2014-10-02

ජයලලිතාගේ ඉරණම හා දූෂණයට එරෙහි අරගලය

තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්  1991 සිට 1996 දක්වා වූ ඇගේ පළමු මහ ඇමති ධුර කාලය තුළ ඩොලර් මිලියන 10කට වඩා වත්කම් අයථා ලෙස උපයාගෙන ඇති බව ඔප්පු වීම නිසා ඇයට බැංගලෝර් විශේෂ අධිකරණයක් විසින් වසර හතරක සිර දඬුවමක් නියම කරන ලදී. ඇය රුපියල් බිලියනයක දඩයක් ද ගෙවිය යුතු අතර මහ ඇමති ධුරයෙන් ද ඉල්ලා අස් විය යුතු ය. දඩය නො ගෙවන්නේ නම් තවත් වසරක් සිරගත කරනු ලැබේ.

ජයලලිතා සමග තවත් ඇගේ සමීපතමයන් තිදෙනෙකුට ද අධිකරණය මෙම නඩුවේදී සමා දඬුවම් නියම කරන ලදී. අධිකරණයේදී පැමිණිල්ලේ ප්‍රධාන තර්කය වුණේ ජයලලිතා සමාජයට එරෙහි වරදක් කර ඇති බවයි. 

මෙම නඩුව 2003දී තමිල්නාඩුවේ චෙන්නයි අධිකරණයෙන් කර්ණාටකයේ බැංගලෝරය වෙත මාරු කරනු ලැබුවේ සාධාරණ විභාගයක් තහවුරු කිරීම පිණිස ය. ආරක්ෂක හේතු මත නඩු විභාගයට පෙනී නො සිටීමට ජයලලිතා විසින් කරන ලද ඉල්ලීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 

මෙම නඩුව ජයලලිතාට එරෙහිව තිබෙන එක ම දූෂණ නඩුව නොවේ. ඇයට එරෙහිව දූෂණ සම්බන්ධ නඩු 40කට වඩා තිබේ. තවත් පරීක්ෂණ ද ගණනාවක් තිබේ. වරක් ඇගේ නිවසේ හා ව්‍යාපාරික ස්ථානයේ කරන ලද වැටලීමකදී ඉන්දීය රුපියල් කෝටි 50කට වඩා වටිනා කිලෝ 28ක් බර ආභරණ, අත් ඔර්ලෝසු 91ක්, සාරි 10,500ක්, පාවහන් 750ක් ආදිය හමු විය. මීට පෙර මෙවැනි සොයාගැනීමක් ප්‍රසිද්ධ වුණේ පිලිපීනයේ ඉමෙල්ඩා මාකෝස්ගේ නිවසෙනි. 

ජයලලිතා විසින් හදා වඩා ගන්නා ලද පුත්‍රයා වන සුදාකරන්ගේ විවාහ මංගලෝත්සවයට ඉන්දීය රුපියල් කෝටි හයකට වඩා වැය වූ බව වාර්තා විය. 1996දී පැවති මෙම විවාහ මංගලෝත්සවයට 150,000ක් පමණ අමුත්තන් සහභාගි වූ බව ද වාර්තා විය. ගිනස් පොතේ සටහන් වූ මෙම විවාහ මංගල්‍යය පැවැත්වුණේ අක්කර 50ක භූමි භාගයක ය. කෝවිලේ සිට මංගලෝත්සවය පැවැත්වුණු පිටිය දක්වා මනාල යුවල පැමිණි කිලෝ මීටර් පහක් දුර පාරේ රෝස මල් පෙති අතුරන ලදී. සුදාකරන් යනු ජයලලිතාගේ ඉතා සමීප හිතවතියක වන සසිකලාගේ බෑණා කෙනෙකි. මෙම විවාහ මංගල්‍යයෙන් වැඩි කලක් ගත වන්නට පෙර ජයලලිතා සිය හදා වඩා ගත් පුත්‍රයා අත් හැරියා ය.

මෙම විවාහ මංගලෝත්සවය ධනයේ හා බලයේ ප්‍රදර්ශනයකි. එය ජයලලිතා විසින් දේශපාලන වාසි සඳහා භාවිතා කරන ලදී. 

ඇය විසින් මහ ඇමති ධුරය හොබවනු ලබන තමිල්නාඩුව ඉන්දියාවේ එකොළොස්වන විශාලතම ප්‍රාන්ත රාජ්‍යය වන අතර ජනගහණය අතින් හයවන ස්ථානයට පත් වේ. මානව සංවර්ධන දර්ශකය අනුව එම ප්‍රාන්තය ඉන්දියාවේ ප්‍රාන්ත අතරින් හයවන ස්ථානයට පත් වේ. ආර්ථික වශයෙන් ද තමිල්නාඩුව බලවත් තැනක තිබේ. වේගවත් ආර්ථික වර්ධන වේගයක් හිමි තමිල්නාඩුව ඉන්දියාවේ ප්‍රාන්ත 29ක් අතරින් වඩාත් ම සංවර්ධිත ප්‍රාන්තයකි. 

තමිල්නාඩුවේ මෑත ඉතිහාසය තුළ මාරුවෙන් මාරුවට බලයේ සිටි සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ ජයලලිතා හා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ කරුණානිධි යන දෙදෙනා ම දූෂණයෙන් අග තැන් පත් අය වෙති.

මොවුන් විසින් ලොව සුවිසල් ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාවේ දේශපාලන අවකාශය අන්තයට ම පිරිහෙළා තිබේ. මහජනතාව ද තමන් සේ ම දූෂිතභාවයට පත් කිරීම මොවුන්ගේ ප්‍රධාන දේශපාලන උපායමාර්ගයකි. මේ ජනතාව ඉදිරියේ ඔවුන් වීරයන් වන්නේ අයථා ලෙස රැස් කර ගනු ලබන ධනය ම ප්‍රදර්ශනය කරමිනි. මැතිවරණවලදී මහජන මතය හැඩගැස්වීම සඳහා උපයෝගී කර ගනු ලබන්නේ මෙසේ අයථා අන්දමින් ගොඩගසා ගන්නා ලද ධනයයි. ඉන්පසු බලයේ සිටියදී වියදම් කරන ලද ධනය මෙන් කීප ගුණයක් ඔවුහු ගොඩගසා ගනිති. මෙය විෂම චක්‍රයකි. මේ අතර ජනතාව අතර ඇති මිථ්‍යාවන්ට පොහොර දමමින්, ඔවුන් මුළාවේ හෙළමින්, සිය පැවැත්ම තහවුරු කර ගනිති. ඒ වෙනුවෙන් ඔවුහු මාධ්‍ය ආයතන ඍජුවම සියතට ගනිති. නිදසුනක් ලෙස කරුණානිධි පවුලට කලයිඤ්ඤර් නම් රූපවාහිනී ආයතනයක් හිමි ය. තමිල්නාඩුවේ නම් ජනමතය හැසිරවීමේ ලා දෙමළ සිනමාව ද අතිශය වැදගත් වේ. ජයලලිතා අතීතයේදී චිත්‍රපට සිය ගණනක රඟ පෑ නිළියකි. ඇගේ මව වූ සන්ධ්‍යා ද නිළියකි.

පීඩිත සමාජ පංතිවලට අයත් ජයලලිතාගේ ආධාරකරුවෝ ඇය වෙනුවෙන් මැරෙන්නට පවා ඉදිරිපත් වුණේ මෙම සංදර්භය තුළයි. පීඩිතයන්ට තම පීඩකයා හඳුනා ගත නො හැකි මුග්ධත්වයක ඔවුන් ගිල්වීම මෙවැනි සමාජයන්හි මූලික ලක්ෂණයකි.

නව අගමැති නරේන්ද්‍ර මෝදි තමන් දූෂණයට එරෙහිව පෙනී සිටින්නෙක් බව පවසයි. එහෙත් ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් අතරින් තුනෙන් එකකට ම අපරාධ චෝදනා ඇත. එක් අයෙකුට එරෙහිව මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල වී තිබේ.  

කෙසේ වෙතත්, ජයලලිතා බලයේ සිටියදී ම ඇය කළ වැරදි සම්බන්ධයෙන් ඇය සිරගත කරන්නට හැකි වීම ඉන්දීය අධිකරණයේ ශක්තිය විදහා පෙන්වන සංසිද්ධියකි. අධිකරණයේ ස්වාධීනත්වය දූෂිත පාලකයන්ගේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ මෙම සංදර්භය තුළයි. 

තමිල්නාඩු මහ ඇමතිනිය ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය සිය දේශපාලන ගමන සඳහා උපයෝගී කර ගන්නියකි. එහෙයින් ඇය දෙමළ ජාතිවාදීන් සමග එක්ව ලංකාවේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරයි. මෙම සංදර්භය තුළ ජයලලිතා සිරගත කිරීම ලංකාවේ ආණ්ඩුවට පක්ෂ දේශපාලකයන්ගේ අමන්දානන්දයට හේතු වී තිබේ. 

එහෙත්, මෙහි බරපතල පරස්පරයක් තිබේ. ජයලලිතා සිරගත වන්නේ ඉන්දීය අධිකරණයේ දූෂණ විරෝධී අරගලයේ ප්‍රතිඵලයක් ලෙසයි. ලංකාව ද දූෂණය පැත්තෙන් ගත් කල තමිල්නාඩුවට සමාන හෝ එය ඉක්මවා යන තරම් කුණු ගොඩකි. ඉන්දියාවේ අධිකරණයට කටයුතු කරන්නට ලැබුණු සාපේක්ෂ ස්වාධීනත්වය හෝ ලංකාවේ අධිකරණයට නැත. ඉන්දියාවට සාපේක්ෂව ලංකාවේ පාලකයෝ දූෂණ සම්බන්ධයෙන් නීතියෙන් මුක්තිය තහවුරු කරගෙන තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.