උතුරෙන් මුස්ලිම් ජනයා සුද්ද කිරීමෙන් වසර 25කට පසු

පානදුර නෝලිමිට් සාප්පුව ගිනි තැබීමට පෙර
නෝලිමිට් සාප්පුව ගිනි ගනිමින් - අද වනතුරු ම පරීක්ෂණ වාර්තා නැත. 
1990දී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් උතුරේ මුස්ලිම් ජනතාව සිය ගම්බිම්වලින් පලවා හැර දමා මේ වසරට අවුරුදු 25ක් සම්පූර්ණ වේ. 75,000ක් පමණ මුස්ලිම් ජනතාව මෙසේ පලවා හරින ලදී.

යුද්ධය අවසන් වී වසර හයක් ගත වී තිබේ. එහෙත් මුස්ලිම් අවතැන් වූවන්ගේ ප්‍රශ්නය තවමත් විසඳී නැත. තවමත් මුස්ලිම් අවතැන් වූවෝ විශාල පිරිසක් සරණාගත කඳවුරුවල ජීවත් වෙති. ඔවුන් විල්පත්තු වනාන්තරය අසල ප්‍රදේශවල නැවත පදිංචි කිරීම හේතුවෙන් සිංහල ජාතිවාදීන්ගෙන් මෙන් ම පරිසර සංවිධානවලින් ද විරෝධය එල්ල විය.

කෙසේ වෙතත්, උතුරෙන් අවතැන් වූ මුස්ලිම් ජනයාගේ ප්‍රශ්නය තවමත් නො විසඳුණු බරපතල ගැටලුවකි. දෙමළ අවතැන් වූ ජනයාගේ ප්‍රශ්න කෙරෙහි තරම් අවධානයක් එයට යොමු වී නැත.

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් උතුරේ මුස්ලිම් ජනතාව පන්නා දැමූ ආකාරය අතිශය නින්දිත ය. මුස්ලිම් ව්‍යාපාරිකයන් පැහැර ගෙන කප්පම් ගනිමින්, විරෝධය පළ කළවුන් මරා දමමින් හා හිංසනයට ලක් කරමින්, ස්ත්‍රීන්ගේ කණ් ඉරා අබරණ මංකොල්ලකමින්, ඇඳි වත හා තවත් සුළු දේවල් ප්‍රමාණයක් පමණක් ඉතිරි කර අන් සියල්ල මංකොල්ලකමින් කරන ලද මෙම නින්දිත පලවා හැරීම වාර්ගික සුද්ද කිරීමක් ලෙස සැලකිය හැකි ය. නැගෙනහිර පළාතේදී මිලිටරි අංශයේ නායක කරුණා අම්මාන්ගේ හා දේශපාලන අංශයේ නායක කරිකාලන්ගේ මෙහෙයවීමෙන් මෙම වකවානුවේදී කොටි සංවිධානය විසින් කරන ලද මුස්ලිම් ඝාතන සංහාරක අරමුණු ප්‍රදර්ශනය කරන ඒවා විය.

සංහාරය, වාර්ගික ශුද්ධිය වැනි වචන භාවිතා කිරීමේදී දෙමළ ජාතිවාදීන් තමන් ගැන ම නැවත සිතා බැලිය යුතු ය.

මෙම ලජ්ජා සහගත පළවා හැරීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවක් දස වසකට පමණ පසු දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ නායකත්වය පැත්තෙන් පළ විය. එහෙත්, මුස්ලිම් බහුතරයක් ජීවත් වන නැගෙනහිර පළාතේදී කොටි සංවිධානයත්, මුස්ලිම් ජනතාවත් අතර තිබුණු ආතතිය දිගට ම පැවතිණි. අවසානයේදී කොටි සංවිධානය අවසන් ඊලාම් යුද්ධය ආරම්භ කිරීමට තෝරා ගත්තේ මුස්ලිම් ජනාවාසයක් වූ මූතූර් ය. ඒ සමග ම අවසන් ඊලාම් යුද්ධයේ මුල් ම සරණාගතයන් බවට පත් වුණේ ද මුස්ලිම් ජනතාවයි.

මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ මූලික ආකල්පවල වෙනසක් සිදු වූ බවක් ප්‍රදර්ශනය කිරීමට ඔවුන් අසමත් වීම හා අද වන තුරුත් දෙමළ ජාතිවාදී කොටස් මේ සම්බන්ධයෙන් සංවේදී නො වීම ජාතිවාදයේ ගැඹුරු ඛෙදවාචකය නිරූපණය කරයි.

දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යස්ථ බලවේග පැත්තෙන් යම් සාධනීය තත්වයක් දක්නට ලැබේ. උතුරු පළාත් සභාවේ බෝනස් මන්ත්‍රී ආසනයක් මුස්ලිම් ජාතිකයකුට පිරිනැමීම එවැනි එක් සාධනීය පියවරකි. පසුගිය සමයේ සිදු වූ දෙමළ ඝාතන සංහාරක අරමුණින් සිදු වූයේ ද යන්න පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් උතුරු පළාත් සභාව මේ වසර මුලදී ඒකච්ඡන්දයෙන් සම්මත කළේ ය.

උතුරින් දෙමළ වැසියන් ඉවත් කිරීම හෙළා දකින හා ඉවත් කරන ලද මුස්ලිම් ජනයා නැවත පදිංචි කිරීමේ වැදගත්කම අවධාරණය කරන යෝජනාවක් ද උතුරු පළාත් සභාවේ මේ අන්දමින් ම ඒකච්ඡන්දයෙන් සම්මත කර ගැනීමට හැකි වන්නේ නම් එය දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යස්ථ බලවේගවල ජයග්‍රහණයක් වනු ඇත.

තම ජාතියේ නමින් සිදු වූ මෙම ක්‍රියා හෙළා දකිමින් හා මුස්ලිම් ජනතාවගේ යළි පදිංචි වීමේ අයිතියට ගරු කරමින් දෙමළ ජාතික සන්ධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එය අගය කළ යුතු තත්වයකි.

අවතැන් වූ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නය තව දුරටත් දිග්ගැසීමට හේතු වන තවත් කාරණයක් වූයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ තිබුණු ජාතිවාදී හා මුස්ලිම් විරෝධී ප්‍රතිපත්ති ය. මූලික වශයෙන් ම, මෙම ගැටලුව විසඳීම සඳහා තීරණාත්මක මැදිහත් වීමක් කිරීමේ උවමනාවක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තිබුණේ නැත. ඒ වෙනුවට, මුස්ලිම් ජනතාව ආර්ථික වශයෙන් විනාශ කර දැමීමේ අරමුණින් කටයුතු කළ සිංහල ජාතිවාදී බලවේගවලට උඩගෙඩි දෙන ප්‍රතිපත්තියක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් අනුගමනය කරන ලදී.

මුස්ලිම් ජාතිකයන්ට හිමි කඩ සාප්පුවලට පහර දීමෙන් ඇරඹුණු මෙම ක්‍රියාවලිය රාජ්‍ය අනුග්‍රහයෙන් නීතිමය රැකවරණය ලබමින් ඇදී ගොස් අවසානයේදී ධර්ගා නගරයේ සිදුවීම්වලියෙන් උච්චස්ථානයට පැමිණියේ ය. එම සිද්ධි ඇවිළවීම සම්බන්ධයෙන් ඍජුව චෝදනාවට ලක් වන බොදු බල සේනාව සම්බන්ධයෙන් නව රජය යටතේ පවා විමර්ශනයක් සිදු වන්නේ නැත.

පද්ධතිය තුළට මුල් බැසගෙන තිබෙන ජාතිවාදයේ හා වාර්ගික එදිරිවාදිත්වයේ ගැඹුර සරළ උදාහරණයකින් පෙන්වා දිය හැකි ය. ප්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාරයක් වන නෝලිමිට් ආයතනයට අයත් විශාලත ම රෙදි පිළි අලෙවි ආයතනය වූ පානදුර නෝලිමිට් සාප්පුව 2014 ජුනි 21 දින ගිනි ගන්නා ලදී. එය ගිනි තැබීමක් ද, ඉබේ ගිනි ගැනීමක් ද යන්න තවමත් හෙළිදරව් කර නැත. රස පරීක්ෂක වාර්තා මත නිගමනයකට එළඹෙන බව පොලිසිය පැවසුව ද, එම සිද්ධිය පිළිබඳ සොයා බැලීමක් ජනමාධ්‍ය විසින් හෝ මේ දක්වා කර නැත. අඩු තරමේ එය ගිනි තැබීමක් නොව ගිනි ගැනීමක් ය කියන එක හෝ නිවේදනය කර නැත.මෙම ගිනි තැබීම පිටුපස කිසියම් බලවත් පාර්ශ්වයක් සිටිය හැකි බව පරීක්ෂණ යට ගැසුණු ආකාරයෙන් ම පැහැදිලි ය.

2015 ජනවාරි 08 දින සිදු වූ ආණ්ඩු වෙනසින් පසුව ජනවාර්ගික ආතතීන් බොහෝ දුරට අවම වී තිබේ. වාර්ගික ආතතීන් උත්සන්න වීමට රාජ්‍ය අනුග්‍රහය කෙතරම් ඉවහල් වූවා ද යන්න එයින් ම නිරූපණය වේ. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය නම් දෙමළ ජාතිවාදය මත පදනම් වූ ප්‍රබල සංවිධානය මෙන් ම, සිංහල ජාතිවාදය මත පදනම් වූ මහින්ද රාජපක්ෂ බල හවුල ද පරාජය කර දමා තිබෙන සංදර්භය තුළ ජාතිවාදය මේ වන විට ආන්තික කුඩා කොටස් වෙත පසුබැස තිබේ. මෙය ඉතා සාධනීය තත්වයකි. එහෙත් ජාතිවාදය නැගී සිටීමේ අනතුර පහ වී නැත. එය නැවතත් මහා ගිනි ජාලාවක් ලෙස ඇවිලිය හැකි පහසුවෙන් නො නිමෙන ගිනි පුපුරකි. එය නො නිවා රැක ගන්නා ආන්තික කණ්ඩායම් අධිෂ්ඨානශීලී බව අමතක කළ යුතු නැත.

ජාතිවාදය මත ම තව දුරටත් බලාපොරොත්තු දල්වා සිටින සිංහල, දෙමළ, මුස්ලිම් ආන්තික කණ්ඩායම් ඉතිහාසයට ම උරුම කර දිය හැකි වන්නේ ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමෙනි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ බුදුන්ගේ දේශය අයිති සිංහල බෞද්ධ ජනතාවට මිසක් පර දෙමළුන්ට හෝ මුසල්මානුවන්ට හෝ වැද්දන්ට හෝ සිංහල ක්‍රිස්තියානුවන්ට හෝ නොවේ. ඒ බවට ඓතිහාසික සාක්ෂි කොතෙකුත් පවතී. රාවන රජුද සිංහල බෞද්ධය. තව මොන කතාද? අන්‍ය ජාතීන් වෙනුවෙන් කතා කරන්නන් සියල්ලම බටහිර ගැත්තන් වෙති. මේ බ්ලොගය ලියන්නනානම් බටහිර ගැති කොමිනිස්ට් වාදියෙකි. නෝ ලිමිට් ගැන මතක් කරමින් ගොටාබය රාජපක්ෂ උතුමාණන්ට අගෞරව කිරීම හෙලා දැකිය යුතුය.

    ReplyDelete
  2. ලංකාවේ වාමාංශිකයන්ට මුස්ලිම් වරුන්ගෙන් ඉගෙනගන්න හොඳ පාඩමක් තියෙනවා.
    ලංකාව බෙදෙන්න ආසන්න නම් රට බෙදීම වලක්වන්න විශාල කැපකිරීමක් කරන්න වෙනවා නම් ලංකාවේ වාමාංශිකයා ඊලාම් වාදියෙක් වීමේ වරදක් නෑ. නමුත් බෙදුම්වාදී ව්‍යාපාරය පරාජය කල පසු ඔහු ඒකීය වාදියෙක් විය යුතුයි. මන්ද වාමාංශික බලවේගවල මූලික අරමුන විය යුත්තේ සමාජවාදය ඇතිකිරීම. එතනදී මධ්‍යගත පාලනයක් සහිත ලොකු රටක් තිබීම සමාජවාදයට වඩා හිතකරයි.
    ලංකාවේ මුස්ලිම්වරු දෙමල බෙදුම්වාදයේදී හැසිරෙන්නේඉහත සඳහන් ආකාරයට. වාමාංශිකයන් අවංකනම් හැසිරිය යුත්තේ එම ආකාරයට.

    ReplyDelete
  3. ඉතා පැහැදිලිවම මෙය යුද අපරාධයක්. මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කිරීමක් හෝ මේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය දන්නේ නම් ඔවුන්ගේ මානව හිමිකම් වාර්තාවේ ඒගැන සඳහා කිරීමක් හා එම යුද අපරාධයට එරෙහිව LTTE සංවිධානයට එරෙහිව ක්‍රියා කලයුතු බවට නිර්දේශයක් තිබෙන්නේදැයි නොදනිමි. එසේ නිර්දේශයක් නැත්නම් රජය විසින් ඒ පිළිබඳ වහාම එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කලයුතුයි.

    එසේ නොකළහොත් රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා හිතේ හැටියට විල්පත්තු අභයභූමිය විනාශ කරමින් අසමතුලිත ජනාවාසයක් ඇති කිරීම දිගටම කරනු ඇති.

    ReplyDelete
  4. මධ්‍යස්ථ මතධාරීයැයි කියන දෙමල දේශපාලන ව්‍යාපාර, දෙමල වර්ගවාදීන් මුස්ලිම්වරුන්ට කල අපරාධවලට සොරි කීමටත් බොහෝ කාලයක් ගත්හ.සිංහලයන්ට කල අපරාධ වලට ඔවුන් කිසිදාක සමාව නොඉල්ලූහ. නමුත් වටරැක විජිත හිමි මුස්ලිම් වරුන්ට එරෙහිව සිංහල අන්තවාදී සුලු පිරිසක් කල අපරාධවලට එවෙලේම විරෝධය දැක්වූ සේක. මෙම ලේඛකයා එම කරුණු වසන්කර දෙමළ වර්ගවාදයට සුදුහුනු ගාන බව පැහැදිලිව පෙනීයයි.
    නෝ ලිමිට් ගින්න ගැන කියන්නේ නම් එය මුස්ලිම් වරුන්ම සැලසුම් සහගතව වටිනා රෙදි ඉවත්කර කල ගිනි තැබීමක් බවට කතාවක්ද ඇත.

    ReplyDelete
    Replies
    1. එසේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නො ගන්නේ ඇයි? රස පරීක්ෂක වාර්තාව ඇතුළු පරීක්ෂණ වාර්තාවලට වුණේ මොකක් ද?

      විශාල ආයෝජනයක් කර ආරම්භ කළ, ලාභ ලබන, සාර්ථක ව්‍යාපාරයක් ඉතා කෙටි කලකින් ගිනි තබන මෝඩයින් කවුරුද?

      ඔවුන් වෙනත් නෝලිමිට් සාප්පු ගිනි නො තබන්නේ ඇයි?

      ජගත් පතිරණ මෙම ගින්න සමග තිබෙන සම්බන්ධය කුමක් ද?

      Delete
    2. හරියට පරික්ෂණ කලේනම් නෝ ලිමිට් ආයතනයට රක්ෂණ වන්ද නොලැබී යනු ඇත.
      එසේම එයට සිංහල සමාජයෙන් වි‍රෝධයක්ද එල්ලවනු ඇත.
      එමනිසා මේ ආකාරයට වැඩ සිදුවීමෙන් ඔවුන්ට වන්ද සහ අනුකම්පාව ලැබීම වඩා වාසි දායක වනු ඇත.

      Delete
  5. නොදන්න කමටයි අහන්නෙ මුස්ලිම් වරු උපායශීලීව සිංහල අයට වඳ බේත් කවනව කියන කතාවෙ ඇත්තක් තියනවද

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා