සාමාන්‍ය පෙළ අසාමාන්‍ය ප්‍රතිඵලය ජිල්මාට් ද?

(2011 මාර්තු 31, W3Lankaවිභාග ප්‍රතිඵල ඉහළ යාම හොඳ දෙයකි. වැඩි වැඩියෙන් දරුවන් විභාග සමත් වීම යනු ලංකාවේ උගතුන් ප්‍රතිශතය ඉහළ යාමයි.


ලංකාවේ මාරාන්තිත තරග විභාග යනු කොහොමත් යහපත් දෙයක් නො වේ. පහේ ශිෂ්‍යත්වයේ පටන් ම ඒවායේ අරමුණ ඉහළ ගුණාත්මක මට්ටමේ අධ්‍යාපනයට ඇති සීමිත අවස්ථා ගණනට පිරිසක් තෝරාගෙන ඉතිරි පිරිස හළා දැමීමයි.


පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අති විශ්ෂ්ට ය. කෙතරම් විශිෂ්ට ද යත්, සාමාන්‍ය පෙළට ඉගැන්වූ, පාසල් වාර විභාග උත්තර පත්‍ර බැලූ හා සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර අධීක්ෂකයන් ලෙස කටයුතු කළ අය පවා එතරම් හොඳ ‍ප්‍රතිඵල ලැබීම විශ්වාස නො කරති.


විභාගයේ ප්‍රශ්න පත්‍ර ද සරළ මට්ටමේ ඒවා නො වූ සංදර්භයක සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙසේ අසාමාන්‍ය ලෙස ඉහළ යාම බොහෝ ගුරුවරුන්ගේ සැකයට භාජනය වී තිබේ.


පැතිරෙන කටකතා භයානක ය. කොම්පියුටර් ජිල්මාට් ද, එක්තරා බලධාරියකුගේ පුතකු විභාගයට ලිවීම ද, තවත් බලධාරීන්ට පෞද්ගලිකව කැපී පෙනෙන්නට අවශ්‍ය වීම ආදී කරුණු ද මේ කතා බහ අතර වේ.


විභාග ක්‍රමය පිළිබඳ ද මැතිවරණ ක්‍රමය පිළිබඳ සේ විශ්වාසය නැතිව යාම භයානක තත්වයකි. මේ වසරේ ලකුණු මට්ටම්වල සැලකිය යුතු අඩු කිරීමක් කළා නම්, එය පසුගිය වසරවල සාමාන්‍ය පෙළ ලියූ දරු දැරියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් විය හැකි ය.


විභාග දෙපාර්තමේන්තුවට කළ හැකි දෙයක් ඇත. සාමාන්‍ය පෙළ විභාගයේ ඒ ඒ විෂයයන්ට අදාළව සිසුන් ලබා ගත් ලකුණු මට්ටම් පිළිබඳ විශ්ලේෂණයක් ප්‍රසිද්ධ කළ හැකි ය. සමත් ප්‍රතිශතය වැඩි කරන්නට ලකුණු මට්ටම් අඩු කළා ද යන්න එවිට පෙනෙනු ඇත.


පහත පළ වන්නේ දිනමිණ පුවත්පත සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රසිද්ධ කළ අන්දමයි.



අපොස සා/පෙළ ඉතිහාසයේ විශිෂ්ටතම ප්‍රතිඵල මෙවරයි

- ඇමැති බන්දුල ගුණවර්ධන
විභාග දෙපාර්තමේන්තුව ඊයේ (16) නිකුත් කළ අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල අනුව උසස් පෙළ හැදෑරීම සඳහා පාසල් අයදුම්කරුවෝ 195112ක් සුදුසුකම් ලබා ඇත.

ප්‍රතිශතය 62%කි. එයින් අයදුම්කරුවෝ 182630ක් ඍජුවම උසස් පෙළට සුදුසුකම් ලබා ඇති අතර පාසල් පාදක ඇගයීම් පදනම් කර ගනිමින් ලැබෙන අතිරේක සම්මානය නිසා තවත් 12482 දෙනකුට උසස් පෙළට සුදුසුකම් හිමිවී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා කියයි.

මවර ප්‍රතිඵල අනුව විෂයයන් නවයට ම ‘ඒ’ සමාර්ථ ලැබූ ගණන 3059කි. 2009 දී එම සංඛ්‍යාව 2039ක් විය. වර්ධනය 1020කි. ගණිතය හා මාධ්‍ය භාෂාව සමඟ විෂයයන් හයක් සමත් පාසල් අයදුම්කරුවන් ගණන 175000ක් වන බවත් 2009 දී එම සංඛ්‍යාව 140,000ක් වූ බවත් හෙතෙම කීවේය. පෙනී සිටි සියලුම විෂයයන් අසමත් සංඛ්‍යාව 14961 කි. ප්‍රතිශතය 4.82ක් වේ. එම සංඛ්‍යාව 2009 දී 20221ක් විය. එවර ප්‍රතිශතය වූයේ 4.82 කි.

ගණිතය සමත් ප්‍රතිශතය මෙවර 61.61කි. විද්‍යාව 59.80ක් හා ඉංගී‍්‍රසි 41.41කි. 2009 දී එම ප්‍රතිශතය පිළිවෙළින් 50.17, 44.31 සහ 37.35ක් ව තිබිණි.

2010 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පාසල් හා පෞද්ගලික අයදුම්කරුවෝ 542,000ක් පෙනී සිටියහ.

අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉතිහාසයේ මෙතරම් විශිෂ්ට සමාර්ථයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය බව ප්‍රතිඵල නිකුත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වූ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

වෙනදාට වඩා සති තුනකට පෙර ප්‍රතිඵල නිකුත් කළ හැකිවූ බවත් ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව හා විභාග දෙපාර්තමේන්තුව යන ආයතනවල සම්බන්ධය වැඩිකිරීම, ගණිතයධ්ධ් ප්‍රශ්න පත්‍රයට පැය භාගයක අතිරේක කාලයක් ලබාදීම, ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබා දී පාසල් සම්මන්ත්‍රණ 1250ක් පැවැත්වීම, පසුගිය ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර සාධාරණ මිලට අලෙවි කිරීම යනාදිය මෙම විශිෂ්ට ප්‍රතිඵල අත්කරදීමට හේතුසාධක වූ බවත් ඇමැතිවරයා කීය.

සියලු විෂයයන් අසමත් ගණන මෙවර 6000කින් අඩුව ඇත. බුද්ධ ධර්මය සමත් ප්‍රතිශතය 81%කි. එය 2009 දී 79%ක් විය. සිංහල භාෂාව සමත් ප්‍රතිශතය 78.34 සිට 82.89 දක්වා වැඩිවී තිබේ. ශිව ධර්මය හා ඉස්ලාම් ධර්මය සමත් ප්‍රතිශතය පිළිවෙළින් 81 හා 90.23ක් වේ.
2009 දී එම ප්‍රතිශත 96ක් හා 93ක් වැනි අගයකින් පැවැති බවත් කොමසාරිස් ජනරාල්වරයා කීවේය. 2009 දී ඉතිහාසය සමත් ප්‍රතිශතය 59.20ක් විය. මෙවර එය 73.68ක් දක්වා වැඩිවී ඇත. පුරවැසි අධ්‍යාපනය ද 67.55 සිට 77.50 දක්වා වර්ධනයක් පෙන්වයි.
සාමාන්‍ය පෙළ ඉහළම සාමාර්ථ ලැබූ විසිපස්දෙනා ගෙන් වැඩිදෙනා ගම්බද සිසුන් බව පැහැදිලිව ප්‍රකාශ කළ හැකි බවත් එම සිසුන්ගේ නම් ඉදිරියේ දී ප්‍රකාශ කරන බවත් එදිරිසිංහ මහතා කීය.

විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට ඊයේ (16) දහවල් නිකුත් කර ඇත. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ විදුහල් සඳහා ප්‍රතිඵල ලේඛන එම විදුහල්පතින්ට හෙට (18) දෙපාර්තමේන්තුවට පැමිණ ලබා ගත හැකිය. සෙසු පාසල් සඳහා ප්‍රතිඵල ලේඛන ඊයේ රාත්‍රියේම තැපැල් කිරීමට පියවර ගන්නා ලද බවත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල මුද්‍රණය පටන් ගත් බවත් කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්. ගුණසේකර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගි වූහ.
.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා