එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයෙන් ගොඩ ආ හැක්කේ කෙසේ ද? | How can UNP save itself

නං-ගි, හී!හී!
(2010 සැප්තැම්බර් 12, W3Lankaඑක්සත් ජාතික පක්ෂයේ අර්බුදය වනාහි 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බිහි කරන ලද ඒකාධිපතිවාදයේ ක්ෂණික ප්‍රතිඵලයකි. 


එජාපයේ අර්බුදය අනෙකක් නොව ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කරන්නට යන්නට එජාප මන්ත්‍රීන්ට තිබෙන අධීක උනන්දුවයි. එනම්, සර්ව බලධාරී ජනාධිපතිගේ පැත්ත ගෙන ඇමතිකමක්, නියෝජ්‍ය ඇමතිකමක් හෝ වෙනත් කට්ටක් සූප්පු කරගෙන තමන්ගේ දියුණුව සලස්වා ගනිමින්, තමන් මෙන් ම දූෂිත වූ ජනතාව රවටා ඊළඟ වාරයේත් මන්ත්‍රීකම රැක ගැනීම සඳහා මඟ පාදා ගැනීමයි. 


දෑත් ශක්තිමත් කරන්නට යන්න හදිසි අයට පක්ෂයේ නායකත්වයේ ගැටලු, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලු ආදී ප්‍රශ්න ආශිර්වාදයකි. දැන් එජාපය පත් වී තිබෙන්නේ ආණ්ඩුව තුළ තිබෙන තරගකාරිත්වය හේතුවෙන් ඒ ඔස්සේ මහජන නියෝජිතායතනයකට පාර කපා ගත නො හැකි කපටි, අවස්ථාවාදීන් පිරිසකට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දය මංකොල්ල කා තේරී පත් වී පිල් මාරු කර සිය අරමුණ ඉටු කර ගත හැකි කෙටි මාර්ගයක තත්වයටයි. 


එයට හේතුව, මූලික වශයෙන් එජාපයත්, ආණ්ඩු සන්ධානයත් අතර වෙනසක් නොමැතිකමයි. අද මේ ක්‍රමයට උපරිම වශයෙන් බැන වදිමින් සිට හෙට එය උපරිම වශයෙන් වර්ණනා කරන්නට පුළුවන් මිනිසුන් බිහි කරන එජාපයට පුළුවන. ඒකාධිපතිවාදයක් තුළ එක ම වර්ගයේ පක්ෂ දෙකකට කිසිදු පැවැත්මක් නැති බව වර්තමාන සිද්ධි දෙස් දෙයි. 


සර්ව බලධාරී ජනාධිපති මනුෂ නානායක්කාරට දුරකථන ඇමතුමක් දුන් විට මනුෂගේ ඔලුව විකාර වී යයි. "දැන් වාසු ඡන්දෙ හරි නේද?" කියා ඇසූ විට විප්ලවවාදී වාසුදේව නානායක්කාරට 32 වසරක් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව කළ සටන අමතක වී යන තත්වයක් තුළ නිකම් යූඇන්පී කාරයන් ගැන කියනු කවරේ ද? දිවා රෑ අරලියගහ මන්දිරයේ කැරකෙමින් ඉඳුල් බත් බුදිමින් සිටි ඇතැම් මාධ්‍ය ප්‍රේතයන්ට හා හිස් ටෙලිවිෂන් පියරු බබාලාට පවා එජාපය පසුගිය ඡන්දයේදී නාම යෝජනා දුන් අතර, එජාප සාමාජිකයන්ට ද ඔවුන් විශ්වාස නො කළ යුතු බවට තේරුමක් තිබුණේ නැත. දැන් මේ කපටි අවස්ථාවාදී වවුලන් සියල්ලෝ ම පුරුදු ගසේ ම එල්ලී සිටිති. 


එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමෙන් පමණක් මෙම තත්වය වෙනස් කළ හැකි යයි සිතිය නො හැකි ය. එම පක්ෂයේ ව්‍යවස්ථාව විධායක ජනාධිපති ක්‍රමය සමග සමපාත වන්නක් බැවින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවීමට පළමුවෙන් එජාපයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය වේ. 


රනිල් වික්‍රමසිංහගේ නායකත්වය මේ වන විට මුළුමනින් ම යල් පැන ගොස් ඇත. එහෙත්, ප්‍රශ්නය ඇත්තේ ඔහු වෙනුවට පත් කළ හැකි පෞරුෂයක් ඇති නායකයකු සිටී ද යන්නයි. 'මාව පත්කළොත් මං නියමෙට කරනවා' යි කියන සජිත් ප්‍රේමදාස වැන්නන්ගේ ඇති ගැටලුව වන්නේ මෙච්චර කල් කළ කෙහුරක් නැති වීමයි. හම්බන්තොට පැත්තේ ගැමි ගෙදරක හතර පස්දෙනෙකුට රැස්වීමක් පවත්වා ආණ්ඩුවේ අනුග්‍රහයෙන් රූපවාහිනියෙන් පෙන්වා ගැනීම එකකි. නායකත්වයක් ගොඩනඟා ගැනීම තවෙකකි. ඒ අතින් යම් දක්ෂතාවක් පෙන්වූ එජාප මන්ත්‍රීවරයකු වන්නේ දයාසිරි ජයසේකරයි. 


එජාපයේ ගැටලුව විසඳා ගැනීම සඳහා ක්ෂණික විසඳුම් නැත. ඒ සඳහා පළමුව කළ යුතු දෙයක් වන්නේ යම් නිශ්චිත  දේශපාලන දෘෂ්ටිවාදයක් මත පක්ෂය යළි පිහිටුවීමයි. එජාපයට දැන් නව ලිබරල්වාදය තුළ කළ හැකි දෙයක් නැත. නව ලිබරල්වාදයේ ලෝක පරිමාණ අර්බුදය මැද මහින්ද රාජපක්ෂ ඒකාධිපති බලයක් අතට ගනිමින් වඩා සාර්ථක ලෙස නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හසුරුවන තත්වයකදී එජාපයට කරන්නට දෙයක් නැත. 


එජාපය යළි ජනතාව සොයා යා යුතු ය. ඒ සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වැනි දේශපාලන දෘෂ්ටියක පිහිටීම හා ඒ පිළිබඳව පක්ෂ ක්‍රියාධරයන් දැනුවත් කිරීම පිණිස එජාපයට වැඩ පිළිවෙලක් සකසා ගත යුතු ය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනවාදී නිෂ්පාදන මාදිලිය වෙනස් නො කර, සමාජ සාධාරණත්වය පිළිබඳ ආචාර ධාර්මික අදහස් ඔස්සේ එය ප්‍රතිසංස්කරණය කිරීමේ දෘෂ්ටිවාදයක් ලෙස එජාපයට විග්‍රහ කර ගැනීමට පුළුවන. 


ආණ්ඩුවේ මැති, ඇමතීන් කොළඹ සිට ගමට එන්නේ විවෘත කිරීම් වැනි සංදර්ශන සඳහා පමණි. එජාපය ඒ වෙනුවට ගමේ සිට ගමේ මිනිසුන්ගේ දුක සැප සොයා බලන, දේශපාලනික වශයෙන් දැනුවත්, බුද්ධිමත් සංවිධායකයන් පිරිසක් පත් කර ගත යුතු ය. නායකත්වය කොළඹට එන්නට පමණක් නො ව ගමේ ජනතාව සමග ඉන්නට ද ඔවුනට උපකාර කළ යුතු ය. එජාපය සිය සංවිධායකයන් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ මුදල්, හදල් හා මැර බලය ඇතිකම කෙරෙහි නො ව, දේශපාලනික ක්‍රියාකාරිකයන් ලෙස ඇති අවබෝධය, කුසලතාව, අධිෂ්ඨානය හා කැපවීම කෙරෙහි ය. 


මේ දේ කළ නො හැකි නම්, කළ යුතු වන්නේ එජාපය වසා දමා මහින්ද රාජපක්ෂට ඕනෑ කුදයක් ගසා ගන්නට ඉඩ දී රනිල් වික්‍රමසිංහගේ පංතිය දේශපාලනය වෙනුවට මල් වැවීම, මුද්දර එකතු කිරීම වැනි විනෝදාංශයක නිරත වීමයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. This is a good article, but the problem is there are only a very few few who can understand this.We have become a nation of idiots and corrupt people.

    ReplyDelete
  2. ඉල්ලුමට සැපයුම දීම සජිත්ගෙ දේශපාලන අරමුණ බව පහුගිය දවසක මිනිහම කිව්ව.මිනිස්සු ඉල්ලන දේ දෙන්න නම් රටකට නායකයො මොකටද? නිලධාරීන් හිටියම ඇතිනෙ.

    ReplyDelete
  3. දෙයියනේ w 3 Lanka කවදා කතා කරන්න හිටිය මතෘකාද මෙව්වා...හැක්...හැක්...හැක්...හැක්..

    ReplyDelete
  4. sahathika aththa. eth oya samaaja prajathanthare pennanna barii ekane aliya. kotinma uuta oka gana hankavisiyaka vath adahasak adda?

    W3L, oya kiyanne pulu UNP ekema samajikathvaya ath hituvannada? mokada godak UNP kaarayin thamayi "ධනවාදී නිෂ්පාදන මාදිලිය සමාජ සාධාරණත්වය පිළිබඳ ආචාර ධාර්මික අදහස් ඔස්සේ එය ප්‍රතිසංස්කරණය කිරීමේ" kriyavata hamadaa akul heluwre. oya banda ge thibba pancha maha balavege nisa e paththe issara indalama yam aachaara dharma thibba [varadi nathuva nove].

    Kamak ne, dan karanna one de kivva ne. man aasayi dakinna venna ida thiyena de gana obe prediction eka.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා