සෝම හිමියන්ගේ 'අපවත් කිරීමෙන්' සත් වසරකට පසු

(2010 දෙසැම්බර් 27, W3Lankaගංගොඩවිල සෝම හිමියන් අපවත් කර දෙසැම්බර් 12දාට සත් වසරකි. අපවත් කිරීම යන නව යෙදුම සිංහල වාග් කෝෂයට එකතු වුණේ එහිමියන්ගේ අභාවයත් සමගයි. 


දැඩි ලෙස රෝගාතුරව සිටි සෝම හිමියන් ශීත ඍතුවේ රුසියාවට යන්නේ ශාන්ත පීටර්ස්බර්ග් සරසවියෙන් ආචාර්ය උපාධියක් ලබා ගන්න‍ටයි. 


සෝම හිමියන් අපවත් කිරීම පිණිස එරටට ගෙන්වා ගැනීමට මෙම ආචාර්ය උපාධිය (ඇමක් ලෙස) පාවිච්චි කරන ලද බවට එදා සිහල උරුමය විසින් චෝදනා කරන ලදී. 


මරණය පිලිබදව තොරතුරු අනාවරණය කිරීම සදහා කොමිෂමක් පත් කරන ලදී.මෙම කොමිෂම මගින් පරීක්ෂණ දෙකක් පවත්වනු ලැබූ අතර මෙම කොම්ෂමේ සාමාජිකයන් තිදෙනෙකුගේ අවසන් නිගමනය වුයේ එම මරණය ඕනෑකමින් කරන ලද්දක් බවයි. එක් කොමිෂන් සාමාජිකයකු පවසුවේ ඒ සදහා සාක්ෂි නොමැති බවයි.


සෝම හිමියන් අපවත් කිරීමෙන් සය වසරකට පසු පොලිස්පති මහින්ද බාලසූරිය ද එම විශ්ව විද්‍යාලයට යන්නේ ය. ඒ පරීක්ෂණයක් පැවැත්වීමට නොව ආචාර්ය උපාධියක් ලබා ගැනීමටයි. එහෙත්, ඔහු ඝාතනය කිරීමක් නම් සිදු වූයේ නැත. 


ආචාර්ය උපාධි පිරිනැමීම සඳහා ඒ ඒ විශ්ව විද්‍යාලවලට අනන්‍ය වූ ක්‍රමවේද තිබේ. ආචාර්ය නාමය නම ඉදිරිපිටින් ඈඳා ගත් පමණින් කෙනෙකු පිළිගත් විද්‍යාර්ථියකු වන්නේ නැත. එසේ වන්නේ අදාළ පුද්ගලයා විසින් කරන ලද ශාස්ත්‍රීය කාර්ය භාරය මත ය. 


සෝම හිමියන්ගේ ජීවත් වීම රුසියාවට හෝ රුසියාවේ ඕතොඩොක්ස් පල්ලියට හෝ ශාන්ත පීටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයට කෙසේ කරදරයක් වන්නට ඇද්දැයි මෙම ලේඛකයාට නො තේරේ. සෝම හිමියන්ගේ දෙසුම්වල යම් සමාජ විවේචනයක් ගැබ් වූ මුත්, ලෝක ව්‍යාප්ත කිතු දහමට හෝ ක්‍රිස්තියානි මූලධර්මවාදයන්ට අභියෝග  කරන විද්‍යාත්මක හෝ මූලධර්මවාදී හෝ ගැඹුරක් එහි නො තිබිණි. 


එහෙත්, එහිමියන්ගේ අපවත් වීම සිහල උරුමය නම් දේශපාලන ව්‍යාපාරයට නම් නව මාවතක් විවෘත කළේ ය. 


2001 මහ මැතිවරණයේදී ලේඛකයා අනුරාධපුර රජරට සේවය ඉදිරිපිට කඩ පනහ අසල වේදිකාවේ පැවති සිහල උරුමයේ රැස්වීමක් දුටුවේ ය. ඔබ විශ්වාස කරනවා ද? එම රැස්වීම බලන්නට සිටියේ එක ම එක් ප්‍රේක්ෂකයකු පමණි. 


අමාරුවෙන් ලබා ගත් එක ම එක පාර්ලිමේන්තු අසුනට එස්.එල්. ගුණසේකර සමග රණ්ඩු වී 2001 මැතිවරණයේදී එම නියෝජනය ද අහිමිව නන්නත්තාර මට්ටමක සිටි චම්පික-රතන දේශපාලන ව්‍යාපෘතිය සෝම හිමියන්ගේ මරණයෙන් පසු සඟුන්ට පිදූ ජාතික හෙළ උරුමය නම් දේශපාලන පක්ෂයක් බවට පත් කරන ලදී. සෝම හිමි අඩි පාරේ ගිය ජනප්‍රිය ධර්ම කථික හිමිවරුන් පිරිසක් පෙරටු කො‍ටගෙන 2004 අප්‍රේල් මහ මැතිවරණයට තරග කළ ජාතික හෙළ උරුමය සැලකිය යුතු ජයග්‍රහණයක් අත් පත් කර ගත්තේ ය. 


2005 ජනාධිපතිවරණයේ සිට ජාතික හෙළ උරුමය ආණ්ඩුවට සම්බන්ධ වී සිටින අතර දෙමළ විමුක්ති අරගලය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා එය විසින් රාජපක්ෂ ආණ්ඩුවට ලබා දෙන ලද ශක්තිය මෙම දේශපාලන ව්‍යාපෘතියේ වැදගත් ම සාධකයයි. ‍එසේ ම, දෙමළ ජාතිකවාදී බල ව්‍යාපෘතියේ තීරණාත්මක පරාජය මෙම ඊනියා සිංහල ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියේ අවසානය ද සලකුණු කළේ ය. 


