සැකය විකිණීමට තිබේ

ලංකාවේ ආදරය කරනවා ය කියලා මාර දේවල් තමයි කෙරෙන්නෙ. මං ඉතින් ඕව අල්ල ගන්නෙ බස් එකේ, කෝච්චියෙ නිදි කිරන්නා සේ ඊව්ස්ඩ්‍රොපිං හෙවත් ඇන්ටෙනා පාරවල් ගහලායි. ඒක හොඳ නැති වැඩක් වෙන්න පුළුවන්. ඒකට සමා වෙත්වා.

මේ ළඟදි රජයේ සේවක තරුණ කපල් එකක් මා ළඟ කතා කර කර ගියා. විශ්වාස කරන්නකෝ, බම්බලපිටියෙ ඉඳල පානදුරෙන් මං ළඟින් ඈත් වෙනකල් ම ඒගොල්ලන් කතා කර කර ගියේ වැටුප් තල, වැටුප් වර්ධක ආදිය ගැන. ලස්සන ගෑනු ළමයෙක්. ඒක මගේ ප්‍රස්තුතය නෙමෙයි. ඒක හරි අමුතු නිසායි කිව්වෙ.

තව දවසක් යාලු වෙමින් වගේ ඉන්න කපල් එකක ගෑනු ළමයෙකුට කෝල් එකක් ආවා. කතා කරලා ඉවර වුණ හැටියෙ කොල්ල අහන්නෙ කවුද කතා කළේ, පිරිමි ළමයෙක් ද, මොකට ද කතා කළේ වගේ ප්‍රශ්න.

තවත් දවසක් මං කළුතරට එනකොට එහා රේල් පාලමේ මගී කොරිඩෝවේ කොල්ලෙක්, කෙල්ලගෙන් මොනවද අහ අහා කෝටුවකින් ගහනවා.

ඔය වගේ කතා තව ඕනැ තරම් කියන්න පුළුවන්. මං දන්න හුඟක් තරුණ කොල්ලන්, කෙල්ලන් අතර වගේ ම වැඩිහිටි අය අතරත්, ඇතැම් විට මහලු අය අතරත් තමන්ගේ සහකරුවා හෝ සහකාරිය ගැන තියෙන්නේ ඊර්ෂ්‍යාවක් හා සැකයක්.

ඔය බස්වලදි අහන්න ලැබෙන නව පරපුරේ ප්‍රේම ගීතවලත් තියෙන්නෙ ඒවමයි අයියො! ඊය කියල හිතෙනවා.

වැඩේ කියන්නෙ, හුඟ දෙනෙක් ආදරේ ය කියල හිතාගෙන ඉන්නෙ මෙන්න මේ සැකය හා ඊර්ෂ්‍යාව. “එයා මට ආදරේ හින්දනේ ඔච්චර මා ගැන හොයන්නෙ."

මේ අතර සායනික ප්‍රතිකාර ලබා ගත යුතු අයත් ඉන්නවා. 

මෙන්න මේ භාණ්ඩය හා සේවාව ගැන කියෙව්වම මට හිතුණෙ සැකයට වුණත් මාකට් එකක් හදන්න ධනවාදයට පුළුවන් නේ ද කියලායි.

භාණ්ඩය ජංගම දුරකථනය. සේවාව තමයි, තමන්ගේ සහකරු / සහකාරිය ඉන්න තැන දැන ගන්නා ක්‍රමය.

මේක ආරක්ෂාවට කරන්නත් පුළුවන්. ඒ වුණාට මෙන්න මේ ලිපිය ලියලා තියෙන විදිය අනුව තේරෙනවා නේ ද, මේ ටාගට් කරන්නේ මොකක් ද කියලා. මෙතන පළමු ඡේදයේ ආරක්ෂාව කියන්නේ මොකක් ද කියන එක දෙවන ඡේදයේ වංචනික විදියට PIN අංකය ගන්න හැටි ගැන විස්තර කරන විදියෙන් පැහැදිලි වෙනවා.

ආදරය කරන හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක්නේ තමන් ආදරය කරන කෙනාගේ ආරක්ෂාව ගැන හිතන එක. දැන් ඒ ප්‍රශ්න ඔක්කොටම විශ්වාසනීය උත්තරයක් තියෙනවා ඒ ProFinder සේවාව. ඒ කියන්නේ පැය 24 පුරාම ක්‍රියාත්මක වෙලාතියෙන Mobile Tracking System එකක්. මේක බොහොම පහසුවෙන් ඕනෑම වර්ගයක පොඩි Phone එකකට ලබාගන්න පුළුවන්. කරන්න තියෙන්නේ ............ කියන අංකය Dial කරලා අංක 1 යටතේ තිබෙන්න join යන්න තේරීමයි.  ඒ වගේම තමන්ගේ ආදරේ කරන අයව, යාලුවෝ මේ හැමෝමවත් දැනුවත් කරලා ............. කියන මේ අංකයම අමතලා මේ සේවාවට එකතු වෙන්න කියන්න. එමගින් ඔයාලට පුළුවන් ඒ අය ලංකාවේ කොහේ හිටියත්, පැය 24 පුරාවටම තමන්ට හිතෙන ඕනෑම වෙලාවක ඒ අය ඉන්න තැන SMS එකක් මගින් ක්ෂණිකව දැනගන්න…

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, Track කරනකොට එයා දැනගන්නවද කියන ඒක, මුලින් ඔහු හෝ ඇය දැනුවත් කරලා .............. Dial කිරීම මගින් එයාලගේ PIN අංකය ලබාගත්තොත් ඔක්කොම හරි. ඕනෑම වෙලාවක ඒ අය ඉන්න තැන SMS එකක් මගින් හොයාගන්න පුළුවන් , SMS එකකින් ඔයාගේ යාළුවා ඉන්නේ කොහෙද කියල system එකෙන් අහපු ගමන් system ඒක ඔයාට කියනවා ,ඔයාගේ යාළුවා ඉන්න තැන. තවත් විශේෂ දෙයක් තමයි ඔයාට පුළුවන් යාළුවා ඉන්න තැන google map එකෙන් බලන්න.පුළුවන් ලින්ක් ඒක SMS එකකින් ලබාගන්නත්.


කෙල්ලක් එක්ක යාළු වුණා ම, කතා කරන්න ජංගම දුරකථනයක් අරන් දෙන කොල්ලන් මේවා ක්‍රියාත්මක කරලා ම තමයි ඒක දෙන්නේ. කොහොමද ලව් එක?



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා, ඔබ මෙතන වැදගත් දෙයක් කතා කරනවා. ඇත්තෙන් ම පැරා මේ ලිපියේ ඔබ පවසන සංසිද්ධි (phenomena) කීපය විවිධ විධියට කියවන්න පුළුවනි.

    1. ප්‍රපංචවේදාත්මක කියවීමක් (phenomenological reading) කරන්න “කැමති අය” (those who like - මේ වචන සරණිය වැදගත්) පවසයි මෙකී සංසිද්ධි හයිඩෙගරියානු (Heideggerian) පූර්ව-තාක්ෂණික අවධියක සිටින පුද්ගලයා නූතන තාක්ෂණය කෙරෙහි දක්වන අභිප්‍රාය (will to technology) හෙවත් බලය කෙරෙහි දක්වන අභිප්‍රාය (will to power) යථාකරණය වීමක් ය කියා.

    2. මනෝ වෛද්‍ය විද්‍යාත්මක කියවීමක් කරන්න කැමති අය පවසයි මෙකී සංසිද්ධිය තමාගේ ලිංගික සහකාරිය හෝ සහකරුවා තමාට අවංක නො වන නිසා (සාක්ෂ්‍ය නැති ව වුව) ඇය හෝ ඔහු තමන්ට අහිමි වීමට ඇති හැකියාව පිළිබඳ බිය, සංකාව, අනාරක්ෂිත බව යනාදී වේදිතයන් කෙන්තිය, පිළිකුල, නොරිස්සීම යනාදී වේදිතයන් සමඟ සංයෝජනය වී පුද්ගලයාගේ පෞද්ගලික හා සාමාජීය ජීවිතයට බාධා කිරීමක් ය කියා. වෛද්‍ය විද්‍යාවේ දී අප කැමතියි සංකල්පවලට ලස්සන නම් දෙන්න. එනිසා ඔතෙලෝ නාට්‍යයේ ඔතෙලෝ විසින් ඩෙස්ඩමෝනා සැක කරනු ලැබීම සලකා පෙර කී තත්ත්වය ඔතෙලෝ සහලක්ෂණය (Othello Syndrome) යනුවෙන් නම් කෙරෙයි (මා එම නාමකරණයට අකමැති වන්නේ ඔතෙලෝ විසින් ඩෙස්ඩමෝනා සැක කෙරුණේ සාක්ෂ්‍ය ඇති ව නිසා ය. එම සාක්ෂ්‍ය ඉයාගෝ විසින් නිර්මාණය කරවන ලද බව සැබෑවක් වුවත් ඔතෙලෝට අනුභූතික සාක්ෂ්‍ය ලෙස ඒවා පැවතිණි).

    3. මනෝ විශ්ලේෂණාත්මක කියවීමක් කරන්න කැමති අය පවසයි මෙකී සංසිද්ධිය ආශාව පිළිබඳ කතිකාවක් ය කියා. එහිදී ලැකානියානු උපනිකාය පවසයි මෙම සංසිද්ධි යනු සංකේත සරණිය (symbolic order) තුළ භාෂාත්මක ව තම සහකාරිය (හෝ සහකරුවා) පූර්ණ ලෙස සංකේතකරණය කර ගන්නට නොහැකි වීම නිසා ඇති වන ශාංකාව ශමනය කර ගන්නට ෆැන්ටසියේ සරණය යාමක් බවත් තමාගේ ආශාවේ වස්තුවෙන් තමා නොලබන එහෙත් අනෙකා ලබන ප්‍රමෝදය සොයා යෑමේ නව මෙවලම (paraphernalia) බිහි කර ගැනීමක් බවත්. ජිජැක්වාදීන් පවසයි මෙම සංසිද්ධි යනු ෆැන්ටසිය අන්තර්විනිවිඳ පුද්ගලයා යථ (the real) සමඟ අභිමුඛ කිරීමෙන් ක්ෂිතිමය අත්දැකීමක් ඇති කරවීම සඳහා සිනමාවට විකල්පයක් ටෙලිකොම් සමාගම් විසින් සොයා ගැනී‍මක් ය කියා. (ෆ්‍රොයිඩ් එක්ක නැඟිටින්න හදන එක්කෙනෙකු මේ දවස්වල සමාජජාලවල රඟන බව ආරංචියි. එයා ගැන වෙන දවසකට ඉතුරු කරමු)

    4. මාර්ක්ස්වාදී කියවීමක් කරන්න කැමති අය පවසයි මෙකී සංසිද්ධිය යනු වාණිජ ධනවාදයේ අභිවර්ධනය සමඟ මානව සම්බන්ධතා හුදු හුවමාරු භාණ්ඩ (commodities) බවට පත්වීමේ මාර්ක්සියානු-බෙන්ජමිනියානු න්‍යාය සත්‍යකරණය වීමක් ය කියා.

    5. දැන් මේ සංසිද්ධි නලින් ද සිල්වා වගේ කෙ‍ෙනකු විසින් කියවුණොත් එයා පවසයි එකිනෙකා සැක කරන තරුණ-තරුණි යුවළ විසින් “සිබෞ” නමැති සංස්ථිතිය නො සලකා හැරීම නිසා නාථ දෙවියන් විසින් ඔවුන්ට දෙන ලද දඬුවම් ප්‍රකාර ව ඔවුන් එකිනෙකා සැක කර මරා ගෙන විනාශ වන බව. (සිබෞ යනු කුමක් ද යන ප්‍රශ්නයට පිළිතුර: එවැන්නක් තිබෙන බව නලිනියානු සිබෞවාදයේ සඳහන් වන අතර සිබෞවාදීන් එවැන්නක් පවතින බව විශ්වාස කරති යි යනුවෙනි)

    එක ම සංසිද්ධි සමූහයක් සඳහා විවිධ විග්‍රහ ඉසිරිපත් කළ හැකි ය. මාර්ටින් හයිඩෙගර්ට, ශක් ලකාන්ට, ස්ලාවොයි ජිජැක්ට, කාල් මාර්ක්ස්ට හෝ වොල්ටර් බෙන්ජමින්ට විවිධ ප්‍රපංච විග්‍රහ කරන්නට කතන්දර ගොඩනඟන්නට හැකි (අවසර තිබේ නම් යන අරුතින්) නම් නලින් ද සිල්වාට පමණක් නො ව එයාගේ ගම්වැසියා වූ ලාල් පෙරේරාටත් කතන්දර ගොඩනඟන්නට හැකි (අවසර තිබේ නම් යන අරුතින්) විය යුතු ය. එකී නො කී සෑම කතන්දරයක ම හෙවත් “-වාදයක ම” ඇත්තේ සංකල්ප ය. අප ඇතැම් කතන්දර පිළිගැනීමත් තවත් ඒවා නොපිළිගැනීමත් යනු එම කතන්දරයේ සත්‍යාසත්‍යතාව පිළිබඳ කාරණයක් නො ව එම කතන්දරය පිළිබඳ අපගේ කැමැත්ත හා විශ්වාසය පිළිබඳ කාරණයකි. එනිසා විවිධ “-වාදයන්” වෙනුවෙන් එකිනෙකා ඇන කොටා නොගනිව්!

    (පැරා කෝ දැන් ලාල්? සෑහෙන කාලයකින් ආරංචියක් නැහැ. ඒ කාලේ සංවාදවල ප්‍රශ්න විමසන අවස්ථාව එළඹි සැණින් ලාල් නඟානවා වේදිකාවට. රට අවුළුවන ප්‍රශ්න විමසන්නේ!)

    ReplyDelete
    Replies
    1. පානදුරේ ලාල්ව මටත් ගොඩ කාලෙකින් හමු වෙලා නැහැ. ලාල් ගැන විස්තර කල්‍යා දන්නවා ඇති.

      //අප ඇතැම් කතන්දර පිළිගැනීමත් තවත් ඒවා නොපිළිගැනීමත් යනු එම කතන්දරයේ සත්‍යාසත්‍යතාව පිළිබඳ කාරණයක් නො ව එම කතන්දරය පිළිබඳ අපගේ කැමැත්ත හා විශ්වාසය පිළිබඳ කාරණයකි// මේ කෑල්ල මට කියා ගන්නට අවශ්‍යව තිබුණු දෙයක් පවසනවා.

      ලංකාවේ ඇතැම් පිරිස් මේ දැනුම් පද්ධති අනෙකා නො දන්නා බව කියන්නත්, තමන් දන්නා බව පෙන්වමින් කැපී පෙනෙන්නටත් පාවිච්චි කරනවා. ඒක හරි ම අසික්කිත තත්වයක් බවට පත් වෙමින් තිබෙනවා.

      Delete
    2. 1/2

      මුල් ආලෝචනය සමඟ සබැඳිය ...

      කිසි යම් දැනුම් පද්ධතියක් හෙවත් කතන්දරයක් පිළිබඳ අපගේ කැමැත්ත හා විශ්වාසය ආධානග්‍රාහී ව, ඉතා දැඩි ව වර්ධනය කර ගැනීමෙන් එම දැනුම් පද්ධතිය ඇදහිල්ලක් නැත හොත් ආගමක් බවට පත් වෙනවා. සලකනු ලබන දැනුම් පද්ධතියක් මනා ව දැන ගැනීම හෙවත් එය පිළිබඳ දැනුම්වත්බව යනු සුසංවාදී ව එම දැනුම් පද්ධතිය විශ්වාස කිරීමක් බවට අර්ථකථනය කර ගනු ලබනවා. සමකාලීන ඇදහිලිවල ලාක්ෂණිකයක් වන්නේ ඒවා අදහන්නවුන් තමන් එවැනි ඇදහීමක් නො කරන බව සුවිශේෂ කර පැවසීම යි. නමුත් භාවිතය තුළ ඔවුන් ඉතා අන්තගාමී ආගම් අදහන්නවුන් වෙනවා. එකී දැනුම් පද්ධතිය විසංවාදී ව ප්‍රශ්න කරන අය සලකනු ලබන්නේ එකී දැනුම් පද්ධතිය පිළිබඳ දැනුමක් නැති අය ලෙස යි. මෙම සංසිද්ධිය අපට ප්‍රායෝගික ව නිරීක්ෂණය කළ හැකි යි පසු ගිය දවසක පැරා වෙනත් තැනෙක දැනුම පිළිබඳ ඇති කළ සංවාදය තුළ.

      පැරා විසින් කිසි යම් දැනුම් පද්ධතියක් පිළිබඳ විසංවාදී ප්‍රශ්න කිරීමක් කෙරෙනවා. පැරා තමන්ගේ ම භාෂාවෙන් (in his own language - සිංහල යන අරුතින් නො ව පොදුවේ ලෝකය සංකේතනය කර ගැනීම යන අරුතින්) පවසන ප්‍රස්තුතය මෙවැන්නක්:

      “ඕවා (එනම් එනී දැනුම් පද්ධතිය) සංකල්ප. ඕවා පවතින දේවල් තර්කයෙන් විමසීමෙන් සාදා ගන්නා දේවල්. ගැඹුරින් හිතන කෙනකුට වගේ ම පිස්සෙකුටත් ඔය වගේ සංකල්ප හදන්න පුළුවන්”

      දැන් පැරා මෙම ප්‍රස්තුතය ඉදිරිපත් කළ සැණින් එතනට නඩා පනිනවා කක්කුස්සි විශ්ලේෂකයෙක්. ඔහු මෙවැන්නක් පවසනවා:

      “පැරා නො දන්න දේවල් ගැන කතා නො කර ඉන්නවා නම් හොඳ යි. පැරාට මේවා (සලකනු ලබන දැනුම් පද්ධතිය) පමණක් නො වෙයි දැනුම යනු කුමක් ද යන්නවත් තේරෙන්නේ නැහැ”

      එලෙස පවසන එම කක්කුස්සි විශ්ලේෂකයා ඊ ළඟට දැනුම පිළිබඳ “පර්යේෂණ සාක්ෂ්‍ය”, “සායනික පොළොව”, “දාර්ශනික ප්‍රවණතා” වැනි බර වචන ප්‍රහාරයක් පැරාට එල්ල කරනවා.

      ඉහත නිදර්ශනය අපට වැදගත් කරුණු දෙකක් අවධාරණය කරනවා:

      1. පැරාට සලකනු ලබන දැනුම් පද්ධතිය පිළිබඳ දැනුමක් නැති බවට එකී දැනුම් පද්ධතිය පිළිබඳ තමන් දැනුම්වත් ය යි සිතන අය (the people who THINK so) විසින් නිගමනය කෙරෙන්නේ පැරා එම දැනුම් පද්ධතිය සමඟ සුසංවාදීවය අනුගත වීමට අකමැති නිසා ය. පැරාගේ විසංවාදී ප්‍රශ්න කිරීම එකී දැනුම් පද්ධතියට අපහාස කිරීමකි. මෙය ආගමික කල්ලියක අනුගාමිකයින් විසින් එම ආගම වෙන‍ත් අයකු විසින් ප්‍රශ්න කරනු ලැබීම එකී ආගමේ පාරිශුද්ධත්වය කෙළසීමක් ලෙස සලකනු ලැබීමක් වැනි නො වන්නේ ද? මෙය ‍හුදු ආගමික චර්යාවක් නො ව ආගමික අන්තවාදයකි.

      2. දැනුම යනු කුමක් ද? යන්න පිළිබඳ පැරා නො දනින බවට අරියාදු කරන එකී කක්කුස්සි විශ්ලේෂකයා “ටොන්” ගණන් බර වචන අලවා තතමමින් දැනුම පිළිබඳ කරන නිර්වචනයේ සරල අරුත වූ කලී පැරා තමන්ටත් අනෙකාටත් තේරෙන ලෙස සැහැල්ලු වචනයෙන් පවසන දෙය ම මිස අන් කිසිවක් නො වේ. පැරා පෙනී සිටින්නෙත් දැනුම යනු හුදු අත්දැකීම හෝ හුදු තර්කනය මත හෝ ගොඩනැඟෙන්නක් නො ව ඒ දෙක අතර, ඒ දෙකෙහි ම සංයෝජනයෙන් ගොඩනැඟෙන්නක් ය යන අස්ථානය සඳහා ම තමයි. ඉතිං ඇයි පැරාට අරියාදු? පැරා තමන්ගේ අදහස මෙලෙස පැවසුවා නම්:

      “දැනුම යනු ලොකියානු, බර්ක්ලියානු, හ්‍යුමියානු අනුභූතවාදී ‍නිර්ණායක ඩෙකාටියානු, ස්පිනෝසානු, ලයිබිනිසියානු බුද්ධිවාදී අපෝහන නිර්ණායක සමඟ දාර්ශනික තලයේ දී කාන්ටියානු මැදහත්කරණයකින් සන්දර්භීය සන්තුලනයකට පත් වීමේ ඵලය යි”

      පැරා එවැනි දාර්ශනික ලෝකය තුළ අර්ථපූර්ණ එහෙත් වාස්තවික ලෝකය තුළ අර්ථශුන්‍ය අපබ්‍රංශයක් පැවසුවේ නම් ඊනියා කක්කුස්සි විචාරකයන් පැරාට අරියාදු කරනු තබා දවස් දෙක තුනකට මුහුණුපොතට එන්නේ ද නැත.

      කිසි යම් දැනුම් පද්ධතියක් නිර්මාණය කරන්නෝ එකී දැනුම් පද්ධතියේ සංකල්ප අනන්‍ය වූ භාෂාවකින් සූත්‍රගත කරති. එම දැනුම් පද්ධතිය අදහන්නෝ එම අනන්‍ය වූ භාෂාව ප්‍රගුණ කරති. මෙය ආගම් සහ භාෂාව අතර ඇති සම්බන්ධය ය. ඛේදනීය තත්ත්වය වන්නේ අවසානයේ දී ආගමික ඇදහිලිවල බොහෝ අදහනන් එම ආගම්වල සංකල්ප නො ව ඒවා සංකල්පගත කර ඇති භාෂාව (සිංහල යන අරුතින් නො ව පොදුවේ ලෝකය සංකේතනය කර ගැනීම යන අරුතින්) සමඟ බැඳීම ය. තමන් අදහන එක ම සංකල්පය වුව වෙනත් භාෂාවකින් පැවසෙන කල මෙකී ආගමික කල්ලිවල අනුගාමිකයන්ට අවිෂය ය.

      Cont ...

      Delete
    3. 2/2

      පැරා දැනුම සහ විවිධ දැනුම් පද්ධති පිළිබඳ මෙලෝ හසර නො දන්නා අයෙක් නො වේ. එකී කරුණු ගැන පැරා කාලයක සිට බැරෑරුම් සංවාද W3Lanka හි දී කර ගෙන යයි. අනුභූතික සාක්ෂ්‍ය, අනුභූතිවාදය, බුද්ධිවාදය, දැනුම පිළිබඳ කතිකාව, ඥාන විභාගය, දාර්ශනිකයන්ගේ නම් වැනි දේ සිංහලෙන් ගූගල් කළ හොත් ප්‍රතිඵල අතර අදටත් පැරාගේ W3Lanka ඇත. නමුත් එකී කිසිඳු දැනුම් පද්ධතියක බැතිමත් අනුගාමිකයකු වීම පැරාගේ ලක්ෂණයක් නො වේ. පැරාට කුමක් හෝ තමන්ගේ ම කියා දෙයක් තිබේ. ඇතන්ස්හි ප්ලේටෝ හෝ ගොඩලොව්කාවේ ප්ලෙකානොව් හෝ ලන්ඩනයේ පෝප් හෝ වියානාවේ පොපර් හෝ කුරුඳුවත්තේ පරාක්‍රම හෝ පිළිගනු ලබන අය විසින් මතුගම පැරා නො පිළිගනු ලැබීම පැරාගේ ප්‍රශ්නයක් නො වේ.

      දැනුම පිළිබඳ දැනුම් පද්ධතිවල ආගමික කල්ලිවාදය යනු අතිභයංකර සම්ප්‍රදායකි. මේ ආගමික කල්ලිවල ව්‍යුහයක් පවතී. මේවා යම් ශාස්තෘවරයකු වටා ගොඩනැඟී ඇත. ලාංකීය සන්දර්භය තුළ ශාස්තෘවරයා ආවශ්‍යයික ලක්ෂණයකි. ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ වාසය කරන මගේ දාර්ශනික මිත්‍රයෙක් පසු ගිය දා එම අදහස මට මෙසේ ලියා එව්වේ ය: “I think Sri Lankans are attached to the personality. They can't accept a religion without a figure to worship.”

      ශාස්තෘවරුන්ගේ ද වංශාවලියක් තිබේ. ඔස්ට්‍රියාවේ සිටි ආදී ශාස්තෘවරයාගේ ප්‍රංශයේ සිටි අහවල් ශිෂ්‍ය ශාස්තෘගේ ස්ලෝවේනියාගේ සිටින අහවල් වර්තමාන ශාස්තෘගේ ලංකාවේ සිටින අහවල් ශිෂ්‍ය ශාස්තෘ වැනි හඳුන්වාදීම් ඔවුන්ට ඇත. මෙකී ආගමික කල්ලි විසින් ප්‍රවර්ධනය කරනු ලබන්ගේ තමන්ගේ ශාස්තෘවරයාගේ වංශාවලියට අයත් අයගේ දැනුම පමණි. ෆ්‍රොයිඩ්ට කැමති අය යුංග් ගැන කතා නැත. ලැකාන්ට කැමති අය මෙලනි ක්ලයින් ගැන කතා නැත. දැනුම් පද්ධති අදහන ලාංකීය ආගමික කල්ලිවල ඇතුළතත් ගිනි ය; පිටතත් ගිනි ය. පැරා මෙම ආගමික කල්ලි ගැන වැදගත් ලිපියක් කලකට පෙර ලියුවේ ය. එය නැවත නැවතත් කියවිය යුතු තරම් වටිනා එකකි.

      විවිධ දැනුම් පද්ධති යනු ලෝකය වටහා ගන්නට විවිධ අය ගෙතූ විවිධ කතන්දර වන කල අප එක දැනුම් පද්ධතියක් වෙනුවෙන් ආධානග්‍රාහී ව පෙනී සිට අනෙක් දැනුම් පද්ධති නැති කර දැමීමට වෙහෙසිය යුතු නැත. කිසිඳු දැනුම් පද්ධතියක් සර්ව සම්පූර්ණ නැති බව අප විසින් මතක තබා ගත යුතු ය. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ, කැරොල් ලිවීස්ගේ, ජේ. කේ. රොව්ලිංගේ සිට ජානකී සූරියආරච්චි නැන්දීගේ කතන්දර දක්වා පමණක් නො ව බුදුන්ගේ සිට ජේසුන්ගේ කතන්දර දක්වා ද ඔය කොයි කතන්දරයත් තිබුණාට වරදක් නැත. රිස්සෝ රිසි දේ රිසි සේ රසවිඳිනු ඇත. අපගේ කැමැත්ත හා විශ්වාසය අනෙකා මත බලහත්කාරයෙන් පැටවීම අධිපතිවාදයකි. ආගමික කල්ලිවලින් දැනුම බේරා ගැනීම අද දවසේ දැනුම පිළිබඳ කතිකාවේ වැදගත් ම අරමුණ වී ඇත. එය කරන්නට සිදු ව ඇත්තේ නාසිස්මික (narcissistic) චරිත සමඟ මාරාන්තික සටනකිනි. පැරා ඔබට ඒ සඳහා දායක වන්නට දිරිබල ලැබේවා!

      End.

      Delete
  2. ඉතිං whereismydroid ඇප් එක තියෙන්නේ, ඇපල්වලටත් තියේ. අමුතුවෙන් ඒවා ඇයි?

    ReplyDelete
    Replies
    1. ඔසී වල ඇපල් වලට තිබ්බට ලංකාවේ අඹ වලට නෑනේ මචෝ

      Delete
  3. ලංකාවේ තවමත් බහුතරයක් ජංගම දුරකථන ස්මාට් ෆෝන් නෙමෙයි. මේක මාකට් කරන්නෙ ඕනැ ෆෝන් එකක් වෙනුවෙන්. අනෙක, ලංකාවේ ස්මාට් ෆෝන් පාවිච්චි කරන හැම දෙනාමත් එච්චර ස්මාට් නැහැ. මේ කොම්පැනිය ස්මාට් වෙන්නෙ එතැනදීයි.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. සාරස බෙට්ටා තාම ඇවිත් නෑ. උගේ ගෑනිට බයේ මූ ඉරිදට ගෙදරවැඩ

    ReplyDelete
    Replies
    1. //AnonymousDecember 4, 2016 at 7:20 AM
      සාරස බෙට්ටා තාම ඇවිත් නෑ. උගේ ගෑනිට බයේ මූ ඉරිදට ගෙදරවැඩ //

      නිතරම සරස තුමා ගැන සැකයෙන් ඉන්න කක්කා ඇනෝ තුමා විසින් සරස තුමා ව ට්‍රැක් කොරලා..... ගෙදර ඉඳන් වලන් හෝදනවා කියලා දැණගත්තේ ඒකෙන්...

      අහෝ බේදයකි!

      Delete
  6. මරු කතාව!! 
    අර සිංදුවත් මරු...
    දැන් ලෝකය දියුණුයි දෙන්නෙක් එකට ඉන්නකොට අනෙකාට නොදැනීම සම්බන්ධයක් හදාගන්න පුලුවන්...
    ඒකෙ අනිත් පැත්ත මේ කාලෙ ඇත්තටම ආදරය කරන අය අඩුයි...
    ඉතිං සැකය කියන්නේ අනිවාර්ය දෙයක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා