අධ්‍යාපන වෘත්තිකයන්ගේ තත්වය වෙනුවෙන් වූ ගුරු, විදුහල්පති, පරිපාලක අයෝමය සමගිය

ඉතිහාසයේ කිසි දිනෙක නො වූ ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ වෘත්තීය සමිති අයෝමය සමගියකින් ඒකරාශි වී තිබේ. 


තද රතු, ළා රතු, නිල්, කොළ ආදී විවිධ පාට වෘත්තීය සමිති 15ක් මෙසේ එකතු වී තිබෙන්නේ අසීමිත දුක් කන්දරාවකින් පීඩා විඳින බහුතරයක් ගුරුවරුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් සටන් කිරීමට ද? නැතිනම් අධ්‍යාපනයේ බිඳ වැටීම නිසා පීඩාවට පත් වී සිටින අනාගත පරපුර වෙනුවෙන් සටන් කිරීමට ද?


නැත, නැත, නැත. ප්‍රශ්නය ඊට වඩා බරපතල එකකි. කලාප කාර්යාලවල හා පළාත් කාර්යාලවල පාලනය භාර අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් වෙනුවට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් යොදවන්නට රජය තීරණය කර ඇති නිසා ය. විස්තර මෙතැනින්


දැනට මේ තනතුරුවල ඉන්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීහු ය. ඔවුන් අධ්‍යාපන පරිපාලන සේවයට ආ හැටි ද එක එක ආකාරයේ ය. සමහරු දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියා අධ්‍යාපන පරිපාලන සේවයට පත්වීම් ලබා ගත්හ. තවත් සමහරු දේශපාලන හිතවත්කම් මත වැඩ බලා පත්වීම් ලබා ගත් අයයි. තවත් අටසියයක් පමණ ගුරු පිරිසක් මේ අන්දමින් අධ්‍යාපන පරිපාලන සේවයට උසස් වීම සඳහා වැඩ බලමින් සිටිති.


අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීමේ තරග විභාගය ද සෙසු එවැනි තරග විභාග වැනි ම වූ කිසිදු විනිවිදභාවයකින් තොර එකකි. 


බහුතරයක් අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ට ඉංග්‍රීසි බස හසුරුවන්නට බැරි ය. පරිගණකයක් හසුරුවන්නට බැරි ය. විවෘත විභාගයෙන් සමත් වී ආ බව කියන නව උපාධිධාරීන්ට අඩු තරමේ ගුරු වෘත්තියේ අත්දැකීම්වත් නැත. සුදුසුකම්, පළපුරුද්ද ඇති ගුරුවරුන් ඕනෑ තරම් සිටියදී අධ්‍යාපන පරිපාලන සේවයට පත් වී සිටින බහුතරය පුස්සෝ ය. ගුරුවරුන් පෙළීම මේ අධ්‍යාපන පරිපාලකයන් දන්නා එක ම කාර්යයයි.


ලංකාවේ අධ්‍යාපන පරිපාලනයේ ගැටලු රැසකි. ගුරුවරුන්ගේ බඳවා ගැනීම්, උසස් වීම් හා මාරු වීම් පටිපාටි අතිශය පීඩාකාරී ය. මේ වන විට ගුරුවර‍යාගේ වාර්ෂික වැටුප් වර්ධකය පවා නො දී සිටීම පිණිස කටයුතු සකසා ඇත. අධ්‍යාපන පරිපාලන සේවය මුළුමනින් ම පාහේ දේශපාලනීකරණය වී ඇත. 


මේ කිසිවක් වෙනුවෙන් සටන් කිරීමට සමගි නො වූ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති අධ්‍යාපන පරිපාලකයන්ගේ තත්වයේ පොඩි පිරිහීමක් කිරීම නිසා අයෝමය සමගියෙන් බැඳී සටනට පිවිස සිටිති. 


මේ වනාහි ලංකාවේ මානසික මධ්‍යම පංතියේ වෘත්තීය සමිති සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතුව තිබෙන තත්වයකි. මානසික මධ්‍යම පංතිය යන වදන අප භාවිතා කරන්නේ ඔවුන් මධ්‍යම පංතික වන්නේ මනසින් පමණක් නිසා ය. 


මෙන්න අයෝමය සමගියෙන් බැඳුණු වෘත්තීය සමිති 15:


අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයන්ගේ සංගමය, අධ්‍යාපන පරිපාලන සේවා විශ්‍රාමිකයන්ගේ සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සංගමය, පළමු ශ්‍රේණියේ විදුහල්පති සංගමය, ලංකා විදුහල්පති සේවා සංගමය, සමස්‌ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, ශ්‍රී ලංකා නිදහස්‌ ගුරු සංගමය, සමස්‌ත ලංකා විදුහල්පති සේවා සංගමය, ස්‌වාධීන අධ්‍යාපන සේවක සංගමය, ස්‌වාධීන ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, සමස්‌ත ලංකා එක්‌සත් ගුරු සංගමය සහ පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය


ගුරුවරුන් වැනි පහළ මට්ටමේ රජයේ සේවකයන්ගේ මානසිකත්වය පිළිබඳ අප විසින් දක්වන ලද අදහසක් මෙහි ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා