ජගත් කාන්තා දිනය ගැන පශ්චාත් මරණ පරීක්ෂණයට සාක්කියක්

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඊයේ (7) පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයාගේ ආදරණීය මෑණියන් වන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය වෙනුවෙන් පිරිනැමෙන විහාර මහා දේවී ගෞරව ප්‍රණාම සම්මානය තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතින් පිරිනැමූ අයුරු (උපුටා ගැනීම දිනමිණෙනි)
(2011 මාර්තු 08, W3Lanka) කාන්තා කටයුතු පිළිබඳ ඇමතිවරයා පවා පිරිමියකු වන ලංකාව ද ඊයේ 100 වන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේ ය. (ක්‍රියා පදය පුරුෂ ලිංගික ය.)


එය සුපුරුදු පරිදි ම පිරිමි ඇසින් කාන්තාව දෙස බලන ගමන් නිල වශයෙන් හා තාවකාලිකව කාන්තාව උත්කර්ෂයට නැඟූ තවත් එක් දිනක් පමණි. මෙවැනි දින තවත් බොහෝ තිබේ. ළමා දිනය, ආබාධිතයන්ගේ දිනය, රණවිරු දිනය ආදිය උදාහරණ වේ.


ලංකාවේ සිංහල ජනමාධ්‍ය ජගත් කාන්තා දිනය නිමිත්තෙන් කාන්තාවන්ට උසුළු විසුළු කළ ආකාරයයි.


ජගත් කාන්තා දිනයේ රජයේ දිනමිණ පුවත්පත පළ කළ ප්‍රධාන ඡායාරූපය ඉහත දැක්වේ. එහි විස්තරය කියවා බලන්න. කවුරු, කා‍ට සම්මාන දුන්නාදැයි ඔබට තේරෙන්නේ නැතිනම්, දිනමිණ කර්තෘ අමතා ඒ ප්‍රහේලිකාව විසඳා ගන්න. 


මේ රජයේ කාන්තා දිනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ දිවයින පුවත්පතේ තුෂාරි කළුබෝවිලට වූ පටලැවිල්ලකි.


දහසක්‌ බාධක මැද මැතිවරණයක්‌ ජයග්‍රහණය කළත්, කාන්තාවකට මේ දේශපාලන ක්‍ෂේත්‍රයේ පවතින්න ඉඩ ලබානොදෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කාන්තා සංවිධානයේ සභාපතිනී, තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.


හෙතෙම එසේ පැවසුවේ මාර්තු 07 වැනි සඳුදා කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කාන්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන "ආශ්චර්යයේ දියණියෝ" නම් ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහන පිළිබඳ (03 වැනිදා) මහවැලි කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දීය.


හෙතෙම, හේ තෙමේ, හේ, ඔහු යනු පුරුෂ ලිංගික පද බව දිවයිනට අමතක වී තිබේ.


දිවයින සිංහල ජාතික ස්වෝත්තමවාදී නලින් ද සිල්වා වැනි අයගේ මතවාදයන්ගෙන් මන්ද පෝෂණය වීමේ ප්‍රතිඵලයක් ලෙස අඩු තරමේ කාන්තා දිනය සම්බන්ධයෙන් හෝ පුරුෂෝත්තමවාදය සඟවා ගැනීමට අසමත් වී තිබේ.


මේ අද දිවයිනේ පුවතකි:


ලෝක කාන්තා දිනයේ කෙහෙවලු පටලවා ගෙන
ගැබිනියක්‌ රෝහලේ
නෝමන් පලිහවඩන


ලෝක කාන්තා දිනය යෙදී තිබුණ ඊයේ කොළඹ සංඝරාජ මාවතේ පදිංචි කාන්තාවන් දෙපිරිසක්‌ අතර ඇතිවූ ගැටුමකින් ගැබිනි කාන්තාවක්‌ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇත. පවුල් දෙකක්‌ අතර හටගත් ආරවුලක්‌ දුරදිග යැම නිසා මෙම ගැටුම සිදුවී තිබේ.


ගැබිනි කාන්තාව පවසා ඇත්තේ සැකකාරියන් දෙදෙනකු තමාට පහරදුන් බවයි.


මෙම සැකකාරියන් දෙදෙනා කොටහේන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.


මේ දිවයිනේ පළ වූ ජනතාව නො මග යවන තවත් ‍බොරු ප්‍රවෘත්තියකි.


සියලු ගර්භණී මවුවරුන්ට
දිනපතා කිරි වීදුරුවක්‌ ලබා දෙයි
ලසිත දුමින්ද


සියලුම ගර්භණී මවුවරුන් සඳහා දිනපතා කිරි වීදුරුවක්‌ ලබාදීමේ වැඩපිළිවෙළක්‌ රජය මගින් අරඹා ඇත.


ගර්භණී හා කිරිදෙන මවුවරුන්ගේ පෝෂණ තත්ත්වය නඟාසිටුවීම සහ සෞඛ්‍ය සම්පන්න නිරෝගී දරුවකු දැයට දායාද කරදීම සඳහාත් දිනපතා උදෑසන කිරි වීදුරුවක්‌ ලබාදීමට පියවර ගෙන ඇති බව පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.


මෙහි පළමු පියවර නුවරඑළිය සහ ගම්පහ දිස්‌ත්‍රික්‌කවල ක්‍රියාත්මක කර ඇත.


මහින්ද චින්තන ඉදිරි දැක්‌ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගර්භණී මවුවරුන්ගේ විශේෂ සෞඛ්‍ය ආරක්‌ෂණ වැඩසටහන අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබේ.


මෙම වැඩසටහන සඳහා අවශ්‍ය කිරි අමාත්‍යාංශය යටතේ පවතින මිල්කෝ සමාගම මගින් නොමිලේ ලබා දෙන බව ඇමැති ආරුමුගම් තොන්ඩමන් මහතා පවසයි.


මේ ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර කාන්තා දිනය සැමරූ ආකාරයක් ගැන දිනමිණ පුවත්පතේ පළ වූ වාර්තාවකි.


ගණිකා නිවෙස් දෙකක් වටලා තරුණියෝ 11ක් අත්අඩංගුවට
එක් නිවෙසක අයිතිකරු හිටපු පොලිස් නිලධාරියෙක්
භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්


හිටපු පොලිස් නිලධාරියෙක් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඇතුළු ගණිකා නිවාස දෙකක් වටලා තරුණියන් එකොළොස් දෙනකු සහ පිරිමින් දෙදෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය ඊයේ (8) අත්අඩංගුවට ගෙන තිබේ. වෙන්නප්පුව, දුම්මලදෙනිය සහ දංකොටුව ප්‍රදේශවල ඉතා රහසිගතව මේ ගණිකා නිවාස පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්‍ෂණ වලින් අනාවරණය වී ඇත.


වලාන දූෂණ මර්දන ඒකකය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුව මේ ගණිකා නිවාස දෙක පරික්‍ෂාවට ලක්කර තිබේ. මෙම කාන්තාවන් වයස අවුරුදු 20 සිට 35 දක්වා වයස් කාණ්ඩවල පසුවන බව පොලිසිය කියයි. එක් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය පොලිස් නිලධාරියා සේවයෙන් ඉවත් කරන ලද අයෙක් බව පැවසේ. වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දුමින්ද බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක ජනක කුමාර මහතා ප්‍රමුඛ කණ්ඩායමක් වැටලීම් සිදු කර තිබේ.


මෙම වැටලීම සඳහා ඔවුන් කාන්තා දිනය ම තෝරා ගත්තේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය.


මේ ජාත්‍යන්තර කාන්තා දින සමරුකදී කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කුසුමා කරුණාරත්න පවසන ටොම් පචයක් දිනමිණේ වාර්තා වන ආකාරයයි. "අපේ රටේ සෑම කාන්තාවක්ම රත්තරන් මවුවරුන් හා රත්තරන් දියණියන්. අද ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නේ සියවැනි වරටයි. අපේ කාන්තාවට නිවෙසේදී සම තැන ලැබී තිබෙනවා. ඒ සියල්ල සාර්ථක වී තිබෙන්නේ කාන්තාවන්ගේ දැනුම හා දක්‍ෂතාවය නිසා බව විශ්වාසයයි. ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ අපි ඒ ශක්තිය ලබා තිබෙනවා. ගෙදර බුදුන් අම්මා ලෙස සළකන කාන්තාවට නිවෙසින් බැහැර දී සළකන ආකාරය පිළිබඳව ඇතැමුන් ප්‍රශ්න කරනවා. අපේ කාන්තාවන් නිවෙසේ කරන කාර්ය භාරයත් සමඟ සතුටින් කාලය ගතකරනවා."


කෙසේ වෙතත්, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාන්තා දින සමරු නිවේදනයේ නම් මෙලෙස සටහන් වේ. "පවුල තුළ, ප්‍රජාව තුළ හා රටේ සමස්‌ත ආර්ථිකය තුළ කාන්තාව ඉටු කරන මෙහෙය ඉමහත්ය. එයට අප ජාතියේ ප්‍රණාමය රටේ කාන්තා පරපුර වෙත නිතැතින්ම හිමි වෙයි."


එහෙත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිප නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින කාන්තාවන් 150 දෙනා ජයග්‍රහණය කරවීම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා මාර්තු 07දා පැවති රජයේ ජගත් කාන්තා දින සමරුවේදී කී කතාව ගැන නම් දන්නෝ දනිති.

මේ අතර, පළාත් පාලන ඡන්දයට තරග කරන ගැබිනි කාන්තාවකට පහර දුන් බවට චෝදනා ලැබ සිටින අපේක්ෂකයකු විසින් නියෝජනය කරනු ලබන එක්සත් ජාතික පක්ෂය ජගතු කාන්තා දිනය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් එහි වෙබ් අඩවියේ පළ වූයේ මෙසේ ය:‍


"මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සිය පාලනයේ 6 වන වතාවට ජාත්‍යන්තර කාන්තා දිනය සමරණ මේ මොහොතේ අපේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී කාන්තාවන් අන්ත අසරණවී සිටින බව එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා අද (08) පැවසීය.ඒ මහතා මේ බව පැවසූයේ කොළඹ 07 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දූ මාවතේ විපක්ෂ නායක මාධ්‍ය ඒකකයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.ඒ මහතා එහිදී මෙසේද පැවසීය.


කාන්තා අයිතීන් තහවුරු කරමින් කාන්තාවන්ට සහන සලසා රැක ගන්නා බවට මහින්ද චින්තන වැඩ පිළිවෙළ යටතේ ආණ්ඩුව දුන් සියලූ පොරොන්දු උල්ලංඝණය කර තිබෙනවා. කාන්තා ප්‍රඥප්තියක් ඉදිරිපත් කරන බවට ද ගර්භනී කාන්තාවන්ට පෝෂණ මල්ලක් ලබා දෙන බවට ද උතුරු නැගෙනහිර අවතැන් වූ කාන්තාවන්ට රුපියල් ලක්‍ෂ 2 ක වන්දියක් ගෙවන බවට ද කාන්තාවන් වෙනුවෙන් කාන්තා අභිමානී බැංකු පිහිටු වන බවට ඇතුළු මහින්ද චින්තනය දුන් පොරොන්දු සියල්ල උල්ලංඝණය කළා."


මේ ජගත් කාන්තා දිනය නිමිත්තෙන් බූන්දිය පළ කළ හරවත් ලිපියකි. 

සම-තැන ද? නිසි-තැන ද? | සියවසක කාන්තාවෝ [1911 - 2011]
 

ඔබේ සාක්කි පහත සටහන් කරන්න.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. kavuru kata beduvath bedaganne horarahase ho elipita unnuntamayaya,ada sema desapalakayekugema konda kada etha,nanda ellavala ,sarath muruththettuva veny adeena desapalakayan sirimavo bandaranayaka veny jathika nayakayin bikala ruvan pura adabihikarana nayakayan ge pavethme hety meyy.

    ReplyDelete
  2. හක් හක් හා!!...නියම සංසන්දනය.
    පත්තර වල තියන අනිත් දේවලිත් ඔය වගේම තමා

    ReplyDelete
  3. පොත්වල කෙසේ තිබුනත්, පංතිවල කෙසේ ඉගැන්නුවත්. ගැහැනිය පිරිමියාට පහත් යයි අද පෙනෙන තත්ත්වය ලංකාවේ දැන් සිය වසකට පෙර තිබුනේ නෑ. ඒ නිසා ඡන්ද නිදහස යුරෝපයේ වගේ පළමුව පිරිමින්ටත් ඉන් කාලයකට පසු ගැහැනුන්ටත් දෙන සිරිත ලංකාවේ තිබුනේ නෑ. 1931කේ අවුරුදු 21ට වැඩි පිරිමින්ටද අවුරුදු 30ට වැඩි ගැහනුන්ටද මුලින්ම ඡන්දය පාවිච්චි කිරීමට හැකි වුනා. අවුරුදු 30හේ සීමාව කළේ එංගලන්තයේ ගැහැනුන්ට මුලින්ම නොයෙක් විදිහට සීමා කළ ඡන්ද බලය දුන්නේ 1918දී 30ට වැඩි ගැහැනුන්ට පමණක් නිසා ය. ඔවුන්ට නියම ඡන්ද බලය ලැබුනේ 1928දීය. (ඇමරිකාවේ එය සිදු වූවේ 1920දිය).

    මගේ අම්මාත් ඇයගේ සහෝදරියනුත් තම නම අත්‌හැර තම පුරුෂයාගේ නම ගත්තේ නෑ. ඒ සිරිත ආවේ අපි බටහිරයන් අනුකරණය කරමින් වඩාත් 'දියුනු' වුන නිසායි. දෙදෙනා පමණක් පවුල් වීමත් ඒ දියුනුවේම ලක්‍ෂණයකි. (මට සමාවන්න). එදා තිබුනේ ආවාහ, විවාහ යන අදහස් දෙකයි. ආවාහ කිව්වේ ගෙදරට කැන්දන් එනවා යන අදහසයි. විවාහ කීවේ ගෙදරින් පිට වී යෑම යන්නයි. දේපල තිබුනේ කාටද ගැහැනු වුවත් පිරිමු වුවත් බලය තිබුනේ එතැනයි.

    මේ විඩියෝ සලරූ දෙක කල්පනාවෙන් අහන්න:
    http://www.youtube.com/watch?v=vIlI5fhZsxQ
    http://www.youtube.com/watch?v=Ptn8Jt5u4g8

    එදා ගැහනුන් පිරිමින් අතර සමානතාවය (හෝ ගැහැණියට තිබූ ඉහල තැන) ඇමරිකන් කාරයා විමතියට පත් කලා. අද ඒ සිංහලයාම පර අනුකරණයෙන් ආපසු ගොස් ඇති වග මේ පිටුවේ ප්‍රධාන ලිපියෙන් පේනවා. දරුවෙක්ගේ මුල අම්මාම නේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා