිස්සුත් rat race එකෙන් පිට යන්න තියන බය/අකමැත්ත වගේ හේතු නිසා. ඇත්තටම ඒ rat race එකටත් රස්සා වල දැඩි පීඩනයටත් හේතුවක් "high performing" නැති මිනිස්සුන්ගෙන් වැඩක් නෑ, තමන්ට තමන් විතරයි කියල ආණ්ඩුවෙන්ම හදල තියන ධනවාදී මානසිකත්වය. (මිනිස්සු තමන්ව "upgrade" කර ගැනීම ගැන නිතර කතා කරන රටක් සිංගප්පූරුව) මේක පැරා කියන සමාජවාදෙට අදාළ නෑ. (එහෙම නැත්නම් ඔබ කියපු දේ උදාහරණයක් අරන් පෙන්නන්න පුලුවන් ද?)

      පැරා ගෙ මේ සමාජවාදී මැක්කට මමත් එච්චර එකඟ නෑ ඒත් පැරා කියන්නෙ කොමියුනිස්ට් වාදය නෙවෙයි කියල ආයෙම ආයෙම කියද්දිත් ඕක හෝද හෝද මඩේ දාන එකෙන් කාටවත් පලක් නෑ නේද?

      Delete
    4. ඉන්දික උඹ නොදන්න දේවල් කතා නොකර හිටපන්. ස්ංගප්පූරුවෙ මහල් නිවාස සාධාරණ මිළකට දුන්නෙ නැහැ. මාකට් වැලියු එකට සතයක් අඩු කළේ නැහැ. ඒවා ගන්න දුප්පත්තු දහදුක් වින්දා. තාම විඳිනවා. මං දැකලා තියෙනවා සිංගප්පුරුවෙ වයස 70 ට වැඩි ආච්චිලා හිට කය වෙහෙසෙන රස්සා කරනවා. එහෙම නැත්නම් ජීවත් වෙන්න බැහැ. තනිකර රැට් රේස් එකක්.

      Delete
    5. මා ඉන්දික කියා වලිගය පාගා ගන්නා ඇනෝ,

      // ස්ංගප්පූරුවෙ මහල් නිවාස සාධාරණ මිළකට දුන්නෙ නැහැ.//

      HDB සිස්ටම් එක නිසා මිනිස්සුන්ට සහනයක් උනා. කීයට දුන්නත් ගෙවල් ගන්න බැරි ටික දෙනෙකුත් ඉන්න ඇති ගෙවල් නිකන් වගේ දුන්න කියල කවුරුවත් කිව්වෙ නෑනේ. මෙන්න සාධක:

      While Singapore is not generally regarded as a welfare state, the provision of housing welfare on a large scale has been a defining feature of its welfare system link

      The housing that was initially built was mostly meant for rental by the low income group. link

      දැන් ඔයා කියන එකත් මෙහෙම සාධක ඇතුව පෙන්නන්න.

      // සිංගප්පුරුවෙ වයස 70 ට වැඩි ආච්චිලා හිට කය වෙහෙසෙන රස්සා කරනවා.//

      එහෙම වෙලා තියෙන්නෙ ආණ්ඩුවෙ සමාජවාදී ප්‍රතිපත්ති නිසාද ධනවාදී ප්‍රතිපත්ති නිසා ද? කෙලින් උත්තරයක් දෙන්න.

      Delete
    6. /සාධාරණ මිලට රජයේ ගෙවල් දීමේ ප්‍රතිපත්තිය ඒ රටේ මිනිසුන්ට ලොකු සහනයක් HDB සිස්ටම් එක නොතිබුනා නම්/

      කෝ ඕකෙ මේ ටික තියෙන තැන පෙන්වන්න, ඉන්දික.

      Delete
    7. අසාධාරන ගනන් වලට දුන්න නම් ඒක "වෙල්ෆෙයා" වෙන්නෙ නෑ නේ?

      // ස්ංගප්පූරුවෙ මහල් නිවාස සාධාරණ මිළකට දුන්නෙ නැහැ.//

      මේක තියන තැනක් පෙන්නන්න කෝ?

      Delete
    8. // සිංගප්පුරුවෙ වයස 70 ට වැඩි ආච්චිලා හිට කය වෙහෙසෙන රස්සා කරනවා.//

      එහෙම වෙලා තියෙන්නෙ ආණ්ඩුවෙ සමාජවාදී ප්‍රතිපත්ති නිසාද ධනවාදී ප්‍රතිපත්ති නිසා ද? කෙලින් උත්තරයක් දෙන්න.

      Delete
    9. // සිංගප්පුරුවෙ වයස 70 ට වැඩි ආච්චිලා හිට කය වෙහෙසෙන රස්සා කරනවා.//

      එහෙම වෙලා තියෙන්නෙ ආණ්ඩුවෙ සමාජවාදී ප්‍රතිපත්ති නිසාද ධනවාදී ප්‍රතිපත්ති නිසා ද? කෙලින් උත්තරයක් දෙන්න.

      ----------
      මැද්දට පනින්න හිතුනා :P

      ආච්චිලා කිසි දවසක නාකි වෙයි. බැරි කාලයක් එයි. එතකොට ජිවත් වෙන්න මුදල් අවශ්‍යයයි කියා නොහිතල තරුණ කාලේ ආතල් එකේ හිටපු නිසා. ඕකට තව ධනවාදේ , සමජ්ජ වදේ අල්ලගෙන කෙල ගන්නේ මොකටද ?

      Delete
    10. සොහොන් තෝ වගේ සෙල්ෆ් ප්‍රොක්ලේම්ඩ් ට්‍රෝල් කෙනෙක් මේක විහිළුවට ඇහුවද මන්දා, ඒත් රිටයර්මන්ට් සහ වෙල්ෆෙයා පොලිසි කියන්නේ රටක ආර්තික ප්‍රතිපත්ති වලින් වියුක්ත දෙයක් නෙවෙයි.

      සිංගප්පූරුවෙ ඔය පොලිසි එකේ ජෙනරල් gist එක (මගේ වචනෙන්) "උඹල ගෙ ජීවිත කාලෙ දිග වුනා කියල ටැක්ස් වලින් උඹල බලා ගන්න ආණ්ඩුවට බෑ, ඒක නිසා නාකි වුනත් තව වැඩ කරපල්ලා - තමන් හිසට තම අතමය" කියන එක. මේ ප්‍රතිපත්තියට ආර්ථික ලේබල් එකක් තියනව නේ.

      Delete
    11. ඉන්දික, කෝ මම පෙන්නනකල් බල ඉන්නවා. බෑ වගේ නේද? දන්නෙ නැති මඟුල් වලට කට දාන ගියාම ඔහොම තමයි. මීට පස්සෙ වත් නොදන්න දේවල් වලට කට දාන්න එපා බං. ලජ්ජයි ඔහොම නෝන්ඩි වෙන්කොට.

      Delete
    12. @AnonymousAugust 27, 2014 at 8:20 PM,

      අසහනයෙන්ද? අමතන්න සුමිත්‍රයෝ.

      Delete
    13. අන්න එහෙම එන්නකෝ ඉන්දික වෙස් මූණු දා ගන්නෙ නැතුව. කෝ තාම මම බලාගෙන ඉන්නවා සිංගප්පූරුවෙ මහල් නිවාස අඩු මිළට දුන්නාය කියලා ඔප්පු කරන කල්. බෑ වගේ නේද? නොදන්න දේ ගැන කට නොදා හිටින් මචන් නිකං කිච වෙන්නෙ නැතුව.

      Delete
    14. අඩු මිලට කිව්වෙ කවුද බන් සාධාරන මිලට කියලයි කිව්වෙ. HDB කියන්නෙ වෙල්ෆෙයා ස්කීම් එකක් කියල දැන් පෙන්නුව නෙ. ගිනි ගනන් නම් කවුද වෙල්ෆෙයා කියල පිලි ගන්නෙ?

      මම බලාගෙන ඉන්නවා ඔබ මෙන්න මේ ටික ඔප්පු කරන කම්.
      // ස්ංගප්පූරුවෙ මහල් නිවාස සාධාරණ මිළකට දුන්නෙ නැහැ.//

      // සිංගප්පූරුවෙ මහල් නිවාස අඩු මිළට දුන්නාය කියලා ...... //
      කෝ පෙන්නන්න බලන්න "අඩු මිලට" කියපු තැන.

      ඔය ටික පෙන්නුවහම ආයෙ කතා කරමු. පිස්සො වෙනුවෙන් වෙලාව කන්න බෑ.

      Delete
    15. /සාධාරණ මිලට රජයේ ගෙවල් දීමේ ප්‍රතිපත්තිය ඒ රටේ මිනිසුන්ට ලොකු සහනයක් HDB සිස්ටම් එක නොතිබුනා නම්/

      කෝ ඕකෙ මේ ටික තියෙන තැන පෙන්වන්න, ඉන්දික.

      Delete
    16. නොදන්න මඟුල් කියවන්න ගියාම කිච වෙනවා මචං. මීට පස්සෙ වත් උඹ දන්න කොන්ටිටි සර්වේයින් ගැන කතා කරපන් නොදන්න මඟුල් නැතුව.

      Delete
  4. // මට කියක්වත් හම්බ වෙන්නේ නැහැ. එයා තනියම ඒ දුක දරාගෙන වැඩ කරගෙන යනවා.
    මං කොහේ හරි රට වටේ ගියාම අපේ සහෝදර සහෝදරියන් දෙන හාල් පොල් ටිකක් ගෙදරට ගෙනත් දානවා. ඒකෙන් වැඬේ හරියන්නේ නෑ. //

    මේ ටික කියෙව්වම මෝල්කාන්ත ගැන ඇත්තටම අනුකම්ප හිතෙනවා.

    මොකද මූ කෙසේ වෙතත් මෙහෙම යාලුවන්ගෙ උදව්වෙන් වේල ගැට ගහ ගන්නා පූර්නකාලීන ජෙප්පො ඉන්නව කියල මම පුද්ගලිකව දන්නවා. ඒත් මම හිතුවෙ මන්ත්‍රී සහෝදරවරුන්ට ඊට වඩා තත්ත්වයක් ඇති කියල.

    දැන් මේ "කීයක් වත් හම්බ වෙන්නෙ නෑ" කිව්වෙ ඉස්සර කිව්වෙ පක්ෂෙන් දීමනාවක් දෙනව කියල නේද? දැන් මේක ලාල්කාන්තගෙ ප්‍රශ්නයක් විතරද බිමල් රත්නායකල ගෙ තත්ත්වෙත් මේකම ද? මට නම් එහෙම ම හිතෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. උන්ටත් ණය දීපන් අභීතට දුන්න වගේ.

      Delete
  5. travel lightly, you’re freer, less burdened, less tired - මේක ජීවිතයටත් අදාලයි
    ගැටලුව ඔබට කොතරම් අඩුවෙන් සම්පත් තිබනවාද යන්න නොවෙයි, ඒවා ඔබට කෙතරම් ප්‍රයෝජනවත්ද යන්නයි.

    Living Simple - අද ලෝකය සොයා යන දෙයක්. සරලව ජීවත්වීම හා එයට පුරුදුවිම ඉතා සතුටුදායක ජීවිතයකට අඩිතාලමක්.

    ReplyDelete
  6. අන්න පැරා කාලෙකට පස්සේ ධනේශ්වරය පතුරු ගහලා සමාජවාදය ගැන ලියලා... අපට අලීම තන්තෝසයි... ඔන්න ඔහොම එමුකෝ පැරා... සමාජවාදය දිනේවා! ධනවාදය භ්ංගවේවා!

    ReplyDelete
  7. විමල් වීරවංශට නම් ජවිපෙ ඉන්න කාලෙත් බත්තරමුල්ලේ ගෙයක් කුලියට අරගෙන රුපිය 70,000 ක් මාසෙට කුලිය ගෙව්වා පක්ෂයෙන්. ලාල්කාන්තට එහෙම නොලැබෙන්නේ ලාල්කාන්ත වීරවංශ වගේ පොරක් නොවෙන නිසාද නැත්නම් ඒ වගේ සල්ලි බලාපොරොත්තු වෙන්න කුහකයෙක් නොවන නිසාද?

    ReplyDelete
    Replies
    1. කුහකයෝ කියන්නේ තමන්ට නැති නිසා අනිත් උන්ට ලැබෙන එක වැරදියි කියල හිතන අයට නේද? තමන්ට යමක් බලාපොරොත්තුවෙන එක කුහක කමක් වෙන්නේ කොහොමද?

      Delete
  8. පැරා,
    වැදගත් අදහසක් ඔබ ඉදිරිපත් කරලා තියෙනවා.මේ කාරණය නොලියා ඉන්නට ඉඩ තිබුනත් ඔබ එය හිතාමතාම ලිවීමෙන් ඔබගේ අවංක කම පෙනෙනවා.මට සිහියට එන්නෙ තමන් සිතු මතය හරි යයි සිතු ඔබ වැනි මගේ සමහර අවංක මිතුරන් 1971දි සටනේදී දිවි පිදු ආකාරය.
    මට වැටහෙන අන්දමට එනම් මා මර්ක්ස්ගේ දර්ශනය කියවා ඇති අන්දමට සමාජවාදයේ අවසන් ඉලක්කය රජයක් නැති සමාජයකි. එය සමුපකාර මත පදනම්වූ එය බහු භාණ්ඩික නොවන සරල සමාජයකි. එයට එක් වරම යන්න බැහැ පළමුව ධනවාදයේ සිට කොමිනියුනිස්ට් වාදය කරා යායුතුය. රුසියාව කලේ කොමියුනිස්ට් වාදයට යාම විතරයි.එතැනදී මාක්ස් නොසිතු ආකාරයෙන් නිලධාරි වාදය ඉස්මතුවී අවසානයේදී කොමිනුනිස්ට් වාදය බිඳ වැටුනා. ඉස්මතුවිය යුත්තේ මහජන මතය මිස නිලධාරි මතය නොවනබව නොදැනීම රුසියාවේ සමාජවාදය ඇති නොවීමට මුලික හේතුවයි.
    අපේ රටේද 1970 සමගි පෙරමුණ රජයේ වාමාංශික කොටස් කොමියුනිස්ට් වාදයට යන්න මුල පිරුවේ ජනතා කොමිටි සහ පලදා වර්ධන කොමිටි සහ විවිධ සේවා සමුපකාර සමිති වර්ධනය කිරීමෙන්ය. නමුත් දුෂණය සහ නිලධාරි වාදය,සහ දැක්මක් නැති රාජ්‍ය නිලධාරින් මේ සියලු ආයතන ජනතාවට එපා කෙරෙව්වා. අවසානයේදී සමාජවාදය යන වචනය අපේ රටේ කොලකැල්ලකට පමණක් සීමාවුණු වචනයක් උනා.
    අපේ රටේ පමණක් නොව අසල්වැසි ඉන්දියාවේදීද උනේ එකයි.ශ්‍රී නේරු 5 ස් අවුරුදු සැලසුම් 8 ක් ඒක දිගටම ක්‍රියාත්මක කලේ අවසානය්දී සමුපකාර සමාජයක් බිහි කිරීමේ එකම පරමාර්තයෙන්ය. එහෙත් නිලධාරි වාදය නිසා එය ඉටු නොවුනත් සාර්ථක සමුපකාර ව්‍යාපාරයක් ඉන්දියාවේ තවමත් තිබෙනවා.

    ලාල් කාන්ත මහතාගේ ගැටලුවට පැරා කියන විදියට වැඩිපුර වැඩ කිරීමෙන් සහ පරිත්‍යාගයෙන් උත්තර ලැබෙනවා කියල මම නම් හිතන්නේ නැහැ.ඒකට හොඳම නිදසුන මුල් යුගයේ පළාත් සභා මන්ත්‍රී වරයෙකුවූ ඔවිටිපාන ජයතිලක ජයතිලක මහතාගේ චරිතය පෙන්වන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔවිටිපාන ජයතිලක ජයතිලක මහතා ගැන විස්තර කියන්න. ඔහු ගැන දන්නේ නෑ.

      Delete
    2. උන් හින්දා මේ රටේ මිනිස්සුන්ට 'සමාජවාදය' කියන වචනය එපා වුණා. සමරසේකර අංකල් වගේ මිනිස්සු නිසා මේ රටේ මිනිස්සුන්ට 'දේශප්‍රේමය', බුද්ධාගම' කියන වචන එපා වෙනවා.

      Delete
  9. පව් අප්පා මේ මිනිස්සු.. බලාගෙන ගියාම විමල් සාධාරණයි නේ..

    ReplyDelete
    Replies
    1. ඌ හරි. නියම ධනවාදියෙක්!

      Delete
    2. කීප දෙනෙක් කියලා තියෙනවා වගේ ලාල්කාන්තගෙත් ගමන් මග වෙනස් වෙයිද දන්නේ නෑ..

      Delete
    3. @Maathalan
      //කීප දෙනෙක් කියලා තියෙනවා වගේ ලාල්කාන්තගෙත් ගමන් මග වෙනස් වෙයිද දන්නේ නෑ..//
      මටත් ඔහොම සැකයක් තියනවා. අනික මම අහල තියනවා, පක්ෂෙ වැඩ එපාවෙලා ලාල්කාන්ත මාස 06ක් විතර සියල්ල අතහැරලා ගෙදරට වෙලා ඉඳිද්දි පක්ෂෙන් පොරව ආපහු අඬගහගන ආවයි කියලා. ඇත්ත නැත්ත නම් හරියටම දන්නෙ නෑ.
      අනික මගෙ හොඳම යාළුවෙක් වෙච්ච ජවිපෙ පාක්ෂිකයෙක් (පූර්ණ කාලීන කෙනෙක් නොවේ) මාත් එක්ක කියලා තියනවා, තමන්ගෙ සාමාජිකයන් පූර්ණකාලීනයන් කරනවනම් ඒකට සාධාරණ වැටුපක් ගෙවන්නත්, එහෙම නැත්නම් ඒ අයට තමන්ගෙ වෘත්තියේ යෙදෙන අතරතුර පක්ෂයේ කටයුතු කරන්නත් අවස්ථාව දිය යුතුයි කියලා. මම හිතන්නෙ දැන් ලාල්කාන්තගෙ වයිෆ් කියන්නෙත් ඒකම නේද?

      Delete
  10. මං හිතන්නේ එක වරදක් තමයි ටියුෂන්වලට රුපියල් තිස් දාහක් මාසයකට වැය කිරීම. ඒ කියන්නේ එක විෂයකට දහ දාහක්. මොන අපරාදයක්ද?

    ඇත්තටම ඔය කියන තරම් සල්ලි යන්නේ එක විෂයකට පන්ති දෙක තුනකට යනවාද? මට නම් විශ්වාස කරන්නත් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. එකනේ පැරා කිව්වේ උපුල්ගේ කුකුල් කූඩුවට යන්න එපා කියල. ටියුෂන් ගිහින් මාස්ටර්ව පෝසත් කරන්නේ නැතුව පැරා කියන විදියට ළමයට ඉගෙන ගන්න කියන්න ලාල් සහෝදරයා.

      Delete
    2. රජයේ ගුරුවරයෙකුගේ පඩියත් ඇත්තටම රුපියල් 30,000 ක් වගේ ගානක් නේද?

      Delete
    3. අවුරුදු 20ක්, 25ක් විතර සේවය කර තිබෙන පුහුණු ගුරුවරයකුට එවැනි වැටුපක් ලැබෙනවා.

      අවුරුදු 15ක්, 20ක් විතර සේවය කර ඇති පුහුණු උපාධි ගුරුවරයකුට එවැනි වැටුපක් ලැබෙනවා

      Delete
    4. මා අසා තිබෙන පරිදි එක් විද්‍යා ගුරුවරයෙක් උගන්වන්නේ තට්ටු කීපයක තිබෙන ශාලා කීපයකටයි. ඔහු උගන්වන්නේ වීඩියෝ තිරයකින්. ළමයින්ගේ ප්‍රතිචාර බලන්නේ මොනිටර්වලින්.

      මෙවැනි ඉගැන්වීමක් සාර්ථක නම්, අධ්‍යාපන මනෝ විද්‍යාව බොරු.

      Delete
    5. ඇයි මහත්තයෝ ටියුෂන් යන්නේ? ලංකා ගුරු සංගමේ සාමාජිකයින්ට කියනවාකෝ බැහැලා උගන්වන්න කියලා නික්න අයිස් ගහලා පින්පඩි ගන්නේ නැතිව. පැරාත් ඕකේ සාමාජිකයෙක් නේද. අවුරුද්දකට කීදෙනෙක් ඉංග්‍රිසි ගොඩ යනවාද?
      .

      Delete
    6. අයියෝ පැරා . 30000 කියන්නේ ඩොලර් 250 යි නේද ?
      කකාට දවසකට හම්බවෙනවා ඔයිට වඩා නිකං ඔෆිස් එකේ තේ බිබී මීටින් වල ඔලුව වන වන හිටියත්.
      මොකද කියන්නේ පැරා .. සමාජවාදේ දේශනා කර කර වයිෆ් ගෙං යැපෙනවට වඩා හොඳ නැද්ද ඔසී වල ජොබ් එකක් කරන්න යන එක ??

      Delete
    7. කකා දවසකට ඩොලර් 865ක් හොයනවා... අන්න සල්ලි...

      Delete
  11. "ඇත්ත! ලාල්කාන්ත වැනි ජවිපෙ ක්‍රියාකාරීන්ට යම් සහනයක් පක්ෂයෙන් ලැබියයුතුයි."

    මා දන්නා තරමින් නම් ලාල්කාන්ත ඇතුළු ජවිපෙ නායකයන් කිසි කෙනෙකුට කන බොන අඳින පළඳින එක හා ගමනාගමනය පිළිබඳප්‍රශ්නයක් නෑ.මොකද එයාලගෙ වෘත්තීය සමිති සාමාජිකයෝ තමන් වෙනුවෙන් සටන් කරන්න කියල හැම මාසෙම තමන්ගෙ සොච්චම් පඩියෙන් ගානක් කපල එවනවා. ලාල්කාන්ත ලා ඒ සල්ලි වලින් බත්තරමුල්ලෙ තියෙන, ධම්මික පෙරේරා කියන නිර්ධනයා ගේ tile අල්ලපු තට්ටු පහේ මූලස්ථානයට වෙලා සාමාන්‍යයෙන් මේ රටේ මධ්‍යම පන්තිකයො කනබොන අඳිනපළඳින විදිහට ජීවත් වෙනවා. ඒ අතර අවුරුද්දට එකක් දෙකක් උද්ඝෝෂන වැඩ වර්ජන එහෙම කරනවා. එයාල ඉන්නවා කියල දැනෙන්න. සාමාන්‍යයෙන් ඔය කිසිම නායකයෙක් පාරෙ බස් එකක යන්නෙ නෑ. හැමෝටම වෙනවෙනම පාවිච්චියට වාහන තියෙනවා. අනෙක එයාම කියන විදිහට එයාගෙ බිරිඳ ගුරුවරියක් ඉතින් තනි රස්සාවකින් ජීවත් වෙන පවුල් කොච්චර මේ රටේ ඉන්නව ද?
    ඔතන තියෙන හැබෑ ප්‍රශ්නෙ ඹ්ක නෙවෙයි. ජවිපෙ බිම් මට්ටමේ පූර්ණ කාලිකයින්ට ජීවත් වෙන්න බොහෝ තැන්වල කිසිම ක්‍රමයක් නෑ. ‍අඩුම තරමෙ තේ එකක් බොන්නවත් සල්ලි නෑ. බොහෝ විට බස් එකේ යන්නෙ හොරට. ගෙවල් වල ප්‍රශ්ණ එමට. හැබැයි කැපවීමෙන් වැඩ.
    නායකයො වෙනුවෙන් පෙනී සිටින්නට පැරා, රාජ් ඇතුළු බොහෝ දෙනෙක් ඉන්නවා. දැන් ඔය නායකයෙක් අසනීප වුණොත් තමන්ගෙ සම්බන්ධකම් තියෙන වෛද්‍යවරු හරහා ඉහලම මට්ටමේ ප්‍රතිකාර නොමිලේ ම ගන්න පුළුවන්(අනුරට ලැබුණු සැලකිලි දැක්කනෙ).ඒත් බිම්මට්ටමේ ඉන්න සාමාජිකයින්ට ඒ කිසිවක් නෑ. ඒ අය තමයි මේ නායකයො කර තියාගෙන යන්නෙ(අනෙක් පක්ෂ වල වගේම). ලාල්කාන්ත කියන්නෙ විමල් ගිය වෙලාවේ පක්ෂෙ දාල ගෙදර ගිහින් හිටපු කෙනෙක්. ඒ මොනා කළත් "කියන කථා" යි "වැට නැති කට" කියන ඒවගෙ යන කථා දෙකතුනත් කළාම ඔක්කොම හරි. මිනිස්සු හිතන්නෙ මාර පොරවල් කියල. දැන් දැන් ජවිපෙ නව නායක තුමා යටතේ බෝහෝ ප්‍රතිසංස්කරණ කරගෙන යනවා. ඒවා හැබැයි අනෙක් පක්ෂ ඒ කාලෙ ඉඳන් කරපුවා(මනාප ඉල්ලීම වගේ).මට හිතෙන්නෙ දැන් මේ ලාල්කාන්තගෙ කටින් පනින්නෙ ඊළඟට එයාලට ඕන කරල තියෙන දේ වෙන්න ඇති. ඒකට තල්ලුව දෙන්න පැරාලත් ඉන්නවනෙ.
    අපිට කියන්න තියෙන්නෙ මෙච්චරයි මේ රටේ කිසිම රැකියාවක් නැති ළමයි ටියුෂන් යවන්න තියා එක වේලක්වත් කන්න නැති පවුල් ඕන තරම් ඉන්නවා. ඒ නිසා ඔයාගෙ ඔය බයිලෙ අපට නම් කිසිම අමුත්තක් නෑ. රෝහණ සහෝදරයලා ඔය පක්ෂෙ හැදු වෙ ඒ මින්ස්සු වෙනුවෙන් මිසක් ඔයාලට පඩි ගෙවන්න නෙවෙයි. ඔයාට කවුරුත් කියන්නෙ නෑනෙ ඕක කරන්නම කියලා බැරිනම් දාල යන්න. ගිහිල්ල රස්සාවක් කරන්න. නිකම් පොතක් එළි දක්වන තැනකට ගිහිල්ල මොනව හරි කියන්න ඕන නිසා ගැලපෙන්නෙ නැති කථ‍ා කියන්නෙ නැතිව. ආදර්ශ ගන්නවනම් ඉතිහාසයට ඒක්වුණු අම්මලා ඕන තරම් ඉන්නවා. ඒක මතක තියා ගන්න.
    පැරාටත් වචනයක් කියන්න ඕන. මේ බ්ලොග් එක මම ඉතා කැමැත්තෙන් බලන එකක්. ඒ බොහෝ දේවල් එක්ක මාත් එකඟයි. හැබැයි පැරෝ ඔයාට හිටපු ගමන් line මාරු වෙන ලෙඩක් තියෙන බව මම දැකල තියෙනවා. ඒ ගැන මගේ නිරීක්ෂන වෙනම ඉදිරිපත් කරන්න ඕන. මෙතනදිත් ඔයාට වෙලා තියෙන්නෙ ඒක. ඇත්තටම ඔයා කරන්න ඕන ජවිපෙ නායකයින්ට පඩි ගෙවන්න යෝජනා කරන එක නෙවෙයි. රටේ තත්වෙ නොදැන වගේ ලාල්කාන්තලා මේ කියන කථා වල තියෙන විසුළු සහගත බව පෙන්වා දීමයි. ඇයි ඔයාටත් ලාල් කාන්ත මාර පොරක් ද? එහෙම හිතෙනවනම් ඔය චරිතෙ ගැන ටිකක් ගැඹුරට හොයල බලන්න. ඒ විතරක් නෙවෙයි ඔය නායකයො ඔක්කොම ගැන හොයල බලන්න. ජවිපෙට පුළුවන්නම් කියන්න රටට සමාජවාදෙ දෙන්න කලින් එයාලපග පක්ෂෙ ඇතුළට සමාජව‍ාදෙ දෙන්න කියල.

    ReplyDelete
    Replies
    1. line මාරු වෙනවා කියලම හිතන්න එපා. සාමාන්‍ය මිනිස්සුන්ට එක එක වෙලාවට එක එක දේවල් හිතෙනවා. ඒවා ඒ විදියටම ලියන කෙනෙක් හින්දා පැරා කලින් දවසක මෙහෙම කිව්වා කියල අනිත් අයට පේනවා. ලියන්නේ නැති කෙනෙක්ගේ මේක පේන්නේ නැති එක විතරයි වෙනස. උදාහරණයක් විදියට පැරා එක දවසක් බ්ලොග් එකේ ලිව්වා මතුගම පොදු වැසිකිලි නෑ කියලා. මතුගමට ගිය වෙලාවක අවශ්‍යතාවයක් ඇතිවෙච්ච ඕන කෙනෙක්ට ඕක හිතෙනවනේ. ඊට පස්සේ දවසක කොල්ලෝ දෙන්නෙක් රබර් වත්තක් ගාව පාර අයිනේ ලැජ්ජ නැතුව චූ කරනවා කියල ලිව්වා. පාර අයිනේ කෙනෙක් චූ කරනවා දකින ඕන කෙනෙකුට ඕකත් හිතෙන්න පුළුවන්නේ. නමුත් මේ දෙකම බ්ලොග් එකේ ලිව්වම අපිට හිතෙනවා ලයින් මාරුවෙලා කියල. මොකද මතුගම පොදු වැසිකිලි නැත්නම් රබර් වත්තක් ගාව චූ කරන්නේ නැතුව තද කරගෙන යන්න කියලද මේ යකා මේ කියන්නේ කියල හිතෙන නිසා.

      මතවාදීව ගත්තොත් නම් පැරාගේ දර්ශනය මෙලෝ රහක් නෑ. ලියන දෙයක් වෙනුවෙන් උත්තර දෙන්නේ බොහොම කලාතුරකින්. අනුගාමිකයෝ නෑ. සහෝදරයෙක් විදියට කවුරුත් මාව පිළිගන්නෙත් නෑ කියල පැරාටම ලියන්න වෙන්නේ ඒකයි.

      Delete
    2. සම්පූර්ණ ඇත්ත මචෝ. ඕකට තමයි සමාජවාදය කියන්නෙ. රුසියාවෙ, චීනෙ හැමතැනම වුනේ ඕකයි. නායකයො සුර සැප විඳිනවා, ගෝලයෝ කඹුරනවා. එච්චරයි. ඔන්න සමානතා සමාජය!

      Delete
    3. පිළිතුරක් බලාපොරොත්තුවෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මම සාමාන්‍යෙයන් පිළිතුරු නොදී නැහැ. මම මේ සංවාදවලදී නිතර මැදිහත් නො වන්නේ මම මගේ මතය ලිපියේ කියා තිබෙන නිසායි.

      මම මතු කරන දෙය මෙයයි. ශාස්තෘෘවරුන් හෝ අනුගාමිකයන් නැති සහෝදරයන් සිටින ලෝකයක් කියන දෙය තවමත් මේ රටට ආගන්තුකයි. ඔබටත් එහෙමයි. මට කරන්න දෙයක් නැහැ. මම ඔබේ ශාස්තෘෘවරයාත් නෙමෙයි. අනුගාමිකයාත් නෙමෙයි. ඔබ මා සහෝදරයකු ලෙස පිළි ගන්නේ නැති එක මගේ ගැටලුවකට වඩා ඔබේ ගැටලුවක්. මට පෙන්නන්නට අවශ්‍ය එයයි.

      Delete
    4. හරි මේ රටට ආගන්තුකයි කියමුකෝ. දැන් කොහේද පැරා ඔය වගේ සමාජ ආගන්තුක නොවෙන්නෙ? කියන්නකෝ තැන් දෙක තුනක් අපටත් ගිහිලා බලන්න.

      Delete
    5. ජ.වි.පෙ හොදයි කියන දේවල් හොදයි,ඉන්න සම හරක් නිසා ඒ පක්ෂය විනාශ වෙනවා,මම දන්නවා අර ගලහිටියාව සෙන්ට්‍රල් එකට ගිය පොරටොක් බුරුවෙක් ඌ දැන් පෙරටු ගාමී පුදුම ඔලුවක් තිබුනේ,
      මම පොතක් ගන්න බත්තරමුල්ලේ මුලස්තානයට ගියා එතන හිට්යේ මම ජ.වි.පේ ඉන්නවයි හිතන් හිටපු සුහදශීලී මිනිස්සු නෙමෙයි.මම ආදරය කරපු ජ.වි.පෙ එතන නැහැ.ඒ වුනාට අපේ ගමේ මහතුන් අය්යා,ගුනපාල මාමා ඔහොම කුහක නැහැ,ඔය මුලස්තානේ ඉන්න අයට හිනහ වෙන්නව්ත් උගන්වන්න,විජිත් හේරත් හිටියා එයා නම් මුන බලල හිනා වුනා ,මම ප්‍රතිපත්ති නිස තවමා ජවිපෙට කැමතියි,ඒත් ඔහොම මිනිස්සු දිනා ගන්න බැහැ ඔය ඉස්සරහට නුගත් මොඩ හරක් දම්න්න එපා,සිරිකොතෙ ඔයිට වඩා පිලි ගැනීමක් මිනිසුන්ට තියනවා.

      Delete
  12. පැරා "සමාජවාදය" කියන වදන පාවිච්චි කරන්නේ ඉංග්‍රීසියෙන් අපි කවුරුත් දන්න living within means කියන යෙදුමේ අර්ථයෙන් නම්, පැරාගේ ඒ වදන් භාවිතය නිවැරදි නෑ. සමාජවාදය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. සාමාන්‍යයෙන් සමාජවාදය කියන්නේ රටක ආර්ථිකය සමූපකාර ක්‍රමයක් මඟින් පාලනය විය යුතු ය කියන දේශපාලන දර්ශනය යි.

    ReplyDelete
    Replies
    1. නැහැ. සමාජවාදය යන්නෙන් මම අදහස් කරන්නේ විකල්ප ජීවිතයක්. එය යහපත් සමාජයක් පිළිබඳ සංවාදය එක්ක සම්බන්ධයි.

      සමාජවාදය කියා සදා නිම කළ සංකල්පයක් ඇතැයි යන්න මම පිළිගන්නේ නැහැ. එය මිනිසුන් විසින් ගොඩනැගිය යුතු දෙයක් මිස පොත්පත්වල ලියා ඇති ආකාරයට අනුකරණය කළ යුතු දෙයක් නෙමෙයි.

      කෙසේ වෙතත් සූරාකෑම අහෝසි කිරීම කියන එක මිනිස් සමාජයේ උන්නතිය සඳහා අවශ්‍යයි.

      Delete
    2. සමාජවාදය = විකල්ප ජීවිතයක් කියන්නෙ අන්ඩර දෙමලයක්නෙ පැරා. 'සමාජවාදය' කියන එකට නිශ්චිත අර්ථ දැක්වීමක් තියෙනවා අර උඩ ඇනෝ කියලා තියෙනව වගේ. ඔයා කියන්නෙ ඒකට වෙනස් දෙයක් නම් අළුත් වචනයක් හදා ගන්න 'පැරාවදය' හරි මොකක් හරි කියලා. වචනයක් ජන්ප්‍රිය වෙච්චි පලියට ඒකට වෙනත් තේරුම් දෙන්න යන්න එපා.

      Delete
    3. /කෙසේ වෙතත් සූරාකෑම අහෝසි කිරීම කියන එක මිනිස් සමාජයේ උන්නතිය සඳහා අවශ්‍යයි. /

      කරුණාකරලා ඔයා 'සූරාකෑම' කියන්නෙ මොකද්ද කියලා අර්ථ දක්වන්න. මට පේන්නේ ඔයා මේ වචනෙ තේරුම වත් දන්නෙ නැහැ. (මාක්ස්වාදී අර්ථයෙන්)

      Delete
    4. ලෝකයේ කිසිම භාෂාවක කිසිම වචනයකට පරම අර්ථයක් නැහැ. එය කාලය හා අවකාශය තුළ සාපේක්ෂව අරුත් ගැන්වෙන දෙයක්. අපි නිකම් සරළ වචනයක් අරගෙන බලමු. හුඟ කියන වචනය හංස සංදේශය ලියැවුණු යුගයේ අදහස් කළේ ස්වල්පය යන්නයි. ඒ නිසයි ‘ඉඟ සඟ ගත හැකි මිටින‘ කිව්වේ. දැන් එහි අර්ථය සපුරා පරස්පරයයි.

      භාෂාව කියන්නේ මිනිසාගේ නිර්මානයක් මිස මිනිසා භාෂාවේ නිර්මානයක් නෙමෙයි. සංකල්පත්, භාෂාවත් යන දෙක ම මිනිසා වෙනස් කරනවා.

      අනෙකුත් සියලු සංකල්පයන්ට වගේ ම සමාජවාදයටත් පරම අර්ථකථනයක් නැහැ. ඔබට යම් අර්ථකථනයක් ඇති. එය ඔබේ හෝ වෙනත් කෙනෙකුගේ අර්ථකථනයක්. සමහර විට යම් පිරිසකගේ අර්ථකථනයක්. ඔබ එය කියන්න. මම කියන්නේ මගේ අර්ථකථනය. එය පිළිගන්න අවශ්‍ය නැහැ. අපි සංවාද කරමු.

      මූලධර්ම පවා වෙනස් වෙන ලෝකයක භාෂාවට කොහේද නිශ්චිත අර්ථකථන.

      මම උඩ පැන පැන මම මාක්ස්වාදියෙක් ය කියන්නේ නැහැ. ඒත්, මම කියන කරුණ මාක්ස්වාදී මූලධර්මවලට එකඟයි.

      Delete
    5. සූරාකෑම කියන්නෙත් තවත් සංකල්පයක්. එය මෙහෙම ගන්න පුළුවන්. කම්කරුවන්ගේ අතිරික්ත ශ්‍රමයේ ඵලය එම කම්කරුවන්ගේ කැමැත්තෙන් තොරව, ඔවුන්ට ඍජුව හෝ වක්‍රව හෝ ආපසු නො ලැබෙන පරිදි, බලහත්කාරයෙන් හෝ වංචනික ලෙස හෝ, පුද්ගලයන් හෝ පංති හෝ වෙනත් සමාජ කණ්ඩායම් හෝ විසින් අත්පත් කර ගැනීම.

      ඔබ කට පාඩම් කර ගත් විවිධ අර්ථකථන තිබෙනවා ඇති. වැදගත් වන්නේ කට පාඩම් කර ගැනීම නොවෙයි. යමක් තේරුම් ගැනීමයි.

      මගේ අර්ථකථනය මගේ තේරුම් ගැනීම මත පදනම් වූ දෙයක්. හරි වැරදි දාන්න එන්න එපා. සංවාදයක් කියන්නේ ඇනෝ ඇවිත් හරි වැරදි දාන එක නෙමෙයි.

      අපි ප්‍රවර්ධනය කරන භාවිතාවට මේ කාරණාත් අදාළයි.

      Delete
    6. පැරා මෙයින් පෙන්වන්නේ 'සූරාකෑම' කියන වචනයේ තේරුම වත් නොදන්නා බවයි. අනේ මෙයා දන්න සමාජවාදය!

      Delete
    7. ඔයා දන්න මාක්ස්වාදයකුත් නැහැ, සමාජවාදයකුත් නැහැ. නිකං බොරුවට කටට ආ පලියට විකාර කියවන්න එපා පැරා. වචනයක් භාවිතා කරන්න පෙර ඒවායේ තේරුම් ඉගෙන ගන්න. අලියෙක්ට පියාපත් තියෙනවා කියලා ඊට පස්සෙ පියාපත් කියන්නෙ කකුල් වෙන්න බැරිද කියලා අහනවා වගේ වැඩක් ඔයා කරන්නෙ.

      Delete
    8. මෙ උඩ ඇනෝගෙ නැට්ට ටිකක් දැකල පුරුදුයි වගේ. ලඟදි පරණ පෝස්ට් එකක් මකල තිබ්බෙ මෙයාගෙ බ්ලොග් එකේ නේද?

      Delete
    9. AnonymousAugust 27, 2014 at 8:24 PM
      මචන් ඇනෝ, එහෙනම් උඹ දන්න සූරාකෑම මොකද්ද කියල පොඩ්ඩක් විස්තර කරපන් මචන්. මම දැනගෙන හිටියෙත් පැරා කියනව වගේ දෙයක්.

      Delete
    10. http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94_%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA

      Delete

    11. @පැරා
      "අනෙකුත් සියලු සංකල්පයන්ට වගේ ම සමාජවාදයටත් පරම අර්ථකථනයක් නැහැ. ඔබට යම් අර්ථකථනයක් ඇති. එය ඔබේ හෝ වෙනත් කෙනෙකුගේ අර්ථකථනයක්. සමහර විට යම් පිරිසකගේ අර්ථකථනයක්. ඔබ එය කියන්න. මම කියන්නේ මගේ අර්ථකථනය. එය පිළිගන්න අවශ්‍ය නැහැ. අපි සංවාද කරමු."

      සම්මුති සත්‍ය කියා දෙයක් ලොව තියෙනවා.එබැවින් ඔබට අවශ්‍ය අන්දමින් වචන වල අරුත් වෙනස් කරන්න බැහැ . නිකම් ලෝකෙට පෙනෙන්න අකිරිය වාදියෙක් වෙන්න යන්න එපා.
      සමරසේකර

      Delete
    12. හරි. ඔබ ඔය කියන සම්මුති සත්‍යය නිශ්චිත මූලාශ්‍ර සහිතව පෙන්වා දෙන්න. ඔබේ අදහස් ලියන්න එපා.

      Delete
    13. පැරා,
      එක මුලාශ්‍රයක් දැනට දෙන්නම්. ඒක මදි නම් කියන්න.ඔබ කියවන්න ඕනෑ "මිලින්ද ප්‍රශ්නය" පොතයි. ඒක internet එකේ තියෙනවා.

      ඔබට කොන්දේසියක් තියෙනවා.
      1. බන පොතක් හැටියට මේ පොත කියවන්න එපා.
      2.මේ මුල් පොත පාලියෙන් ලියල තියෙන්නෙ කටපාඩමින් ඉදිරියට ගෙනයාමටයි. එබැවින් කටපාඩම් කිරීම පහසු විමට ලියල තියෙන ශෛලියට අතරමං නොවන්න.
      3.ඔබගේ දෘෂ්ටිය වෙනස් නොකර ගන්න. ඔබව වෙනස් කිරීමට මට උවමනාවක් නැත.

      සමරසේකර

      Delete
    14. Mr.Perakum you are in a critical condition. you need help.

      Delete
    15. Do you need my account number?

      Delete
  13. මෝඩරේෂන් ද ? Test

    ReplyDelete
    Replies
    1. ඉවරයි වගේ ! Test

      Delete
  14. පැරාගේ ලිපියෙන් වාක්‍යයක් උපුටා ගැනීමට අවසර.................

    """"හැමෝම කරන පළියට ගම දමා කොළඹ ඒම, ළමයින් දොස්තරලා කරන්නට වලි කෑම, පිටරට පදිංචියට යාම, අති සුඛෝපභෝගී ගෙවල් හැදීම, ලොකු කාර් ගැනීම, අලුත් අලුත් භාණ්ඩ මිළ දී ගැනීම, ලොකු හෝටල්වලින් කෑම, ට්‍රිප් යාම, ලොකු මඟුල්, පාටි, ණය ආදියෙන් නිරූපිත පාරිභෝජනවාදී ජීවිතය වෙනුවට විකල්ප ජීවිත ප්‍රවර්ධනය කිරීම සමාජවාදීන්ගේ වගකීමකි.""""

    ධනවාදී අර්ථ ක්‍රමයක් ක්‍රියාත්මක වන බටහිර යුරෝපයේ අති බහුතරයක් මිනිසුන්ගේ ජීවන රටාව මෙන්න:

    (1) ඔවුහු ගම දමා නගරයට නොපැමිණෙති. එසේ කළොත් කරන්නේ එසේ කිරීමට තද බල අවශ්‍යතාවක් ඇති වුව හොත් පමණි.
    (2) ඔවුහු ළමයින් දොස්තරලා කිරීමට වලි නොකති. ඇත්ත වශයෙන් ම දොස්තරකම එහි ඉතා භාරදූර සහ වගකීම් විශාල ප්‍රමාණයක් ඇති රැකියාවක් නිසා පාසල් හැර යන්නන්ට එය එතරම් ආකර්ශනීය රැකියාවක් නොවේ.
    (3) ඔවුහු පිටරට පදිංචියට නොයති.
    (4) එහි කාගෙත් නිවාස එකම තත්ත්වයක වාගේ පවතී (හරියට ම ලංකාවේ 1960 ගණන්වල කොළඹ අවට නගරවල ඉදි වුණු එකකට එකක් විශාල නොවූ නිවාස වැනි ය ).
    (5) ඔවුන් හට ලොකු හෝටල්වලින් කෑම ගැනීම කල්පනාවට එන්නේවත් නැත.
    (6) අධික බදු නැතිකමින් කාර්වල මිළ දැරිය හැකි නිසා තමුන්ගේ අවශ්‍යතාවට අනුකූලව සෑම කෙනෙක් ම කාර් එකකට හිමිකම් කිය යි.
    (7) බටහිර යුරෝපයේ මඟුල් ගෙදරකට ආරාධිතයන් 50 දෙනෙක් සහභාගී වුවහොත්, එය සැළකෙන්නේ විශාල මඟුල් ගෙයක් ලෙස ය. අනික එහි කිසිම කෙනෙක් නිවාඩු දමා මඟුල් උත්සවවලට සහභාගී නොවෙති. එම නිසා ජෝඩුවලට විවාහ වීමට සිදු වනුයේ සෙනසුරාදා නැතිනම් ඉරිදා දිනවල ය. එසේ නොකළ හොත් අමුත්තන්ගේ සහභාගිත්වයෙන් තොරව ය මඟුල් කන්න සිදු වන්නේ.
    (8) අලුත් අලුත් භාණ්ඩ මිළ දී ගැනීම නොකරනවා නොවේ; දරා ගත හැකි පරිදි ය.
    (9) පිටරට ට්‍රිප් යෑම නම් ඔවුහු නොවරදවා ම කරති. එහෙත් ඒ සඳහා අවුරුද්ද පුරා ම මුදල් එකතු කර, ඉතිරි කර තබා ගනිති.

    දැන් මේ සියල්ල ම බටහිර යුරෝපයේ ධනවාදී රටවල ජීවත්වන්නන්ගේ ජීවන රටාව යි. මෙය ධනවාදී/සමාජවාදී චින්තනයක් ද, එසේත් නැත්නම් බටහිර/නැඟෙනහිර ආකල්පවල වෙනසක් ද?

    ReplyDelete
    Replies
    1. ඔබේ උදාහරණ සියලු බටහිර යුරෝපීය රටවලදී එකම ලෙස ක්‍රියාවේ නොයදේ. මා සිතන්නේ ඔබ අදහස් කරන්නේ ස්කෑන්ඩිනේවියානු රටවල් වියයුතුයි? ඔය පුරුදු ඔවුන්ගේ සංස්කෘති හා බැදුණුදේවල් වෙයි.තවදෙයක් ස්කෑන්ඩිනේවියානු රටවල ආර්ථිකය ධන්වවාදී අර්ථක්‍රමයකට වඩා ආර්ථිකයට රාජ්‍යබලපෑම වැඩි සමාජවාදී ආර්ථිකයකට කිට්ටුයි. ඉහත රටවල මිනිසුන් තම රට හදුන්වා ගන්නේ 'සමාජවාදී' රටක් ලෙස

      Delete
    2. තව දෙයක් ඔවුන් ( ස්කැන්ඩිනෙවියානුවන්) ඇමරිකන් අධිපරිභෝජන වාදී ජිවන රටාව හා ආහාර රටාව දෙස බලන්නෙත් සමච්චලයෙන් ( විශේෂයෙන් වැඩිහිටියන්).

      Delete
    3. මගේ උදාහරණ මහා බ්‍රිතාන්‍යයට අදාළ නොවේ. ස්කැන්ඩිනේවියානු සහ මධ්‍යම යුරෝපීය රටවල (එනම් ධනවත් ම යුරෝපීය රටවල) ජීවන රටාව තමා මා ඔය සඳහන් කර ඇත්තේ.

      """"ඔවුන් (ස්කැන්ඩිනෙවියානුවන්) ඇමරිකන් අධිපරිභෝජන වාදී ජිවන රටාව හා ආහාර රටාව දෙස බලන්නෙත් සමච්චලයෙන් (විශේෂයෙන් වැඩිහිටියන්)""""

      මධ්‍යම යුරෝපයේ ජනයාත් එසේම යි. එහෙත්, සාමාන්‍ය අමෙරිකානු පුරවැසියා ඔය කියන තරම් අධිපරිභෝජකයෙක් ද කියන ප්‍රශ්නය නැඟිය යුතුව තිබෙනවා.

      Delete
    4. """"ඔය පුරුදු ඔවුන්ගේ සංස්කෘති හා බැදුණුදේවල් වෙයි""""

      ඔබේ මේ කියමන 100%ක් සත්‍ය යි. සකසුරුවම් භාවය ස්කැන්ඩිනේවියානුවා සහ මධ්‍යම යුරෝපීයයා උපතින් ම රැගෙන එන්නක්. ඒ නිසා තමා මා මෙය ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක් ද කියා ඇසුවේ.

      Delete
    5. Canada is same. This is exactly what Ajith Parakum is dreaming of.


      (1) Scandinavian countries are not socialist. Economically mainly capitalism/competitive market (70% private).
      (2) does competitive market with social benefits (healthcare etc)= socialism?

      Delete
    6. පැරාගේ සමාජවාදය තියෙන්නේ දිව්‍යලෝකයේ විතරයි. බටහිර යුරෝපයේ නෙවෙයි.

      Delete
  15. සාමාන්‍ය පොදු ජනයාට ඔය කතාව අදාල නෑ,ධනේශ්වර ක්‍රමය අහෝසි කරලා සමාජවාදි [පූර්ණ] ක්‍රමයකට රට මාරු වුනත් ඔය කතාව ජනයාට අදාල නෑ.ලාල් කාන්තලා ආණ්ඩුවක් හැදුවයි කියමුකෝ.ඒ සහෝදරවරු පොදු ජනයාට මුදල් වලින් තොර ආරථික කරමයක් නිර්මාණය කරනවාද,එසේ නොවන්නේ නම් ලාල් කාන්තලා ගේ ආර්ථික ජීවිත් ඔහොම දෙයක් කතා කරන එකේ පලය අපිට නං නොතේතෙරෙන බව පැරා ඇතුළු අයට කිව යුතුමයි.

    ReplyDelete
  16. Batahira europaye ratawal kohomath Ape samajawadi kiyaganna ratawalata wediya Hondin nethiberi minissunta sahana salasalathiyenawa,saralawama PODU PRAWAHANA kramaya,Bus,Kochchi. saha Tremcar Paddathiya,Thamannta hekitharam badupramanayak.ethakota.Ballan.wagema THamange Bicyicle eka geniyanna puluwan,THamantama CAR nethiminihata kochchara watinawada .hemoma samana Aithiya.

    ReplyDelete
  17. MAYBE LAL KANTHA IS SUFFERING FROM "MID-LIFE CRISIS".
    PSYCHIATRIC ADVICE IS THE BEST REMEDY FOR HIM.

    ReplyDelete
  18. ලාල් කාන්ත අයියේ ඔයාගෙ ඒ කථාව නම් මාර sweet. ඔය නිකම් බය හිතෙන විප්ලවවාදි කථා කියන්නෙ නැතිව ඔන්න ඔය වගේ ටොයිස් කථා කියන්නකො. මාර ආස හිතෙනව‍ා. ඒක නෙවෙයි ඔයත් දවසක එන්නකො සන්නස්ගල සර්ගෙ අපේ සිංහල පන්තියට අර රනිල් මහත්තයා ආව වගේ. ඔයාගෙන් අහන්න ගොඩක් දේවල් තියෙනව. දැන් තමයි ඔයාල ඒ ජාතියෙ ඒව කතා කරන්න පටන් අරන් තියෙන්නෙ. කලින් අර කුමාර් ගුණරත්නම් ල ඔයාලට ඔය වගේ ඒව කියන්න දුන්නෙ නැතිව ඇති නේද? එයාල ගිය එකමයි හොඳ. දැන් ඉතින් ඔයාලට ඕන දෙයක් බය නැතිව කියන්න පුළුවන්නෙ. ඔය විප්ලව කොරල මොකක්ද ඇති වැඩේ නේද? පළාත් සභාවට හරි පාර්ලිමේන්තුවට හරි වෙලා මන්ත්‍රී කමක් කරගෙන හිටියම මදැයි නේද? ඒහෙම කළා කියල අනෙක් අය වගේ වෙනවැයි, ඔයාල රතු පාටනෙ අඳින්නෙ. ඒකත් ටිකක් හැබැයි රෝස පාට වගේ උනා නම් හොඳයි. නේද?
    ඉතින් මට ඔයාගෙන් ගොඩක් දේවල් අහන්න තියෙනවා. ඔයාගේ නෝනා ගොඩක් ලස්සනයි ද? එයා ඔයාට ගොඩක් ආදරෙයිද? එයා ඔයාට ඔයා කැමති කෑම ජාති එහෙම එයාගෙ අතින්ම හදල දෙනවද? ඔයා කන්නම කැමති මොනවද? ඔයා විවේක වෙලාවට මොනවද කරන්නෙ? එතකොට ඔයාගෙ විනෝදාංශ එහෙම..................... තව ගොඩක් දේවල් අහන්න තියෙනවා. ඔන්න අපේ පන්තියට එන්නම ඕන හො‍ඳේ.
    ඒක නෙවෙයි ඔයාල පක්ෂෙට විරද්ධව උද්ඝොෂණයක් කරන්න ලිප්ටන් වට රවුමෙ. පුරුදු තැනනෙ. "දියව් දියව් වැටුප් දියව්" කියල. අපිත් එන්නම් සපෝර්ට් එකට.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා