මනරංජන වැඩ වර්ජන - ජනරංජන ශ්‍රී රෝහණ

විදුලිය ගාස්‌තු වැඩි කිරීම අහෝසි කරන ලෙස ආණ්‌ඩුවට බලකරමින් ඊයේ (21 වැනිදා) පවත්වන ලද එක්‌ දින සංකේත වැඩවර්ජනය සාර්ථක බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ සභාපති හිටපු ඇමති කේ. ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

එක්‌තරා සුළු පිරිසකගේ වුවමනාවන් මත ඊයේ කරන ලද වැඩවර්ජනය මේ රටේ මෙතෙක්‌ කෙරුණු වර්ජනවලින් ඉතා අසාර්ථකම වර්ජනය බවට ඉතිහාසගත වනු නියත යෑයි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම්බන්ධීකාරක හා යුක්‌තිය උදෙසා ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු එස්‌. අමරසිංහ පවසයි.

ගාග් කාන්තත්, එස්. අමරසිංහත් යනු එකම ජනතා විමුක්ති පෙරමුණේ එකම වෘත්තීය අංශයේ සිටි දෙදෙනෙකි. පක්ෂය තුළ සන්නද්ධ අමරෙ නමින් ද කලක් හඳුන්වනු ලැබූ අමරසිංහ දැන් මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරමින් සිටියි. ලාල් කාන්ත කරමින් සිටින්නේ කුමක්දැයි හරියට දැන ගැනීමට තව ටික දිනක් අවශ්‍ය වනු ඇත.

21 දින මහා සංකේත වැඩ වර්ජනය සාර්ථක යයි විවිධ තර්ක ඉදිරිපත් කළ හැකි ය. ආණ්ඩුව බිය වූ නිසා වර්ජනය සාර්ථක යයි ගෙනෙන තර්කය එකකි. ජනතාව දැඩි මර්දනයකට ලක් කර තිබෙන සංදර්භයක් තුළ මේ තරමින් හෝ වර්ජනය ඉල්ලීමට ප්‍රතිචාර ලැබීම ද ප්‍රමාණවත් යයි තීම තවත් එවැනි තර්කයකි. 

එහෙත්, ඇත්ත තිබෙන්නේ තර්ක තුළ නොවේ. 

වැඩ වර්ජනය සංවිධානය කළ අය වැඩිපුර ඉලක්ක කළේ රජයේ සේවයයි. රජයේ සේවයේ සිටින ඇතැමුන්ට අමුතුවෙන් වැඩ වර්ජනය කරන්නට දෙයක් නැත. මන්ද, ඔවුහු සාමාන්‍යයෙන් වැඩ නො කරති. නිකම් ඉඳ වැටුපක් හා විශ්‍රාම වැටුපක් ගන්න පුළුවන් රස්සාවට තට්ටු කර ගන්නට ඔවුන්ට උවමනා නැත.

බොහෝ දෙනෙකු සිතන්නේ රජයේ රැකියාව යනු පාට් ටයිම් වැඩක් ය කියා ය. ඔවුන් රැකියාව පිණිස සිල්ලර කඩ, තේ පාත්ති, කුඹුරු, ටියුෂන්, ප්‍රයිවට් ප්‍රැක්ටිස්, මුදල් පොලියට දීම වැනි දේ කරති. ඒ නිසා ඔවුන්ගේ ඇත්ත රැකියාව පැහැදිලි නැත.

බොහෝ දෙනෙකු තමන් දුප්පතකු බව කියන්නේ මිතුරකු හෝ ඥාතියකු හෝ අතමාරුවක් ඉල්ලූ විටයි. නැතිනම්, බොහෝ අය හිතන්නේ තමන් ධනවතුන් ය කියා ය. මන්ද, දියුණු ජීවන තත්වයන් ගැන ඔවුහු නො දනිති. ආණ්ඩුව සමග රණ්ඩු වෙන්නට යනවාට වඩා මේ ගානත් ගෙවන එක ලේසි යයි ඔවුහු සිතති. 

සමාජයේ බොහෝ දෙනෙක් ලෙඩ්ඩු වෙති. ඔවුන් වැඩිදෙනෙක් සිතාගෙන ඉන්නේ තමන්ගේ දරුවන් වෛද්‍යවරුන් වනු ඇතිය කියායි. එසේ වූ විට ඔවුන්ට පහළ වන්නේ යයි ලෙඩුන් සිතන හතර මහා නිධානයෙන් කොටසක් තමන්ටත් ලැබෙනු ඇතැයි සිතා ඔවුහු කාගෙන සිටිති.සමහරු තමන් වර්ජනය කළත්, දරුවන් පාසල් යැව්වේ ඒ නිසා ය. 

ගුරුවරුන් වැනි ඇතැමුන්ට තමන් කරන්නේ රැකියාවක් නොව ‍සේවයක් බව මතක් වන්නේ වර්ජන ඇති දිනවලටයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහත් ඊයේ කැලනි විශ්වවිද්‍යාලයේ සේවයට වාර්තා කළ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී කීවේ ය.

වැඩ වර්ජනය නිසා රස්සාව නැති වේ යයි බියෙන් රෝහලේ සිට ටිකට් කපාගෙන ගෙදර විත් වැඩට පැමිණි කම්කරු කාන්තාවක් මම දුටිමි. අනිවාර්යයෙන් එන්න යයි ප්‍රධානියා දුරකථනයෙන් අමතා කී නිසා පැමිණි බව ඇය කීවා ය.

මිනිස්සු බිය වෙන්නට කැමතිය. ඒ නිසා වැඩ වර්ජනයට කලින් දවසේ රැය පුරා ඒ ගැන දිගට, දුරට කල්පනා කර, පලිගැනීම්, මාරු කිරීම්, රස්සා නැති වීම්, සිඟමනට වැටීම් ආදිය හීනෙන් දැක, දාඩිය දමාගෙන නැගිට වැඩට යති. විපක්ෂ දේශපාලකයෝ මෙයට මර්දනය යයි කියති.

වෘත්තීය සමිතිකාරයන් තමන් වර්ජනය පිළිබඳව දැනුවත් නො කළ බව ඇතැමෙක් කියති. ඒ නිසා ඔවුහු හැසිරෙන්නේ ඒ ගැන නො දන්නා පරිද්දෙනි.

මේ වැඩ වර්ජනය ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයක් නිසා තමන් එයට සහභාගි නො වන බව ඇතැමෙක් කියති. විදුලි බිල වැඩි වුණත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ පැරදවිය යුතු ය. 

ඕවා බොරු වැඩ බව හා වැඩ වර්ජනය අසාර්ථක වන බව බොහෝ දෙනෙක් කල් ඇතිවම දනිති. දන්න නිසා ඔවුහු ඒවාට සහභාගි නො වෙති.

සමහරු හිතන්නේ අපි හම්බ කර ගත්තොත්, අපට කන්න පුළුවන්. අපට ඔය කාගෙවත් දේවල් වැඩක් නැහැ ය කියා ය.

තවත් සමහරුන් කල්පනා කරන්නේ විදුලි මීටරය කැඩෙන ක්‍රමයක්,  වයර් එකක් ගසා හොරෙන් විදුලිය ගන්නා ක්‍රමයක් ආදිය ගැනයි. 

මහජන මුදලින් විදුලි බිල ගෙවා ගත හැකි ආකාරයේ තනතුරක් ලබා ගැනීම ගැන ද සමහරු සිහින දකිති. 

මේ හේතුත්, තවත් හේතුත් නිසා බොහෝ දෙනෙක් වර්ජනය නො කරති. මේ වර්ජනයේ සංවිධානමය අඩුපාඩු තිබුණු බව ඇත්ත ය. හොඳින් සංවිධානය කළත්, ඉහත පිරිස හැසිරෙන්නේ ඒ අන්දමට ම ය.

ඒ නිසා සාමාන්‍ය දිනවල ගන්නා නිවාඩුව ‍හෝ මේ අය නො ගනිති. වර්ජන කැ‍‍ඳෙව්වා ම ඇත්තෙන්ම වෙන්නේ පැමිණීම වැඩි වීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. සහතික ඇත්ත ආන්ඩුවේ උන් නම් හැමදාම වැඩ වර්ජනයේය. එහෙම ආන්ඩුවකට විරුද්ද වන්නට, ඒ උතුම් ජනතවට අර්ෂශ් අමාරුවක් නැති බව ලාල්කාන්තලා දැන ගත යුතුය. ලාල්කාන්තගේ ප්‍රදේශයේ පමණක් වර්ජනය සාර්ථකය. ඒ ගැන බොහෝ රිදී, අන්ඩුවේ හඩ්ඩා උදේ ඉඳන් තප්පුලනවාය. කෙසේ වෙතත් එ තරඟයෙනුත්, ජනරංජන මනරංජන ශ්‍රී රෝහන මැතිතුමා දිණුම්ය.

    ReplyDelete
  2. elama kiri........sahathika aththa.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. ඔබ ලියල තියෙන්නෙ නියම සත්‍යය.කොහොමත් කාල් ලාන්ත අනුරපුරේ කඩ ටික වස්සපු එකට මොණර මස් බයිට් එකට ගන්න කිරි බර්ටි යාටත් ස්තුති කල යුතුය.බර්ටි කාරයා SM චන්දරගේ පරපුරට වඩා ලොක්ක එක්ක ඉන්නෙ ලොකුම මලෙන්.
    ජේස්ටයන්ගේ මල පැනිල්ලේ පළමු නිහඩ වෙඩි මුරය අනුරපුර කඩ වැහිල්ල.

    ReplyDelete
  5. මම ආන්ඩුවට ඡන්දෙ දුන්නු කෙනෙක්
    අවංකවම මට දැන් මේ ආන්ඩුව පන්නන්න ඕනෙ
    ඒත් ඒකට කැමති ෆෙඩරල්වාදී නොවන පිරිසක් විපක්ශයෙ නැහැ
    ඒ නිසා කොච්චර ආන්ඩුව එපා වුනත් විපක්ශයට ඉඩදෙන්න බය පිරිසක් ඉන්නවා
    ඒත් හැමදාම මෙහෙම වෙන්නෙ නෑ ඉවසන්නම බැරිවුනු දවසක මිනිස්සු ආපහු හැරෙයි
    ඒ වෙනකොටත් බලය බෙදීමගැන ලෝකයේ අදිපති මතවාදයට යටවුනු විපක්ශයක්ම හිටියොත් කියන බයත් මට තියෙනවා
    අසීරුවෙන් තමන්ගෙ අනන්‍යතාවය ආරක්ශා කරගැනීම වෙනුවෙන් බොහෝ කැපකිරීම් කල මිනිස් පිරිසකට ඒ වේදනාව තියෙනවා

    ReplyDelete
  6. ලංකාවේ හුගක් දෙනා ජාතික ගැටලු දිහා බලන්නේ පුද්ගලික වාසි අවාසි බලාගෙන නිසා කවදාවත් ගැටළු වලට විසදුම් නැත

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා