සුන්දර ඉංගිරිසි: ඔක්තොම්බරයට හල් මයන්නත් සිවිලිමට වියන්නත් එක් වෙමින් පේමන්ට් එකෙන් ව්යන්න හැලීම


අදත් අපි කතා කරන්නේ කුස්සියේ භාවිතාවේ තිබෙන ඉංග්‍රීසි වචන ගැන. ගිය සතියේ ලිපිය සම්බන්ධව වැදගත් අදහස් ගණනාවක් අන්තර්ජාලය ඔස්සේ ලැබුණා. කුස්සියේ භාවිතා කරන සමහර උපකරණවල හා කෑම වර්ගවල නම්වල සම්භවය තිබෙන්නේ පෘතුගීසි, ලන‍්දේසි භාෂාවල බව අපේ ප්‍රේක්ෂකයෝ පෙන්වා දුන්නා.

එක් මිතුරෙක් මට අමතක වී තිබුණු බිස්ටේක් කියන කෑම ජාතිය ගැන මතක් කර දුන්නා. මේ beef steak. බීෆ් කියන්නේ හරක් මස් වුණාට අපේ සිංහල කෝකිවරු අල බිස්ටේකුත් හදනවා.

සුනේත්‍රා රාජකරුණාගේ 'සඳුන් ගිර ගිනි ගනී' නවකතාවේ ප්‍රධාන චරිතය වන කාන්තාව එක් කාලයක බංගලාවක වැඩට ඉන්නවා. ඒ අතරෙ ඇය කල්පනා කරනවා බේකන් මොන සතාගෙ මස් ද කියලා. බේකනාගෙද කියලා ඇය කල්පනා කරනවා.

එළුමස්වලට කියන්නේ මට්න් කියලනේ. "එළුවා කොළ කයි" නම් වාක්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා විහිළුවට අහපු කෙනෙක් කිව්වේ එය පරිවර්තනය කරන්නේ "මට්න් ඊට්න් ක්‍රෝට්න්" යි කියායි.

මේ අපගේ පාඨකයකු පළ කළ අදහසක්: "Blik යන වචනය සාමාන්‍යයෙන් 'තුනී ලෝහ තහඩුව' යන අර්ථයෙනුත් ලන්දේසි භාෂාවේ භාවිතා වේ. ඒ ඉංග්‍රීසියේ sheet metal වැනි දෙයකි. ඒ අනුව, රත්මලානේ බෙලෙක්කඩේ හන්දියේ තහඩු වැඩ කළ ස්ථානයක් තිබෙන්නට ඇත. ප්ලාස්ටික්වලින් නිපදවීමට පෙර සෙල්ලම් බඩු නිපදවුණේ තහඩුවලිනි. ඒවා ලන්දේසි භාෂවෙන් Blikken Speelgoed ය. ප්‍රකට ජර්මන් ජාතික Günter Grass ගත්කතුවරයා ලියූ The Tin Drum නමැති නවකතාව ලන්දේසි භාෂාවෙන් De blikken trommel ය."

මේ තවත් එවැනි අදහස් පළ කිරීම් කීපයක්. මං හිතන්නේ ඒවා නැවත පළ කිරීම වැදගත්. 
  • 'බක්කරේ' යන වචනය ලන්දේසි භාෂාවෙන් පැමිණියක්. ඒ bakker (බකර්) යන වචනයයි‍.
  • 'රාස්පාන' නොහොත් 'සාස්පාන' සිංහලයට පිවිසෙන්නට ඇත්තේ බ්‍රිතාන්‍ය යුගයට කලින් විය හැකි යි. ලන්දේසි භාෂාවෙන් එය sauspan (සෞස්පන්) ය.
  • පෘතුගීසි භාෂාවෙන් biscoitinho (බිස්කොයිචිඤ්ඤෝ) කියන්නේ ඉංග්‍රීසියෙන් biscuit කියන එකට. Biscoitinho කියන වචනයද දන්නේ නැහැ විස්කිරිඤ්ඤ වුණේ...?!?
  • ෂුවර් එකට ම පෘතුගීසි biscoitos (බිස්කොයිතොස්) තම යි සිංහලෙන් 'විස්කෝතු' වුණේ.
  • පෘතුගීසි couve (උච්චාරණය කරන්නේ - ගෝවි) තම යි සිංහලෙන් 'ගෝවා' වුණේ.
  • 'කේතලය' ආවේ ඉංග්‍රීසියෙන් නෙවෙ යි, ලන්දේසි භාෂාවෙන්. ඒ තම යි ketel (උච්චාරණය - කේතල්) කියන වචනය.
  • 'පෝච්චිය' ආවේ ලන්දේසි භාෂාවෙන් නෙවෙ යි. ඒක ආවේ පෘතුගීසි භාෂාවෙන්. ඒ වචනය - pot (ඉංග්‍රීසි වචනය වගේ ම යි, නමුත් උච්චාරණය "පෝච්චි").
  • 'බෝංචි' ලන්දේසි වචනයක්.
    'රඹුටන්' මැලේ වචනයක් (අර්ථය - කෙස් සහිත ගෙඩිය).
    'පැපොල්' කැරිබියානු වචනයක්.
    'අන්නාසි' දකුණු අමෙරිකානු වචනයක් (මුල් ස්වරූපය - නනස්)
     

බලාගෙන යනකොටයටත් විජිත සමයේ අපේ භාෂාවේ සිදු වී තිබෙන විපර්යාස ඒ තරම් සරළ නැහැ.

කුස්සියෙන් ගෙට එනකොට අපට ගෙයි ම තව කොටස් ගණනාවක් සම්බන්ධ ඉංග්‍රීසි වදන් හමු වෙනවා. කොරිඩෝව (corridor), බරාඳය (verandah) වැනි වචන ඉංගිරිසි වචනවලට කිට්ටුයි. ඉස්තෝප්පුව හා එහි තිබෙන කනප්පුව එහෙම පෘතුගීසි වචන. කැබිනට්ටුව (cabinet) ඉංගිරිසි මූලයකින් හැදුණු එකක් වුණාට අල්මාරිය ලන්දේසි වචනයක්. අපේ මහගෙදර සයිබෝට්ටෙක (sideboard වෙන්න ඇති) කියා ගෘහභාණ්ඩයකුත් තිබුණා. ටීපෝව කුමන භාෂාවකින් ආ වචනයක් ද යන්න මට තවම සොයා ගන්න බැරි වුණා. රාක්කය (rack), සන්ෂෙඞ් (sunshade), පෝටිකෝව (portico), පැන්ටි‍්‍රය (pantry), මෑන්හෝල් (manhole), ටැංකිය (tank), කොමඩ්ඩෙක (commode), සින්කෙක (sink) ටැප්පෙක (tap), ටෙන්ටෙක (tent), සමර්හට් (summer hut), ගේට්ටුව (gate), බංගලාව (bungalow), චමරිය (chummery), බෝඩිම (boarding), කවුන්ටරය (counter), බැල්කනිය (balcony), ග‍්‍රැනයිට් (granite), ලැටිස් (lattice), ප්ලැට්ටෙක (flat) මේ වගේ වචන ලැයිස්තුවට ඇතුළත් කළ හැකියි.

මේ අතරින් සිවිලිම තරමක් වෙනස්. ඉංගිරිසියෙන් මෙයට කියන්නේ සීලිං (ceiling). ඒත් සිංහලේ වියන්නක් අමතරව එකතු වෙලා. මෙවැනි දෙයක් මාස නාමයක් වන ඔක්තෝබරයේදීත් (October)වෙනවා. සිංහලෙන් මේ මාසයට ඔක්තොම්බර් කියනවා. සැප්තැම්බර්, නොවැම්බර්, දෙසැම්බර් වගේ. හැබැයි පේමන්ට් (pavement) එකේදී නම් 'ව්' ව්‍යංජනාක්ෂරය හැලිලා.‍

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. හැම යටත් විජිතයකම ඔය වගේ සංසිද්ධි ඇති...

    වචන එකතුව නම් මාර වටිනවා..

    බොහොම ස්තුතියි...

    ReplyDelete
  2. 'එළුමස්වලට කියන්නේ මට්න් කියලනේ. '

    මට්න් කියන්නේ බැටළු මස්. බැටළු පැටවාගේ සහ වැඩුණු බැටළුවෙකුගේ මස් හදුන්වන්නේ නම් දෙකකින්.

    ReplyDelete
  3. ඔක්තෝම්බර් කියන ලෙඩේ නම් නවත්තන්නම බැරි එකක්. මාධ්‍ය වලින් තමයි ඔය වරද බහුලවම කරන්නේ.

    එළුවා වාහනයක හැපුනම එලිච්චි කිව්වලු, 'ඕ මයි ගෝට්' කියලා.

    එළුමස්, බැටළු මස් වැනි මස් වර්ග වලට කියන නම් පිලිබඳ පැහැදිලි කිරීමක් මෙතන තියනවා.

    https://in.answers.yahoo.com/question/index?qid=20080307072202AAWTkZi

    ReplyDelete
  4. ටීපෝව හැදෙන්න ඇත්තේ Tripod, Tri paw වගේ එකකින් වෙන්න ඕනෑ!

    ReplyDelete
    Replies
    1. නැහැ... පල්ලෙහා කොමෙන්ට් එකක සහ පිළිතුරක ඒක විස්තර කරලා ඇති.

      Delete
  5. මුල් ළිපි වල තිබුන රසේ අඩුයි කියලා හිතෙනවා පැරා..

    ReplyDelete
  6. ඔය ලංකාවෙ ටී පෝ කියන එකට ගොඩක් රටවල කියන්නෙ කොෆි ටේබල් කියල. ඉතින් ලංකාවෙ කොෆි වෙනුවට ටීපොට් තිබ්බ නිසා නම මාරු උනාද?

    ReplyDelete
    Replies
    1. නැහැ... පල්ලෙහා කොමෙන්ට් එකක සහ පිළිතුරක ඒක විස්තර කරලා ඇති.

      Delete
    2. පැරාගෙ මේ ලිපි වලට නියම වටිනාකම දෙන, දැණුම බෙදගන්න ඇනෝ හිතවතුන්ට ස්තූතියි! මොකද ඒ අදහස් නැත්තං මේ ලිපි ලංකාදීපෙ හෑලි වගේ බොරු පිරිච්ච පට්ටන්දර වෙන නිසා.

      Delete
    3. ''මේ ලිපි ලංකාදීපෙ හෑලි වගේ බොරු පිරිච්ච පට්ටන්දර වෙන නිසා''

      මම හිතන්නේ මේ ඔබ කල යුත්තේ මේ ලිපි බොරු පිරිච්ච පට්ටන්දර වන්නේ කෙසේදැයි කරුණු සහිතව ලියා දැක්වීමයි. එවිට වඩා තර්කානුකුල අවසන් ලිපියක් අපි සැමටම කියවිය හැකියි.

      Delete
    4. හොඳ ප්‍රශ්ණයක්.

      මෙහි බොහෝ ඇනෝලාගෙ නිවැරදි කිරීම්, එකතු කිරීම නැතිනම් පැරාගෙ මී ලිපි වල දොස් සහිතවයි අනෙකුන් දකින්නෙ.ඒ වගේම බහුතර පිරිස ඒ වැරදි අර්ථ, අදහස් නිවැරදියැයි සිතා ගන්නට තියෙන් ඉඩ බොහොමයි.

      උදා, පැරා ලියනව // කැබිනට්ටුව (cabinet) ඉංගිරිසි මූලයකින් හැදුණු එකක් වුණාට අල්මාරිය ලන්දේසි වචනයක්. // කියල.

      AnonymousAugust 3, 2014 at 12:04 AM ඒක නිවැරදි කරනව //'අල්මාරිය' ආවේ පෘතුගීසි භාෂාවෙන්. වචනය අර්ම්áරිඔ [අර්මරියෝ]. මේවාට අර්මරියෝ කිව්වේ මොකද දන්නව ද? ඔය කබඩ්වල තම යි ඒ කාලේ ආයුධ තබා තිබුණේ. ආයුධවලට පෘතුගීසි භාෂාවෙන් කියන්නේ අර්ම [අර්මා] කියලා. අර්මා කියන ඒවා තබන තැන තම යි අර්මරියෝ.// කියල.
      හැබැයි ඒක එහෙම නිවැරදි නොකලානම් බහුතරය හිතාගන්නව අල්මාරිය ලන්දේසි වචනයක් කියල.

      පැරා ලියනව //එළුමස්වලට කියන්නේ මට්න් කියලනේ// කියල. ඒතකොට AnonymousAugust 3, 2014 at 12:12 AM ඒකට එකතු කරනව //ලංකාවේ තම යි එළුමස්වලට mutton කියන්නේ. එංගලන්තේ mutton කියන්නේ වැඩුණු බැටළුවෙකුගේ මස්වලට. වයස අවුරුද්දකට අඩු බැටළුවාගේ මස් lamb. එළුමස් වලට ඉංග්‍රීසියෙන් එහෙම වචනයක් සාමාන්‍ය භාවිතයේ නැහැ. ඒ නිසා goat meat හෝ නිකම්ම goat හෝ කියනවා. සමහර ඉංග්‍රීසිකාරයෝ එළුමස්වලට chevon කියනවා.// කියල. ඒකෙන් අපි මට්න් යනුවෙන් එළුමස් හැඳිවීමත් මාලු බිස්ටේක් දැමීමට වඩා වෙනස් නොවෙන දෙයක් බව බුද්ධිමත් පාඨකයො තෙරිරුම් ගන්නව.

      අන්න ඒකයි මම කිව්වෙ මේ ලිපි වල ඇනෝ එකතු කිරීම් නැතිනම් වැඩක් නැති වෙන බව.

      Delete
    5. ඔබ ඉහත වචන දෙක නිසාද සම්පුර්ණ ලිපියම ''බොරු පිරිච්ච පල් හෑල්ලක්" ලෙස ලේබල් ගත කරන්නේ ? මුළු ලිපියේ වචන කියක් නම් විස්තර කර තිබෙනාවද ? සමරවිටක ජානගත ශ්‍රි ලාංකීය අභිමානය නිසා මෙවැනි දෑ ලියැවිය හැකියි. :D

      කෙසේවෙතත්,
      Mutton යන්න බැටළු මස් වලට වගේම එළු මස් වලටත් පොදුවේ යොදන වචනයක්, විශේෂයෙන්ම දකුණු දකුණු ආසියාතික රටවල. පහත සබැදි බලන්න

      Goat meat
      English Language & Usage

      අල්මාරිය (almari) යන්නේ මුලාරම්භය armārium නමැති ලතින් වදන හා බැදේ

      armário

      වැරදීම මිනිස් ගතියක්, එය නිවැරදි කිරීම විනා ස්වේච්චාවෙන්, සමාජය වෙනුවෙන් කරන ක්‍රියාවක් අත්ර්කිකව අහේතුකව හෙළා දැකීම පහත් ක්‍රියාවක්.

      Delete
    6. තේරුණා නේද උපශාන්ත මල්ලිට. ඊගාව පාර පැරාට මුකුත් කිව්වොත් අබ සරණයි හරිය.

      Delete
    7. හා මචං, දැන් නින්ද යයිද ?

      Delete
  7. Is this western conspiracy to degrade our great sinhala

    ReplyDelete
  8. ටීපෝ එක ඇවිත් තියෙන්නෙ teapoy කියන ඉංගිරිසි භාෂාවෙන්. තේරුම a small three-legged table or stand.
    a small table for use in serving tea.

    ReplyDelete
    Replies
    1. මල්ලි, 'ටීපෝව' කියන වචනය අපිට ආවේ ඉංග්‍රීසියෙන් teapoy කියන එකෙන් තම යි.

      ටී. බී. ඉලංගරත්න සූරීන් ඉංග්‍රීසියෙන් ලියපු නවකතාවක් වන The Matchmaker පොතේත් මේ teapoy කියන වචනය කිහිප විටක් ම සඳහන් වෙනවා.

      ඒත් teapoy කියන්නේ ඔරිජිනල් ඉංග්‍රීසි වචනයක් නෙවේ. ඉංග්‍රීසියට ඒක එන්නේ හින්දියෙන් (තීන්පායි තම යි teapoy වුණේ; තීන්=තුන, පායි=පය --- තුන්පය, එහෙම නැත්නම් 'කකුල් තුන' කියන එක තම යි ඒකේ තේරුම).

      Teapoy කියන්නේ කකුල් තුනේ කුඩා මේසයකට මිසක් තේ පිළිගන්වන මේසයකට නෙවෙ යි. මොකද, මෙතන tea කියන එක එන්නේ තේ වලින් නෙවෙ යි. ඒත් පසු කාලයක මේ වගේ මේස, තේ පිළිගන්වන්න යොදා ගන්න ඇති.

      Delete
    2. ඔබතුමා ඔය කකුල් තුනේ මේසය කියන එකෙන් අදහස් කරනව ඇත්තේ "කනප්පුව" වෙන්න ඇති.

      Delete
    3. @ Anonymous August 3, 2014 at 1:43 PM
      අයියේ, 'කනප්පුව' කියන වචනය ලන්දේසි වචනයක් වෙන්න ඕනේ.

      Delete
  9. 'අල්මාරිය' ලන්දේසි වචනයක් නෙවෙ යි. අල්මාරියට ලන්දේසි භාෂාවෙන් කියන්නේ garderobe [උච්චාරණය: හාදරෝබ --- බලන්න, ඒ භාෂාවේ G අකුර උච්චාරණය කරන්නේ හරියට H අකුරක් වගේ].

    'අල්මාරිය' ආවේ පෘතුගීසි භාෂාවෙන්. වචනය armário [අර්මරියෝ]. මේවාට අර්මරියෝ කිව්වේ මොකද දන්නව ද? ඔය කබඩ්වල තම යි ඒ කාලේ ආයුධ තබා තිබුණේ. ආයුධවලට පෘතුගීසි භාෂාවෙන් කියන්නේ arma [අර්මා] කියලා. අර්මා කියන ඒවා තබන තැන තම යි අර්මරියෝ.

    ඉංග්‍රීසියේ එන arms සහ armoury යන වචන මේ සමඟ සසඳන්න.

    ReplyDelete
  10. ලංකාවේ තම යි එළුමස්වලට mutton කියන්නේ. එංගලන්තේ mutton කියන්නේ වැඩුණු බැටළුවෙකුගේ මස්වලට. වයස අවුරුද්දකට අඩු බැටළුවාගේ මස් lamb. එළුමස් වලට ඉංග්‍රීසියෙන් එහෙම වචනයක් සාමාන්‍ය භාවිතයේ නැහැ. ඒ නිසා goat meat හෝ නිකම්ම goat හෝ කියනවා. සමහර ඉංග්‍රීසිකාරයෝ එළුමස්වලට chevon කියනවා.

    ReplyDelete
  11. 'බංගලාව' ඉංග්‍රීසියෙන් සිංහලයට ආවට ඒක හින්දි වචනයක්: බංග්ලා. ඉන්දියාවේ 'බංග්ලා' කියලා කියා තිබෙන්නේ බංගලි ශෛලියට හදපු ගෙවල්වලට. හින්දි ෆිල්ම් එකක් ආවා මතක ද "භූත් බංග්ලා" කියලා?

    ReplyDelete
  12. April කියන එක සිංහලෙන් 'අප්‍රියෙල්' නේද?

    ReplyDelete
  13. සමහරු paint කියන එකට 'ප්ලේන්ට්' කියනවා මට ඇහිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මමනං එහෙම කියලත් තියනවා, උඹට ඇහිල විතරද තියෙන්නේ.

      Delete
    2. @ Anonymous August 3, 2014 at 6:01 AM ---
      ඉතිං උඹ එහෙම කිව්වා කියලා මට ටේස් ද?

      Delete
    3. ප්ලේන්ට් කියන්නේ Plate කියන එක එක්ක ටැපලිලා වගේ නේද? ප්ලේටිං (plating) කියල කියන්නෙත් ටිකක් පේන්ට් කරනව වගේ එකක්නෙ. ඉතිං වචනෙ පැටලෙන්න ඇති නේද? ප්ලේන්ට් කියන්නෙ Plate සහ Paint කියන වචන දෙකේ එකතුවක් වගේ මටනම් පේන්නෙ.

      මේක ඉතිං තස්සම ද තබ්බවද කියන එකනම් ප්‍රශ්නයක් තමයි! ;-)

      - Dimithri

      Delete
  14. ඉගනගන්න ගොඩක් දේ තියන හොඳ ලිපියක්.

    ReplyDelete
  15. පෘතුගීසි භාෂාවෙන් calça (කල්සා) කියන්නේ කලිසමට; camisa (කමිසා) කියන්නේ කමිසයට.

    ReplyDelete
  16. @ Anonymous August 4, 2014 at 11:47 AM,
    ඔබතුමා දීලා තියෙන ලැයිස්තුවටයි මේ ලැයිස්තුවටයි අනුව සිංහල භාෂාවට කප්පරක් පරංගි වචනයි ලන්දේසි වචනයි එකතු වෙලා තියෙනවනේ...

    කෝ අර දේශප්‍රේමියෙක් මීට කලින් ලිව්වේ සිංහල භාෂාව හරිම පිරිසිදුය, අවුරුදු 2000 කටම වෙනත් භෂාවලින් වචන හොරකම් කරලා නැතේය කියලා.... මට දැනගන්න ඕනේ ඒ දේශප්‍රේමීයා දැන් මොකද කියන්නේ කියලා.

    ReplyDelete
  17. මෙහෙම බැලුවම, පෘතුගීසි, ලන්දේසි, මලයාලම් වචන අයින් කරාම ඉතුරුවෙන්නෙ අගත -අනගත - චතුදිශ - ශගශ කියන ටික විතරයි වගේ :D

    ReplyDelete
  18. අපේ කොකිස් ?

    මෙය cookie කියන ඉන්ග්‍රීසි වදනින් අපු එකක්ද නැත්නම් ලන්දේසි වචනයක්ද
    කේරලය හරහා කැවුම්, ආප්ප, ඉඳිආප්ප එක්ක ආපු එකක්ද

    දෙමළෙන් ආපු වචන සැට් එකත් වටිනව

    ReplyDelete
    Replies
    1. 'කොකිස්' වචනය ආවේ ලන්දේසි භාෂාවෙන් - Koekjes (උච්චාරණය: කුක්‍යස්) තමයි ඒ ලන්දේසි වචනය. Cookies කියන්නෙත් ඒක ම තමා.

      Delete
    2. කොකිස් වචනය ලන්දේසින්ගෙන් ආවට, කොකිස් කියන කෑම ඊට කලින් තියෙන්න ඇත්ද ?
      උදා - කුස්සිය කියන වචනය පිටින් ආවට මුළුතැන්ගෙයක් අපේ ගෙවල් වල ඉස්සර ඉඳලම තිබුණා. මුළුතැන්ගෙට වඩා කුස්සිය යැයි කියන්න ලේසි වෙන්න ඇති.
      උදා - බංකුව පෘතුගීසින්ගෙන් ආවට අපිට එහෙම දෙයක් තිබුණේ නැහැ කියල හිතන්න අමාරුයි.

      මේ විදියට මම කැමතියි දැන ගන්න අපි ඒ ඒ කලින් තිබුණු දේවල් වලට, ඊට කලින් පාවිච්චි කරපු වචන.

      Delete
  19. අනේ කවුරු හරි මට කියන්වද,
    ඉන්ගිරිසිත් ,ලන්දේසිත්, පෘතුගිසිත් නොවන,
    පාලි,සන්ස්කෘතත් නොවන
    දෙමල,කේරල,බන්ගලි ,මැලේත් නොවන
    සින්හල වචනයක්.

    ReplyDelete
  20. අගත -අනගත - චතුදිශ - ශගශ වචනත් පාළියෙන් හෝ සංස්කෘතයෙන් ආ වචන.
    ආගත අනාගත චතුද්දිසා සංඝස්ස මේ උක්ත සෙල්ලිපියේ පාළි පරිවර්තනය

    ReplyDelete
  21. වතුර යන පදය සිංහපයට ආවේ Water යන්නෙන් නො වෙයි. එය වත්ථර යන සංස්කෘත පචයෙන් ආවක්. Water සහ මේ පද දෙක මැ මෙන් මැ අනෙකුත් ආර්ය පවුලේ වචන බොහෝමයක් මීට සමාන වීමට හේතුව මේ පද සියල්ල මැ wédōr වැදෝර්ර් (ආසන්න උසුරුවීම පමණ යැ) යන ඉන්දු යුරෝපීය මූලභාෂාවේ පදයෙන් සෑදුණු පද වීම යැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා