2015-10-22

නිදහස් වූ කිරිල්ලිය තමලිනී සහ සිරගත දේශපාලන සිරකරුවෝ

ඡායාරූපය අනුරුද්ධ ලොකුහපුආරච්චි විසිනි
මම එක් වතාවක් තමිලිනීව දැකලා තිබෙනවා. 2002දී යාපනයේ පැවැත්වුණු කලා උළෙලකදීයි. දෙමළ කලාකරුවන් මෙන් ම දකුණේ සිංහල කලාකරුවන් ද සහභාගි වූ මෙම කලා උළෙල සංවිධානය කිරීමේදී කොටි සංවිධානයත් වැඩ කොටසක් කළා. ඒ සංවිධායිකාවන් අතර බෙල්ලේ සයනයිඩ් කරලක් එල්ලාගෙන සිටි තමිලිනීත් හිටියා. ඇය ඒ වන විටත් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ නායිකාවයි. ඇය සහ අනෙකුත් කොටි සෙබළියන් අතර තිබුණු සම්බන්ධය නිරීක්ෂණය වුණේ වාමාංශික දේශපාලන සංවිධානයක සහෝදර සම්බන්ධයක් වගේ.

තමිලිනී කියන්නේ ඉතා දිළිඳු හා පීඩිත සමාජ පසුබිමකින් පැවත එන්නියක්. ඇය දේශපාලනික වශයෙන් බලවත් ස්ථානයකට පැමිණියේ විමුක්ති කොටි සංවිධානයේ මිලිටරි දේශපාලනය නිසායි.

2009 මැයි 17 දා රජයේ ආරක්ෂක අංශ වෙත භාරවූ සුබ්‍රමනියම් ශිවගාමි නොහොත් තමිලිනි පසුව රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරුණා. වසර තුනක් පමණ රිමාන්ඩ් භාරයේ සිටි ඇයට අධි චෝදනා ගොනු නො කර පුනරුත්ථාපනයට යොමු කිරීමට නීතිපතිවරයා කටයුතු කළා. පසුව පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරෙන් පුනරුත්ථාපනය වූ ඇය නිදහස්ව සාමාන්‍ය ජීවිතයක් ගත කළා. ඇය මිය ගියේ අක්මාවේ පිළිකා තත්වයකින්. 

2009 ජුලි මාසයේ ලංකාවේ ජාතීන්ගේ ප්‍ර‍ශ්නය තුළ සුසමාදර්ශීය වෙනසක් සිදු වුණා. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් මෙන් ම දේශපාලනමය වශයෙන් ද පරාජය වී ඇති සංදර්භයකයි ජාතික ප්‍රශ්නය දෙස බලන්නට අපට සිදු වී තිබෙන්නේ. 2015 වන විට දෙමළ ජාතිවාදය මෙන් ම සිංහල ජාතිවාදය ද පසුබැස ලිබරල්වාදය ඉදිරියට පැමිණ තිබෙනවා.

යුද්ධයට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්ව දෙක වනරජය හා කොටි සංවිධානය පමණක් නොව ඇතැම් අතුරු පාර්ශ්වත් යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආදියට වගකිව යුතුයි. නිදසුනක් ලෙස ඇතැම් ජනමාධ්‍ය හා ජාතිවාදී දේශපාලන පක්ෂ යුද්ධයේදී කළ කාර්යභාරයත් සොයා බැලිය යුතුයි. යුද අපරාධ කරන්නට අවි අතට ගන්නට අවශ්‍ය නැහැ. ඒවා ප්‍රවර්ධනය කිරීමත් අපරාධයක්. ඇතැමුන් දැනටත් කරමින් ඉන්නේ එයයි. 

ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් යුද්ධයේ ඇත්ත කතාව වාර්තා කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් සත්‍ය කොමිෂමක් වැනි ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. එහෙත්, තමන්ගේ වැරදි පොදුවේ පිළිගනිමින් පොදු සමාවක් භාර ගන්නට කැමති යුද්ධයේ සියලු පාර්ශ්වවලට ඒ සඳහා අවස්ථාවක් ලබා දිය යුතු බව මා සිතනවා. ඒ පොදු සමාව තුළ යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආදියට වගකිව යුතු කේ.පී.ගේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා සියලු දෙනා ඇතුළත් කර ගත යුතු බවයි මගේ මතය. මෙය සංයුක්ත අදහසක් නො වන බව මම පිළිගන්නවා. ඒ ගැන සමාජ සංවාදයක් අවශ්‍යයි.

වසර 10ක, 15ක කාලයක් තිස්සේ නඩු නොමැතිව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන්ගේ ප්‍ර‍ශ්නයත් මේ ගැටලුවේ ම එක කොටසක්. ඔවුන් දේශපාලන සිරකරුවන් නො වේ ය කියනවාට වඩා ජාතික අර්බුදය නිසා දේශපාලන හේතු මත නීති උල්ලංඝනය කළ සියලු දෙනා ගැන අදහස නැවත අර්ථකථනය කර ගත යුතුව තිබෙනවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.