විමල් දැන් ලොකු ළමයෙක් ද?

විමල් වීරවංශ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසාන රැළිවලදී පැවැත්වූ “සිරිසේන................ කෝ මේ සිරිසේන............." කතාව මහත් ආන්දෝලනයක් ඇති කළේ ය. ඒ වන විට ඔහුත්, ඔහුගේ නායකයා වූ මහින්ද රාජපක්ෂත් පරාජයක් අපේක්ෂා කළ බවක් නො පෙනිණි. විමල්ගේ මුවින් මෙවැනි ම විසකුරු ද්වේෂයක් 2010ජනාධිපතිවරණයේ අවසන් සමයේදී ද පළ වූ අතර, මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ සිය ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකාට පන්න පන්නා දෂ්ට කළේ ය. ජනාධිපතිවරණයෙන් තමන් පැරදුණා නම් තමන්ට සිදු වන්නේ කුමක් ද යන්න ගැන අවබෝධයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තිබේ.

මැතිවරණ ව්‍යාපාරයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නින්දාසහගත අන්දමින් කතා කිරීම පිළිබඳ විමල් වීරවංශ ඔහුගෙන් සමාව අයැද තිබේ. ඒ පසුගිය සතියේ ජනාධිපතිවරයා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් අතර පැවති සාකච්ඡාවේදී ය.

විමල් ජනාධිපතිවරයාට කතා කළ අන්දම අනුව, ඔහුට ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමු වීමට ඝට තිබීම ද පුදුමයකි. එහෙත්, විමල්ගේ පක්ෂය ජනාධිපතිවරයා හමු වීමට දැක්වූ උනන්දුවෙන් පෙනෙන්නේ සාමාන්‍ය සමාව ගැනීමක් පමණක් නොව ජනක බණ්ඩාර ස්ටයිල් එකේ සමාව ගැනීමක් පවා සිදු වන්නට ඉඩ ඇති බවයි. විමල් ඒ දේශපාලනයේ පරිණත පුද්ගලයෙක් බව පෙනේ.

විමල් ජවිපෙ ප්‍රචාරක ලේකම් ධුරය දැරූ සමයේ වරක් ලංකාවේ ආර්ථිකය චොක්සිගේ කට වගේ යයි කීවේ ය. පුද්ගලයකුගේ හැඩරුව, රෝගාබාධ අල්ලාගෙන අපහාස කිරීම ජවිපෙ වැනි විප්ලවවාදී පක්ෂයකට තරම් නො වන නිසා එදා එය දැඩි විවේචනයට ලක් විය. 

විමල් වීරවංශ සුන්දර රූසපුවක් ඇති, එහෙත්, එතරම් උස මහත නැති මිනිහෙකි. ඔහු පැවත එන්නේ දිළිඳු හා පීඩිත සමාජ පසුබිමකිනි. අසූවේ දශකයේ අගභාගයේදී ඔහු ජවිපෙ දේශපාලනයට එක් වූයේ ය. ඔහු සමග එකට දේශපාලනය කළ සගයන් දස දහස් සංඛ්‍යාවක් ඝාතනයට ලක් වෙද්දී ඔහු අත්අඩංගුවටවත් පත් නො වී ජීවිතය බේරා ගන්නට සමත් වූයේ ය. 

ඉන් අනතුරුව ඔහු මතු වූයේ කුසලතා පූර්ණ මාධ්‍යකරුවකු ලෙසයි. ඔහුත්, රෝහිත භාෂණත් මිතුරන් සේ එකට හිරු පත්තරය මෙහෙයවූ හ. බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ හා මහනුවර ධර්මරාජයේ උගත්, ඉංග්‍රීසි දත්, බුද්ධිමත් තරුණයකු වූ රෝහිත භාෂණ සමග විමල් වීරවංශ කිසියම් ඊර්ෂ්‍යාවකින් කටයුතු කළ බව එසමය අධ්‍යයනය කරන විට පෙනේ. එකල පිටරට සිටි සෝමවංශ අමරසිංහ හිරු පුවත්පත සමග සම්බන්ධකම් පැවැත්වූයේ රෝහිත භාෂණ හරහා ය. 

මේ කාලයේ ජවිපෙ ප්‍රතිසංවිධානය කිරීමේ සුවිසල් වැඩකොටසක් කළ කමල් දේශප්‍රිය මන්නවත්ත හෙවත් සෙනෙවිගේ කණ්ඩායම සමග සම්බන්ධකම් පවත්වමින් සිටි විමල් වීරවංශ පක්ෂය ප්‍රතිසංවිධානය කරන විට දේශපාලන මණ්ඩලයට පැන ගැනීමට සමත් වූයේ ය. ඒ අතරවාරයේ රෝහිත භාෂණ පක්ෂයට නො ගෙන හිරු පුවත්පතට සීමා කර තබන්නට ද ඔහු සමත් වූයේ ය. පක්ෂයට බුද්ධිමය දායකත්වයක් සපයන්නට සමත්කම් තිබුණු සම්පතක් ජවිපෙ නැවත නැගී සිටි මුල් අවධියේ ම අහිමි කර ගත්තේ එසේ ය. 

මේ හා සමාන තත්වයකට පසු කලෙකදී චන්දන සිරිමල්වත්ත සහෝදරයා ද ජවිපෙ තුළ මුහුණ දුන් බව මගේ නිරීක්ෂණයයි. 

විමල් ජවිපෙ ප්‍රචාරක ලේකම් ලෙස ලැබුණු අවස්ථාව වෙත සිය දක්ෂතා ආයෝජනය කරමින් වේගවත් දේශපාලන ගමනක් ගියේ ය. ජවිපෙන් බිඳී යාමට ලැබීම ඔහුගේ උන්නතිකාමී දේශපාලනයට ආශිර්වාදයක් විය. 

එහෙත්, ජවිපෙන් බිඳීමත් සමග විමල් සිය ආර්ථික විනය ද අහිමි කර ගත්තේ ය. අයථා මාර්ගවලින් ධනය රැස් කර ගැනීමට පෙළඹීම විමල් විසින් කරගන්නා ලද බරපතල වරදකි. එහෙත්, ඔහු ජීවිතයේ ඇරියස් බොහොමයක් තිබුණු පුද්ගලයෙකු බව පෙනේ. දැන් සමහර විට ඒ සමහර ඇරියස් පියවාගෙන වෙන්නට පුළුවන. පවුල් ජීවිතය ද ඔහුට එක්තරා වධයක් වී ඇති බව පෙනේ. උප්පැන්න සහතික, පාස්පෝට් කේස් වැනි ඔහු පසුපස එන ඇතැම් ගැටලු මේ පවුල් ජීවිතය හා සම්බන්ධ ඒවා ය. ඒවායේ සංඥාර්ථ රැසක් තිබේ. ජවිපෙ සාමාජිකයකු ලෙස සිටියදී නීතිය සමග කළ කොලොප්පං පසු කලෙකදී නිවැරදි කර ගන්නට ඔහු උත්සාහ කළ බව පෙනේ. 

කුමාර් ගුනරත්නම් ද මෙසේ නීතිය සමග කොලොප්පං කළ අයෙකි. විප්ලවවාදී ව්‍යාපාරවල සිටියදී ධනේශ්වර නීතිය ගණන් නො ගනිමින් ඇති කර ගන්නා මෙවැනි පටලැවිලි පසුව ලිහා ගන්නට යාමේදී බරපතල ගැටලු ඇති වේ.  

විමල් වීරවංශ යනු ලංකාව රාජපක්ෂ පවුලේ අවිධිමත් පාලනයට තව දුරටත් හසු වී තිබී දේශපාලන අලකලංචි මැද්දෙන් තල්ලු වී ගියා නම් කිසියම් දිනෙක මේ රටේ රාජ්‍ය නායකත්වයට පවා පත් වන්නට ඉඩ තිබුණු චරිතයකි. එහෙත්, ජනවාරි 08දා ඔහුගේ ද ඉරණම වෙනස් විය. දැන් විමල්ට ද සිය පැරණි හැව ඇරගෙන මිස ඉදිරි ගමනක් නැත.

විමල් සිය ජීවිතයේ එක් අවධියක් සමාප්ත කළේ හිරු පුවත්පතින් ජවිපෙ දේශපාලන මණ්ඩලයට සංක්‍රමණය වීමෙනි. දෙවන අවධිය සමාප්ත කළේ ජවිපෙන් හා සෙනෙවිගෙන් බිඳීමෙනි. මහින්ද රාජපක්ෂ සමග විමල්ගේ දේශපාලනය සමාප්ත කරන්නට කාලය එළැඹ ඇත. ඔහුගේ මීළඟ දේශපාලන අවධිය ආරම්භ වන්නේ එතැනිනි. 

එයා දැන් ලොකු ළමයෙකි. ජීවිතයෙන් පරිණත වී සිටින විමල් දැන් ඇරියස් බොහොමයක් ද පියවාගෙන විය හැකි ය. මහින්ද රාජපක්ෂ යුගයේ බලය වෙනුවෙන් තොරොම්බල් කළ, ඇත්තෙන් ම කිව්වොත් ඔහු පවා භෞතිකව අයත් නො වන සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි ස්වෝත්තමවාදය සමග තව දුරක් යන්නට ඔහු සූදානම්දැයි නො දනිමි. 

එහෙත්, අසූ නමයේ කැරැල්ලෙන් මිය ගිය සගයින් ගැනත්, ජවිපෙ වෙනුවෙන් ලේ, කඳුළු, දහදිය වගුරුවමින් විමල් වැනි පීඩිත දිළින්දන්ට පංති ඉනිමගේ ඉහළ නගින්නට පය තබා ගැනීම සඳහා කර දුන් අහිංසකයන් ගැනත් හෘදය සාක්ෂියක් ඔහු තුළ තිබිය යුතු ය. 

ඒ මිනිසුන් වෙනුවෙන් අවම හෝ යහපතක් උදා කර දිය හැකි වෙනස්කම් සහිත අලුත් දේශපාලන අවධියක් වෙත පිවිසෙන්නට විමල්ට හැකි වේවායි පතමු!



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Popular posts from this blog

සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු මන්ත්‍රීන් 23ක් 17, 18, 19, 20 හතරටම කකුල් හතරම උස්සලා

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු