ෆොන්සේකා හිරේ දැමීමටත් වඩා ලජ්ජා නැති නිදහස් කිරීම

Source: Albert Bigelow Paine, Thomas Nast: His Period and His Pictures, 1904 
නීතියේ ආධිපත්‍යය ඇති රටක නම් කිසියම් පුද්ගලයකු වරදක් කළේ නම් තරාතිරම නො බලා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙයි. 


නීතියෙන් වරදකරුවකු වූ පුද්ගලයකුට සමාව දීමක් සිදු වන්නේ නම් එය  ද සියලු පුරවැසියන්ට සමාන අයුරින් නීති‍ ප්‍රකාරව ම සිදු විය යුතු ය. මන්ද, නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන නිසා ය. කිසියම් පුද්ගලයෙකු වැඩියෙන් සමාන වන්නට බැරි නිසා ය. 


ලංකාවේ සිදු වන්නේ කුමක් ද? වැරදි කරන බලවත් පුද්ගලයන් අතරින් නීතිය ක්‍රියාත්මක වන්නේ තෝරා ගත් අයට පමණි. නීතිය ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න තීරණය කරන්නේ දේශපාලන අධිකාරය විසිනි. 


නීතිය ක්‍රියාත්මක වීම සියල්ලන්ට ම සමාන අන්දමින් නොව තමන්ට ඕනෑ අන්දමින් කරන්නට පාලකයන් රජයේ නිලධාරියකු වන නීතිපතිවරයා පමණක් නොව, විනිසුරන් පවා මෙහෙයවා ගන්නා බව පෙනේ. අනෙක් පැත්තෙන් නීතිය ක්‍රියාත්මක කරන්නෝ ද දේශපාලන බලාධිකාරයේ උවමනාවන් පිළිබඳ මනා සංවේදීභාවයකින් යුතුව අවශ්‍ය පරිදි කටයුතු කරන්නට සූදානම් බව ද පෙනේ. 


දැන් සරත් ෆොන්සේකා නිදහස් කිරීම පිළිබඳව ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේ ද කැබිනට් නියෝගයක් මතදැයි අපි දන්නේ නැත. ‍‍මෙවැනි තීරණවලදී සාමූහික වගකීමක් තුළට සෙසු කැබිනට් සාමාජිකයන් ද ඇද ගැනීමේ උවමනාවක් ජනාධිපතිවරයාට ඇති බව පෙනේ. 


සරත් ෆොන්සේකාට අධිකරණයෙන් දුන් දඬුවම් අතරින් එකක් ගෙවී අවසන් බව කියැවේ. තව එකකට එරෙහිව ඔහු අභියාචනා කර තිබේ. තව නඩුවක් පවරා තිබේ. තව ඕනෑ නම් නඩු පවරන්නට පුළුවන් බව ද කියැවිණි. 


මේවා හුදෙක් අධිකරණ ක්‍රියාමාර්ග පමණක් නම්, ඒ පිළිබඳ තීරණ තීන්දු ගැනීම සිදු විය යුත්තේ අධිකරණයේ ය. ඔහු ඇප ඉල්ලා අයදුම්පතක් යොමු කර තිබේ. එය සලකා බැලිය යුත්තේ අධිකරණයේ ය. 


හිටිහැටියේ අධිකරණය ඉදිරියේ ඔහුට ඇප දීම්, නඩු ඉල්ලා අස් කර ගැනීම් හා ජනාධිපති සමාව දීම් වැනි දේ සිදු වෙනවා නම් එය නීතිය ක්‍රියාත්මක වීමේ අපූරු තත්වයකි. 


මෙවැනි දේ මීට පෙර ද සිදු නො වූවා නො වේ. පාලක පවුලේ සපත්තු ලෙවකෑමට පටන් ගත් සැණින් බොහෝ විරුද්ධ පාක්ෂික දේශපාලකයන්ගේ නඩු කැළේ විසි විණි. අබ්දූල් කාදර්, දුමින්ද සිල්වා, චන්දන කත්‍රිආරච්චි නිදසුන් ය. 


සරත් ෆොන්සේකා සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ගවලදී අධිකරණය කරන්නේ කුමක්ද? දේශපාලන අධිකාරය කියන දේද? එහෙම කරනවා නම් අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ කුමක්ද?


සරත් ෆොන්සේකා හිරේ දැමීමටත් වඩා ඔහු නිදහස් කරන ආකාරය වැදගත් ය. මන්ද, එය විසින් ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හා දේශපාලන බලාධිකාරය අතර සම්බන්ධය කදිමට නිරූපණය කරන බැවිනි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. උගුරෙ ලේ රහ මතුව එනකන් මොර දුනත් අප හෙට උදේ....
    වැටයි නියරයි එකට එක්වී ගොයම කන එක නොවැරදේ....

    ReplyDelete
  2. එහෙම කොහොමද සත්තුන්ට වුනත් ලොකු උන්ට (තල්මස්සු, අලි) එක නීතියක්. පොඩි උන්ට (හාල්මැස්සෝ, කූඹි) තව නීතියක්.

    http://kathandara.blogspot.com.au/2010/10/blog-post_19.html

    ලොකු පොරවල් හිරේ ගියාම රටේක කළු කොඩි දානවානේ.

    ReplyDelete
  3. අද ලංකාවේ නීතිය ගැන කතා කිරීමම විහිළුවකි.බඩුත් හාමුදුරුවන්ගේය නඩුත් හාමුදුරුවන්ගේය.සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ මහා පුණ්‍ය කර්මයට අත ගසන්නට කැබිනට් මණ්ඩලයේ හැට හුට හමාරක් වූ එහෙය්යන්ටද අවස්ථාවක් ලබා දීම ලොකු දෙයකි.ඉඳල හිටලවත් උනුත් රටේ තීන්දු තීරණ වලට දායක වන බව පෙන්නන්න එපැයි....හිරෙන් නිදහස් වන ෆොන්සේකා කොහොම වෙයි දැයි නොදනිමු.එහෙත් මේ රටේ ජනතාවට විපක්ෂයක් ඇති බව වචනයකින් වත් මතක් උනේ ෆොන්සේකාගේ අටෝරාසියක් වූ නඩු වලට උසාවියට එන වෙලේ දෙන විනාඩි තුනේ වොයිස් කට එක නිසාය.උන්නැහේ නිදහස් වන්නේ කපටි දේශපාලන සුත්තරයක ප්‍රතිපලයක් ලෙසෙනි.මෙතෙක් කලක් විවිධ දේශපාලන සුත්තර වල ගොදුරක් වූ එතුමාගේ ඉදිරි ගමන කොහොම වෙයි දැයි බලා සිටිමු.

    ReplyDelete
  4. ක්‍රිෂ්ණාMay 20, 2012 at 4:54 PM

    මිනිස්සු බලාපොරොත්තු වුනේ වීරයෙක් හිහෙන් නිදස්වෙලා එනවා දකින්න,ඒත් එන්නේ මරා අභයදානය දුන් වෘෂභයෙක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා