සෞඛ්‍ය ඇමතිතුමනි, මේ ජෝක්වලට අප හිනා විය යුත්තේ කොයි පැත්තෙන් ද?

(2011 ජනවාරි 06, W3Lanka) බීමත්කම නිසා රෝගී වන පුද්ගලයන්ගෙන් මුදල් අයකර ගැනීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රථම අදියර ලෙස බීමත්ව හදිසි අනතුරුවලට ලක්වන රෝගීන්ගෙන් රෝහල් බිල අය කර ගන්නා චක්‍රලේඛය ඉදිරි සති දෙක තුළදී නිකුත් කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන පවසයි.


හදිසි අනතුර සිදුවීමට හේතුව බීමත්කම යැයි වෛද්‍යවරයා තීරණය කළොත් එම රෝගියාට ප්‍රතිකාර ලබාදෙන රෝහල් බිල මෙසේ අයකර ගනියි.


මෙම ලේඛකයා මත්පැන් බොන්නේ කලාතුරකිනි. එහෙත්, නො බොන නිසා තමන් බොන මිනිසුන්ට වඩා විශිෂ්ටයකු යයි ලේඛකයා නො සිතයි. 


එබැවින් ආණ්ඩුවට අධික ලෙස බදු ගෙවමින් බොන අපේ සහෝදරයින් වෙනුවෙන් ලේඛකයා ඇමතිවරයා වෙත ප්‍රශ්න කීයක් යොමු කරන්නට කැමති ය. 


පිළිතුරු සති දෙකකින් නිකුත් වන චක්‍රලේඛයේ තිබෙනවා නම් ප්‍රමාණවත් ය. 


හදිසි අනතුර සිදුවීමට හේතුව බීමත්කම යැයි වෛද්‍යවරයා තීරණය කළොත්, එම තීරණය අභියෝගයට ලක් කරන්නට රෝගියාට ඇති අයිතියට ගරු කරන්නේ කෙසේ ද? 


ප්‍රතිකාර කිරීමට පෙර සාධාරණ තීන්දුවක් තහවුරු කර ගන්නට රෝගියාට ඇති අයිතියට ගරු කරනවා ද? 


හදිසි අනතුරට හේතුව බීමත්කම යයි තීරණය කිරීම සඳහා වෛද්‍යවරයා සාක්ෂි විමසන්නේ කෙසේ ද? ඒ සඳහා අධිකරණ බලය වෛද්‍යවරයාට ලබා දෙනවා ද? ඔහු අනතුර සිදු වූ ස්ථානයට යනවා ද? දොස්තරලා හදිසි අනතුරු බලන්නට ගිය විට, අනෙක් ලෙඩුන්ට ප්‍රතිකාර කරන්නේ ඇටෙන්ඩන්ට්ලා ද? 


ප්‍රතිකාර සඳහා තමන් මුදල් නො ගෙවන බව ‍රෝගියා ප්‍රකාශ කළොත්, මහජන මුදලින් නඩත්තු වන ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ හිපොක්‍රටික් දිවුරුම දුන් වෛද්‍යවරු කරන්නේ කුමක් ද? 


රෝගියා සුවපත් වීමෙන් පසු ඔහුගේ ටිකට් කපන විට රෝහල් බිල ගෙවීමට ඔහු අත මුදල් නැතිනම්, රෝහල් කාර්ය මණ්ඩලය රෝගියාව යවන්නේ ‍හිර ගෙදරට ද? 


‍රෝහල් බිල් නො ගෙවන රෝගීන් සිර කර තැබීම සඳහා රෝහල් පොලීසිවල සිර කුටි හදනවා ද? 


රෝගියා මිය ගියහොත් රෝහල් ගාස්තුව අය කර ගන්නේ කාගෙන් ද? 


රෝගියා මිය ගියහොත්, කවුරු හෝ රෝහල් ගාස්තුව ගෙවන තෙක් මිනිය නිදහස් කරන්නේ නැද්ද?


රෝගියා මිය ගියහොත්, රෝහල් ගාස්තුව අය කර ගන්නේ ඔහුගේ පවුලේ නො බොන අයගෙන් ද? 


මෙවැනි ප්‍රශ්න මතු වන්නේ සමහර විට අපේ නරුමකම නිසා වන්නට පුළුවන. තරහ අවසර! ඒත් අවසාන ප්‍රශ්නයත් නො අසා ම බැරි ය. 


මේ ජෝක්වලට අප හිනා විය යුත්තේ කොයි පැත්තෙන් ද? 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)