රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව

ගිලෙන නැවෙන් මීයෝ පැන යති. ආණ්ඩුව නම් නැව ගිලෙන්නට පටන් ගෙන නැතිමුත්, එය හොඳට ම අබලන් ය. කොයි මොහොතක හෝ වතුර කාන්දු වීම ආරම්භ වන්නට පුළුවන. එබැවින් බුද්ධිමත් මීයෝ පැන යා හැකි මං කල් ඇතිව සැලසුම් කර තබති. 

බුද්ධිමත් ම මීයෝ වනාහි ජාතිම ජාතිවාදියෝ ය. විමල් වීරවංශ පක්ෂයත්, ජාතික හෙළ උරුමයත් පළාත් සභාවලට විරුද්ධ ය. වඩාත් නිවැරදිව කීවොත්, උතුරු පළාතේ දෙමළ වැසියන් වෙනුවෙන් පළාත් සභා මැතිවරණයක් පවත්වනවාට‍ විරුද්ධ ය. 

මේගොල්ලන්ගේ පිටවීමේ දොරටුව තිබෙන්නේ මෙතැන ය. පිටවීමේ මාර්ගය එළිපෙහෙළි කර ගැනීම සඳහා ජාතික හෙළ උරුමය පළාත් සභා අහෝසි කරන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනැවිත් තබන්නට ද කටයුතු කර තිබේ. 

සැප්තැම්බරයේ පළාත් සභා මැතිවරණය ගෙවන කිව්ව ද දැන් ජනාධිපතිවරයා ඒ ගැන සද්දයක් නැත. සැප්තැම්බරයේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයක් බලාගෙන දෙමළ ජාතික සන්ධානය සූදානම් වෙමින් සිටියි. මේ සැප්තැම්බරය මාස කීපයකින් එහාට යන්නට පුළුවන. ආණ්ඩුව ජාතික ගැටලුව සම්බන්ධයෙන් අනුගමනය කළ ජාතිවාදී ප්‍රතිපත්තිය වන්නේ 'දෙමළුන්ට කිසිවක් නො දෙන්නනෙමු' යන්නයි. එය එළිපිට නො කියා යම් යම් කමිටු ආදිය පත් කරමින් කල් ගත් ගැනීම දැන් මාස කීපයක් කල් ගැනීම දක්වා කෙටි වී තිබේ. 

නිශ්චිත වැඩ පිළිවෙලක් නැති, ' එන එන හැටියට ගහ උළුවස්සා' යන උපායමාර්ගයේ සිට කටයුතු කරන රාජපක්ෂ පවුල් පාලනය හොඳින් දන්නා කාරණයක් තිබේ. ඒ වනාහි ජාතික ප්‍රශ්නයට විසඳුම් දීමේ ක්‍රියාමාර්ගවලට අත පොවන දවස තමන්ගේ කල් ඉකුත් වන දිනය බවයි. සිංහල ජාතිවාදය මත පදනම් වී 1956දී බලයට පැමිණි බංඩාරනායකගේ ඉරණම වූයේ මරණයයි. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලොකුම තර්ජනය ඇත්තේ ආණ්ඩුව ඇතුළේ ම සිටින ජාතිවාදීන්ගෙනි. රට ආර්ථික අර්බුදයේ කරවටක් ගිල්වා, අනාගත බලාපොරොත්තු සුන් කර කාලකන්නි වර්තමානයක් උරුම වී සිටින ජනතාවට විදුලි බිලෙන් කරන්ට් වද්දන්නට බැරි වුණාට ජාතිවාදයෙන් පුබුදු කරන්නට පුළුවන. 

ජවිපෙ විසින් මෙහෙයවන ලද මැයි 21 වැඩවර්ජනයේ අසාර්ථකත්වය විසින් ජවිපෙ ද පංති අරග‍ළයෙන් යළි ජාතිවාදයට ම තල්ලු කරන බව නිසැක ය. 

ඉදිරි මාස කීපය ඉතා අඳුරු ය. ජාතීන්ගේ ප්‍රශ්නයට බලය බෙදාගැනීම ඔස්සේ විසඳුම් සෙවීම සඳහා වූ ජාත්‍යන්තර බලපෑම්, දෙමළ ඊලමක් සඳහා ජනමත විචාරණ යෝජනා, යුද අපරාධ චෝදනා, ආර්ථික අර්බුදය, උද්ධමනය මැද රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව උදා වනු ඇත.

පාලකයිනි උණුසුම් ඇඳුම් සූදානම් කර ගන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. කිසිවක් වෙනස් වන්නේ නැත. මේ ගෙනන පෞද්ගලික යෝජනාවද ලොක්කාගේ එකකි. එය පලා බබා අහෝසි කිරීමක් නොවේ, බල තල අඩු කිරීමක් පමණි. විරවංශට හෙට සිට ඇමරිකාවට කඩේ යන්න කීවෝත්. ඒකත් කරණවාය. වමේ උන් ගැන කතා කර වැඩක් නැත. කොටින්ම දළදා වහන්සේ ජානාධිපති මන්දීරයේ තැන්පත් කළත්. ජනතාව සාධුකාර දෙනවාය. මහනායක හිමිවරුත් කොළබට එනවාය. තත්වය එසේය. ඔක්කෝම හදන්නේ අනුන්ගේ පානෙන් එළිය දකින්නය. විපක්ෂයේ එකමුතුවක් නැතිව. කිසිම දෙයක් සිඳුවන්නේ නැත. ජනතාවනි, උණුසුම් ඇඳුම් විසි නොකරන්න. හොඳ හැටි නිදාගන්න. සීතල් වැඩිවූ විට ඒවා ඕනා විය හැක.

    ReplyDelete
  2. මමනම් හිතන්නේ මේ අර්බුදය තියෙන්නේ ආන්ඩුවේ ජාතීවාදී සාමාජිකයන් නිසා නොව නිදහස් පක්ෂයේ බල කණු හෙවත් සීනියර් මෙම්බර්ස් ලා ට ජනාධිපති ඇතුලු රෙජිමය සලකන ආකාරය අනුව බවයි.

    මෛත්‍රිපාල, නිමල් සිරිපාල වැනි බල කණු (මේ අයගේ වැඩ වල හොඳකම පසුවට තබමු) වලට රාජපක්ෂ හිතවාදීන් සලකන ආකාරය අනුව පුපුරායාමක් සඳහා ඉඩ තිබේ. මෙම පුපුරායාම අද හෙට සිදු නොවුනත් එය අනාගතයේ නිශ්චිත දෙයකි.මොවුන් කල් මරන්නේ ඔවුන්ට දැනට ශක්තිමත් අත්තක් නැති නිසාවෙනි. චන්ද්‍රිකාගේ දෙවන ධුර කාලයේ එස් බී, ජී එල් වැනි අය කලාක් මෙන් හොඳ අත්තක් අසු වූ සැනින් මේ පුපුරායාම ආරම්භ වන බව කිව හැකිය.
    එය දන්නා නිසාම දැන් සිටම මෛත්‍රපාලගේ හා අනිකුත් නිදහස් පක්ෂ බල කනු වල තටු කපා දැමීම ආරම්භ වී ඇත.

    ReplyDelete
    Replies
    1. අනුරාධපුරයේ වර්ජනය සාර්ථක වීම, බර්ටී ප්‍රේමලාල්ගේ වැඩක් නම්, එය සැලකිල්ලට ගත යුතු කරුණකි. නමුත් මා එසේ සිතන්නේ නැත. මන්ද ලාල්කාන්තගේ හා වසන්තගේත් බල කඳවුර එය බැවිනි. කෙසේ වෙතත්, ශ්‍රීලනීපයේ ජේෂ්ඨයින්ට එල්ලෙන්නට වැල් නැත. ඔය සියල්ලම දේශප්‍රේමය හමුවේ අකුලා ගැන්මට සිඳුවනු ඇත. කළ යුත්තේ මෝඩ ජනතාව දැණුවත් කිරීම පමණි. වර්ජන තව දුරටත් විසඳුමක් නම් නොවේ.

      Delete
  3. "හේමන්ත ඍතුව" නිවැරදිම වචනය.
    ජාතිවාදීන් ප්‍රමානාත්මකව ‍කුඩායි(හෙළයන්, විමල්ගෙ නඩය) ඒ හැරුනුවිට පැණි කන්න බැරිවුන ශ්‍රීලනිප ජේෂ්ටයන් සහ යූඑනැපීයෙන් බල්ටි ගැසූවන්ගේ තත්වය වඩා තීරණාත්මකයි. කොහොම උනත් බිඳවැටීමේ ආරම්භය ජාතිවාදීන්ගෙන් වෙන්න පුළුවන්.

    ReplyDelete
  4. සියලු දෙනා රවටමින් ගෙනයන පාලනයක අවසන් අදියර ආසන්න වී ඇත.නියමිත පරිදි උතුරේ මැතිවරණය පැවැත්වීමට නොහැකි වුනොත් විදේශ බලපෑම් උග්‍ර වෙනු ඇත.පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව පවා අසාර්ථකවීමට ඉඩ ඇත.

    ReplyDelete
  5. /ඉදිරි මාස කීපය ඉතා අඳුරු ය. ජාතීන්ගේ ප්‍රශ්නයට බලය බෙදාගැනීම ඔස්සේ විසඳුම් සෙවීම සඳහා වූ ජාත්‍යන්තර බලපෑම්, දෙමළ ඊලමක් සඳහා ජනමත විචාරණ යෝජනා, යුද අපරාධ චෝදනා, ආර්ථික අර්බුදය, උද්ධමනය මැද රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව උදා වනු ඇත/

    එතකොට අපිවගේ හබන් කුකුළන්ට රජ මගුල්.........
    ඒකත් ලිවුවා නම් ලිපිය අංග සම්පූර්නයි.

    ReplyDelete
  6. අම්මපා මහින්දයා මට ඇරියත් ආපහු චන්දෙ දෙන්න හිතෙන්නෙ පැරා වගෙ උන් මේ හුන්ඩුව බෙදන්න මෙච්චර කෑගහන හැටි දැක්කම. දෙමලු ඔක්කොම කොටි නොවෙන්න පුලුවන්, හැබැයි 99% හිත යටින් කැමති උන්ට වෙනම කෑල්ලක්ගන්න. එකයි උන් හිතෙන් හරි කොටියට සපෝර් කරේ. හැබැයි පැරා වගෙ අය, කොටි නිරපරාදේ දහස් ගනන් අහින්සකයො මරනකොට නැට්ට අහවල් තැන ගහගෙන ඉඳල දැන් කියවනව. මොකක්ද දෙමල අයට තියන විශෙශ ප්‍රශ්නෙ? පැරා පුලුව්න්නම් කියන්න. පිටකොටුවෙ, වැල්ලවත්තෙ, රටේ හැම තැනම ජීවත් වෙන්න පුලුවන්නම්, කෝටිපති හරි දෙකයි පනහෙ බිස්නස් හරි කරන්න පුලුවන්නම්, උනුත් ගෙවන්නෙ අපි ගෙවන ටැක්ස් නම් තව මොනවඩ ප්‍රශ්න. බොරුවට භාශාව දාල හිතෙ තියන කුහක අදහස් පෙන්නන්න එපා. අනික දෙමලට, සින්හලයට, මුසල්මානුවට කියල වෙනසක් කරන්නෙ නෑ, ඕනම ආණ්ඩුවක් ජාති බේද නැතිව අපිවගෙ සාමාන්‍ය මිනිස්සුන්ට එක සමානව අරිනවා. ඕනෑම තැනක එක ජන වර්ගයක් වැඩි නම් එත ඒ භාශාව තමයි ප්‍රමුක වෙන්නෙ. ගිහිල්ල බලනව ඔයාලගෙ මහලොකු රුසියාවෙ නේම් බොඅර්ඩ් තියෙන්නෙ මොන විදියටඩ, රටෙ භාශා කීයක් තියනවඩ කියල. කීයක් හරි වැඩිපුර හම්බ උනොත් යන්න නෝර්වේ, හරි සෝක් රට මෙයා, අඩු ගානෙ ඉන්ගිරිසියවත් නෑ පබ්ලික් ඔෆිස් වල.

    මතක තියාගන්න, මේක එක රටක්, සින්හලයගෙද නැද්ද කියන එක නෙවෙ, හැබයි ඒක එහෙමම තිය ගන්න යකා බැරිනම් යකාගෙ ආච්චි උනත් කමක් නෑ, අන්න ඒ සුලු තියරිය රටේ වැඩි හරියක් මිනිස්සු පිලිගන්න හින්ද තමයි මහින්ද ඉන්නෙ. උඹල වගෙ කැගහන උන් දැක්කම, මට හිතෙන්නෙ ඒ ගොඩට තව එකෙක් හරි වැටෙනව කියල.

    පුලුවන්නම් මගෙ මුල දාපු ප්‍රශ්නෙට උත්තරක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. "මොකක්ද දෙමල අයට තියන විශෙශ ප්‍රශ්නෙ?"

      1. දෙමළ අයට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා අවුරුදු පනහකට පස්සෙත් මේ වගේ ඇ‍නොනිමස් සිංහලයෝ අහන එක.

      2. ප්‍රශ්නයක් තියෙනවා කියලා කෑගහලා කිව්වාම සිංහල හමුදාවක් ඇවිත් කට වහන එක.

      3. දෙමළ අයට විශේෂ ප්‍රශ්නයක් නැති ය කියලා ම කියන්න ය කියන එක.

      4. මේ ඔක්කොම කියන්නේ සිංහලෙන් වීම.

      5. දෙමළ බහුතරයක් ජීවත් වන උතුරු පළාත වෙනම රටක් ලෙස සැලකීම.

      6. රටේ අනෙකුත් පළාත්වල තිබෙන අවම ප්‍රජාතන්ත්‍රවාදයවත් එහෙට ඕනැ නැහැ කියා කීම.

      7. ආක්‍රමණය කිරීම. (ලංකාවේ වෙනත් කොහේ හරි ප්‍රදේශයක් පාලනය කරන්න වෙනත් ප්‍රදේශවල මිනිසුන්ගේ හමුදාවක් යොදවලා නැහැනේ)

      8. දෙමළ මිනිසුන් ජීවත් වන ප්‍රදේශ සතුරු දේශයන් ලෙස සලකා විනාශ කිරීම (කවුරුවත් තමන්ගේ ගම්බිම් බෝම්බ දාලා, ගිනි තියලා වනසන්නේ නැහැනේ)

      9. තමන්ගේ ප්‍රදේශය පාලනය කරගන්න තමන්ට උවමනා දේශපාලන නියෝජිතයන් පත් කර ගැනීමට ඉඩ නො දීම.

      10. සිංහල ජාතිවාදීන් මේ රට තමන්ගේ පමණක් රට යයි සිතීම.

      Delete
    2. යන්නෙ කොහෙද කියල ඇහුවම "මේ යන ගමන්" කියල කිව්ව වගෙ.
      1. තේරුමක් නැත.

      2. කෑගහපු විදිය මතකද?

      3. 1ම රිපීට්

      4. ඇයි මට සින්හලෙන් කියන්න තහනම්ද? එතකොට මටනෙ අයිතිය නති වෙලා තියෙන්නෙ.

      5. වැරදියි

      6. ආරක්ශක අන්ශ ඉන්න එකනම් කියන්නෙ, අවු 30 යුද්දයක් තිබ්බ කියල මතක නැද්ද? ඔයාලගෙ ගල්කටස් විප්ලව වලටත් පස්සෙ සැලකිය යුතු කාලයක් ගියා නේද?

      7. ප්‍රාදේශීය හමුදාවක් මේ රටෙ නෑ, තියෙන්නෙ ස්‍රී ලන්කා හමුදාව පමනයි, ඔවුන්ට රටෙ ඕනෑ තැනක රාජකාරි කිරීමට බලය ඇත. ආක්‍රමණය කියන වචෙනෙ තෙරුම දන්නෙ නැත්නම් කාගෙන් හරි අහන්න.

      8. වරදියි, ත්‍රස්තවාදීන් හිටපු පැතිවල යුද්දෙ තිබ්බ, "දෙමළ මිනිසුන් ජීවත් වන ප්‍රදේශ" කියා දෙයක් නැත, රටෙ ඕනැම තනක ඉඩමක් ගන්න පුලුවන්නම් කැමති කෙනෙකුට ජීවත් වෙන්න පුලුවන්. (සින්හලයන්ට නම් ඉස්සර යාපනෙයි, මඩකපු පැත්තෙ එහෙම බෑ ), නමුත් "දෙමළ මිනිසුන් වැඩිපුර ජීවත් වන ප්‍රදේශ" නම් ඇත.

      9. ලන්කාවෙ කොහෙද "තමන්ට උවමනා දේශපාලන නියෝජිතයන්" පත්කර ගන්න ඉඩ තියෙන්නෙ. ලිස්ට් එකෙ එන හොරුන්ගෙයි අඩුම ගානෙ හොන්දම හොරා තේරිම තමයි තියෙන්නෙ. ඇනික, ටී.එන්.ඒ මන්ත්‍රීල එතකොට කාගෙ කවුද. නැගෙනහිර පාලන ආයතන වල වැඩිපුර ඉන්නෙ සින්හලයින්ද? උදාහරනයක්.

      10. ජාතිවාදීන් ලෝකෙ කොහෙත් එහෙමය, බල්ලො බුරනවා කියල පූසන්ට කේක් අරන්දෙනව වගෙ කතාවක්නෙ. නමුත් මගෙ ප්‍රශ්නෙට උත්තරයක් නොවේ.

      පැරා, මගෙ ප්‍රශ්නෙට හරි කෙලින් උත්තරයක් දෙනවද?

      Delete
    3. ඔයා මේ ප්‍රශ්නය අහන්න ඕනැ මගෙන් නොවෙයි. දේශපාලනික දෙමළ ජාතිකයකුගෙන්. ඒ කියන්නේ තමන් ගැන දේශපාලනික අවබෝධයක් ඇති කෙනෙකුගෙන්. හැබැයි, තග දාන්නේ නැතිව, ප්‍රශ්නයක් තියෙනවා කියලා කීවොත් උස්සලා, මරන්නෙ නැහැ කියන විශ්වාසය පුළුවන් නම් ඇති කරලා අහන්න.

      තොත්ත බබා, මම ඔයාට පුංචි උදාහරණයක්, දෙකක් විතරක් කියන්නම්. අපේ ගමේ කුලී වැඩ කරන සිංහල මිනිසුන්ට කුලී වැඩ කරන දෙමළ මිනිස්සුන්ට වඩා වැඩි වැටුපක් ගෙවනවා.

      මතුගම ශාන්ත මරියාව ඉංග්‍රීසි මාධ්‍ය පාසලක්. රජයට පවරාගෙන සිංහල මාධ්‍යය පටන් ගත්ත දිනවල සිට එහි දෙමළ මාධ්‍යයත් තිබුණා. පාසලේ ඉගෙන ගන්න සිසුන්ගෙන් තුනෙන් එකක් පමණ දෙමළ. අදත් එහි පාසල් සංවර්ධන සමිතිය පැවැත්වෙන්නේ සිංහල මාධ්‍යයෙන්. ගුරු රැස්වීම් පැවැත්වෙන්නේ සිංහල මාධ්‍යයෙන්. සිංහල නො තේරෙන අය ගැන කවුරුවත් හිතන්නේ නැහැ.

      මම ඉන්න ගමේ ජනගහණයෙන් හතරෙන් එකක් පමණ දෙමළ. ඒ මිනිස්සු ඉන්නේ වතු ලැයිම්වල. ‍ඕනැ කෙනෙකුට, ඕනැ තැනක පදිංචි වෙන්න නිදහස තිබෙනවා කිව්වට ඒ කිසි මිනිහෙක් කිසිම කාලෙක ගමේ ඉඩමක් මිළ දී අරගෙන පදිංචි වෙලා නැහැ.

      සිංහල මිනිස්සු පහත් පෙළේ වැඩ හඳුන්වන්න කියන්නේ ඒවා 'දෙමළ වැඩ' කියලායි. ඒ ජාතියක් ලෙස ම සිංහල මිනිස්සු දෙමළ අයව පහත් කර සලකන නිසා.

      මම මේ කීවේ මට ඉතා සමීප උදාහරණ දෙක තුනක් විතරයි. මේ කියපු කාරණා ඔස්සේ සුළු ජාතීන් මුහුණ දෙන ආර්ථික, වාසභූමි හා භාෂා, සංස්කෘතික ප්‍රශ්න සංකේතාත්මකව නිරූපණය වෙනවා. මේ තත්වය මුළු ලංකාවටම අදාල කරගෙන හිතන්න. (ඔබට හිතන්න පුළුවන්කමක් තිබේනම්)

      දකුණේ සිංහල තරුණයන් 1971දී හා 1989දී කැරැලි ගැහුවේ හේතුවක් නැතිව ද? ඔවුන්ට කිසිදු අසාධාරණයක් නො වී තිබියදී ද? එතකොට දෙමළ තරුණයන් වසර තිහක් තිස්සේ යුද්ධ කරමින් ලක්ෂ සංඛ්‍යාත ජීවිත අහිමි කර ගත්තේ හා අහිමි කළේත් කිසිදු හේතුවක් නැතිව ද?

      තමන් කවුද කියා කියන්න තරම් හෝ එඩිතරකමක් නැති ඔබ වැනි අය අහන මේ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මම බැඳිලා නැහැ. ඔබට උත්තර සොයා ගත හැකි විධිය මෙම පිළිතුරේ මුල සඳහන් කර තිබෙනවා.

      Delete
    4. ඇනෝ එන්න මට අයිතියක් තියනව, ඉස්සෙල්ල එක පිලි ගන්න, නිකන් වැල් වටාරම් කිව්වට මගෙ ප්‍රශ්නෙට සොලිඩ් උත්ත්‍රයක් ඩීල නැහැ. අනික පාඨකයෙක් අහන දේට උත්තර දෙන්න ඔබ බැඳිල ඉන්නවා ඒ ප්‍රශ්නෙ ඔබේ ප්‍රකාශනයට අදාල වේ නම්. ඔය කියපු ටිකෙන්න්ම ඔයාගෙ ලේඛන අදහසුයි ඇත්ත සිතුවිලියි පරස්පරයි කියල පේනවා.

      ඕනම දෙයක් සිදුවෙන්නෙ වට පිටාවෙ හටියට, ඔයා වනාතමුල්ලෙ මුඩුක්කුවක ඉන්න කොල්ලෙක්ට ඔයාගෙ ලමයෙක් බඳින්න ඉඩ දෙනවද?

      මිනිස්සු එහෙම තමයි, සින්හලයින් කියල වෙනසක් නෑ,ඇයි දෙමල සමාජෙ සමහරුන්ට ගෙවල් වලින් වතුරවත් දෙන්නෙ නෑ. ඔයා කියන ලයිම් කාමර වල මිනිස්සු ඉඩකඩම් ගන්නෙ නැත්තෙ සරිලන ආදයමක් නැති නිසා, නැතුව දෙමල උන පලියට නෙවේ. අනන්තවත් සින්හල මිනිස්සු ඉන්නෙ ගෙයක් තියා පැලක් වත් නැති. අර උදාගම් වැසිකිලියෙ ජීවත් වෙච්ච පවුල දෙමලද? නෑ නෙ. එක පාලනයෙ වරද මිසක් ජාතියෙ වරද නෙවෙයි.

      ඉස්කෝලෙ කතාව ගත්තොත්, වැඩි මිනිසුන් ඉන්න තැන ඒ භාශාව පාවිච්චි කරනවා, ඔයා හිතන්නෙ එතන දෙමලෙන් කතා කරල ඉතුරු 75% බකන් නිල ඉන්න කියලද. නවදිල්ලි ඉස්කෝලෙක හින්දියෙන් හෝ ඉන්ග්‍රීසියෙන් මිසක් කෙරල භාශාවෙන් මීටින්ග් තියන්නෙ නෑ, කොහෙත් එහෙමයි.

      71 කියන්නෙ තනිකරම අපරාදයක්, විජේවීරගෙ ආසාවන්ට කොල්ලො බිලි උනා, 89 උනත් වඩි වෙනසක් නෑ. ඔයාලගෙ පැත්තෙ මැන්ගුස්ටින් ගස් වලට ව්ඳුරො ආවාම ගහ පුච්චනවද? වන්දුරො එලවනව මිසක්. ජෙප්පන්ට තිබ්බ ශක්තියෙන් ගහ පුච්චන්න යන්නෙ නැතිව අගේට වඬුරො එලවන්න තිබ්බ. ඒත් විජේවීරට ඕඅනෙ උනේ එයාගෙම ගහක් හදා ගන්න. එක අතක ඩියවන්නාවෙ ඉන්න හරක් හොඳයි, උන් ගෙඩි ඔක්කොම කඩාගෙන අඩුම ගානෙ ගහ ඉතුරු කරනවා.

      ඔයාගෙ තර්ක තෙරුමක් නෑ, මම ආයි කියන්නෙ පුලුවන්නම් සොලිඩ් උත්තරයක් දෙන්න

      Delete
    5. thawa podi dheyak, oyaagen me prashne ahanne lipiya liwwe oyaa kiyala hithaagena

      Delete
    6. ජාතකේ වැරැද්ද. උඹට දොස් කියලා වැඩක් නැ මහ එවුන්ගේ වැරදි වලට.

      Delete
    7. මෙන්න සොලිඩ් උත්තරය. අනෙක් පැත්ත හැරවූ භාජනවලට වතුර පිරවිය නො හැක.

      Delete
    8. ඇනෝ මුලදි කියල තිබෙන එක ගැන මමත් එකඟයි.ආන්ඩුව ගැන නප්පියටම තද වුන වෙලාවක පැරාල වාගෙ අයගෙ අන්තවාදී අදහ්හස් අහන සැනින් ඒ විරෝධය බින්දුවටම බැහැල අපටත් රජෙක් පහලව ඇතේ කියන ගීතය මතක් වෙනවා.
      ඇත්තටම මේ ආන්ඩුවෙ එකම ශක්තිය පැරාලා.
      ඔය කියන විදියට දෙමලුන්ට අඩු වැටුප් ගෙවනව කියල මම ඇහුවමයි.
      පහත් කරල සලකනව කියල වෙනම රාජ්‍ය දෙන්න ගියොත් ඉස්සෙල්ලම දෙන්න වෙන්නෙ රොඩී මිනිස්සුන්ට
      1971 දි 1989 දි කැරලි ගැහුවෙ බොරුවට
      සෝවියට් පන්නයේ ඒකාධිපති ආන්ඩුවක් ගෙනයන්න විජේවීර වාගෙ වාචාලයෙකුට තිබුන පුද්ගලික වුවමනාවයි ඒ
      මේ කැරලි පිටුපස ජාත්‍යාන්තර බලවේග තිබුනා
      ලංකාව චීන චන්ද්‍රිකාවක් කරන්න ජේ වී පියට ඕන වුනේ.
      ගොර්බචොෆ්ගේ පෙරෙස්ත්‍රොයිකාවෙන් පස්සෙ දැන් කොහෙවත් විප්ලව නැත්තෙ දැන් නිර්ධන පන්තිය විමුක්තිය ලබල නිසාද?
      ඒකට වෙනත් විකල්ප යොදනවලු.ඒ කියන්නෙ කලින් විප්ලව වලට සෝවියට් බලපෑම තිබුනා කියන එකනෙ.එතකොට මේක නිර්ධන පන්තියෙ වුවමනාවක් නොවෙයි සෝවියට් වුවමනාවක්.
      පැරාට මතකද පැරාල අහිංසක සිංහල ගම්මාන සමූලඝාතනය කරන කොට සතුටු වුන හැටි.බෝම්බ දැම්මෙ ඒ වගෙ යුද්ධයකින් රට ගලවා ගන්න.මේ රටේ ඉන්නෙ ශ්‍රී ලංකා හමුදාව.වැල්ලවත්තෙ දෙමලට නැති ප්‍රශ්නෙ කිලිනොච්චියෙ දෙමලට තියෙන්න බෑ.අනික උතුරෙ ද්‍රවිඩයන් වැඩි දෙනා යටත් විජිත කාලෙ ඇවිත් පදිංචි වුන අය
      ලංකාවෙ ආර්ථිකය පමනක් නොවෙයි දේශපාලනයත් මෙහෙයවන්නෙ මහාරාජල වගෙ දෙමලු.
      මෙතන ප්‍රශෙන් පැහැදිලියි දෙමලුන්ට ලෝකෙ කොහෙන් හරි රටක් ඕන .ඒක ඉන්දියාවෙන් ,මැලේසියාවෙන් ගන්න ගියොත් කන්න වෙනව.ඊට වඩා ලේසියි පැරාල වගෙ අයට පඩි ගෙවන එක.පැරා කියන විදියට රටවල් බෙදන්න ගියොත් රටවල් කෝටි ගානක් හදන්න වෙයි

      Delete
    9. පැරා ඔය වගෙ කතා කියල හරි, ඇනෝ ඇවිත් මගෙ ගෙදර අයට බැන්න කියල උත්තරය වෙන්නෙ නෑ, මගෙ ප්‍රශ්නෙ තාමත් විවුර්තයි

      Delete
  7. පැරාගෙ උත්තර වල දුර්වලකමින් තේරෙන්නෙ එක්කෝ මේ අදහස් ඔහුවත් නොදරන බවයි.මෙහෙම අසාධාරණ කතා කිසිම කෙනෙකුට කියන්න බැරි නිසා.දැන් ලංකාවෙ ළමයෙක් ඇමරිකාවෙ ඉස්කෝලෙකට ගියාම ඒ ඉස්කෝලෙ ඔක්කොම සිංහලෙන් කථා කරන්න ඕන.නැත්නම් ඒක ජාතික පීඩනයක්.ඒකට විසදුම ලංකාවෙන් ගිය අයට ඇමරිකාවෙන් ප්‍රාන්තයක් වෙන් කර දීමද?
    දෙමළ සමාජයෙ ඇත්ත පීඩනය තියෙන්නෙ උන් අතරමයි.දෙමල නිජභූමිය කියන්නෙ තමිල්නාඩුව.නමුත් ඉන්දියාවෙ පැරාලවගෙ අය නෑ.පැරා ජේ වී පී කරන්න හේතුවූ හීනමානය එනම් ඔහු පොදු සමාජය ගැන ඇති වෛරය ඔහු පා කරන්නෙ දෙමළ ජාතිවාදය හරහා.
    පැරා ජේ වී පී බල්ලො ගැනත් ලියල.ජේ වී පී එකේ දවසක් හිටියත් ඒ බලුගද අරින්න හුගක් අමාරුයි

    ReplyDelete
    Replies
    1. ඔබට දීමට ඇති පිළිතුර මෙයයි. ගුද මාර්යේ ඉන්න පණුවා අසූච් ගඳ බව නො දනියි.

      එසේම, ජාතිවාදය තුළ ඉපිද එතුල ම ජීවත් වී මැරී යන ඔබ වැනි අයට කිසි දිනෙක ඔබ ගිලී සිටින දෘෂ්ටිවාදයේ මුග්ධකම තේරුම් ගන්නට බැරි ය. තේරුම් කර දෙන්නට උත්සාහ කිරීම ද තේරුමක් නැත.

      ඇත්ත ය. මේ රජු නම් පහළව ඇත්තේ ඔබ වැනි මිනිසුන්ට ය.

      Never argue with an idiot; they'll drag you down to their level, and beat you with experience. - Oscar Wilde

      Good bye

      Delete
  8. කිසිවක් වන්නේ නැත, ජනතාව බත් කන හරක්ය, විපක්ෂයක් කියා දෙයක් නැත , එන්ජිඕ නඩ ගතම් එක සොයා ගන්න කෑ ගසනු ඇත.ආණ්ඩුවේ ඇතුලේ ඉන්න කාඩ්බෝඩ් වීරයන් එලියට ගිය ගමන් ඔවුන්ගේ කොමිස් පාගා ෆයිල් එලියට එනු ඇත. ඒ නිසා දෙන දෙයක් කාලා කියන විදියට රඟපානු ඇත. රජ්ජපක්ෂ එළවා දමා ඒ පුටුවට ගේන්නට එකෙක් නැත. එය රාජපක්ෂගේ සදාකාලික ජයග්‍රහණයේ රහසයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා