විමල්ගේ රෝමෝද්ගමනය හෙවත් විමලසිරි රෝමයට යාම

විමල්ගේ පාස්පෝට් හුටපටය මට නම් එච්චර තේරෙන්නේ නැත. මගේ ජීවිතයට මම පිටරට ගොස් තිබෙන්නේ දෙවතාවකි. එක වතාවක් යුනෙස්කෝ එකේ වැඩමුළුවකට ය. අනෙක් වතාවේ පණ බේරා ගන්නට ය. 

ඒ නිසා මට නම් ඔය පාස්පෝට්, වීසා හුටපට ඒ තරම් තේරෙන්නේ නැත. 

මේ හුටපටයේ නීතිමය කරුණුවලට වඩා වැදගත් වන්නේ දේශපාලනමය හා සමාජමය කරුණු යයි මම සිතමි.

විමල් වීරවංශ යනු නම් ගණනාවක් භාවිතා කර ඇති අනන්‍යතාව පිළිබඳ බරපතල ගැටලු ඇති පුද්ගලයෙකි. ඔහුගේ සැබෑ නම විමලසිරි ගම්ලත් යයි මම සිතමි. ඔහු හිරු පුවත්පත වෙනුවෙන් ඒ නම භාවිතා කළේ ය. එහෙත්, 1994න් පසු ජවිපෙ දේශපාලනයට පැමිණියේ විමල් වීරවංශ ලෙසයි. 

හිරු පුවත්පතේ වැඩ කරන කාලයේ ඔහු තවත් නමක් භාවිතා කළේ ය. ඒ විභූති වීදිය බණ්ඩාර යන නමයි. දැන් ඔහු සිය පුතුට දී ඇත්තේ විභූති කියන නමයි. 

පුවත්පත් කලාවේදීන් පෑන් නාමයන් භාවිතා කරන එක ඒ තරම් අමුතු දෙයක් නො වේ. එහෙත්, ඇතැම් පෑන් නාමයන් තුළ සැඟවුණු අරුත් තිබේ. 

සාමාන්‍යයෙන් පුද්ගලයකුට නම තබන්නේ මව්පියන්ගේ රුචි අරුචිකම් පරිදි ය. තමන්ගේ නම තමන්ට ම තබා ගන්නට ලැබුණු විට නම් දමා ගන්නා ආකාරය නිරීක්ෂණය කරන එක ඉතා රසවත් ය. විශේෂයෙන් ම විප්ලවවාදී පක්ෂවලදී මෙය රසවත් අධ්‍යයනයකි. 

මම පක්ෂයේ වැඩ කරන කාලේ මට පක්ෂයෙන් නම් දෙකක් දුන්නේ ය. එකක් කුමාරසිරි යන්නයි. අනෙක ඇලිකේවෙල යන්නයි. මම මේ නම් භාවිතා කළ මුත් ඒ නම්වලට කැමැත්තක් දැක්වූයේ නැත. මම නම් දමා ගනිද්දී දමා ගත්තේ ඒ කාලේ හැටියට මොඩ් නම් ය. 

මහණ වී සිවුරු හරින අයත්, පසුව නම් වෙනස් කර ගන්නා අයත් ඒ කාලේ මොඩ් නම් දමා ගත් විට හැඩරුව සමග ඒ නම නො ගැලපීම නිසා විහිළුවක් බවට පත් වේ. 

මාටින් වික්‍රමසිංහ ශූරීන් සිය කතාවල චරිතවලට කාලයට ඉදිරියෙන් ගිය අරවින්ද, මාලන්, ඊශා වැනි නම් තැබුවේ ය. 

නම්වලින් තරාතිරම නිරූපණය කරන හෝ වන හෝ එක ලංකාවේ සිංහල සමාජයේ එක්තරා උරුමයකි. හොඳ නැති වුණත් එය වෙනස් කළ නො හැකි දෙයකි.

විමල් අනුන් ගර්හාවට පත් කිරීමට උපන් පුතයෙකි. එය ද ඔහුගේ අනන්‍යතා අර්බුදයේ ම කොටසකි. අනන්‍යතාව නිසා පීඩාවට පත් වූ අය පසුව අනුන්ගෙන් පළි ගැනීමට පෙළඹීම සිදු විය හැකි දෙයකි. 

එහෙත්, විමල්ට තිබෙන අනන්‍යතා අර්බුද ගැන සිතන විට ඔහු ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූවා ය යන කාරණයත් අමතක කළ නො හැකි ය. විප්ලවවාදී ය කියන පක්ෂයක් හරහා එන විටවත් සිය ඔලුව සුද්ද, බුද්ද කර ගන්නට විමල්ට බැරි විය. එයින් පෙනෙන්නේ ඒ පක්ෂයේ තත්වයයි. 

සිය බිරිය තමන්ට වඩා වැඩිමහල් වීම සඟවා ගන්නට විමල් හොර උප්පැන්න හැදුවේ ය. බොරු උපන් දින දරුවන්ගේ උප්පැන්න සහතිකවලට ද දැමුවේ ය. පසු කලෙක ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයකු වූ විට ඒවා වෙනස් කර ගත යුතු යයි සිතුවේ ය. වෙනස් කරන්නට ගොස් නැවත නෑවේ ය. 

විමල් තවමත් මෙවැනි සෙල්ලම් නවතා නැති බව මේ පාස්පෝට් හුටපටයෙන් ද පෙනේ. වරක පාස්පෝට් එක නැති වූ බව කියා අලුත් එකක් ලබා ගන්නා ඔහු, තමන් අලුත් පාස්පෝට් එකක් ගත් බව අමතක වී, නැති වූ බව කියූ පරණ එක ඉදිරිපත් කර ඒ මත වීසා ද ලබා ගනියි. 

රටේ නීති හදන තැනට අප විසින් පත් කර යවා ඇත්තේ නීතියට අංශු මාත්‍රයක ගෞරවයක් නැති මිනිසුන් බවට විමල් හොඳ උදාහරණයකි. 

නිවාස ඇමති කාලේ රජයේ ගෙවල් කුණු කොල්ලයට නෑයන්ට බෙදූ හැටි ගැන කතා කරන්නට උවමනා නැත. හොර හිත ජන්ම ගතියක් විය හැකි ය.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)