2014-10-19

සිංහල අකුරු හා වචන ඉංග්‍රීසියෙන් ලියන හැටි ගැන ජේ. සී. අහංගම

සිංහල අකුරු හා වචන ඉංග්‍රීසියෙන් ලිවීම සඳහා විධිමත් ක්‍රමයක් අවශ්‍ය බව අපි පෙන්වා දුන්නා. මෙම සංවාදයට එක් වූ ජේ.සී. අහංගම විසින් පෙන්වා දෙන ලද කාරණා ඉතා වැදගත් යයි අප සිතන නිසා ඒවා නැවත මෙහි පළ කරන්නට අදහස් කළා. ඔහු මෙහෙම කියනවා.

අපි මේ ප්‍රශ්නය දිහා බලන්නේ අපේ ඉංග්‍රීසි ආභාසය හරහායි. ඇත්තටම සොයා බැලුවොත් අපට පෙනී යයි ඉංග්‍රීසි හැර බටහිර ඉන්දු යුරෝපීය භාෂාවල් ඉංග්‍රීසි වගේ නොව බොහෝ දුරට ලියන්නේ කියන විදිහටයි කියලා. ඉන්දු යුරෝපීය, එනම් හින්දි වගේ උතුරු ඉන්දියාවේ භාෂාවල් ලියන්නෙත් කතාවත් ලිවීමත් ගලපන රීති අනුවයි. සිංහලත් එහෙම නේ? (සිංහල ඉන්දු යුරෝපීය භාෂාවල් හා Germanic භාෂාවල්වලට, සංස්කෘතටත්, වඩා පැරණි ඉන්දු යුරෝපීය භාෂාවක් කියා ඔප්පු කල හැකියි).

ප්‍රශ්නය තේරුම් ගන්න ඉංග්‍රීසි ලිවීමට වුන හානිය දැනගැනීම හොඳයි.

පුරාණ ඉංග්‍රීසිත් ලිව්වේ කතාකරන විදිහටමයි. 600 වර්‍ෂයේ පමණ මුළු එංගලන්තයම ක්‍රිස්තු භක්තියට ගියාට පස්සේ ෆුතාර්ක් කුරුටු අකුරු මන්තරකරයින්ගේ අකුරු කියලා අතහැරලා ඉංග්‍රීසි පොත් ලතින් අකුරෙන් ලියන්න පටන් ගත්තා. නමුත් අකුරු 22ක් ඉංග්‍රීසි ශබ්ද ලියන්න මදි නිසා තයන්න, දයන්න හා ඇයන්න අකුරු මාලාවට එකතු කරලා ඉංග්‍රීසි අකුරු මාලාවක් හදා ගත්තා. දයන්න d අකුර හරහට කපලා ð හැටියට ලිව්වා. තයන්න ලිව්වේ පරණ ෆුතාර්ක් අකුර ලෙසමයි. ඒ තෝර්න් (þ) කියන අකුර තමා අද ඉතුරුවෙලා තියෙන එකම ඉංග්‍රීසි අකුර. ඇයන්න හදා ගත්තේ සිංහලයා අයන්නට ඇද පිල්ල දාගත්තා වගේ අ අකුරට ඇදයක් දාගෙනයි! -> æ. ඒක a+e බැඳි අකුර කියලා සමහරු වරදවා කියනවා. ඉතින්, කාලයක් ඉංග්‍රීසි පොත් ශබ්දානුකරණයෙන් ලිව්වා

නමුත් 1500 වගේ කාලයේදී කැක්ස්ටන් යුරෝපයට ගිහිං අකුරු මුද්‍රා එංගලන්තයට ගෙනාවා. ඒ කාලේ අද ලංකාවේ ලොක්කන් ඉංග්‍රීසි වන්දනා කරනවා වෙගේ එංගලන්තයේ පාලකයන් ප්‍රංශ භාෂාව වන්දනා කළා. දුප්පත් ජනයාගේ ඉංග්‍රීසි ගැන කාගේවත් තැකීමක් තිබුනේ නෑ. (දුප්පත් හෙළයාගේ බස යුනිකෝඩ් මැරුවාට කව්ද අඬන්නේ?). පල්ලිය කැක්ස්ටන්ට කිව්වා indulgence සහතික ගහන්න කියලා. ඉන්ඩල්ජන්ස් කියන්නේ සල්ලිවලට පව් සමා කරන සහතික ජාතියටයි. හුඟක් සල්ලි දුන්නොත් ස්වර්‍ගයට ඇතුල් වෙන්නම සහතික කළා. මේ සල්ලි වලින් තමා ප්‍ර‌ැතුගීසි (ප්+රු=ප්‍ර‌ැ), ලංසි, ඩච් ආදීන් රටවල් අල්ලන්න යුද නැව් යැව්වේ. අද ISIS එක කරන වැඩේමයි එදා ක්‍රිස්තු භක්තිකයන් කළේ. 'ආගමට වරෙන්, නැත්නම් මරනවා!'

කැකස්ටන් සල්ලි හම්බ කළා; නමුත් ඇයන්න, දයන්න, තයන්න, අපෙ හෝඩියේ නැති ඔෂ්ඨජ වයන්න (w) අකුරුවලට මුද්‍රා හැදුවේ නෑ. මේ හේතුවෙන් තමා dictionary කියන එක ආවේ!

(ගැමුණු, ඉංග්‍රීසි oo හා i අකුරු ශබ්ද කරන්න අපි දන්නේ නැති වග තේරුම් ගන්න. ඒවා උගුරු ළඟින් එන ඝොෂ ශබ්ද දෙකකුයි. oo ශබ්දය උයන්න අයන්න කියනවා වගේ කියන්න ඕනේ. i අකුර ඉයන්න, එයන්න වගේ කට හදාගෙන කරන ශබ්දයක්.)

සිංහල භාෂාව ඉන්දු යුරෝපීය භාෂාවක් නිසා අපිටත් ඉංග්‍රීසි ලතින්ගත කළා වගේ ලතින්ගත කරන්න පුළුවන්. දැන් අපිට අවශ්‍ය දයන්න ඇයන්න තයන්න ලියන අකුරු පරිගණකයේ තියෙනවා.

ඉංග්‍රීසි මුද්‍රා පුවරුව දිහා බලන්න. ඒකේ q, w, f අකුරු තුන වෙනුවට පිළිවෙලින් ද්(ð), ඇ(þ), ත්(f) අකුරු දාමු. z->ශ්, x ->ෂ්. එතකොට මහප්‍රාණ වලට h අකුර kh, gh ආදී විදිහට ගමු. á -> අං, í -> ඉං ආදී විදිහට ගමු. මේ වගේ මුද්‍රා පුවරුවක් මම හැදුවා. මෙන්න ඒකෙන් ලියපු අර ගැමුණුගේ ප්‍රශ්න විසඳලා ලියපු ඒවා:

jayanþa, jayanþaa, pærakum, ðææla bádaara, guµaseekara, boolavaþþa, udagama, uðaagama, kottaava, nizzáka, vizexa, kudaa baµdaa, cuuda maaµikyaya, ðhanapaala, ðharmaðaasa, koþalaavala

යුනිකෝඩ් සිංහලෙන්:
ජයන්ත, ජයන්තා, පැරකුම්, දෑල බංඩාර, ගුණසේකර, බෝලවත්ත, උඩගම, උදාගම, කොට්ටාව, නිශ්ශංක, විශෙෂ, කුඩා බණ්ඩා, චූඩ මාණික්‍යය, ධනපාල, ධර්‍මදාස, කොතලාවල.

මොනවාද අර පිස්සු අකුරු කියලා ඉංග්‍රීසි අකුරු මාලාවෙන් පිට අකුරු දැකලා ලිඳේ ගෙම්බන් වෙන්නේ නැත්නම් අපිට පුළුවන් වෙනවා පලමුවෙනි වතාවට නම් හරියට ලියලා තියෙන ටෙලිෆෝන් නාමාවලියක් හදාගන්න.

මේ පිළිබඳ විස්තර මෙම ලේඛකයාගේ ahangama.com නම් වෙබ් අඩවියේ ඇතුළත් වෙනවා.

මම මේ මුළු එක ලිව්වේ මේ පහල දෙන පිටුව ඇතුලේ තියෙන ලතින්ගත සිංහල සිංහල අකුරෙන් පෙන්වන තැනේයි. ඒක කරන්නේ ෆොන්ට් එකකින් ලතින් අකුරුවල හැඩය වෙනුවට සිංහල අකුරු දාන ෆොන්ට් එකකිනුයි.
http://ahangama.com/liyamu/
Wordpress බ්ලොග් එකත් ඒ වගේ ලතින්ගත කළ සිංහල සිංහල අකුරෙන් පෙනෙන්න ලියන්න පුළුවන්. මේ මම ලියපු පරණ ගූගල් බ්ලොග් එකක්.
http://blog.ahangama.com/

මේ ක්‍රමය ගැන අදහසක් පළ කරන්නට කලියෙන් මේ ගැන ඔබත් හිතනවා නම් හොඳයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.