සෝම හිමියන්ගේ මරණයෙන් සත් වසරකට පසු ආපසු ජාතික හෙළ උරුමය දෙස බලන්න. සංඝයාට පුදන ලද පක්ෂය දැන් නැවතත් එහි උරුමකරුවන් වූ චම්පික-රතන-ගම්මන්පිල ත්‍රිත්වයෙන් නියෝජනය කරන පිරිස අතට පත් වී තිබේ. 2004දී කතානායක තේරීම පිණිස පැවති ඡන්දයේදී කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ වෘෂණ කෝෂ අඹරා අපවත් කිරීමට තැත් කළ ආචාර්යවරයාත් චම්පික රණවකත් එක කැබිනට් මණ්ඩලයේ අසුන් ගනිති. 


ජාතික හෙළ උරුමයේ නායකයෝ දැන් ධර්ම රාජ්‍ය හෝ දස රාජ ධර්ම ගැන කතා නො කරති. එපමණක් නො ව හරිත සමාජය හා ධරණීය සංවර්ධනය ගැන කියූ දේ ද ඔවුන්ට අමතක ය. ආණ්ඩුව අනුගමනය කරන යල් පැන ගිය නව ලිබරල්වාදී (ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර) සංවර්ධන මූලෝපාය ආරක්ෂා කිරීම සඳහා න්‍යාය සම්පාදනය කිරීමේ කණගාටුදායක කොන්ත්‍රාත්තුවට  දැන් ඔවුහු කර ගසා සිටිති. 


නවීන, සුඛෝපභෝගී යාන වාහනවලින් ආරක්ෂකයන් පිරිවරාගෙන ගමන් බිමන් යාම, මහජන මුදලින් ක්ෂණික ධනවතුන් බවට පත් වීම වැනි දේශපාලනික වශයෙන් නො වැදගත් සාධක කීපයකින් නම් ඔවුන් සාර්ථක වී තිබේ. 



සෝම හිමියන්ගේ මරණය පමණක් නො ව සංඝ සමාජය ද පටු අරමුණු වෙනුවෙන් පාවිච්චි විය. බල දේශපාලනයට ඍජුව යොමු වීම නිසා සංඝ සමාජය අන්තයට ම පිරිහිණි. අද වන විට මහ නායක හිමිවරුන් කියන දෙයක්වත් පාලකයන් කණකට නො ගන්නා තත්වයට සංඝ සමාජය පිරිහෙළී ඇත. 

සිංහල බෞද්ධ සාරධර්ම ආරක්ෂා කිරීම මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපෘතියක් පමණක් බවට පත් වී ඇති අතර, ඒ හා සම්බන්ධ ප්‍රකාශන හැර මාධ්‍යයන්ගේ සෙසු අවකාශයත්, සමස්ත සමාජයත් පිරී ඇත්තේ බෞද්ධකමට නො ගැලපෙන අපරාධ, දූෂණ හා අවකල්ක්‍රියාවලිනි. 



සෝම හිමියන්ගේ අපවත් කිරීම ඔස්සේ පෙරට ගන්නා ලද දේශපාලන ව්‍යාපෘතියේ එක ම ජයග්‍රාහකයන් වී ඇත්තේ රාජපක්ෂ පවුලයි. අන් සියල්ලෝ ම පරාජය වී ඇත. පිළි ගන්නට ලජ්ජා වුණත් ඇත්ත එයයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මම විශ්වාශ කරන අන්දමට, මෙම ගැටලු සඳහා සෝම හිමියන් සැලකිය යුතු ලෙස වගකිව යුතුව ඇත. අන්තාවදී සහ ආගම්වාදි පටු වින්තනයකට හිමිකම් කිවු ඔහු, අපවත් කිරීම පිළිබඳව අපට ගැටලුවක් නොමැත. මෙය ලියන මම ඔහු මනාව හඳුනන්නෙකු වු අතර, මා මගේ ජීවිතයේ දැකපු ලොකුම වංචා කාරයා, ජාති වාදියා, ආගම් වාදියා සහ ත්‍රස්තවාදියා ලෙස ඔහු සලකමි. එපමණක් නොව, ඔහු පවතින තත්වය මනාව හසුරුවා ගන්නට දන්නා ඉතාමත් කපටි කෛරාටික පුද්ගලයෙකි.

    ReplyDelete
  2. අනගාරික ධර්මපාලතුමා ගෙන් පසු සිංහලයා අවධි කිරීමට උත්සහා දැරූ එකම නායකයා ලෙස මා දකින්නේ සෝම හිමි පමණි. අනිත් සියල්ලෝම කලේ සිංහල බෞද්ධයා market කර චන්දය ලබා ගැනීමය , එසේත් නැත්නම් අපවත් කල සෝම හිමිගේ පිගිටෙන් පාර්ලිමේන්තුවට පැනගනීමය.

    ස්වාමීන්වහන්සේ මේ වෙන විට ජීවතුන් අතර සිටියනම් මේ වන විට සමාජය විශාල වෙනසකට බඳුන් වනවා නොඅනුමානයි

    මීට කලින් Comment කල Anonymous උතුමාණනි කරුණාකර බොරු කීමෙන්වැලකිසිටින්න අඩුමු ගනනේ මියගිය අයට මඩ ගැසීමෙන්වත් වලකින්න

    ReplyDelete
  3. ඔය ඇනෝනිමස් මෙල්බර්න් හිටිය කෙනෙක්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා