රටකට ඕනෑ අපමණ අගයක් - ජාතික නායක ජනපතිවරයෙක්

පසුගියදා පැවැති ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතවරුන් සහ ඇමැතිවරුන් සහ ජනාධිපතිවරයා අතර හමුවේදී මිහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක බවට පත් කිරීමට පක්ෂය එකඟ වූ බවට රාජපක්ෂ කඳවුරේ වෙබ් අඩවි උදම් ඇනුවේ ය. එහෙත්, ඇත්තෙන් ම සිදු වී තිබුණේ එය නො වේ.

සිදු වී ඇත්තේ පක්ෂය සමගි කිරීම සඳහා කමිටුවක් පත් කිරීමයි. ඒ වෙනුවෙන් පත් වී තිබෙන්නේ රාජපක්ෂ කඳවුරට සමීප පිරිසකි. එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න, ශ්‍රීලනිප උප ලේකම් ඩිලාන් පෙරේරා, කුමාර වෙල්ගම සහ ටී. බී. ඒකනායක යන මන්ත්‍රීවරු එම කමිටුවට අයත් වෙති.

මේ සියල්ලෝ ම පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කිරීමට වැඩ කළ අයයි. මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වූ කිසිවෙක් මෙම කමිටුවේ නැත. මෙම කරුණින් ගම්‍ය වන අරුත් ගැන අපගේ අවධානය යොමු විය යුතු ය.

පොදු අරමුණක් සහිත ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගන්නවා වෙනුවට මහින්ද අගමැති කරගෙන ශ්‍රීලනිප ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවශ්‍යතාව වැඩිපුර ම තිබෙන්නේ බරපතල දූෂණ චෝදනා ඇති පිරිසටයි. ඔවුන්ගේ සැබෑ අරමුණ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයෙන් පහ කර සිය ගැලවුම්කාරයා වන මහින්ද රාජපක්ෂ යළි බලයට පත් කරගෙන නතර කළ තැන සිට කාගෙන කාගෙන යාම බව නො දන්නේ කවුරු ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේන 2014 නොවැම්බර් 21දා අතිශය බැරෑරුම් දේශපාලන තීන්දුවක් ගත්තේ ය. ඒ පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය භාරගෙන තරග කරන්නට ය. පළපුරුදු දේශපාලනඥයකු වූ ඔහු එම තීරණයේ බරපතලකම ගැන ඉතා හොඳින් දැන සිටියේ ය. එහෙයින් ම, මෙම තීරණය දැනුම් දුන් මොහොතේ ඔහු අතිශය හැඟුම්බර වූ අයුරු අපට හොඳින් මතක ය. ඔහු නිවැරදි ය. ජනවාරි 8දා ඔහු පරාජය වූවා නම්, තමන් මුහුණ දෙන්නේ කුමන තත්වයකට ද යන්න ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු ඔහු පැවසී ය.

2010 ජනාධිපතිවරණයට තරග කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගෙන් පළි ගැනීමට මහින්ද රාජපක්ෂ කටයුතු කළ ආකාරය ගැන පූර්ව අත්දැකීමක් සමාජයට තිබිණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ව්‍යාපාරය කළේ මහජන මුදල් හා රාජ්‍ය දේපල උපරිම අන්දමින් තම වාසියට උපයෝගී කර ගනිමින් ය. රජයේ ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් මෛත්‍රීපාල සිරිසේනට බැන්නේ බල්ලා, බූරුවා වැනි වදන් යොදාගෙන ය. ඔහුට ද සරත් ෆොන්සේකාට අත් වූ ඉරණම ම අත් වනු ඇති බව ප්‍රසිද්ධියේ පවසන ලදී. බොහෝ දෙනෙක් එසේ සිදු වනු ඇති බව විශ්වාස කළ හ. ඔවුන් සිතුවේ මහින්ද රාජපක්ෂ යනු පරාජය කළ නො හැකි අද්භූත බලවේගයක් ය කියා ය.

ශ්‍රීලනිපයෙන් ඉවත් වී, පක්ෂයේ බහුතරයක් ඔහුට එරෙහිව වැඩ කරද්දී ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අද සිදු වී තිබෙන්නේ මේ සොර මුළෙහි ප්‍රාණ ඇපකරුවකු බවට පත් වීමට යයි කෙනෙකු සිතන්නට පුළුවන. ශ්‍රීලනිපය තුළ දූෂිත බලවේගය එතරම් බලවත් ය. පසුගිය සමය තුළ රාජ්‍ය පාලනය දූෂණය සමග වෙලුණු තරම කෙතරම් ද යත් ප්‍රධාන පාලක පක්ෂය වූ ශ්‍රීලනිපය මුල සිට අග දක්වා ම චෞර යාන්ත්‍රණයක් බවට පත් විය.

මේ චෞර යාන්ත්‍රණයෙන් ජනාධිපතිවරයා මෙන් ම ශ්‍රීලනිපය ද ගලවා ගත යුතුව තිබේ. එය පහසු කාර්යයක් නො වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, ජනවාරි 12දා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව දෙතැනක රැස් විය. මධ්‍යම කාරක සභිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය දක්වමින් නව නිලධාරි මණ්ඩලයක් ද පත් කර ගත් හ. පක්ෂයේ ව්‍යවස්ථාව අනුව, පක්ෂ සාමාජිකයකු ජනාධිපති ධුරයට පත් වුවහොත් එම පුද්ගලයාට පක්ෂ සභාපතිත්වය හිමි විය යුතු ය යන පදනම මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සභාපතිත්වයෙන් එම නිලධාරි මණ්ඩලය පත් කර ගන්නා ලදී. එහෙත්, ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය සම්මුති සහගතව ක්‍රියාත්මක වෙමින් ශ්‍රීලනිපය දෙකට බෙදීම වළක්වා ගන්නා ලදී.

තමන්ට එරෙහි දූෂණ විමර්ශනවල ප්‍රතිඵල කුමක් වේ ද යන්න ඒ මොහොතේ ඔවුන් මුහුණ දුන් ප්‍රධාන ගැටලුවයි. එහෙත්, දූෂණ විමර්ශන කඩිනම් කිරීමට ආණ්ඩුව අසමත් විය. එපමණක් නොව, ආණ්ඩුවේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපත්ති උපයෝගී කර ගනිමින් දූෂණ විමර්ශනවලට එරෙහිව උද්ඝෝෂණ කරන්නට ද රාජපක්ෂ හිතවාදීහු සමත් වූ හ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම ඉදිරියේ පමණක් නොව පාර්ලිමේන්තුවේ පවා දූෂණ විමර්ශනවලට එරෙහි උද්ඝෝෂණ පැවැත්විණි. එතැනින් නො නැවතී අධිකරණයට ද බලපෑම් කරන්නට රාජපක්ෂවරුන් සමත් වී තිබේදැයි ඇතැම් තීන්දු අනුව සිතේ.

2015 ජනවාරි 8දා මෙරට ජනතාවගෙන් බහුතරය මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දෙමින් ඔහු ජනාධිපති ධුරයට පත් කළේ මේ චෞර පිරිසට නායකත්වය දෙන්නට නො ව, රට ඔවුන්ගෙන් බේරා ගන්නට බව ජනාධිපතිවරයා නැවත සිහිපත් කර ගත යුතු ය.

ශ්‍රීලනිප නායකත්වය ජනාධිපතිවරයා මත කඩා වැටීම අවාසනාවන්ත තත්වයක් බව දැන් ඉතා පැහැදිලි ය. එය ඔහුගේ පමණක් නො ව රටේ ම අවාසනාවකි. එසේ නො වුණා නම් ශ්‍රීලනිපය ඉතා පැහැදිලිව මහින්ද හා මෛත්‍රී අතර බෙදී යනු නියත ය. එම බෙදීම ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍ර විරෝධය අතර බෙදීමක් ලෙසද, දූෂණය හා යහපාලනය අතර බෙදීමක් ලෙස ද සැලකිය හැකි ය. මහින්ද රාජපක්ෂගෙන් ගලවා ගත් ශ්‍රීලනිපයට නවීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස අලුත් පිම්මක් පැනීමේ අවස්ථාව ද තිබිණි.

ඒ සඳහා තවමත් ප්‍රමාද නැත. ජනාධිපතිවරයා විසින් කළ යුතුව තිබෙන්නේ ශ්‍රීලනිපයේ දූෂිත හා නවීන බලවේග සියල්ල යළි එක්සත් කරන්නට උත්සාහ කිරීම නො වේ. එය කිසි සේත් ම කරන්නට බැරි දෙයකි. එසේම එසේ කරන්නට යාමෙන් ජනාධිපතිවරයා බාල්දු වන එක ද වළක්වන්නට බැරි ය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වුණේ ජාතික නායකයකු ලෙස මිස දේශපාලන පක්ෂ නායකයකු ලෙස නො වේ. එම තත්වය රැක ගැනීම ඔහුගේ වගකීමකි. ජනතාවට අවශ්‍ය වන්නේ පොදු ජාතික අරමුණක් වෙනුවෙන් වැඩ කරන පොදු ජාතික නායකයෙක් වන ජනාධිපතිවරයෙක් මිස පක්ෂයකට මුල් තැන දෙන ජනාධිපතිවරයෙක් නො වේ. රටට අවශ්‍යව තිබෙන්නේ සියලු පක්ෂවලට නායකත්වය දිය හැකි දේශපාලන නායකයෙක් වන ජනාධිපතිවරයෙකි.

රාවය 2015 - 06 - 21

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. " මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වුණේ ජාතික නායකයකු ලෙස මිස දේශපාලන පක්ෂ නායකයකු ලෙස නො වේ. එම තත්වය රැක ගැනීම ඔහුගේ වගකීමකි. ජනතාවට අවශ්‍ය වන්නේ පොදු ජාතික අරමුණක් වෙනුවෙන් වැඩ කරන පොදු ජාතික නායකයෙක් වන ජනාධිපතිවරයෙක් මිස පක්ෂයකට මුල් තැන දෙන ජනාධිපතිවරයෙක් නො වේ. රටට අවශ්‍යව තිබෙන්නේ සියලු පක්ෂවලට නායකත්වය දිය හැකි දේශපාලන නායකයෙක් වන ජනාධිපතිවරයෙකි.""

    මගේ හිතෙත් මේ දවස්වල පෙරළි කරන අදහස් ගොන්නයි මේ ලියැවිලා තියෙන්නෙ.. සුපුරුදු විදියට බලය අතට ගත්තට පස්සෙ පොදු අරමුණු පොදු ජනතාව අමතක වෙන එක නම් අපේ රටේ දේශපාලඥයන්ගෙ බරපතලම බෝ වෙන රෝගයද කොහෙද?

    මැතිඳ !!!!
    අමතකව ඇති හැඩ ය..
    දැන් ඔබට,
    පොදු අරමුණක් උදෙසා
    පොදු ජන අප විසින්
    සිහසුන වෙත ඔසවා තැබූ
    පොදු අපේක්ෂකයා බව
    ඔබ අපේ........

    නිල් කොල රතු ලොවක
    කෙණෙහිලිකම් වින්ද
    නිදහස් නිවහල්
    දේදුනු පැහැ ලොවක
    සිහිනය පොදි බැන්ද
    පොදු ජනතාව අපි...

    වියරු ඒකාධිපති
    රෙජීම පයට පෑගී
    තැලී පොඩිවී
    මරණාසන්න
    එකොළොස්වෙනි පැයේ දී
    බොහෝ වැර වෑයමෙන්
    පණ ගලවා ගෙන
    එල්ලෙන්න අත්වැලක්
    සෙවූ සමයක
    පිදුරු ගහක් වීද ඔබ....

    දෙව්දත්, ආලවක
    කේවට්ට පරපුරක
    උරුමය රකින්නට
    පාවා දෙනු කෙලෙස
    ඔබ සුවහසක්
    සිහින අප සැම පොදි බැන්ද
    යහපත් රටක් ගැන
    පැහැපත් හෙටක් ගැන...

    ReplyDelete
  2. යූඇන්පී, ජවිපෙ, ලංකා ඊ නිවුස් මොනවා කිව්වත්, මෛත්‍රී තවමත් මේ රටේ ඉන්න එකම විශ්වාස කල හැකි නායකයායි. (රාවය ඔබේ ලිපිය පලවන පිටුවේම මහාචාර්ය සරත් විජේසූරියට අනුවද - රටේ අනාගතය වෙනුවෙන් බල ලෝභයෙන් දුරස්ථ, පලපුරුදු වෙනත් දේශපාලකයෙක් පේන තෙක් මානයේ නැත - යන්න අවධාරනය කරනවා. මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ වටිනා ඉන්ටර්වීව් එකක් තියෙනවා ඊලඟ පිටුවේ. ඔහු කියන්නේ 20 සම්මත වුන විගස මහ මැතිවරනයකට යාම සුදුසු බවයි.).

    නව මැතිවරනයකට යාම ගැන යූඇන්පි යට තියෙන්නේ අධි තක්සේරුවක්. ලෝකෙ තිබෙන හොඳම ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධන අද ගෙනාවත් වැඩක් නැහැ, රාජපක්ශ සීන් එකේ ඉන්නකම්. ඔහු සීන් එකට එන එක සහමුලින් ම වැලක්විය යුතුයි මහ මැතිවරනයකට කලින්. මම මේ අදහස ටිකක් නිර්ධය විදියට කිව්වා ඔබේ කලින් ලිපියක කොමෙන්ටුවක. ඇයි බොල්ශෙවික් කාරයො විප්ලවයෙන් පස්සෙ සාර් සහ මුලු පවුලම මරන්න ඇත්තෙ කියලා. මට දැඩි විශ්වාසයක් තියෙනවා මෛත්‍රි 20 හරහා සහ කල් ගැනීම හරහා රාජපක්ශ සීන් එකට එන එක සමනය කරයි කියලා. ඒ අන්ධ විශ්වාසයක් නොවේ, 19 සම්මත කර ගැනීමෙන් සහ රාජපක්ශට නාමයෝජනා නොදීමේ දැඩි තීරනයෙන් ඔහු ඒ බව පෙන්වා තිබෙනවා.

    මගේ නිරීක්ශනය නම් රනිල් මේ ගැන දන්නවා.

    - Dimithri

    ReplyDelete
  3. Barapathaka dushanaya chodana thibuna aya kiyanne Ravi, Arjuna Mahendran Saha Ranil gena Venda ethi neda , Ayubovan? ARA boruvenma yepena Mangalata ayithida? Eyath kumanthranayak, billion 18 gena kivve?

    ReplyDelete
  4. පිස්සුද බන්? රනිල්ලා, මන්ගලලා, රවීලා, අර්ජුන්ලා, තබ සුජීලා, පොඩි ප්‍රෙමදාසලා, ප්‍රබාකරන්ලා අති පිරිසිදු නායකයො. හොරු කියන්නෙ මහින්ද, වාසු, දිනෙශ් වගෙ නායකයො. කොහොමද නූතන පන්ති විප්ලවවාදීන්ගෙ ජරාව කෑම සහ වමෑරීම?

    ReplyDelete
    Replies
    1. ‘මහින්ද, වාසු, දිනෙශ් වගෙ නායකයො‘ හොරු බව තේරෙන එක ලොකු දෙයක්. ඒකට පංති කතාවක් අදාළ නැහැ. සාමාන්‍ය බුද්ධිය විතරයි අවශ්‍ය.

      අනෙක ඔය පංති විප්ලව එක්ක අපව පටලවා ගන්න එපා. අපි සමාජවාදීන් වුණාට ඔය කියන විධියෙ පංති මොක්කුද එවුන් නෙමෙයි.

      Delete
    2. යූඑන්පී වර්ගයේ හොරුන්ගේ සහ මහින්දගේ වර්ගයේ හොරුන්ගෙන් යූන්පී වර්ගය වඩා ප්‍රගතිශීලියි (මම හිතන්නේ වම සහ ප්‍රගතිශීලින් කියන්නේ දෙකක් තියල වාසුල යස අපූරුවට පෙන්නුම් කරා) මහින්ද වර්ගය කරන්නේම පොදු දේපල වංචා කිරීම, යූන්පී වර්ගයට වැටෙන්නේ ව්‍යවසායකයෝ, උන් පොදු දේපල වංචාකරන්න නිදහස තියනවනම් ආයේ දෙකක් නෑ වංචා කරනවා හැබැයි ඒ උපයපු ධනය ව්‍යාපාර වලට යොදවන නිසා රට දියුණු වෙනවා. ගමේ ඉන්න හූන්පී කාරයොත් මේ වර්ගීකරණයේදී වැටෙන්නේ මහින්ද වර්ගයටම තමයි.

      Delete
  5. පැරාට මහින්ද එක්ක ඔච්චර ප්‍රශ්න තිබිලා දවස් සීයෙන් ඔවුනුත් කිසිම වෙනසක් නෑ කියලා ඔප්පු කරපු යූන්පී සැට් එක එක්ක කිසි ප්‍රශ්නයක් නැත්තෙ මොකද? මහින්ද ප්‍රබාකරන්ව මරපු නිසා සහ ඔහු යටතෙ රට දෙකට කඩන්න බැරි නිසා නෙද? රනිල් ධාන්වාදියා උනත් ඌට සෙට් වෙලා ඉන්නෙ ඌ යටතෙ දෙමල ස්ව්යන් පාලනය දෙන්න පුලුවන් නිසා නෙද? ඕක කෙලින් කිව්වනම් ඔබතුමාටත් ලෙසියි නෙද?

    ReplyDelete
    Replies
    1. දවස් සීය තුළ කරපු ප්‍රධාන දේ තමයි ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ. ඒවත් කළේ ප්‍රතිගාමීන් බහුතරයක් මැද සුළුතර ආණ්ඩුවක් වධියට. මේ වෙනකොට ජනතාව ආණ්ඩුව තමන් මරයි කියා බයේ ජීවත් වෙන්නෙ නැහැ. ඒ බය ඔබටත් නැහැ. ඒ තත්වය වුණත් සෑහෙන ප්‍රගතියක්.

      රනිල් ධනවාදියා ය කියනවා නේ. එතකොට මහින්ද ජාතිවාදියෙක් විතරම ද?

      කෙළින් කිව්වොත් අපට මහින්ද තරම් රනිල් අවුල් නැහැ.

      අපට ඔය කියන ශ්‍රී ලංකාවවත්, ඊලමවත් වැදගත් නැහැ. අපි සමාජවාදීන් විධියට වැඩ කරන්නේ සකල දේශවාසී පීඩිතයන් සමගි කරන්නයි. ඒක නිසා ඔබ හිතන විධිය අපට අදාළ නැහැ. සරළව කිව්වොත් අපි වැඩ කරන්නේ ඔය සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් ඉක්මවා ගිය දේශපාලන ප්‍රජාවක් ගොඩනැගීම වෙනුවෙන්.

      කෙළින් කියන්න තියෙන්නේ ඔය ටික තමයි. ඕක හැමදාමත් කියනවා.

      Delete
  6. එකඟයි.

    හොරුන්ට නොමිනේෂන් නොදිය යුතුය, අස් කර දැමිය යුතුය.

    ඕනි නම් උන් වෙනම චන්දේ ඉල්ලාවි.

    ReplyDelete
  7. para this is not relevant, that is Lankadeepa web moderating the comments to favor the MR, i experianced

    ReplyDelete
  8. චෞර යාන්ත්‍රණයට අසුවීම තුලින් මෛත්‍රී පෙන්නුවේ ජනාධිපතිකමටත් වඩා පක්ෂ නායක කම ලොකුයි කියන එකයි. නැත්නම් ඔහුට තිබෙන බලතල එක්ක ඒකාබද්ධ ගමනක් යන්නට පුළුවන් කම තිබෙනවා.. නමුත් මෛත්‍රීට පැහැදිලි දර්ශනයක් නැහැ. මොකද මෛත්‍රීගේ දර්ශනය ලෙසින් පෙන්වා දුන්නේ චම්පිකලා ගොඩනගපු මතයයි.

    ReplyDelete
  9. ඔය කවුරු මොනව කිව්වත් ඉතින් අන්තිමට ඉඟුරු දීල මිරිස් ගනිපු කතාව තමයි කියන්න වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඉඟුරු වලින් හොදි කන්න බෑනේ, ලෙඩකට අනුපානෙට ගන්න ඉඟුරු ලෙඩේ ඉවර උනාම පස්යට කරන්න ඕන, නැත්නම් වෙලිල අපතේ යනව. හොද්දට දාන්න තියන මිරිස් මූණේ උලාගෙන බෙරිහන් දෙන්නේ රිලව් තමයි

      Delete
  10. කවුරු දිනුවත් අපි පරාදයි.එන ඔක්කොම හොරු.එහෙම නැත්තං දියවන්නාවේ භූමි දෝෂයක් තියනවාතයන ඔක්කොම හොරු වෙන

    ReplyDelete
  11. බොරුවෙන් රජවු යහ පාලනයට ඇත්තට මුහුණ දෙන්න බැ වගේම නායකයෙක් නොවන පබයෙක්ගෙ රගපැමත් කෙටියි. අර අබුද්දස්ස කෝලමේ පඹය රජ උනා වගේ..................

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා