පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලවලින් කියැවෙන්නේ කුමක්ද? | A reading of the results of the local government election

(2011 මාර්තු 19, W3Lanka) මෙවර පළාත් පාලන ඡන්දයෙන් ප්‍රකාශ වන ප්‍රමුඛ ම දෙය ජනතාවගේ අසරණකම බව අපේ අදහසයි. ජීවන වියදමට, දූෂණයට එරෙහි සිය හඬ මතු කර පෙන්වීමට ජනතාව අසමත් වීම අද සිට ම තව තවත අහිතකර ප්‍රතිඵල උදා කර දෙනු ඇත. 


පළාත් පාලන ඡන්දවලදී සාමාන්‍යයෙන් ම බලයේ සිටි පක්ෂවලට වැඩි වාසියක් හිමි වේ. විරුද්ධ පක්ෂවලට බලය හිමි වන පළාත් පාලන ආයතනවල‍ට රජයේ සහයෝගය නො දෙන බව රජයේ මැති ඇමතිවරුන් ප්‍රසිද්ධියේ ම ප්‍රකාශයට පත් කරද්දීත්, රජයට සහයෝගය නො දක්වන එක්සත් ජාතික පක්ෂය ආයතන නවයක හා දෙමළ ජාතික සන්ධානය ආයතන 12ක බලය දිනා ගැනීමට සමත් වී තිබේ. 


දෙමළ ජනතාව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය දෙමළ ජාතික සන්ධානය බව පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය ‍‍හා එයට සම්බන්ධ දෙමළ පක්ෂ ‍හා කණ්ඩායම් මෙතරම් බලවත්ව සිටියදී පවා නැවතත් ඔප්පු වී තිබෙන බැවින් අද දෙමළ ජාතික සන්ධානය සමග රජය පවත්වන සාකච්ඡාව දෙමළ ජනතාවගේ සැබෑ නියෝජිතයන් සමග පවත්වන සාකච්ඡාවක් බව ඔප්පු වී තිබේ. එය දෙමළ ජාතියේ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී සාධනීය තත්වයකි. 


එක්සත් ජාතික පක්ෂය ඔප්පු කර තිබෙන්නේ නායකත්වය සඳහා විකල්පය ලෙස ප්‍රවර්ධනය කරනු ලබන සජිත් ප්‍රේමදාස ද අසාර්ථක නායකයකු බවයි. තමන් නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෝ කිසිදු කැපී පෙනෙන ප්‍රතිඵලයක් ලබා ගැනීමට හේ අසමත් වී තිබේ. සමස්තයක් ‍ලෙස, එක්සත් ජාතික පක්ෂය බලයේ සිටින පක්ෂයට විකල්පයක් වීමේ හැකියාවකින් සම්පූර්ණයෙන් ම තොර බව නැවතත් ඔප්පු කර තිබේ. 


අවසාන මොහොතේ ජනාධිපතිවරයා ම පාසල් හරහා සිදු වන කොකු ගැසීමේ ව්‍යාපාරයක් පිළිබඳ සඳහන් කරමින් මවා පාන ලද භීෂණයේ චිත්‍රයේ පීඩනය හමුවේ ජවිපෙට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව අහිමි වීම බලාපොරොත්තු විය හැකි තත්වයකි. එහෙත් එහි දෙවන තැනට හෝ පත් වීමට අසමත් වීම නම් බරපතල පරාජයක ප්‍රකාශනයකි. 


ජවිපෙට ආසන දිනා ගැනීමට ලැබුණේ බිම් මට්ටමේ කැපී පෙනෙන නායකයන් ඉදිරිපත් වී සිටි සභාවල පමණි. බිම් මට්ටමේ සිය ක්‍රියාකාරිකයන් ජන නායකයන් බවට පත් කිරීමට ජවිපෙ අසමත් වීම එම පක්ෂය විසින් බැරෑරුම් ලෙස ගත යුතු ව තිබේ. 2004 රැල්ලේ ඉතිරි වී තිබුණු අවශේෂ ටිකත් සේදී ගොස් ජවිපෙ දැන් නිරුවත් වී තිබේ. දැන් එය ඉදිරියේ තිබෙන අභියෝගය වන්නේ 1994 සිටි තැන සිට ඉදිරියට යාම සඳහා වෙනස් වනවා ද, නැතිනම්, ස්වාභාවිකව වියපත් වී වැහැරී යනවා ද යන්නයි. 


බේරුවල ප්‍රාදේශීය සභාව සඳහා අපේක්ෂා කළ නාම යෝජනා දෙක එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ලබා නො දීම නිසා වෙන ම තරග කළ සමසමාජ පක්ෂය ආසන දෙකක් දිනා ගනිමින් සිය ස්වාධීන ශක්තිය ප්‍රදර්ශනය කළේ ය. 


මෙය වැදගත් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නො එල්ලී ප්‍රාදේශීය සභාවක ආසනයක්වත් දිනා ගැනීමේ හැකියාවක් ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ වැනි පක්ෂවලට නොමැති සංදර්භයකදී ය. 


ප්‍රධාන පක්ෂවලින් අවස්ථාව නො ලැබීම නිසා ස්වාධීනව තරග කළ බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාධරයන් විශාල පිරිසක් පළාත් පාලන ආයතනවලට තේරී පත් වී තිබේ. මෙය ලියාපදිංචි දේශපාලන පක්ෂවල අසාර්ථකත්වයේ පැතිකඩකි. 


පවතින දේශපාලන පක්ෂවලට වඩා ප්‍රජාතන්ත්‍රවාදී නව සංවිධාන ආකෘති ගොඩනඟා ගැනීමට ජනතාව උත්සාහ කළ යුතුව තිබේ. 


කොළොන්න ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵලය සමානුපාතික නියෝජනයකැයි කියන මෙම මැතිවරණ ක්‍රමයේ යථාර්ථය නිරූපණය කරයි. එක් වැඩි ඡන්දයකින් මෙම සභාව ජය ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් ඡන්දයක් අඩු එක්සත් ජාතික පක්ෂයට වඩා ආසන තුනක් ලැබිණි. 


ආණ්ඩු පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට තේරී පත් වී ඇති වැඩි දෙනා මැති ඇමතින්ගේ නෑයෝ, මැරවරයෝ, කොන්ත්‍රාත්කරුවෝ, සම්බන්ධීකරණ ලේකම් වැනි තනතුරු දැරුවෝ වැනි කිසිදු වැදගත්කමක් නැති දූෂිතයෝ ය. ඉතින් පළාත් පාලනයට දෙයියන්ගේ පිහිට ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මම හිතන්නේ සියළු ජනමාධ්‍යයන් රාජ්‍ය ගැති බවට පත්කොට ඇති තත්වයක් තුල ජනතාවට ලැබෙන තොරතුරු මත ඔවුන් මේ තීරනය ගන්න ඇති.
    ඒකත් අසරණකමක් තමා.

    "දේශප්‍රේමී සිහිනයක්"
    http://mohomadgepalamalla.blogspot.com/2011/03/blog-post_18.html

    ReplyDelete
  2. අප්‍රකාෂිත ඡන්දයMarch 19, 2011 at 4:56 PM

    මැතිවරණයෙන් සැබෑවටම පරජය වූයේ එජාපය හෝ ජවිපෙ හෝ නොව ජනතාවම බව පැවසීමට සිදුවේ.

    අප ඡන්දය දුන්නත් නැතත් දින්නේ ඒ ගොල්ලන් බව පැවසූ බොහෝ පිරිසක් ඡන්ද පොළට නොගියහ. රජය අවසන් පැය 24 දී රාජ්‍ය මධ්‍ය යොදාගෙන විපක්ෂයට මඩ ගැසීමේ සුපුරුදු පහත් ක්‍රියාවට අවතීර්ණව සිටියහ. ත්‍රස්තවාදීන්ව ඔඩොක්කුවේ තබාගෙන සුරතල් කරන ජනාධිපතිතුමා ජවිපේ 88 කෙරුම් නැවතත් ජනතාවට මතක් කර දීමට තරම් කාරුණික විය.

    අවසානයේ දූෂිත සන්ධානයට ගමේ බලය නැවතත් ලැබුනේය. කමක් නැත ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් අර පරස්සමෙන් මග නගා ඉතිරි තර ගත් සොච්චමෙන් වැඩ ඇරබූ දෙමහල් නිවෙස් වලද තවමත් වැඩ අවසන් නැති බැවින් කමක් නැත.

    ReplyDelete
  3. ඉතින් පළාත් පාලනයට දෙයියන්ගේ පිහිට ය. !!!

    ReplyDelete
  4. Cost of living is not an issue for the people to change or punish the regime in power at the election. This has been proved during reason elections.

    The people know that no regime could bring the cost of living down. They also know that other menaces such as corruption, highhandedness, thuggery, violence also continue with so called alternatives. So issue here is the people do not have an alternative to the evils you and me could identify. In this sense I agree your title "the people have shown their helplessness".

    ReplyDelete
  5. රජයේත් අතිගරු ජනාධිපති තුමාගේත් ශක්තිමත් බාවය නැවත වතාවක් ඔප්පු විය. සජිත් සුදු අලියෙක් බව නලලේ කොටා ගත්තේය. එම්ටි සිල්වා අතුලු යක්ෂයෝ ‍රැල අතිතයේ නපුරු සිහිනයක්ම විය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා