රාජපක්ෂ අනුගාමිකයන් හීලෑ කර ගැනීම

මහින්ද පන්සල් යයි. ඔහු පන්සල් එන විට එහි රැස් වන ජනතාව බුදු මැදුරු, බෝ රුක් අසල සිට විසිල් ගසති. ජය ඝෝෂා කරති. ඔහු අවමංගල්‍යයන් පවා දේශපාලන රැස්වීම් බවට පත් කරයි. ජනතාව අමතයි. වහසි බස් දොඩයි. ජනතාව හඬවයි.

මේ අතර, ඔහුගේ පහනින් එළිය බලන්නට පොරකන ඔහුගේ ගෝලබාලයෝ ඔහු ඉදිරියට දමාගෙන දේශපාලන ගමනකට පිඹුරුපත් සකසති. ඉදිරි ඡන්දයකදී මහින්ද අගමැති කර, හැකි නම්, අර මැදමුලනේ ගැමියන් හා කොළඹ සංවේදී කලාකාරිනියන් කියන්නා සේ ‘මරලා හරි’ යළි ජනාධිපති ද කරගෙන, ජනවාරි 8දාට පෙර පැවති දූෂිත ක්‍රමය ස්ථාපිත කර ගන්නට ඔවුහු උත්සාහ කරති.

මේ මහින්ද කලබලය නිසා ජනවාරි 8දා නිර්මානය කරන ලද වෙනස දැන් දැඩි අභියෝගයකට ලක් වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත්, යහපාලනය හා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමටත් ආණ්ඩුව පසුගිය මාස කීපය තුළ සැලකිය යුතු වැඩකොටසක් කළ බව අප පිළි ගත යුතු ය. රාජපක්ෂ පාලනය යටතේ අනාගත පරම්පරා උගසට තබමින්, ගිනි පොළියට දැවැන්ත ණය ලබා ගනිමින්, ඒ අරමුදල්වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් පිල්ලි ගසමින් සිදු කරන ලද ඊනියා සංවර්ධන මායාව දෘෂ්‍යමාන නො වීමේ ගැටලුවක් තිබේ. එහෙත්, ජනතාවගේ ජීවිත අංශු මාත්‍රයකින් හෝ පහසු වන ආර්ථික සහන පසුගිය සමයේ සැලසිණි. නිදසුනක් ලෙස ඉන්ධන මත පනවා තිබුණු අසාධාරණ බදු ඉවත් කරන ලදී. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලදී.

එසේ තිබියදීත්, දැන් නැවතත් වරක් රට අස්ථාවරත්වයක් වෙතට ගෙන යන්නට රාජපක්ෂ බලවේගය සමත් වී තිබේ. එක පැත්තකින් විශ්වාස භංගයක් ඔස්සේ ආණ්ඩුව පෙරළා, බලය සියතට ගෙන, සුපුරුදු මැතිවරණ දූෂණ ඔස්සේ මැතිවරණයකට මුහුණ දීමට ඔවුහු උත්සාහ කරති. මේ වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂපාතී ශ්‍රීලනිප කොටස්වල සහයෝගය ද ලබා ගැනීමට රාජපක්ෂ කඳවුර සමත් වී තිබෙන බව අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයට අත්සන් කර තිබෙන මන්ත්‍රී සංඛ්‍යාවෙන් පෙනේ.

එය ජනාධිපතිවරයා ද දැඩි අපහසුතාවකට පත් කරන තත්වයකි. තමන් බලයට පත් කිරීමට මුල් වී කටයුතු කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මිතුරු බලවේගවල මූලිකත්වයෙන් යුත් ආණ්ඩුවක් පෙරළා තමන්ට සතුරු ලෙස කටයුතු කළ පිරිසකට රාජ්‍ය බලය ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ඔහු පිළිබඳ විශ්වාසය පළුදු වන්නට ද එය හේතුවක් වනු ඇත. අනෙක් පැත්තෙන් එය සිය පාලනය සියතින්ම අස්ථාවර කර ගැනීමක් ද වනු ඇත.

රාජපක්ෂ බලවේගයට කුමන ආකාරයකින් හෝ රාජ්‍ය බලය ලබා ගැනීමට ඉඩ දීම ජනාධිපතිවරයා සිය දෙපා යටින් තමන්ගේ ම වල කපා ගැනීමකි. මන්ද, ඒ වනාහි ශිෂ්ට, ශීලාචාර දේශපාලනික බලවේගයක් නො වේ. එවැනි බලවේගයක් අත ඇති අගමැති පදවිය හා ජනාධිපති ධුරය අතර දුර එක ‘වතුර බෝතලයක්’ වන්නට පුළුවන.

පසුගියදා දකුණු පළාත් ඇමති ඩී.වී. උපුල් විසින් කරන ලද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ‘පීසී කට්ටාගේ සිට ඩීඅයිජී දක්වා ගල් ගසා මරන’ ප්‍රකාශය මෙම බලවේගයේ අශිෂ්ට, අශ්ලීලත්වයේ සංකේතාත්මක ප්‍රකාශනයකි. එවනි පාලනයක් තුළ නැවත ලංකාව කුමන තත්වයකට පත් විය හැකි ද යන්න ගැන පුරවැසි බලවේග ගැඹුරින් සිතිය යුතු ය.

රාජපක්ෂ යුගයක් කරා සමාජය ආපස්සට යාම වළක්වා ගැනීම සමාජ සංවර්ධනයෙහිලා අත්‍යවශ්‍ය දෙයකි. එහෙත් රාජපක්ෂ බලවේගය සුළු කොට තැකිය නො හැකි ය. රාජපක්ෂ පසුපස යන සැලකිය යුතු සමාජ කණ්ඩායමක් සිටියි. රාජපක්ෂවරුන්ගේ මේ ජනප්‍රියත්වය තේරුම් ගත යුතු ය. ඔවුන්ගේ ජනප්‍රියත්වයේ රහස කුමක් ද?

එහි පැති දෙකක් තිබේ. එක පැත්තකින් මහින්ද රාජපක්ෂ යනු දූෂණයේ මුරදේවතාවායි. ලංකාවේ දූෂිත වන්නේ දේශපාලකයන් හා නිලධාරීන් පමණක් නො වේ. ජනතාව ද අතිශය දූෂිත ය. ඒ සියල්ලන්ගේ ඉෂ්ට දේවතාවා මහින්ද ය.

සුදුසුකම් නැතිව දේශපාලනයෙන් රස්සා ගත් අය, නිකම් ඉඳ හෝ අඩුවෙන් වැඩ කර හෝ මහජන මුදලින් වැටුප් ලබන අය, මහජන මුදලින් කළ කොන්ත්‍රාත් ආදියෙන් යටි මඩි ගසා ගත් අය, ආණ්ඩුවේ දේපල නොමිළේ හෝ කුණු කොල්ලෙට බද්දට ලබා ගැනීමේ වරප්‍රසාද ලත් අය, කැළෑ කපන්නන් ඇතුළු පරිසර සංහාරයන්ගෙන් මුදල් ගරා ගන්නෝ, මහජන මුදලින් කුණු කොල්ලෙට පොහොර ලබා ගන්නා පුද්ගලයෝ, දේශපාලකයන් ඇසුරින් නීතියෙන් ආරක්ෂාව ලබා ගත හැකි මැරවරයෝ, වැඩි සමාජ ඇසුරක් නැති රූපවාහිනියෙන් යැපෙන ගෘහනියෝ, ජීවිතය යනු බල්ලන් මරා හෝ සල්ලි හොයා හැකි තරම් භාණ්ඩ මිළ දී ගෙන පරි‍භෝජනය කිරීම මිස අන් දෙයක් නො වේ යයි සිතන පාරිභෝගිකයෝ ආදී සැලකිය යුතු පිරිසක් මහින්ද වීරයකු ලෙස සලකති.

එකී අංශවලට අයත් වන ගමන් හෝ නැතිව හෝ දෙමළ මුස්ලිම් සංහාරයට කැමති ජාතිවාදීන්ට, සුළුතර ආගම්වලට වෛර කරන සිංහල බෞද්ධ අන්තවාදීන්ට, ස්ත්‍රීන් හා ලිංගික සුළුතරයන් හෙළා දකින්නන් ඇතුළු ස්වෝත්තමවාදීන්ට, ජනතාව මිථ්‍යාවේ හෙළා ඉහමොළ සූරා කන කට්ටඩීන් හා හොර වෙදුන්ට ද මහින්ද වීරයෙකි. මන්ද, ඔහු හැමවිට ම එවැනි පසුගාමිත්වයන් සමග සිටින්නෙකි.

ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මානව හිමිකම් තබා තමන්ගේ හිමිකම් ගැනවත් නො දනිති. ඔවුන්ට මහින්ද රජෙකි. මහින්දගේ පවුල රජ පවුලකි. රජුන්, ඇමතියන්, කුමාරවරුන් හා ඔවුන්ගේ අන්තේවාසිකයන් කා විසි කළ, තමන් ළඟට වැටෙන කටුව ඔවුන්ට රජ බොජුනකි. මහින්දලාගේ බොරු ප්‍රචාරවලින් ඔවුහු අන්ධ වී සිටිති.

මහින්ද යුද්ධය අවසන් කළ යුතු බව ඇත්තකි. එහෙත්, යුද්ධය අවසන් වූ පමණින් ලංකාවේ සාමය ස්ථාපිත වූයේ නැත. බෝම්බ පිපිරීම නැවතුණු පමණින් සමාජ ආරක්ෂාව තහවුරු වූයේ ද නැත. යුද්ධය අවසන් කිරීමෙන් පසු මහින්ද දිනා ගත් දෙවන ජනවරම තුළ ඔහු විසින් කළ යුතුව තිබුණේ සාමය හා සමාජාරක්ෂණය තහවුරු කිරීමයි. එහෙත් ඔහු එයට අසමත් වූයේ ය. ඔහු විසින් ගිනි පොළියට ගත් විදේශ ණය යොදාගෙන, දූෂණය ඉහවහා යන සංදර්භයක් තුළ දියත් කරන ලද සංවර්ධනය ද ජන ජීවිත පහසු කිරීමට ඉවහල් වූයේ අවම මට්ටමකිනි. තුන්වන ජනවරමක් සොයන්නට ගොස් පරාජය වී, තමන්ට රට පාලනය කරන්නට තිබුණු කාලසීමාව ද අහිමි කර ගන්නට ඔහුට සිදු වූයේ එබැවිනි.

එහෙත්, මහින්ද තවමත් ජනප්‍රිය ය. ජනාධිපතිවරණයේදී ඔහුට ඡන්දය දුන් ලක්ෂ 58 කෙසේ වෙතත් සැලකිය යුතු ජන බලවේගයක් අදත් ඔහු පසුපස සිටින බව ඇත්තකි. මේ වනාහි අනුකම්පා කළ යුතු, එසේම, අයාලේ යන්නට නො දී නියාමනය කර ගත යුතු සමාජ කණ්ඩායමකි.

මෙම සමාජ තීරය සුවිසල් එකක් වුණත්, එය රටේ බහුතරය නො වේ. මහින්ද ජනාධිපතිවරණය පැරදුණේ එහෙයිනි. දැන් මේ සමාජ කණ්ඩායම වේගයෙන් හැකිළෙමින් තිබේ. එහෙත්, ඔවුන් මත යැපෙන මහින්ද ඇතුළු දේශපාලකයන් දිගට ම ඔවුන් ගොනාට අන්දාගෙන යන නිසා රටේ සිදු වන සාධනීය වෙනස්කම් ඉදිරියේ ඔවුහු බාධාකාරී වෙති. එහෙත්, මෙම පසුගාමී සමාජ බලවේගයට රටේ අනාගතය තීරණය කරන්නට ඉඩ දිය යුතු නැත.

මෙම සමාජ තීරය ඇමතීම අත්‍යවශ්‍ය ය. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසකට යථාර්ථාවබෝධය සඳහා හැකියාව තිබේ. එහෙත්, ඔවුන් දූෂිත රාජපක්ෂ ක්‍රමය සමග ගැට ගැසී තිබෙන ආකාරය අතිශය සංකීර්ණ ය. එහෙයින්, රාජපක්ෂ ක්‍රමය නැවත ස්ථාපිත කර ගැනීම ඔවුන්ගේ යහපැවැත්මේ කොටසකි. ඔවුන්ගේ බලය, ආදායම් මාර්ග, සමාජ තත්වය, නිදහස ආදී කරුණු රැසක් රාජපක්ෂ ක්‍රමය සමග ගැටගැසී තිබේ. රාජපක්ෂ ක්‍රමය නැවත ස්ථාපිත කර ගැනීම වෙනුවෙන් ඔවුන් වෙහෙසෙන්නේ ඒ නිසා ය.

මෙම සමාජ කණ්ඩායම සම්බන්ධයෙන් සබුද්ධික මෙහෙයවා ගැනීමක් අවශ්‍ය ය. ඔවුන්ට හුරුපුරුදු ආකාරයට අයාලේ යන්නට ඉඩ දීම භයානක ය. මේ අය අතර ‘මරලා හෝ බලය ගන්නට’ සූදානම් අය සිටින බව අප අමතක නො කළ යුතු ය. ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායම, ජවිපෙ, ජාතික හෙළ උරුමය වැනි පක්ෂ මේ පිළිබඳ ගැඹුරින් සිතිය යුතු ය. ඔවුන් මෙම බලවේගය වෙත පිවිසිය යුතු ය. ඔවුන් රාජපක්ෂ ක්‍රමයෙන් ගලවා ගැනීම සඳහා ක්‍රමෝපායන් සැලසුම් කළ යුතු ය.

- අජිත් පැරකුම් ජයසිංහ - රාවය 2015 - 06 - 14 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා, මේව දැක්කම තමයි බඩ කපාගෙන මැරෙන්න හිතෙන්නෙ..
    හිටපු අගමැතිවරුන්ට ජනාධිපති උපදේශක පදවි

    ඇයි යකෝ ලස්ස 62ක් ඡන්දෙ දුන්නෙ මේ වල පයේ ඉන්න බඩු හොරාටයි කුඩු හොරාටයි උපදේසක කම් දෙන්නද.. මේකද යහපාලනේ...

    ReplyDelete
  2. පැරා හොදටම බය වෙලා වගේ.මොකද මේ ?දැන් අපේ comment publish කරන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. Not only Pera, but also මුළු යහපාලනයම සලිත වෙලා තියෙන්නේ....පව් අෆ්ෆා....

      Delete
  3. You didn't publish my comment! Intellectual hypocrisy? Taming Mahinda's people! What an Ego! All communists parties in the Western Europe tried to do this, but finally intellectuals left those parties! My question was: why today UNO calls northern provincial council, NORTHERN PROVINCIAL GOVERNMENT? A mistake? Are you a real Dollar Kakka?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා