දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද?

මේ වනාහි ලංකාවේ වැඩියෙන් ම අසා ඇති ප්‍රශ්නය වන්නට පුළුවන.

ජාතිය දෙමළ වීම නිසා මිනිසුන්ට සිදු වන අසාධාරණයන් පිළිබඳ ඕනෑ තරම් උදාහරණ පෙන්විය හැකි ය. කොච්චර උත්තර දුන්නත්, සිංහල ජාතිවාදියෝ මේ ප්‍රශ්නය නැවත නැවත අසති. 

දෙමළ ජාතිකවාදීන්ට නම් මේ ප්‍රශ්නය විහිළුවක් වන්නට පුළුවන. එහෙත්, සිංහල සමාජය තවමත් හිතාගෙන ඉන්නේ මේ ප්‍රශ්නයට හරි පිළිතුරක් නැති ය කියා ය. දෙමළ ජාතිවාදීන්ට ද මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවබෝධයක් සිංහලයන් තුළ ඇති කිරීමේ උවමනාවක් කිසිදු කලෙක නො තිබිණි. 

සිංහලයකු වන මම මේ ප්‍රශ්නය ගැන උනන්දු වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව සිංහලයාගේ මෙන් ම සියලු ලාංකිකයන්ගේ ද අනාගතය හා මේ රටේ අනාගතය ද තීරණය වූයේ හා වන්නේ මේ ප්‍රශ්නය තේරුම් ගැනීම මත නිසා ය. වසර පනහකට පෙර ලංකාවේ අපි මේ ප්‍රශ්නය තේරුම් ගත්තා නම් පසුගිය තිස් අවුරුදු යුද්ධය සිදු නො වන්නට ඉඩ තිබිණි. යුද්ධය සිදු නො වුණා නම් අද අප මෙතැන නැත. 

දෙමළ වීම නිසා දෙමළ ජාතිකයන් මුහුණ දෙන මූලික ම ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයකි. එනම්, දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නයකි. ඉතිහාසයේ කිසියම් කෙටි කාල පරිච්ඡේද කීපයකදී හැර ලංකාව එක් සේසත් වී නැත. එක් සේසත් වුණත්, ප්‍රාදේශීය පාලකයන් බලවත් රජුට යටත්ව බදු ගෙවීම් වැනි දේ කළා මිසක්, එකී බලවත් රජු මුළු රට ම පාලනය කළේ නැත. එවැනි ප්‍රාදේශීය පාලන ඒකක තිබූ ප්‍රධාන ස්ථාන ‍අතර රුහුණ මෙන් ම යාපනය ද වේ. විශේෂයෙන් ම උතුරේ දෙමළ වැසියෝ ඉතිහාසයක් මුළුල්ලේ ම ස්වයං පාලනයක් පවත්වාගෙන ගිය හ. එහෙම එකක් අවශ්‍ය වූයේ ලංකා‍ව එදා තිබුණේ අද තත්වයෙන් නො වන නිසා ය. (මේ කරුණු දැන ගන්නට ඕනෑ නම් ඉතිහාසය හදාරන්න‍. දෙමළ ජාතිකයෝ ඉතිහාසයේ මුල් කාලයේ සිට ම මෙම දිවයිනේ ජීවත් වී ඇති බවට ඕනෑ තරම් සාක්කි තිබේ.)

පසු කලෙක ශ්‍රී ලංකාව බවට පත් වූ සිලෝන් නම් ඒකීය රාජ්‍යය නිර්මානය කළේ ඉංග්‍රීසි යටත් විජිතවාදීන් විසිනි. එසේ කළේ රටම ආවරණය වන පරිදි මාර්ග පද්ධතියක් ඉදි කිරීම, රටට ම එක් නීතියක් හඳුන්වා දීම, රට ම ඒකීය පරිපාලනයකට යටත් කිරීම වැනි ක්‍රියාමාර්ග හරහා ය. ඉංග්‍රීසීන් සිංහල මෙන් ම දෙමළ කතා කරන වැසියන් ද පාගාගෙන සිටියා මිස ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දුන්නේ නැත. ඒ නිසා සුළු ජාතීන් සුවිශේෂ මර්දනයකට ලක් වුණේ ද නැත. 

තත්වය වෙනස් වුණේ නිදහසත් සමගයි. ඉංග්‍රීසීන් විසින් ලංකාවේ පිහිටුවන ලද ඒකීය රාජ්‍ය පාලන ක්‍රමය තුළ බහුතරය වූ සිංහලයන්ගේ ආධිපත්‍යය තහවුරු විය. එසේ වූයේ සිංහලයන් හා දෙමළ කතා කරන්නන් අතර බෙදීමක් ඇති වී තිබුණු සංදර්භයක් තුළයි. එය සිදු වන්නේ ඉංග්‍රීසීන්ගේ බෙදා වෙන් කර පාලනය කිරීමේ ප්‍රතිපත්තිය නිසා බවට තර්කයක් ඇත. 

වර්තමානයේ අප හඳුනා ගන්නා සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අද තිබෙන තත්වයට ගොඩනැඟුණේ බොහෝ දුරට 20 වන සියවස තුළදී ය. මේ ජාතීන් ගොඩනැඟුණු ජාතික පුනර්ජීවන ව්‍යාපාරවල මුල් කාලයේ මූලික ලක්ෂණයක් වන්නේ ඒවා ගොඩනැ‍ඟෙන්නේ යටත් විජිතවාදීන්ට එරෙහිව නො ව අනෙක් ජනවර්ගයට එරෙහිව වීමයි. 

මෙකී සංදර්භය තුළ, සැලකිය යුතු නිදහස් අරගළයකින් ද තොරව, හිටිහැටියේ ඉංග්‍රීසීන් විසින් ලංකාව මත පිහිටුවන ලද ඒකීය රාජ්‍යය දෙමළ ජාතිකයන්ගේ බලාපොරොත්තු සුන් කර ලන්නක් විය. එහෙත්, ලංකාවේ දෙමළ කතා කරන ජනයා ද යාපනය, වන්නි, මඩකලපුව, මන්නාරම් හා කඳුරට හා මුස්ලිම් වශයෙන් එකිනෙකට වෙනස් දේශපාලන ප්‍රජාවන් වූවා මිස එක් ජාතියක් නො වූ නිසා ඔවුන්ට ද තිබුණු බලපෑම් ශක්තිය අවම විය. 

උඩරට, පහතරට, කරාව, සලාගම, දුරාව ආදී ජන කොටස් සිංහල බස පදනම් කරගෙන සිංහල ජාතිය ලෙස සංවිධානය වී වත්මන් සිංහල ජාතිය නිර්මානය විය. දෙමළ කතා කරන ජනයා ද ඒ අන්දමින් සංවිධාන වූ මුත්, දෙමළ ජාතිය ගොඩනැඟීමේදී මුස්ලිම්වරුන් හා කඳුරට දෙමළ ජනයා වෙන ම දේශපාලන ප්‍රජාවන් ලෙස සංවිධානය විය. 

තමන්ගේ ප්‍රදේශ පාලනය කර ගැනීම සඳහා තමන්ට වැඩි දේශපාලන බලයක් දෙන්නැයි කියන ඉල්ලීම දෙමළ සමාජයෙන් මතු විය. ඒ වනාහි ඉතිහාසය මුළුල්ලේ භුක්ති විඳින ලද තත්වයක් නැවත ඉල්ලා සි‍ටීමකි. සිංහලයන්ට අලුතින් ලැබුණු වරප්‍රසාදිත තත්වය අහිමි කර ගන්නට සිංහල නායකත්වය කැමති වූයේ නැත. 

බලය බෙදා ගැනීම සඳහා වූ ඉල්ලීම වෙන ම රාජ්‍යයක් දක්වා වර්ධනය වූ අතරමග සිංහල නායකයන් විසින් දෙමළ නායකයන්ට පොරොන්දු වී ලබා නො දෙන ලද බලය බෙදාගැනීමේ ව්‍යූහයන් කීයක් තිබේදැයි ඉතිහාස‍ය අධ්‍යයනය කර බලන්න. 

වෙන ම රාජ්‍යයක් සඳහා දෙමළ ජාතිකයන් විසින් කරන ලද සන්නද්ධ අරගළය පරාජය විය. කොටි සංවිධානය යනු දෙමළ ජාතිය විසින් ගොඩනඟා ගන්නා ලද, ඔවුන්ගේ ජීවිතවලින් පෝෂණය වූ ව්‍යාපාරයක් මිස හුදු ප්‍රභාකරන්ගේ හීනයක් නො වේ. 1971, 89 කැරැලි විජේවීරගේ හීනයකැයි සිතන අය වනාහි දේශපාලනික අඥානයෝ ය. එවැනි තකතීරුවන්ට ඉගැන්විය නො හැකි ය.

දෙමළ ඊලාම් අරගළය යුදමය වශයෙන් පරාජය වී ඇති මුත්, දෙමළ ජනයාගේ ඉල්ලීම යුක්ති යුක්ත ය යන ජාත්‍යන්තර පිළිගැනීම හේතුවෙන් යුද්ධයෙන් පසු කාලය තුළ පවා දෙමළ ඊලාම් අරගළය වේගයෙන් ඉදිරියට ගොස් තිබේ. දැන් ලංකාව බෙදෙන්නට ඉඩ තිබෙන්නේ යුද්ධයකින් නො ව ජාත්‍යන්තර මැදිහත්වීමකින් සිදු වන ජනමත විචාරණයක් වැනි දෙයකිනි. එහෙම නො වුණත්, මේ ප්‍රශ්නය ඇදි ඇදී යාමෙන් සිදු වන්නේ අනාගතයත් කාලකන්නි වීම පමණි.

එය වළක්වා ගත හැක්කේ දෙමළ ජාතිය විසින් කරනු ලබන ඉල්ලීමට සවන් දීමෙනි. ඔවුන් සමග සාකච්ඡා කිරීමෙනි. රාජ්‍යය තුළ දෙමළ ඇතුළු සියලු ජාතීන්ට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙනි. ඒ සඳහා ලංකාවට සුවිසල් රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය ය. අප කළ යුත්තේ අපට ගැලපෙන අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමයි. ‍මෙය වනාහි දෙනු ගනු හෙවත් give and take දෙයකි. සිංහලයන් වන අපි ඔවුන්ට පාලන බලයක් ලබා දී ඔවුන් මේ රා‍ජ්‍යය සමග එකතු කර ගත යුතු ය. සිංහල, දෙමළ ආදී ජාතීන් අනුකලනය වී නව ලාංකික ජාතියක් නිර්මානය කර ගැනීම සඳහා මෙය මූලික කොන්දේසියකි. අප දැන් කරමින් සිටින්නේ යටත් විජිතවාදීන් විසින් අපේ හිස මත පටවන ලද නො ගැලපෙන රාජ්‍ය ව්‍යූහයයක් කර තබාගෙන එක තැන පල්වීමයි. මේ රාජ්‍ය ව්‍යූහය විසින් අපට උරුම කර දී තිබෙන්නේ මොනවාද කියා කල්පනා කර බලන්න.

"අපි දෙමළුත් එක්ක එකතු වෙන්න කැමති නැහැ, අපට ඔවුන් විශ්වාස නැහැ, උන්ට ඕනැ රට බෙදන්නමයි, මේක සිංහලුන්ගේ විතරක් ර‍ට" ආදී දේ යමෙක් කියනවා නම් ඒ වනාහි ජාතිවාදියෙකි. ස්වෝත්තමවාදියෙකි. බෙදුම්වාදියෙකි. අන්ත පසුගාමියෙකි. පූර්ණ අසුබවාදියෙකි. දෙමළ සමාජයේ ද මෙවැනි අසුබවාදීහු සිටිති. "බලය දුන්නොත් උන් රටෙන් කෑල්ලක් වෙන් කර ගන්න එක වළක්වන්න බැහැ" යන්න මෙන් ම "අපට ඕනැ ඊලම ම යි" වැනි කතා මෝඩ පන්නයේ ඒවා ය. 

රට බෙදීම වළක්වා ගැනීමට කළ යුත්තේ ජාතීන් අතර අවබෝධය හා විශ්වාසය තහවුරු කර ගැනීමයි. ලංකාව තවත් කුඩා කැබලි දෙකකට හෝ වැඩි ගණනකට කැඩීමෙන් සිදු වන්නේ තමන් ඒ කොටසේ ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් සිර වී අනාථ වීම වන බැවින් සිදු විය යුත්තේ අප තව තවත් පුළුල් වීම ය යන්න තේරුම් ගන්නට අද ඉන්න සිංහල, දෙමළ මැටි මෝල්ලුන්ට බැරි වුනත් ‍අනාගත පරපුරට හෝ තේරුම් ගැන්වීමට පුළුවන. රටවල් කැබලිවලට බෙදීම වෙනුවට ලෝකය එක්සත් වීම සිදු වන්නේ ඒ අවබෝධය තුළයි. 

ප්‍රශ්නය තිබෙන්නේ අප පාලකයන් ලෙස පත් කර ගන්නේ මෙවැනි අභියෝගාත්මක දේශපාලනික කටයුතුවලදී ජනතාවට නායකත්වය දිය හැකි බුද්ධිමතුන් හා සැබෑ දේශප්‍රේමීන් නො ව හරකුන් යන අතට ඔහේ යන බේබදු ගොපල්ලන් වැනි අඥානයන් වීමයි. උන්ට රට ගැන ඇති හැඟීමක් නැත. උන් කල්පනා කරන්නේ බඩෙනි. 

මේ ලිපිත් කියවන්න: 
රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව
මනරංජන වැඩ වර්ජන - ජනරංජන ශ්‍රී රෝහණ
බෞද්ධයිනි, බොදු බල සේනාවේ ෂාරියා බුද්ධාගමික ප්‍රවණතාවට එරෙහි වෙමු


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ඉතින් දෙමළ මිනිස්සුන්ට දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නෙ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඕව ඔහොම තමයි. තව කොච්චර සැරයක් කිව්වත් නැවතත් ඔය ප්‍රශ්නය ම තමයි අහන්නෙ?

      Delete
    2. සිංහල වීම නිසා සිංහලුන්ට තිබෙන ප්‍රශ්නය ගැන ඊළඟට ලියන්නම්

      Delete
  2. Ano1 මේ විග්‍රහය තේරුණා. එකට ස්තුතියි.. නමුත් අප ගතයුතු පියවර මොකක්ද දැන්? මම අහන්නේ action එක..කොටින්න්ම ඔබව ගිහින් මහින්දගේ පුටුවේ තිබ්බොත් මුලින්ම කරන්නේ මොකක්ද? මැතිවරණෙ තියෙනවද? පොලිස් සහ ඉඩම් බල තල දෙනවද?

    ReplyDelete
    Replies
    1. මැතිවරණ පැවැත්වීම, පොලිස් බලතල ආදිය පවත්නා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොටස්. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන අය එය ක්‍රියාත්මක කරන්නත් බැඳිලා ඉන්නවා.

      කළ යුතුව තිබෙන්නේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සොයන අවංක සංවාදයක් ආරම්භ කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන පරිදි රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමයි. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමයි. මේවා බරපතල දේශපාලන ක්‍රියාමාර්ග මිසක් දැනුම මිනුම වගේ ප්‍රශ්න තරග නොවෙයි.

      Delete
    2. Ano1 අජිත්, මම අහන්නෙත් බරපතල කාරණාවක් තමයි. ඔයගේ පිළිතුර හරියට JVP එක මර්ක්ස්වාදය ගැන කියනවා වගේ. ඔයා එක්ක 100% එකග වෙනවා. අවංක වෙන්න ඕනේ. මම අහන ප්‍රශ්නය මුලින් තේරුම් ගන්න. මේ විවරණ අහල ඇති වෙලා අපිට.. නමුත් යථාර්තය වන්නේ ක්‍රියාත්මක කරන දේවල්. මම අහන්නේ පරමාදර්ශීය කෙනෙක් නායකයා උනොත් ගතයුතු ක්‍රියා මාර්ග (Action Plan) මොනවද කියලා ?

      ප්‍රශ්නය මග අරින්න එපා. ඔබ කියන සංවාදය මොනවගේ එකක්ද? කව්ද පාර්ශව කරුවෝ ? ඔය සංවාදය වෙනකම් ප්‍රශ්න ගොඩක් බිම් මටමේ වෙනවා.. ඒවාට තාවකාලිකව දෙන අවිසදුම් මොනවද?

      Delete
  3. වසර පනහකට පෙර ලංකාවේ අපි මේ ප්‍රශ්නය තේරුම් ගත්තා නම් පසුගිය තිස් අවුරුදු යුද්ධය සිදු නො වන්නට ඉඩ තිබිණි. යුද්ධය සිදු නො වුණා නම් අද අප මෙතැන නැත.
    100% එකඟයි

    ReplyDelete
  4. මෙම මාතෘකාව සම්බන්ධයෙන් මීට හරියටම අවුරුදු දෙකකට පෙර ටැබූ සහ මිගාර අතර ඇතිවූ සංවාදයක් මෙම ලින්කුවෙන් දැක්වේ.
    http://peramunerala.wordpress.com/tag/taboosubjects/

    ReplyDelete
  5. Replies
    1. True, good comedians use less words.

      Delete
    2. Yes. I can see only six in your comment.

      Delete
  6. මට මතක විදිහට ඕකට නියම උත්තරය දුන්නෙ ආචාර්ය නිර්මාල් රංජිත්. වමා කිව්වෙ දෙමළට දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නය රටක් නැතිකමය කියල. සිංහල උන්මාදවාදී වර්ගවාදීන්ගේ මෝඩ ප්‍රශ්නයට පොල්ලෙන් ගහන උත්තරයක් එහි අඩංගුය කියල මා හිතනව. ඒ හැරෙන්න කවදාවත් ඔය ප්‍රශ්නයට උත්තරය සිංහල වර්ගවාදීන් තේරුම් ගන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. //වමා කිව්වෙ දෙමළට දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නය රටක් නැතිකමය කියල.//සිංහල උන්මාදවාදී වර්ගවාදීන්ගේ මෝඩ ප්‍රශ්නයට පොල්ලෙන් ගහන උත්තරයක් එහි අඩංගුය කියල මා හිතනව//
      ඉතින් දොරේ ලංකාවේ ඉන්න ලක්ෂ 30ක් වුනු දෙමළ ජනතාවට දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නේ රටක් නැතිකම නම් ඉන්දියාවේ ඉන්න කෝටි 7ක් වුනු දෙමල ජනතාවට කොඉතරම් නම් ලොකු ප්‍රශ්නයක් ද ඇත්තේ රටක් නැතුව නේද? මම පදිංචි ප්‍රදේශයට කිට්ටුවෙන් අහිගුණ්ටික ජනාවාසයක් තියෙනවා. එයාල නිතරම කියන්නේ එයාල ගැන කිසිම රජයකින් හොයා බලන්නේ නෑ කියලා . ඔයාගේ බුද්ධිමත් වමා ගේ නිර්වචනයට අනුව මට දැන් තමයි මොලේ පෑදෙන්නේ. එයාලගේ ප්‍රශ්නෙට හේතුව රටක් නැති කම. මම මේ නොදන්නා කමටයි අහන්නේ දොරේ, එතකොට දෙමල ජනතාවට දෙමල වීම නිසාම ඇති එකම ප්‍රශ්නය වුන "රටක් නොමැති කම" ට විසඳුමක් විදිහට ඔබතුමාගේ විශ්වකර්ම වමා දෙන විසඳුමට අනුව වෙනම රටක් දුන්නොත් ඊට පස්සෙත් එයාලට ප්‍රශ්න තිබුනොතින් එහෙම අයෙත් දෙන්න තියෙන විසඳුම හරිම සරලයි. ඒ රට අයෙත් දෙකට කඩනවා. ද්‍රවිඩ හින්දු අයට එකයි, ද්‍රවිඩ කතෝලික/ක්‍රිස්තියානි අයට එකයි. අම්මප මේ වගේ ඇසූ පිරූ තැන් ඇති විශ්වවිද්‍යාල අදුරෙක්ගෙන් ශිල්ප ලබන්නට තරම් මා වාසනාවන්ත නොවූ තරම්...අදෝමැයි...

      Delete
    2. විසඳුම රට බෙදීම නොවෙයි. දෙමළ මිනිස්සුත් මේ රටේ පුරවැසියන් බවට පත් වන්න අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමයි. ලංකාව තමන්ගේ රට යයි කියන්න දෙමළ මිනිසුන්ටත් පුළුවන් තත්වයක් ඇති කළ යුතුයි.

      ඉන්දියාවේ ඉන්න කෝටි හතක් දෙමළ වැසියන් තමන්ට රටක් නැති ය කියා නො කියන්නේ ඉන්දියාව ඔවුන්ගේත් රට ලෙස ඔවුන් සලකන නිසා.

      නිර්මාල්ගේ ප්‍රකාශයේ ගැඹුර වටහා ගන්න බැරි වුණාට නම නම් ගිනිසිළුව.

      Delete
    3. නිර්මාල්ගේ ප්‍රකාශයේ ගැඹුර වැටහෙන නිසා තමයි අපිත් මේ කතා කරන්නේ. එයා කියන විදියට "දෙමළට දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නය රටක් නැතිකම" නම් බලය බෙදුවම ඒ ප්‍රශ්නය නැති වෙන්නේ කොහොමද? රටක් නැති කමට විසඳුම රටක් දෙන එක මිසක් වෙන මොකක්ද? එක එක නම් වලින් අයිසින් කරලා ආවට අපි අහුවෙන්නේ නෑ . අපි චීන්නු නෙවෙයි. අනික කොන්ඩෙත් කපල ඉන්නේ. දෙවැනි කාරණේ තමයි නම ගිනිසිළුව උනාට වැඩ එහෙම නැති එක ගැන ඔයා එතරම් වද වෙන්න එපා සහෝදරයා. මොකද ඔයාගෙත් නම පැරකුම් උනාට කරන්නේ දොන් ජුවන් ධර්මපාල වැඩනේ . කරපු තරමක් විප්ලව පැරදුනාට නම ජයසිංහනේ.තුන්වන කාරණාව තමයි, ඔබතුමාලා වගේ කට්ටිය දෙමල ජනතාවට බලය බෙදාහරින්න ඕනෑය කියන කාරණය මතුකරන්නේ මාක්ස්වාදී ආස්තවයක ඉඳල කියන එක අපි පිලිගන්නවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය මේකයි. ඔබතුමාලා එයාලට බලය දෙන්න හදන්නේ මාක්ස්වාදී පදනමක ඉඳන් තමයි එත් බලය ගන්න ඉන්න කට්ටිය එහෙම පදනමක නෑ නේද? එයාලත් අපේ දකුණේ වගේම ධනවාදී දේශපාලන මතයක් දරන්නේ. තත්වය තවත් භයානක වෙන්නේ එයාලගේ දේශපාලන පක්ෂ සියල්ලම ජාතිකත්වය මත පදනම් වෙලා තියෙන නිසා. හෙළ උරුමය වගේ පක්ෂයකට දකුණේ බලය හම්බ උනාම වෙන සන්තැසියම තමයි උතුරේ දෙමල පක්ෂ වලටත් ප්‍රධාන දේශපාලන බලයක් හම්බ උනොත් වෙන්නේ. ඉතින් ඔයාල මාක්ස්වාදී පදනමෙන් බෙදාදෙන බලය එයාල ජාතිකවාදී පදනමෙන් හයියෙන් අල්ලාගෙන තියාගත්තොත් එහෙම මොකද ආයේ ඉල්ලගන්න ද? මතකනේ වර්ධරාජා පෙරුමාල් කරපු වැඩේ? උතුරේ ජනතාවට ප්‍රශ්න තියෙනවා තමයි. ඉතින් ඒ ප්‍රශ්නම දකුණේ අයටත් තියෙනවා. ඒවා අපේ පාලකයොන්ගේ වැරදි. ඒවයි නිවැරදි විය යුත්තේ. එහෙම නැතුව බලය බෙදාගෙන බෙදාගෙන යන එක නෙවෙයි. දැනට පළාත් සභා වලට බෙදල දීල තියෙන ඒවත් ආපහු පවරගන්නයි තියෙන්නේ අහිංසක රටවැසියන්ගේ බදු මුදල් කොඉතරමක් නම් මේ නිසරු පළාත් සභා වලට වැයවෙනවද?

      Delete
    4. එක දෙයක් අමතක උනා. //දෙමළ මිනිස්සුත් මේ රටේ පුරවැසියන් බවට පත් වන්න අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමයි//
      කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ? මට තේරෙන විදියට නම් ඔයා මේ කියන්නේ සංචාරක වීසා අරගෙන ලංකාවේ ගොයම් කපන්න එහෙම එන ඉන්දියාවේ දෙමල මිනිස්සු ගැන වෙන්න ඕනි. මොකද ශ්‍රීලාංකික දෙමල ජනතාව අමුතුවෙන් මේ රටේ පුරවැසියෝ වෙන්න දෙයක් නෑනේ.කොහොමත් මෙහෙ පුරවැසියෝනේ. ඉතින් ඒ පදනමෙන් ගත්තම මෙයා මේ කියන්නේ අර සංචාරක වීසා අරගෙන ලංකාවේ ගොයම් කපන්න එහෙම එන ඉන්දියාවේ දෙමල මිනිස්සුනට දේශපාලන ප්‍රතිසංස්කරණ දෙන්න කියලා. කවද ඉඳන් ද දෙවන වෙස්සන්තර දොර දන් දෙන්න ගත්තේ? හරි අම්මරුවෙන් හම්බ කරපුව වෙන්න ඇති නේද ඔය දෙන්න හදන්නේ?

      Delete
    5. අයියෝ ඉතින් පීඩිත පන්තියේ අපි නොදන්නා දෙයක් කොමෙන්ට් එකකින් අහපුවම පැරා ඒවා ගණන් ගන්නෙවත් නෑනේ? :(

      Delete
  7. w3lanka, ඔබේ ඉලක්කය තමුන්ගෙ සයිට් එකට එන හිට්ස් ගණන වැඩි කරගැනීම නම් මෙවන් මෝඩ ආතල් ඔස්සේ ඒ කරගත්තාට ගැටළුවක් නැත. හැබැයි ඉතිං තමුන් අදාළ ප්‍රශ්ණයට උත්තරයක් දුන්න කියල නම් ෆැන්ටසි හදා ගන්න ලෑස්ති වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි අයට අවශ්‍ය පිළිතුර වන්නේ "දෙමළ ජනයාට දෙමළ වීම නිසා ප්‍රශ්නයක් නැත" යන්නයි. එය ලැබෙන තෙක් ඔබ කියන්නේ "උත්තරය වැරදියි" කියා ය. ඔබ මෝඩ බව ඔබ ම නො දනී.

      Delete
    2. අනෙක හිට්ස් ඕනැ නම් ලිවිය යුත්තේ ගොසිප්. ලංකාවේ මේ වන විට ලොකු ම මාකට් එක තිබෙන්නේ ගොසිප්වලට.

      Delete
  8. "දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද?"
    මේ එක්ක එන අනිත් ප්‍රශ්නය තමයි,
    "දෙමළුන්ගේ ප්‍රශ්න සමහන්වීමට දෙමළ නායකයන් ඉල්ලන විසඳුම් වලින් දෙමළගෙ ප්‍රශ්න විස‍ඳේද?"

    ReplyDelete
  9. අජිත් මට නොතේරෙන යමක තියෙනවා සාධාරණව පැහැදිලි කර දේ කියා හිතනවා.

    [[විශේෂයෙන් ම උතුරේ දෙමළ වැසියෝ ඉතිහාසයක් මුළුල්ලේ ම ස්වයං පාලනයක් පවත්වාගෙන ගිය හ. එහෙම එකක් අවශ්‍ය වූයේ ලංකා‍ව එදා තිබුණේ අද තත්වයෙන් නො වන නිසා ය. (මේ කරුණු දැන ගන්නට ඕනෑ නම් ඉතිහාසය හදාරන්න‍. දෙමළ ජාතිකයෝ ඉතිහාසයේ මුල් කාලයේ සිට ම මෙම දිවයිනේ ජීවත් වී ඇති බවට ඕනෑ තරම් සාක්කි තිබේ.)]]

    මම දන්නා ඉතිහාසය තුල දමිල ස්ව්‍යන්පාලන ප්‍රදේශයක් ලංකාවේ බිහි වන්නේ දකුණු ඉන්දීය රාජරාජ ගේ ආක්‍රමණයට පස්සේ. එය ද තාවකාලික වන අතර නැවත පොළොන්නරු යුගය නිමා වූ පසු එන මාඝ ආක්‍රමණයට පසු එය දිගු කලකට බිහි වෙනවා. එහි අඛණ්ඩ පැවැත්ම වසර 400 ක් විතර කියා මම දන්නේ. මේ හුදෙක් වංශ කතා ඇසුරින් පමණක් නොවේ, මා [ලේමන් කෙනෙක් හැටියට] දන්නා තරමින් පුරා විද්‍යා සාධක ද ඇසුරිනි.

    එහෙත් ඔබ කියන කතාව දෙමළුන් අතර ප්‍රචලිතයි. දකුණු ඉන්දියාවෙන් ඉස්මතුවන කුමාරි කන්දම් නම ගිලුණු මහාද්වීපයේ කතාව දෙමළුන් හිතාගෙන්න ඉන්න මිත් එකක්. ඇත්තෙන්ම දෙමළුන්ට ලංකාවේ ස්ව්‍යන්පාලනයක් තිබ්බා කියා හිතන්නේ ඔන්න ඔහොම සුරංගනා කතා නිසා. මේක ඔවුන්ගේ නිජබිම කියන සංකල්පයේ මූල ඔතනයි.

    මම වැරදි නම ඔබෙන් ඉගෙනීමට කැමතියි.

    [[දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද?
    මේ වනාහි ලංකාවේ වැඩියෙන් ම අසා ඇති ප්‍රශ්නය වන්නට පුළුවන.]]

    මෙම ප්‍රශ්නය මම අහලා තියෙන ප්‍රශ්නයක් හැබැයි මම ඇහුවේ "වර්තමානයේ දෙමලෙකු දෙමළකු වීම නිසා තියෙන සුවිශේෂී ප්‍රශ්නය කුමක්ද" යන්නයි. ඒ කතිකාවේදී 1956 වෙද්දී භාෂා ප්‍රශ්නයක් තිබ්බ බව මමත් පිලි ගත්තා. ඒ ලෝකේ හැටි. තිබ්බ අඩුපාඩු හරි ගියාට පස්සේ තවම පරණ කුණු ගොඩේ එතිලා ඉන්න ඒක වැරදියි.

    [[දෙමළ වීම නිසා දෙමළ ජාතිකයන් මුහුණ දෙන මූලික ම ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයකි. එනම්, දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නයකි. ]]

    මේ උත්තරයට එකඟයි. එනම් ලාංකීය දෙමල ජනයා 1950 ඉල්ලුවේ දෙමළුන්ට පාලනයක්. එය බොහෝ විට එක්සත් ලංකාවක් කියන පදනම තුල බෙරාගතහැකි දෙයක්. එහෙත් 1980 වෙද්දී ඉල්ලුවේ වෙනම රටක්. ඒක ඉන්දියාව පකිස්තානය වැනි වර්ගවාදය මත බෙදුමක්.

    ඒ නිසා තමයි ඒ බෙදුම දෙන්න බැරි. වසර 400 ක පමණ කාලයක් තිබ්බ වෙනම රාජ්‍යයක් වර්තමානයට ගැලපෙන්නේ නැහැ. එහෙත් ඔබේ පෙර ලිපි කියවූ නිසා ඔබ දෙමල වෙනම රාජ්‍යයට "මේ මොහොතේ" සහය නොදෙන්නෙක් කියා හිතනවා. ඒ නිසා පි දෙන්නම එකඟ නොවන්නේ නම වාදයක් නැහැනේ.

    [[එය වළක්වා ගත හැක්කේ දෙමළ ජාතිය විසින් කරනු ලබන ඉල්ලීමට සවන් දීමෙනි. ඔවුන් සමග සාකච්ඡා කිරීමෙනි. රාජ්‍යය තුළ දෙමළ ඇතුළු සියලු ජාතීන්ට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙනි. ඒ සඳහා ලංකාවට සුවිසල් රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය ය. අප කළ යුත්තේ අපට ගැලපෙන අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමයි. ‍මෙය වනාහි දෙනු ගනු හෙවත් give and take දෙයකි. සිංහලයන් වන අපි ඔවුන්ට පාලන බලයක් ලබා දී ඔවුන් මේ රා‍ජ්‍යය සමග එකතු කර ගත යුතු ය. සිංහල, දෙමළ ආදී ජාතීන් අනුකලනය වී නව ලාංකික ජාතියක් නිර්මානය කර ගැනීම සඳහා මෙය මූලික කොන්දේසියකි. ]]

    එකඟයි. මම හිතන්නේ තමන්ගේ පළාත් වල පාලනය කරගන්න දෙමලාට විතරක් නොවේ අනුරාධපුරේ මාතර රත්නපුරේ නුවර එකාටත් අවශ්‍යයි. ලංකාවේ දැවැන්තම සමාජ අරුබුද දෙකක් ඇතිකළ ජවිපෙ මේ මධ්‍ය කේන්ද්‍රීය පාලනය නිසා පැනනැගී ගම හා නගරය අතර ගැටුමක් ලෙස මා දකින්නේ [මාක්ස්වාදී ටච් ඒක තිබ්බට]. ඒ නිසා යම්කිසි බල බෙදුමක් සැමටම අවශ්‍යයි. යුද්ධය මා දකින්නේ එම් සඳහා අවශ්‍ය පසුබිම හදන කසකාරයෙක් හැටියට විනා අවසාන විසඳුම ලෙස නොවේ.

    හැබැයි ඒ බල බෙදුම තුල ඒ හැමොටම ලැබෙන බලය රට නැවත කැබලි කැඩෙන්නේ නැති තත්වයක් විය යුතුයි. මේක නිකම් කට වචනයට යාලු ෆිට් එකට නොවී නෛතිකව හා ප්‍රායෝගිකව සිදු බිය යුත්තක්. සිංහල සමාජයේ බහුතරයක් යාපනේ පළාත් ආණ්ඩුවක් [හෝ වෙන ඕන මගුලක්] තිබ්බට විරුද්ධ නැහැ, ඔවුන් විරුද්ධ ඒක හරහා රට බෙදන්න ඔවුන්ට අවකාශ ලැබේ යන සැකය හා නොදුන්නොත් රට බෙදනවා එහෙනම් බලා ගම්මු කියන තර්ජනය නිසා. ලංකාවේ කට්ටිය බෙදිලා ඉන්නේ එකිනෙකා තර තියෙන සැකය සහ එකට ඒක කිරීම් හේතුවෙන්.

    බලය බෙදා රට ස්ථිරව නොබෙදන්නේ කෙසේද යන්න කියන්න තරම් මට හැකියාවක් නැහැ. එහෙත් නෛතිකව හා ප්‍රායෝගිකව රට නොබෙදන රාමුවක
    "ශ්‍රී ලාංකිකයන් වන අපි ඔවුන්ට පාලන බලයක් ලබා දී ඔවුන් මේ රා‍ජ්‍යය සමග එකතු කර ගත යුතු ය" කියන පදනමින් ඔබ හා එකඟයි. එහෙත් ඒ බල බෙදුම අත්‍යාවශ්‍යයෙන් ම ප්රාදෙශියත්වය විනා වාර්ගිකත්වය මත සිදු නොවිය යුතු බවයි මගේ මතය.

    යුද්දයෙන් ත්‍රස්තවාදය පරදා මේ කාර්යය කරන්නට අවශ්‍ය බලය ලද එහෙත් එය කරන්නට උවමනාවක් හෝ තේරුමක් නැති රාජපක්ෂ රජය මේ මාතෘකාව තුල සපුරා අසමර්තයෙකි. ඔවුන් උතුරට පමණක් නොව දකුණට ද දෙන්නේ ඔවුන්ගේ නාමික ගෝලයෙකු යටතේ පාලනය වෙයල්ලා යන කොල්බ්රුක් පන්නයේ උත්තරයකි. එය ද සිහියකින් හෝ තේරුමකින් දෙන්නක් නොවේ.

    ReplyDelete
  10. කුරුණෑගල, දඹදෙනිය, ගම්පොල, කෝට්ටේ හෝ මහනුවර රජකුට යාපනය පාලනය කරන්න බැරි ප්‍රධාන හේතුව භූගෝලීය සාධක. කුමන තත්වයක් මත හෝ වේවා, රුහුණ හෝ යාපනය පාලනය කළ පාලකයන් කටයුතු කරන්නට ඇත්තේ වර්තමානයේ ෆෙඩරල් ය කියන ආකාරයේ ස්වාධීන බලයක් තිබුණු තත්වයක් තුළයි. ඒ නිසා ප්‍රාදේශීය පාලනය කියන එක යාපනයේ උරුමයේ කොටසක්.

    අනෙක ඔය එක් සේසත් කරනවා ය කියන එකයි, වර්තාන ඒකීය රාජ්‍යයයි කියන්නේ එකක් නො වෙයි, දෙකක්. එක් සේසත් කිරීම තුළත් ප්‍රාදේශීය ස්වයං පාලනයන් තිබෙන්න ඇති. නැතිනම් පාලනයක් පවතින්න විධියක් නැහැ, එදා තත්වය තුළ.

    අනෙක රාජ්‍යයන් කියන ඒවා කවදාවත් ස්ථිතිකව තිබිලා නැහැ. දේශසීමාවන් වුණත් එහෙමයි. අද තිබෙන එක හෙට වෙනස් වෙනවා. එය එදත් තීරණය වුණේ බලය මත. හෙටත් එහෙමම තමයි. අද තිබෙන තත්වය තුළ සිංහලයා බලවත් වෙමින් ඉන්නවා කියලා හිතන්න පුළුවන් ද‍? සිංහලයා මේ දුර්වල වන වේගයෙන් දුර්වල වුණොත් සිංහලයාට ඕනෑ විධියට ‍මේ රාජ්‍යය පවත්ව‍ාගෙන යන්න ලැබෙන්නේ නැහැ. කළ යුතුව තිබෙන්නේ අපි මේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාතික සීමාවන් පියමං කරලා පුළුල් දේශපාලන ප්‍රජා අනන්‍යතාවන් ගොඩනඟා ගන්න එකයි.

    ජාතිවාදයෙන් අන්ධ වෙලා එය කරන්න බැහැ. සහෝදර ජාතීන් සමග සුහදතාව වර්ධනය කර ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. අනුරාධපුරේ රාජධානිය කාලේ ඔබ කියන ප්‍රාදේශීය පාලනයක් හෝ බහුතර දෙමල ප්‍රදේශ තිබ්බ බවට සාධක නැහැ. දෙමළුන් ඉන්න ඇත්තේ සිංහලුන් එක්ක එකට මිශ්‍රව. අනික ඒ කාලේ උන්න්නු දෙමල ජාන බොහෝ විට ඇත්තේ සිංහලයින් තුලයි. පොළොන්නරු හා පසු යුගවල බිහිවන්නේ ආක්රමනික ප්‍රජාවක්. ඒ කියන්නේ ඔබ කියන වෙනස සියවස කීපයක් පමණක් තිබ්බ එකක්. රුහුණ වැනිම යාපන රාජධානියක් කියන කතාව වැරදියි.

      හැබැයි පහුගිය සියවස කීපයක් යාපනය ආශ්‍රිතව තිබ්බ රාජධානිය අනන්‍යතාවයක් ලෙස පිළිගන්න මම මැලි වන්නේ නැහැ.

      කෙසේ වෙතත් ගැටලුව නම මේ අතීත වාර්ගික සිහින වර්තමානයේ පවත්වා ගන්නවා වෙනුවට අදට ගැලපෙන ක්‍රමයක් තුලට ඒ මානසිකත්වය අවශෝෂණය කර ගන්න පුළුවන්. ප්‍රාදේශීයව බලය බෙදීමක් කියා මම කිව්වේ ඒකයි. ජාතිවාදී ෆැන්ටසි තිබ්බට ඒවා සපෝට් කිරීම නොකළ යුත්තක්.

      [[අනෙක රාජ්‍යයන් කියන ඒවා කවදාවත් ස්ථිතිකව තිබිලා නැහැ. දේශසීමාවන් වුණත් එහෙමයි. අද තිබෙන එක හෙට වෙනස් වෙනවා. එය එදත් තීරණය වුණේ බලය මත. හෙටත් එහෙමම තමයි. අද තිබෙන තත්වය තුළ සිංහලයා බලවත් වෙමින් ඉන්නවා කියලා හිතන්න පුළුවන් ද‍?]]

      මම හිතන්නේ අපි ඇතිවෙන්න වාද කරපු තේරුමක් නැති කොටසක් මේක. ලංකාවේ සිංහල පාලනයක් නැහැ අජිත්. එකේ බහුතරය සිංහල වෙච්ච ලාංකීය පාලනයක්. ඔබේ " අද තිබෙන තත්වය තුළ සිංහලයා බලවත් වෙමින් ඉන්නවා කියලා හිතන්න පුළුවන් ද‍' කියන ඒක මෙලෝ තේරුමක් නැහැ.

      එහෙත් වර්තමානයේ තීරණය ඇවිත් තියෙන්නේ තනිකර යුධ බලය මත. ඒක නිවැරදි නොවන දෙයක් නිසා තමයි ලංකාවේ බලය බෙදීමක් වෙන්න ඕනේ කියා හිතුවේ. දෙමළා බලවත් වේ වහාම බලය බෙදාපල්ලා කියන අසත්‍ය විකාරයෙන් වෙන්නේ තවත් සිංහලයා ජාතිවාදී වීම තමා. දෙමළා ට හන්ගීම් දැනීම් වැරදීම් වෙනවා සේම සිංහලයාටත් ඒවා වෙනවා. ඔක්කම මිනිස්සු.

      [[කළ යුතුව තිබෙන්නේ අපි මේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාතික සීමාවන් පියමං කරලා පුළුල් දේශපාලන ප්‍රජා අනන්‍යතාවන් ගොඩනඟා ගන්න එකයි.

      ජාතිවාදයෙන් අන්ධ වෙලා එය කරන්න බැහැ. සහෝදර ජාතීන් සමග සුහදතාව වර්ධනය කර ගත යුතුයි. ]]

      එකඟයි.

      Delete
  11. '"පසමිතුරෝ" කියල පරණ සිංහල චිත්‍රපටයක් තියෙනවා එකේ තියෙනවා ප්‍රශ්නෙයි උත්තරෙයි .

    ReplyDelete
    Replies
    1. හිරෙන් පැනපු උන දෙන්නගේ කතාව නේද?

      Delete
    2. සිරිල් මල්ලී චිත්‍රපටයේ කතාවත් ජාතික ප්‍රශ්නය වගේ ය කියලා වරක් ධම්ම දිසානායක වැඩමුළුවකදී කිව්වා.

      Delete
    3. ඔව් සුජීව මගේ ඇස් දෙකට කඳුළු අවා එක බලලා. ඒ මිනිස්සු දෙන්නා උපතින් ජාති දෙකක්.ඒක හින්ද මරගත්තත් අන්තිමට උන් බැඳලා තිබුන මාංචුව නිසා උන්ට එකට ජීවත් වෙන්න සිදු වෙනවා.උන් දෙන්නට එකම ප්‍රශ්නයකට මුහුණදෙන්න වෙනවා එකටම. අන්තිමට එකිනෙකාගේ පැවැත්ම නැතුව අනෙකාට පවතින්න බැහැ කියල තේරුම් ගන්නවා.අන්තිමට මාංචු කඩාගන්නවා ඒත් එතකොට හදවතින් එකිනෙකා බැඳිලා ඉවරයි.ඒ බැඳීම කොහොමටවත් කඩන්න බැරිතරමට සුන්දරයි. සිංහළ මිනිස්සුන්ටයි යි දෙමළ මිනිස්සුන්ටයි මුහුණ දෙන්න තියෙන්නේ එකම ප්‍රශ්නයකටයි.ඒක තේරුම් අරගෙන ජීවිතයේදී එකට මුහු වෙලා ඉන්න පුළුවන් පරිසරයක් හැදුනොත් මිනිස්සු හදවත් වලින් බැඳෙනවා.එතකොට කට්ටියට බෙදාගෙන වෙන්කරගෙන නටන්න ප්‍රශ්නයක්වත් එකට උත්තරයක්වත් හොයා හොයා මරාගන්නවත් ඕන නැහැ. මිනිසුන්ට මුහු වෙන්න ඉඩ දීමයි කරන්න ඕන.ඔවුන් අනෙකාගේ පැවැත්මට ආදරය කරාවි.පිළිගනීවි.. උත්ත්ත්රේ එකයි.

      Delete
    4. [[ මිනිසුන්ට මුහු වෙන්න ඉඩ දීමයි කරන්න ඕන.ඔවුන් අනෙකාගේ පැවැත්මට ආදරය කරාවි.පිළිගනීවි]]

      ඒ වුනාට ඒක ජාතික කලාප [මොනෝ එත්නික් එන්ක්ලෙව්ස්] නැති වන පරිදි සක්‍රිය ජනාවාසකරණයක් කල යුතුයි කිව්වම කට්ටිය ඒක සැලකුවේ බොහොම නරක දෙයක් හැටියට.

      සිංහලයින් උතුරේ පදිංචිය කියන වර්ගවාදී සැලසුමකින් හැමෝම මීට කලින් බැටකෑ බව ඇත්ත. එහෙත් මම යෝජනා කලේ හැමජාතියකම මිනිසුන්ගෙන් සමන්විත ජනපද ජනගහන අඩු ප්‍රදේශවල රාජ්‍ය ඉඩම් වල බිහි කල යුතු බවයි.

      මම තාමත් ඒ මතයේ ඉන්නවා.

      Delete
  12. මම තමයි මෙ කොමෙන්ට් එක දාපු ඇනෝ, http://www.w3lanka.com/2013/05/blog-post_23.html?showComment=1369299454400#c3671365035344978891

    මම අහපු ප්‍රශ්නෙට රට වටේකතා කිව්වට මම ඒ තර්ක වැඩක් නෑ කියල කිව්ව, ඊට පස්සෙ ඔයා කරපු ලේසිම වැඩෙ තමයි මම මෝඩයෙක්, කියල වැඩක් නෑ කියල ඇඟ බෙර ගත්ත එක. මගෙ ප්‍රශ්නෙන් උත්තෙජනය වෙලා ඔයා මේ ලිපිය ලියපු බව පේනව. හැබැයි ඔයාගෙ තියන මුග්ධ ගතිය මේ ලිපිය පුරාවට පැතිරිලා. තමන්ගෙ මතය නොදරණ අය මොඩයෝ, අඤාත්යො, පසුගාමියො අරකා මේකා කියල හන්වඩු ගහනවා.

    අද ලිපියෙන් උනත් කරල තියෙන්නෙ නිකන් බොරු වැල් වටාරම් ගහල ප්‍රශ්නෙන් ලිස්සලා මිසක් මගෙ අර ප්‍රශ්නෙට කෙලින් උතරයක් දීලා නෑ. ඔකට කියන්නෙ නොයිස් මේකින් කියල. ටොපික් එක අමතක වෙන්න රට බයිල ගහනවා.

    නිදහසේදි වෙච්ච බල හුවමාරුව ගැන කියනකොට 50ට 50 අමතකද? ඒක ගන්න ගේම ඇදපු හැටි මතකද. හරි ජම්මයක් නැති එකෙක්ට හැර අනිත් ඕනෑම අයෙක්ට තමන්ගෙ ජාතිය, රට ගැන කැක්කුමක් තියනව. ඒක් ජාතිවාදෙ නෙවෙයි.

    ඔයා වගෙ නෙවෙයි අපිට ඔෆිස් වැඩ තියන, මොකඩ මට ඔහෙට වගෙ කවුරුවත් ගෙවන්නෙ නෑ, පුලුවන් උනොත් මම සම්පූර්ණ උත්තරයක් දන්නම්. ඊට කලින් හරි උත්තරයක් දෙන්න මගෙ ප්‍රශ්නෙට හෝ මගෙ තර්ක වලට අර උඩ තියන ලින්ක් එකට ගිහින්.

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි අයට යමක් අවබෝධ කර දෙන්න අමාරුයි. ඒත්, ඔබ 50ට 50 ගැන සඳහන් කර තිබෙන නිසා ඔබ දන්නා විධියට එය කුමක්ද යන්න මට පැහැදිලි කර දෙන්න. ඉන් පසු එය ගැන කතා කරන්නම්.

      මෙම ලිපි ලියනවාට අපට ගෙවන බව ඔබ කියන අයට කියන්න මෙම බ්ලොගයේ ඉහළ තිබෙන 'අපට උදව් කරන්න' කියන ටැබය තුළින් පිවිස එකී ගෙවීම් හැකි තරම් කරන්න කියා.

      මොකද, අපට උදව්වට පොතක් මිළ දී ගත් මිනිහෙක්වත් තවම හමු වුණේ නැහැ‍.

      Delete
  13. ඔබ මේ කොටස හිතා මතා මගහැරියා කියා නොසිතන්නේ ඔබ සාධාරණව කතා කරන්නෙකු නිසා.

    "දකුණු ඉන්දියාවෙන් ඉස්මතුවන කුමාරි කන්දම් නම ගිලුණු මහාද්වීපයේ කතාව දෙමළුන් හිතාගෙන්න ඉන්න මිත් එකක්. ඇත්තෙන්ම දෙමළුන්ට ලංකාවේ ස්ව්‍යන්පාලනයක් තිබ්බා කියා හිතන්නේ ඔන්න ඔහොම සුරංගනා කතා නිසා. මේක ඔවුන්ගේ නිජබිම කියන සංකල්පයේ මූල ඔතනයි."

    මේ සියවස කීපයක දෙමල අනන්‍යතාවය මත බෙදාපු තෙලක්. ඇත්තෙන්ම බෙදුම්වාදය ඉස්සරහට යන්න හේතු වුනේ මේ වගේ කතා.

    දෙමල මිනිසුන්ට සිංහල මිනිසුන් සමග එකතු වෙන්න නොදෙන දෙමල බුද්ධිමතුන්ගේ ප්‍රචාරක ව්‍යාපාරයක් තියෙන බවත් [විමල් වීරවංශ ගනයේ - බුද්ධිමත් කෑල්ල හැලුවොත්] ඒ වගේම දකුණු ඉන්දීය මිතලොජි වලින් එකට සැහෙන ධාවක බලයක් ලබා දෙන බවත් ඔබ පිළිගන්නවාද? මෙන්න මේක පිළිගන්න බොහෝ දෙනා මැලි වෙනවා.

    ලංකාවේ විනාසකාරි ඉතිහාස මිත් දෙකක් තියෙනවා. පළමුව ලංකාවේ මුළු ඉතිහාසයම විජය සමග ආ හත්සීයකට අයිතියි, ඒ නිසා මේ දිවයින හිමි සින්හලයාටයි කියන මහාවංශ මූලික සිංහල මිත.දෙවැන්න ඒක කුමාරි කන්දම් කාලේ ඉඳලා දෙමල ජනාවාසයක්. පස්සේ ආපු සිංහලයා ඒ නිජබිම කොල්ල කෑවා ඒ නිසා නැවත ඒ නිජබිම දිනා ගනිවු කියන දෙමල මිත.

    වාර්ගික අර්බුධය තුල හොල්මන් කරන්නේ පරණවිතාන් ලා මහා පොළොවෙන් හාරා ගත ඉතිහාසය නොවේ මෙන්න මේවා. වාර්ගික අර්බුදයට ඉතිහාසය කල බලපෑම ගැන කතා කරන්නේ නම මේවා ගැනත් කතා අකරන්න සිදුවේ.

    ReplyDelete
    Replies
    1. දෙමළ ජාතිවාදය කියා දෙයක් තිබෙන බව ඇත්ත. එයත් ස්වෝත්තමවාදයක්. එතුළ මෙවැනි ප්‍රචාරක ව්‍යාපෘති තිබෙනවා.

      අපි ජාතිවාදයට විරුද්ධ විය යුතුයි, සිංහල වුණත්, දෙමළ වුණත්. ඒත්, ජාතිකවාදය දෙස බලන්න වෙන්නේ‍ එය ප්‍රගතියට ඉවහල් වන දෙයක් ද යන්න සැලකිල්ලට අරගෙනයි.දෙමළ ජාතිකවාදය තුළපීඩිත ජාතියක ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් ගැබ්ව තිබෙනවා.

      බොහෝ අය සිංහල ජාතිකවාදය පීඩක ජාතිකවාදයක් ලෙස බැහැර කරනවා‍. ඒත්, මම නම් එය පිළි ගන්නේ නැහැ.මේ ගැන මීළඟ ලිපියකින් ලියන්න බලාපොරොත්තු වෙනවා.

      Delete
    2. අජිත්; සිංහල හෝ දෙමල ජාතිකවාදය කියන්නේ රෑට ජාතිවාදී මිස්ට හයිඩ් කෙනෙක් කරපින්නාගෙන දවල්ට තෙල බෙදන මගුලක්. හැම ජාතියකම මිනිහෙකුට සාධාරණව ජාතික වූ මතවාද තියෙනවා, ඒත් තමන් ශ්‍රේෂ්ටය අනුන් පිලිකුල්ය කියන ලංකාවේ තියෙන ජාතිකවාදී විගඩම මොන පැත්තෙන් ආවත් අනුමත කල නොහැකියි. මම හිතන්නේ ඔව්වා සංස්කෘතියේ කොටසක් වීමෙන් ඔබ්බට නොගත යුතු බවයි.

      මම කැමතියි "පාස්පෝට් ජාතිකවාදය"ට. මේක ගැන සටහ්ර දිගන්තයේ අන්තිම පොස්ට් එකට පෙර එකේ කල කතාවේ ඩි ඔහු නමක් දුන්න පුරවැසි ජාහිකවාදය කියා. ඔබට හැකිනම් මේ පෝස්ටුව කියවන්න. ජාතිකත්වය හා ළූණු ගෙඩිය [කරුණාරත්න පරණවිතාන මහතා ට පිළිතුරක්]

      මේකට මාත් ඇතුළු බොහෝ දෙනෙක් ජාතික වාදයක් කියා කියන්නේ නැහැ. වචනය කවරක් වුවත් ලංකාවේ ප්‍රශ්නය කෙළවර කල හැක්කේ ඕස්ට්‍රේලියානු, කැනේඩියානු වැනි ලාංකියත්වයක් බිහි කර දීමෙන්. සිංහල දෙමල මුස්ලිම් කියන්නේ ඒක ඇතුලේ සංස්කෘතික අනන්‍යතා වලින් ඔබ්බට යාම අවශ්‍ය නැහැ. බෞද්ධ හින්දු ඉස්ලාම් කතෝලිකත් ආගම වලින් ඔබ්බට යාම අවශ්‍ය නැහැ.

      Delete
  14. මා සේවය කළ එක් ස්ථානයක සිංහල කලමනාකරුවෙකු අළුතින් බැදුණු දෙමල ඉංජිනේරුවෙකුගෙන් ඇහුවා මෙන්න මෙහෙම.

    "සෝ සිවකුමාර්, හව් ඉස් යුවර් ප්‍රොබ්ලම් නව්?" (ඉතිං සිවකුමාර් කොහොමද ඔයා ගේ ප්‍රශ්ණය දැන්?)

    ඒ ප්‍රශ්නයේ ඔහු අදහස් කළ තේරුම අනුව අපට වැටහුනේ දෙමල අයගේ ප්‍රශ්නය නම් එවකට පැවති යුද්ධය බවයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ ඒ පෝස්ට් එකේ මා කොමෙන්ට් කල පරිදිම ඔහොම හිතන ඩයල් මටත් කොළඹදී හම්බු වුනා. ඒ අයට ඕක වගේම දකුණේ ඇති වූ ප්‍රශං සැලකුවේ "දකුණේ කෙනෙකු වූ" මගේ ප්‍රොබ්ලම් ලෙස තමා.

      මේක උතුරු දකුණු ප්ප්‍රශ්න ඔක්කොගෙම යටින් දුවන එකක් කියා මට හිතෙනවා. ජවිපෙ මාක්ස්වාදී සිහිනය හා කොටියාගේ ඊළාම සිහිනය යටින් දිව්වේ 'කොළඹට කිරි අපිට කැකිරි" කියන ඒක මගේ අදහස.

      Delete
  15. ඔය ප්‍රශ්නයේම අතුරු ප්‍රශ්නයක් නම්-

    ඇයි ඉන්දියාවේ දෙමල අයට මේ ප්‍රශ්නය නැත්තේ කියන එක.

    එහෙම අහන ගමන්ම ෆෙඩරල් විසඳුමක්, බලය බෙදීම ගේ වචනයක් ඇහුණත් කඩි කෑවා වගේ දඟලනවා.

    දෙමල අයගේ (සහ ඕනෑම සුළුතර කොටස ගේ) ප්‍රශ්න තේරෙන්න නම් ඒ වගේ තත්වයකට මුහුණ දෙන්නම ඕනෑ.

    ReplyDelete
  16. ඇන් මේ පැරා ටික දවසක ඉඳලා දාන බෙඩ් රූම් කාටූන්වලින් අපිට මොකුත් වෙනත් කතාවකුත් කියනවාද මන්දා?

    ReplyDelete
  17. [ඇයි ඉන්දියාවේ දෙමල අයට මේ ප්‍රශ්නය නැත්තේ කියන එක]

    තමිල්නාඩුවෙ දෙමළ නොවෙන අයට මේ ප්‍රශ්නෙ නෑ කියල කියන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. හරි , තමිල්නාඩුවේ දෙමල නොවන අයට මේ ප්‍රශ්නය තියෙනවා කියමුකෝ. තවත් ගොඩක් රටවල සුළුතරය වන ජනවර්ග වලටත් මේ ප්‍රශ්නය මෙලෙසින්ම තියෙනවනේ (මියන්මාර්, බංග්ලාදේශ්, සුඩාන් , රුවන්ඩා, වැනි...). ඉතින් ලංකාවේ විතරක් එහෙම තිබුනම මොකක්ද ප්‍රශ්නේ? ඇයි අවුල්ද?

      Delete
    2. ඒ අයත් ස්වයං පාලනේ ඉල්ලනවද? ඉල්ලුවම දුන්නද? කතාව අවුල් වගේද?

      Delete
  18. මේ ලාල්කාන්තගේ අදහස් දැක්වීම වර්ජනය ගැන අනිවාර්යෙන්ම අහන්න

    http://www.youtube.com/watch?v=-l1Vgeiai8g

    ReplyDelete
  19. මේ ගැටලුවේ කෝණ කීපයක් තියනවා . භාෂාව සම්බන්දයෙන් ප්‍රශ්න තියනවා ඒ නිසා රටේ භාෂාව ද්විත්ව වන අයුරින් කල යුතුයි. මෙහි අනෙක් පැත්ත ජර්මනියේ ප්‍රන්සයේ ආදී රට වලට සංක්‍රමණය වූ යාපනයේ ද්‍රවිඩ ජනයා කිසි මැසිවිල්ලක් නැතිව ජර්මානු ප්‍රංස භාෂා ඉගන ගන්නවා නමුත් ඔවුන් කවදාවත් ලංකාවේ ජිවත් වූ කාලයේ සිංහල ඉගෙන ගෙන සිංහලයන් සමග සංවාදයකට ඒමට උත්සහයක් දරා නැහැ. ඒ මොකද ?
    සිංහල මිනිහා රජයේ කාර්යාලවල වැඩකට ගිය විට වන රස්තියාදුව ගැන හිතන්නේ සිස්ටම් එකේ වැරැද්ද කියලා නමුත් ඒ ප්‍රශ්නයටම මුහුණ දෙන දෙමල මිනිහගේ අර්ථකථනය මේ ප්‍රමාදය මම දෙමල නිසා යන අදහස.
    ලංකාව ආර්ථිකව සමෘදී උනොත් මේ ප්‍රශ්න එන්නේ නැහැ, කැනඩාවේ , ඇමරිකාවේ , ප්‍රන්සයේ ආදී රට වල ලක්ෂ ගනනින් වාසය කරන දෙමල ජනයා ඒ රට වලින් ඔටෝනොමියක් හෝ ඉල්ලන්නේ නැතේ ඇයි ?
    ලංකාවේ තිබෙන සමාජ පසුගාමීත්වය, දරිද්‍රතාව නිසා බෙදුම්වාදය හොඳට මාකට් කරන්න පුළුවන්. ලංකාවේ බටහිර රට වල වගේ දේශපාලනකම් නොබලා නිතිය ක්‍රියාත්මක කිරීම මානව හිමිකම් සුරැකීම වෙනවා නම් මේ බෙදුම්වාදයට තියන මාකට් එක අඩු වෙනවා. නමුත් සිංහල ජාතිවාදීන් සහ දෙමල ජාතිවාදීන් සංවාදයකට නොයා දෙපස ඉඳන් කරන වයිර සහගත කඹ ඇදීම නිසා මේ ප්‍රශ්නය තව වසර 100 යනවා.

    ReplyDelete
  20. -උපුටා ගැනීමකි-.
    රාමචන්ද්‍ර කියන්නේ දෙමල බෙදුම්වදය වෙනුවෙන් පෙනී හිටින කෙනෙක්. උතුරු පලත් සභාව TNA එක අනිවාර්‍යන්ම දිනනවා. නමුත් මේ බලතල සමගම උතුරු පලාත් සභාව දින්නොත් එය බෙදුම් වාදයට යන දීර්ඝ ගමනේ එක සැතපුම් කනුවක් වෙනවා නිසැකවම​. ලෝක තත්වයන් උදාහරනයක්ට ගත්තත් යුද්ධෙන් බැරි උන බෙදුම්වාදී අව්ශ්‍යතා බලය බෙදීම හරහා ලබා ගෙන තියෙනවා ඕනතරම්. සම්බන් න්ලා මේ අවශ්ථාවේ හොරගල් අහුලන්නේ ඒකටයි. චෙල්වනායගම්ගේ අද ටිකක් හෙට තව ටිකක් නියාය තමයි ඔහුගේ උපාය​. පසු ගිය වසරේ ඔහුගේ මඩකලපු දේශනයේ හරය තුල තියෙන්නේ ඔහු ඊලම අත් නොහැරි බවයි. ප්‍රභාකරන්ගේ යුද උපාය වෙනුවට ඔහු බලය බෙදීම හරහා පියවරෙන් පියවර ඉදිරියට යමින් ඊලම කරා යාමට සූදානම්. ඊනියා ජාත්‍යාන්තරයත් මේ සදහා පෙල ගැසී තියෙන බව පේනව​. මේ සත්‍ය හොදින්ම දන්නා රාමචන්ද්‍ර​, අජිත් ජයසින්හ වැන්නන් තක්කඩි ආකාරයෙන් පවසන්නේ අනෙක් පලාත් සභාවල ෂාන්ලා, මහීපාලලා, ප්‍රසන්නලා වැනි සිංහලයන් ගන්නා ආතල් ගැනීමට උතුරේදී සම්බන්දන්ලාටද ඉඩ දෙන ලෙසයි. පලාත් සභාව පිහිටුවීම හරහා තවත් එක් ප්‍රභූ පැලැන්තියකට සුඛවිහරනය විදීමේ අවශ්තාව ලැබුනා මිස ඒ කිසිදු පලාත් සභාවකින් පලාතේ මහජනයාට අත්වූ සෙතක් නම් නෑ. මේ සියල්ල දන්නා මෙම වාමාංශිකයන් ඉතාමත් කපටි සහ තක්කඩි ආකාරයේ මුග්ද ප්‍රශ්න අසමින් පෙනී හිටින්නේ දෙමල සමාජයේ ප්‍රභූ පැලැන්තිය වෙනුවෙන් මිස ඔවුන් නියෝජනය කරනවා යැයි වහසි බස් දොඩන ඊනියා නිර්දන පන්තියක් වෙනුවෙන් නම් නොවේ. උතුරේ දෙමල සමාජය පුරා හොදින් බැලූවිට පේන්නේ ඔවුන් පීඩාවට පත් වී සිටින්නේ ඊනියා සිංහල ජාතිවාදයක් නිසා නොවන බවයි. ඔවුන් විශාල කුල පීඩනයකින් ජීවත්වේ. සම්බන්දන්ලා වැනි ඊනියා කුලීනයන්ගේ අව්ශ්‍යතාව මෙම කුලහීනයන්ව තවදුරටත් පාගමින් පාලනය කිරීම සදහා බලය ලබා ගැනීමටයි. උදාහරනයකට උතුරේ කෝවියාර් වැනි කුලයක කිසිවෙක්ව ගෙදරකට හෝ වැද්දා ගැනීමට සම්බන්දන්ලා වැනි වෙල්ලායන් කැමති නොවේ. අද දෙමල සමාජය වෙනුවෙන් පෙනීහිටීමේ අයිතිය සින්නක්කර ලබා ගෙන ඇත්තේ මේ ඊනියා කුලීන වෙල්ලාලයන්‍ය​. උන් කුලහීන දෙමල සමාජයට කරනා පීඩනය රාමචන්ද්‍රන්ලාට කිසිදා නොතේරේ. තමන්ගේ මනෝ රාජික මාක්ස්වාදය​ සිංහල සමාජය විසින් ප්‍රතික්ශේපක කරන නිසා සිංහලයා කෙරෙහි වන​ ජන්මාන්තර වෛරය පිරිමහා ගන්නේ දෙමල ජාතිවාදින්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටීමෙනුයි. ලංකාවේ සෑම වාමාංශික පක්ශයක්ම දෙමල ජාතිවාදය වෙනුවෙන් පෙනී හිටින්නේ සිංහලයාට විරුද්ධවීමේ අවශ්‍යතාවය මතයි. ඒ සදහා දියාරු, බන්කොලොත් හම්පඩ න්‍යායන් ටොන් ගානක් මේ මනෝරාජිකයන්ගේ ශබ්ද කෝශවල ඇත​. පලාත් සභා ක්‍රමයට මාද මුල සිටම විරුද්ද අයෙක්මි. නමුත් පවතින යථාර්තය තුල උතුරේ චන්දය​ පැවත්වීමට අවශ්‍යම නම් මුලින්ම කල යුත්තේ ඉඩම් හා පොලිස් බලතල ඉන් ඉවත් කිරීමයි. අද දෙමල සමාජයේ වැඩිම පිරිසක් ජීවත් වන්නේ දකුණේ බව මොවුන් අමතක කරයි. අනෙක් අතට 83 ඊනියා කලු ජූලිය නිසා හෝ කොලඹ ජීවත් වෙන දෙමල ජනතාව අද වැඩි වීමක් මිස අඩු වීමක් සිදුවී නැත​. මේ යථාර්තය තක්කඩි ලෙස මග හරිමින් සිංහල ජාතිවාදය නැමති මුව හමට තඩි බාමින් තම වෛරය පිට කිරීමක් මේ වාමාංශික නඩ වලින් සිදුවේ.

    ReplyDelete
  21. "සිංහල, දෙමළ ආදී ජාතීන් අනුකලනය වී නව ලාංකික ජාතියක් නිර්මානය කර ගැනීම සඳහා මෙය මූලික කොන්දේසියකි"....

    අජිත්ගේ ඉතාම දුර්වල ලිපිය මෙය බව මගේ හැගීමයි. ඔහු කලින්ම තමන්ට ඔප්පු කිරීමට අවශ්‍ය දෙයක් විසිරුනු අදහස් ගොඩක් බලහත්කාරයෙන් ඔප්පු කිරීමට ගොස් හත් පොලේ ගාගෙන් ඇත​. ගැමි වහර අනුව "කන්දක් විලිලා මීයෙක් වැදුවා" යැයි කියන්නේ මේවාටය​. තාමත් ඔහුට දෙමාලාට දෙමල වීම නිසාම ඇති ප්‍රශ්නය කියා ගත නොහැකි වී ඇත​. ඒ වෙනුවට නැවත නැවතත් කියන්නේ ඔය මම ලියලා තියෙන්නේ ඇයි තේරුන් නැද්ද යනුයි. දෙමල ජන ගහනයෙන් බහුතර පිරිසක් දකුණේ ජීවත් වෙති. වැල්ලවත්ත වැනි ප්‍රදේශයක් ජීවත් වන දෙමල මිනිසුන්ට දෙමල වීම නිසාම සිදුවී ඇති ප්‍රශ්නය කුමක්ද​? බලය බෙදීම හරහා රටවල් බෙදෙන බව අජිත් වැනි දෙමල ඊලාම්වාදීන්ට වටහා දීම කාලය කා දැමීමකි. අජිත් මේ රටේ අනාදිමත් කලයක සිට දෙමල රාජ්‍යක් පැවති බව වචන කිහිපයකින් පෙන්වා දීම තරම් තක්කඩි කමක් තවත් නැත​. ඉතිහාසය හැදෑරීමෙන් ඒ ගැන දැන ගත හැකියයි ඔහු පවසයි. අපිට අහන්ඩ තියෙන්නේ ඒ කුමන ඉතිහාසයද යන්නයි. ඉතිහාසය යනු ජයග්‍රාහකයාගේ, ප්‍රබලයාගේ ඉතිහාසය මිස පරාජිතයාගේ ඉතිහාසය නොවන බව අපි කැමති උවත් අකැමති උවත් ලෝක ධර්මතාවය බව මේ හම්පඩ මාක්ස්වාදී වැරැහිලි ඇදගත්ත වාමාංශියකයන්ට නොතේරේ. ගණිත අනුකලන​, අවකලන ආකාරයෙන් ජාතීන් ගොඩ නැගිය හැකියැයි සිතන මෙවැනි වද බැහැපු සිතන්නන් ගැන දුක සිතේ. මට අනුව උතුරේ ඉන්න දෙමල ජනයාගේ අනාගත තර්ජනය පැන නගින්නේ වේගයෙන් වර්දනය වෙන (උ. නැ) මුස්ලිම් ජනයාගෙනි. ලිපිය පුරාම ඇත්තේ අසාර්ථක උත්සාහයකි. අවසාන වශයෙන් නැවතත් අසමි. දෙමල වීම නිසාම දෙමලාට ඇති ප්‍රශ්නය කුමක්ද​? එහෙම තිබ්බත් අපිට අලද​? තිබ්බත් බබ්බු ගහ ගන්නවා යැයි කීම හැර එය අපේ කරුමයක් නොව උන්ගේ කරුමයකි. ඉතිහාස අයිති ජයග්‍රාහකයන්ට මිස පරාජිතයන්ට නොවන බව අජිත්ට කණගාටුවෙන් උවත් ප්‍රකාශ කරමි..
    Sorry.Com Ajith!

    ReplyDelete
  22. හොඳයි....වෙනම රාජ්‍යයක්වන ඊලම ලැබුනොත් වැල්ලවත්ත, දෙමටගොඩ, පිටකොටුව, නුවර, නුවරඑලිය,දෙනියාය වගේ පළාත්වල ඉන්න දෙමළ මිනිස්සු ඔක්කොම ඊළමේ පදිංචියට යනවද ?....... මං ගොඩක් දෙමළ මිනිස්සුන්ගෙන් මේ ප්‍රශ්නය අහල තියෙනවා....නෑ නෑ එහෙමයන්නේ නෑ කියලයි කියන්නේ ! එතකොට එහෙත් වෙනම රටක් ඕනෑලු මෙහෙත් ඕනලු ! මාරයි නේ !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා