2016-11-03

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිගේ ලාබ පාඩු ගණන් හැදීම හරිද? වැරදි ද? (පාඨක අදහසකි)

Some stories begin with (father-in-law's) Trust and end with the (son-in-law's) great rewards. (From Perpetual Treasuries advertisement)
විගණකාධිපතිගේ ලාබ පාඩු ගණන් හැදීම වැරදි වෙන්නේ ඇයි? (ගණන් නොතේරෙන කෂ්ටිය කොමෙන්ට් නොකරත්වා)

මුලින්ම මෙන්න මේ සමීකරණේ පාවිච්චි කරලා ගාන හදලා බලන්න.

C(1+r)-1 + C(1+r)-2 + C(1+r)-3+ ….+ C(1+r)-Y + B(1+r)-1 = P

විගනකාධිපති කරලා තියෙන්නේ හරිම සරළ (වැරදි) ගණනය කිරීමක්.

වෙන්දේසි කැඳවපු බිලියන 1 සඳහා (වඩාත් නිවැරදිව බිලියන 1.402) වෙන්දේසියේදී ලැබුණු පොලි අනුපාතය 10.47%.

ඉල්ලුම සැපයුම පිලිබඳ අබමල් රේණුවක දැනුමක් තියෙනවනම් ඉල්ලන ගාන වැඩිවෙනවිට පොලිය ඉහල යනබව පිළිගන්න ඕනේ.

මේ මහින්දලා ගේ පැහැදිලි කිරීම.



මේ වීඩියෝ එකේ ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් සාධාරණීකරණය කරන්න මුලින්ම ගෙන තර්කයක් තමයි ඕක. අපි බිලියන 10 මොහොතකට අමතක කළොත් බිලියන 1 සඳහා ඔය විගනකාධිපති කියන 9.48% පොලියේ කෑලිත් හොයා ගන්න නැහැ. ඒ වෙනකොට පැවති පොලිය 9.48% නම් ඔය ඉල්ලපු බිලියන 1 සඳහා රජයට ඒ පොලිය නොලැබුණේ ඇයි? විගනකාධිපතිගේ ගණන් හැදීම හරිනම් බිලියන් 1ක් විතරක් ගත්තත් රජයට පාඩුවක් වෙලා (10.47%-9.48% පොලී වෙනස නිසා). ඒ කියන්නේ 9.48% කියන එක නිකන්ම නිකන් මනංකල්පිත අංකයක්.

(සමීකරණය විසඳලා බැලුවොත් තේරෙයි විගණකාධිපති කියන ඔය පාඩුව වෙන්න බිලියන 1.402 ට වඩා වැඩිවෙන සැම රුපියලක්ම 9.48% පොලියට ලබාගන්න තිබුණා කියල විගනකාධිපති උපකල්පනය කරල තිබුණ බව. 9.48% කියන්නේ bid price එක 118ට ආසන්න ගණනක්. මේක තමයි යූඑන්පී මන්ත්‍රීවරුත් පෙන්නලා දුන්නේ. එකට එරෙහිව විගනකාධිපතිට තර්කයක් තිබුනේ නැහැ.)

වෙළඳපොළ ඇත්ත පොලී අනුපාතය වෙන්දේසියේදී පිළිබිඹු වෙලා තියෙනවා. අපිට කියන්න පුළුවන් එකම දේ තව වැඩි ප්‍රමාණයක් සඳහා ඉල්ලුම් කළොත් තවත් පොලිය ඉහළ යනවා කියන එක විතරයි. පාඩුවක් හෝ ලාබයක් ගණන් හදන්න බැහැ. පාඩුවක් වෙන්නත් පුළුවන්. මහින්දගේ වීඩියෝ එකේ තර්කය පිළිගන්නවානම් ලාබයක් වෙලා තියෙන්නත් පුළුවන්. බිලියන 1 විතරක් දැන්වීමේ දාපු එක වැරදියි. නමුත් එයින් රජයට පාඩුවක් වෙනවා කියන තර්කය මහින්දලගේම වීඩියෝ එකේ කියන දේවල් වලින් බිඳ වැටෙනවා.

මට කියන්න ඕනේ ඕක නෙමෙයි. විගනකාධිපතිගේ සෙල්ලම ගැන.

මේ මනුස්සය කරලා තියෙන්නේ පාඩුව ගණන් බැලීමේදී බිලියන 1.402 ට අමතරව ගත්තු සියලුම මුදල් සඳහා නැවත 9.48% කියන තමන් කොහෙන්ද හොයාගත්තු ගානක් මත පදනම්වෙලා ගණන් හැදීමයි. අඩු ගානේ බිලියන් 1.402 ට ලැබුන පොලිය වන 10.47% මත පදනම් වෙලා ගැන හැදුවනම් තව සාධාරණයි කියන්න තිබුන. තනිකර කොළේ වහල ගැහිල්ලක් කරලා තියෙන්නේ. දැන් විගනකාධිපති හිතන්නේ බිලියන 10ම වෙන්දේසි දැම්මා නම් බිලියන 1.402 ට පස්සේ ආපහු පොලිය 9.48% ට බහිනවා කියලද? අන්න එක තමයි කියන්නේ විගනකාධිපතිට ඉල්ලුම සැපයුම ගැන මෙලෝ දැනීමක් නැහැ කියල. නැතිනම් කාගේ හරි කොන්තරාත් එකක් කරනවා වෙන්නත් පුළුවන්. ඒත් කුමන්ත්‍රණ කතා කියන එකෙන් වැඩක් නැහැ. රජය දැනගන්න ඕනේ එහෙම කුමන්ත්‍රණයක් තියේනම් නිසි පියවර ගන්න.

සරළම දේ මේකයි. රිපෝර්ට් එකේ කියන ගණන් හිලව් ඉතින් සාමාන්‍ය මිනිස්සු පිලිගත්තට මූල්‍ය විශේෂඥයෙක් දාල ස්ටඩි එක කරලා පෙන්නුවාම උසාවිය පිළිගන්නේ නැහැ.
ඉතින් යූඑන්පී මන්ත්‍රීන්ගේ තර්කය ඉතාම සාධාරණයි. පමණක් නොවෙයි, උසාවියේදී නිකන්ම ඔප්පු වෙනවා ඔය කියන පාඩුවේ ගණන් හැදීම වැරදි කියල.

හැබැයි ඔතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක රජයට ලාබද පාඩුද හෝ මහා බැංකුවේ ප්‍රශ්නයක් නෙමෙයි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සහ EPF, ETF ඇතුළුව ප්‍රයිමරි ඩීලර්ස්ලාගේ Conduct එක පිලිබඳ ප්‍රශනයක්. යූඑන්පී අය ෆොරෙන්සික් ඉන්වෙස්ටිගේෂන් එකක් ඉල්ලන්නේ ඒකයි.

පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ තවත් අදහසකි. 

හෙළි කර තිබෙන තවත් වැදගත්ම කරුණක් වන්නේ පවතින හදිසි ණය අවශ්‍යතාවය ඇතුළු සියලු කරුණු සලකා බලමින්, ටෙන්ඩර් කමිටුව තීරණය කර තිබී ඇත්තේ, රුපියල් 260 කෝටි 80 ලක්‍ෂයක ණය මෙම බැඳුම්කර වෙන්දේසිය මඟින් ගැනීම ය. "විවිධ වූ විශ්ලේෂණයන්ට ලක් කිරීමෙන් පසුව සකසන ලද විවිධ විකල්ප (options) හතක් අතුරින් 05 වැනි විකල්ප අවස්ථාව අනුගමනය කිරීම උචිත බවත්, රුපියල් බිලියන 2.608ක් වෙන්දේසියෙන් උපයා ගන්නා ලෙසත් භාණ්ඩාගාර බැඳුම්කර ටෙන්ඩර් කමිටුවට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබිණි (5.1.9 ඡේදය).

මෙලෙස අමතර ප‍්‍රශ්න රැසක් විගණකාධිපතිවරයාගේ පරීක්‍ෂණ මඟින් සොයාගෙන තිබේ. මේ කරුණු අතර බලවත් ම ගැටලුව වන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් ‘පර්පචුවල් ටෙ‍්‍රෂරීස්’ නම් සමාගම පිළිබඳ ප‍්‍රශ්නයයි.

‘ප‍්‍රාථමික අලෙවි නියෝජිතයන්’ යනුවෙන් හඳුන්වන 14 දෙනෙක් මෙම ණය ගනුදෙනුවල අතරමැදි කටයුතු සඳහා ලියාපදිංචි වී සිටිති. අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාට අයත් සමාගම තිබෙන්නේ ලියාපදිංචි ප‍්‍රාථමික අලෙවිකරුවන් 14 දෙනා අතර ය. මහ බැංකුව දැන්වීම් පළ කර තිබූ පරිදි රුපියල් කෝටි 100ක ණය මුදල පමණක් ලබා ගත්තේ නම්, රජයට වාසිදායක අඩු පොලී අනුපාත යටතේ ණය සැපයීමට ඉදිරිපත් වූ බ්‍රෝකර්වරුන් (ප‍්‍රාථමික අලෙවිකරුවන්) අතර අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාගේ සමාගම තිබී නැත.

"එදින වෙන්දේසිය මඟින් නිකුත් කිරීමට අපේක්‍ෂා කළ රුපියල් බිලියන එකක මුදල රුපියල් බිලියන 10.058ක් දක්වා වැඩි කිරීමට තීරණය කිරීම හේතුවෙන් ප‍්‍රාථමික වෙළෙඳුන් හත්දෙනා අතර ද නොසිටි ‘ණ’ ආයතනයට එදින නිකුත් කරන ලද මුළු බැඳුම්කර වටිනාකමින් සියයට 50ක් එනම්, රුපියල් බිලියන පහක් ලබා ගැනීමේ අවස්ථාව උදා වී තිබීම කැපී පෙනෙන ලක්‍ෂණයක් විය."

ණය ගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබූ පරිදි රුපියල් කෝටි 100ක් ලබා ගත්තේ නම්, මේ ඉහළ පොලියකට ණය දීමට සූදානමින් සිටි බෑණාගේ සමාගමට අවස්ථාවක් හිමි නොවේ. එහෙත්, බැඳුම්කර වෙන්දේසිය පැවැත්වීමෙන් ද, පසුව ගන්නා ලද තීරණයක් අනුව රුපියල් කෝටි 100ක ණය මුදල රුපියල් කෝටි 1,000ක් දක්වා වැඩි කිරීම නිසා ණය දෙන බෑණාගේ සමාගමට රුපියල් කෝටි 500ක් සියයට 12.5ක්  වූ ඉහළ ම පොලී අනුපාතයක් යටතේ ණය දීමේ අවස්ථාව හිමි කර දී ඇත. (මෙයට පෙර තීරණය කරන ලද ඉහළ පොලිය වූ සියයට 11.7270ද ඉක්මවා යමිනි).

"වෙන්දේසියට දින දෙකකට පෙර එනම්, 2015 පෙබරවාරි මස 25 වැනිදාට පෙර අවසන් සතියේ ද්වීතියික වෙළෙඳපොළේ සාමාන්‍ය ඵලදා අනුපාතය 10.03ක් පමණක් විය. ඒ අනුව පෙබරවාරි මස 27 වැනි දින වෙන්දේසිය සඳහා ස්ථාවර පොලී අනුපාතය ලෙස සියයට 12.5 තීරණය කළ ආකාරය අනාවරණය නොවී ය." (5.1.19 ඡේදය) යනුවෙන් විගණකාධිපති වාර්තාවේ මෙම ඉහළ පොලිය ගැන සඳහන් කර තිබේ. පොලී ඉහළ යාම නිසා රජයට සිදු වන මූල්‍යමය පාඩුව කොතෙක් දැයි ගණනය කර තිබුණේ නැත.

"ඉහළ පොලී අනුපාතිකයන් යටතේ වර්ෂ 30ක් වැනි දිගුකාලීන අමතර පිරිවැය ද රජයට සිදු වන අවාසියක් ලෙස සැලැකිය යුතු බව ද නිගමනය කරනු ලැබේ. මෙහි දී නිරීක්‍ෂණය වූ ඉතා වැදගත් කරුණක් වන්නේ වර්ෂ 30ක් වැනි දිගුකාලීන බැඳුම්කරයක පොලී අනුපාතිකයෙන් සිදු වන ඉතා කුඩා වැඩි වීමක් වුව ද, රජයට ඉතා විශාල මූල්‍ය අවාසියක් සිදු විය හැකි වීමයි. (5.1.19 ඡේදය)


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.