දෙමළ හෘදය සාක්ෂිය නැතිව සිංහල හෘදය සාක්ෂිය හෙවත් ඔබ නැතුව ඔබ එක්ක

ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයට පාදක කර ගන්නේ ෆියදෝර් දොස්තයෙව්ස්කිගේ Gentle Spirit ලෙස ඉංග්‍රීසියට පරිවර්තනය වී ඇති කතාවේ අනුවර්තනයකි. එය තල කිහිපයක් ඔස්සේ රස විඳිය හැකි චිත්‍රපටයකි. දොස්තයෙව්ස්කිගේ කෙටි නවකතාවෙන් ආභාසය ලබන කතාවේ චරිතවල චලනය හා මනෝභාවයන් වෙන ම තලයක තබා රස විඳිය හැකි ය. එහෙත්, ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ කතාව හා දොස්තයෙව්ස්කිගේ කතාව අතර ඇත්තේ මතුපිට සාම්‍යයක් පමණකැයි මට සිතේ. පොලීකරුවා, ඔහුගේ බිරිය වන තරුණ ගැහැනිය, ඇය මුහුණ දෙන ආර්ථික හා සමාජ ගැටලු, සේවිකාව, උකස් මධ්‍යස්ථානය සහිත දෙමහල් ගොඩනැගිල්ල, පොලීකරුවාගේ උන්නතිකාමී බලාපොරොත්තුව, ඔහුගේ රැකියාව අහිමි වීම පසුපස රහසක් තිබීම, ඔහු එය සිය බිරියගෙන් සැඟවීම, රිවෝල්වරය සම්බන්ධ සිදුවීම් හා තරුණියගේ සියදිවි නසාගැනීම වැනි දේ ඍජුව ම දොස්තයෙව්ස්කිගේ කතාවෙන් ගත් ඒවා මුත්, මේ කතා දෙක ඇතුළාන්තයෙන් හාත්පසින් ම වෙනස් කතා දෙකකි. දොස්තයෙව්ස්කිගේ චරිත විවරණය, චරිතවල මනෝභාවයන් හා ගැටුම් ප්‍රසන්නගේ කතාවට වඩා හාත්පසින් ම වෙනස් ය. දොස්තයෙව්ස්කිගේ 41 හැවිරිදි හිටපු හමුදා නිලධාරියකු වූ පොළීකරුවා හා ඔහුගේ 16 හැවිරිදි බිරිය අතර ගැටුම, අවබෝධය හා ආදරය ගොඩනැගෙන ආකාරය ප්‍රසන්නගේ කතාවේ හිටපු හමුදා නිලධාරියා හා දෙමළ ජාතික තරුණිය අතර සම්බන්ධයට වඩා වෙනස් ය. එහෙත්, කතා දෙක ම අවසානයේ තරුණිය සිය දිවි නසා ගන්නේ පිරිමියාගේ ආදරය වැළඳ ගැනීමට ඇති බිය නිසා යයි කියවේ.

දොස්තයෙව්ස්කි සිය ප්‍රබන්ධය රුසියාවේ එවකට පැවති සමාජ යථාර්ථය සමග සමපාත කරන පරිද්දෙන් ම ප්‍රසන්න සිය චිත්‍රපටය ලංකාවේ සමාජ යථාර්ථය සමග සම්බන්ධ කරයි. ඔහු තෝරා ගන්නේ පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාවයි. යුද සමය හා සම්බන්ධ වරදකාරී පශ්චාත්තාපයක් සමග හුදකලා, නිහඬ, පොලීකරුවකුගේ ජීවිතයක් ගත කරන සිංහල, බෞද්ධ හිටපු හමුදා සෙබළෙක් අපට හමු වෙයි. ඔහු යාපනයෙන් ආ, යුද්ධය නිසා අනාථ වූ, ඇයට නො ගැලපෙන පුරුෂයකු සමග විවාහ වීමේ ඉරණමට මුහුණ දෙන්නට සිදු වූ දෙමළ ක්‍රිස්තියානි තරුණියකට පෙම් කර ඇය විවාහ කර ගනියි.

දොස්තයෙව්ස්කිගේ කතාවේ සෙබළාගේ රහස අභිමානය පිළිබඳ කාරණයකි. එහෙත්, ඔබ නැතිව ඔබ එක්ක චිත්‍රපටයේ සරත්සිරිගේ අභිරහස ඊට වඩා බියකරු සිද්ධියකි. ඔහු එයින් පශ්චාත්තාප වෙමින් අතීතයෙන් හැකි තරම් ඈත් වී දිවි ගෙවයි. ඔහු මසුරු ලෙස මුදල් රැස් කරන්නේ කවුළුවෙන් ඔබ්බේ දක්නට ලැබෙන තේ වත්ත මිළ දී ගැනීමේ උන්නතිකාමී සිහිනයකිනි.

ඔහු සෙල්විගේ ආදරයට බිය වූ බව ඔහු පවසයි. ඇගේ ආදරය ඔහුගේ උන්නතිකාමී අරමුණට බාධාවකැයි ඔහු සිතයි. ඔවුන් දෙදෙනා අතර නිර්මානය වන්නේ දැඩි නිහඬතාවකි. ඒ නිහැඬියාව ඇය වේදනාවට පත් කරයි.

ආදරය සම්බන්ධයක් තුළ ස්ත්‍රියගේ අපේක්ෂා හා පුරුෂයාගේ අපේක්ෂා අතර ඇති ගැටුම මෙම චිත්‍රපටයේ තවත් තලයකි. සෙල්වි අපේක්ෂා කරන ලෝකය හා සරත්සිරි අපේක්ෂා කරන ලෝකය හාත්පසින් ම වෙනස් ලෝක දෙකක් නොවේ ද? අවසානයේදී සරත්සිරි මිනිසත්කම වටහා ගන්නේ සෙල්වි නිසා ය. එහෙත්, සෙල්වි පතන ආදරය භෞතික යථාර්ථයක් වන කල ඇය එයින් පලා යයි. ස්ත්‍රියගේ ආදරය භෞතිකව පැවතිය නො හැකි දෙයක් ද?

ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය පුපුරුවා හරින මැදිහත්වීම කරන්නේ ගාමිණී ය. ඒ නම ද සංකේතාත්මක ය. හේ තවමත් රාජකාරියේ යෙදී සිටින හමුදා සෙබළෙකි. අතීතයෙන් සැඟවී ජීවත් වන සරත්සිරි සොයා ගාමිණී එන්නේ අතීතය ද රැගෙන ය. ගාමිණී සරත්සිරි විසින් සඟවාගෙන පසුතැවිලි වන අතීතය යළි මතු කරයි. සරත්සිරි ගාමිණී සමග ඇති මිත්‍රත්වය නිසා බොරු සාක්කි කියා අපරාධ දඬුවමකින් ගාමිණී ගලවා ගත් අයෙකි. ගාමිණීට එය අමතක කළ නො හැකි උපකාරයකි. එහෙත් සරත්සිරිගේ හෘදය සාක්ෂිය තුළ එය සුව කළ නො හැකි තුවාලයකි. ගාමිණී සහ තවත් දෙදෙනෙකු විසින් දූෂණය කර මරා දමන ලද තරුණිය වෙනුවෙන් යුක්තිය ඉටු නො කිරීමේ වරදකාරිත්වයෙන් සරත්සිරිගේ හෘදය සාක්ෂිය දැවෙයි. යුද්ධය නිසා අසරණ වූ දෙමළ තරුණියක් සිය යටහත් බිරිඳ බවට පත් කර ගැනීමෙන් ඔහු බලාපොරොත්තු වන්නේ ඒ වරදකාරී හැඟීම සමනය කර ගන්න ද? එහෙත්, ඔහු ඇයට ආදරය හෝ නිසි ගරුත්වය ලබා දෙන්නේ නැත. ඇය තව දුරටත් ඔහුගේ යටත් වැසියෙකි. ඔහු සිකන පරිදි ඔහු වනාහි ඇයට කතා කිරීමට කට අරින්නට නිදහස ලබා දුන් ඇගේ කෘතවේදිත්වය හිමි විය යුතු ගැලවුම්කරුවා ය.

ජාතික වශයෙන් සුළුතර වූ දෙමළ ජාතිකයා වෙනුවෙන් යුක්තිය ඉටු නො කිරීම පිළිබඳ සිංහලයාගේ වරදකාරී හෘදය සාක්ෂිය ප්‍රසන්නගේ චිත්‍රපටයේ මූලික තේමාවයි. දොස්තයෙව්ස්කිගේ කතාවේ ගැහැනියත්, පිරිමියාත් අතර ගැටුමට හේතු වන මූලික කාරණා අතර වයස් පරතරය සැලකිය හැකි ය. එහෙත් ඔබ නැතුව ඔබ එන්න චිත්‍රපටයේ එවැනි පරතරයක් දක්නට නො ලැබේ. ඒ වෙනුවට ඇත්තේ ජාතික ප්‍රශ්නයයි. තරුණිය යුද්ධයෙන් දැඩි ලෙස පීඩිත වූ පාර්ශ්වයක් නියෝජනය කරයි. ඇය වනාහි ජාතිවාදී නො වන, අවි නො ගත්, නිරායුධ දෙමළ සිවිල් වැසියා ය. ඇගේ සොයුරන් මරා දමන්නේ හමුදාවෙනි. ඔවුන් කොටි සංවිධානයේ සාමාජිකයන් නො වන බව සෙල්වි පවසන්නී ය. ඇයට ගම්බිම් හැරපියා කඳුකරයට පළා එන්නට සිදු වී තිබෙන්නේ ද, ඇගේ මව්පියන් අතුරුදහන්ව ඇත්තේ ද යුද්ධය නිසා ය. ඔවුන් ද නිරායුධ සිවිල් වැසියෝ ය. ගාමිණී ඇතුළු පිරිස විසින් දූෂණය කර මරා දමනු ලබන්නේ ද නිරායුධ තරුණියක ය.

එහෙත්, දෙමළ තරුණියට පිස්තෝලය සමග ඇති වන සම්බන්ධය, ඇය එයින් සරත්සිරි මරන්නට දරන උත්සාහය ආදියෙන් නිරූපණය වන කෘර මානසිකත්වය හා පළිගැනීමේ චේතනාව සමග නරඹන්නාට ඇය හිටපු සටන්කාරියක් ද යන සැකය නිතැතින් ම මතු වේ. දොස්තයෙව්ස්කිගේ කතාවේ රිවෝල්වරයට තිබෙන සංකේතාත්මක වටිනාකමට වඩා සපුරා වෙනස් වටිනාකමක් ලාංකීය සන්දර්භය තුළ තිබේ. ගාමිණී කීවා සේ ඇය කොටි කෙල්ලක් ද? නැතිනම් ඇගේ පළිගැනීමේ මානසිකත්වය නිසග, සාධාරණ තත්වයක් ද?

සරත්සිරි ඇය ඔහු මරන්නට උත්සාහ කළ බව දකිනවා ද? දොස්තයෙව්ස්කිගේ කෙටි නවකතාවේ නම් පිරිමියා ඇගේ අපරාධ චේතනාව දකියි. එය දුටු පසු පවා ඔහු ඇය කෙරෙහි දක්වන කරුණාව ඇගේ පරාජය සලකුණු කරනවා ද? ඇය මානසික හා ශාරීරික ව්‍යාකූලත්වයකට පත් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ද? ඔහුගේ ආදරයට ඇය බිය වෙනවා ද? ඇය සිය දිවි නසා ගන්නේ ඒ නිසා ද? අධ්‍යක්ෂවරයා මෙම ප්‍රශ්න අප ඉදිරියේ විවෘත අවසානයන් සහිතව තබයි.

ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය ජාතික ප්‍රශ්නයෙහිදී හා යුද්ධයෙහිදී සිංහල හෘදය සාක්ෂිය ප්‍රශ්න කරන්නකි. එය පදනම් වන්නේ සිංහල ජාතිකවාදය පීඩක ජාතිවාදයකි හා දෙමළ ජාතිකවාදය පීඩිත ජාතිවාදයකි යන ගතානුගතික මාක්ස්වාදී ආස්ථානය මත ය. එහෙයින් සාමාන්‍යයෙන් ප්‍රසන්න අනුගමනය කරන ස්ථාවරය අනුව යමින් මෙ චිත්‍රපටයෙහි ද දෙමළ ජාතිකවාදය යනු සිංහල අධිපති ජාතිකවාදයෙන් පීඩාවට පත් වන ජනතාවකගේ අරගලයක් නිසා අනුකම්පාව හිමි විය යුතු තත්වයක් ලෙස නිරූපණය කරයි. මේ වෙනුවෙන් ඔහු ඉදිරිපත් කරන කතාවල සාමාන්‍ය යෙන් දක්නට ලැබෙන භාවාතිශය ලක්ෂණ මෙහි ද දක්නට ලැබේ. පුරහඳ කළුවර චිත්‍රපටයේ මිය ගිය සොල්දාදුවාගේ වල හාරා මිනී පෙට්ටිය විවෘත කර බැලූ විට හමු වන්නේ කෙසෙල් කොටන් ය. මෙම භාවාතිශය ප්‍රකාශනය සිංහල ජාතිකවාදීන් කුපිත කළ අතර, මිලිටරිය එම චිත්‍රපටය වර්ග කළේ දෙමළ විමුක්ති අරගලයට හිතවාදී මානසික යුද ව්‍යාපෘතියක් ලෙසයි.

මෙම ගැටලුව ම මෙම චිත්‍රපටයේ ද දක්නට ලැබේ. හිටපු සොල්දාදුවකු වන සරත්සිරිගේ වරදකාරී පශ්චාත්තාපයට හේතු වන ගාමිණී හා තවත් සොල්දාදුවන් දෙදෙනෙකු විසින් දෙමළ තරුණියක් දූෂණය කර මරා දැමීම භාවාතිශය ප්‍රබන්ධයකි. මෙම චිත්‍රපටයේ සිංහල හෘදය සාක්ෂිය ප්‍රශ්න කිරීම සඳහා යොදා ගන්නා මෙම ප්‍රයෝගය එහි පවතින භාවාතිශයකම නිසා අසාර්ථක එකකි.

අනෙක් පැත්තෙන්, යුද්ධය හා සම්බන්ධ දෙමළ හෘදය සාක්ෂියක් ද තිබේ. විශේෂයෙන් ම තුන්වන ඊලාම් යුද්ධය යනු තව දුරටත් දෙමළ ජාතිය මත පටවන ලද යුද්ධයක් නො වේ. ඒ වනාහි දෙමළ ජාතික විමුක්ති අරගලයේ නායකත්වය විසින් සාම ක්‍රියාවලියක් සිතාමතා කඩාකප්පල් කරමින්, සිංහල ජාතිවාදීන් සමග අශුද්ධ අවබෝධයකින් යුතුව තෝරා ගන්නා ලද උන්නතිකාමී ජාතිවාදී යුද්ධයකි. ජයග්‍රහණය වෙනුවෙන් ජාතිය පරදුවට තබන ලද ගල උඩ සටනකි.

ජාතික ප්‍රශ්නයට ජාතිවාදයෙන් විසඳුම් සෙවිය නො හැකි ය. දෙමළ ජාතික විමුක්තිවාදීන් ලද පරාජය දෙමළ ජාතිකවාදයේ මෙන් ම දෙමළ ජාතියේ ද පරාජයකි. එම විනාශය සම්බන්ධයෙන් හා එකී යුද්ධය විසින් සමස්ත ලෝකයට ම ඇති කරන ලද ප්‍රතිඵල සම්බන්ධයෙන් දෙමළ ජාතියට හෘදය සාක්ෂියක් නැද්ද? මේ චිත්‍රපටයේ ඒ හෘදය සාක්ෂිය නිරූපණය වන්නේ කොතැන ද? මෙම ගැටලුවෙහිදී සිංහල ජාතිකවාදය අධිපති භූමිකාවක් සිදු කළ බව අවිවාදිත ය. එහෙත්, තුන්වන ඊලාම් යුද්ධය සිදු වන විට දෙමළ ජාතිකවාදය තව දුරටත් ප්‍රතිචාරාත්මක ජාතිවාදයක් පමණක් නොවේ. ප්‍රගතිශීලී කලාකරුවන් එය කෙරෙහි සානුකම්පිත වීම අවශ්‍ය නැත.

කලාත්මක රස වින්දනය ඔස්සේ ජනතාවගේ හෘදය සාක්ෂිය ආමන්ත්‍රණය කිරීමෙන් ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම ප්‍රසන්න විතානගේගේ සිනමාවේ අරමුණක් නම්, ප්‍රසන්නගේ චිත්‍රපටයෙන් එය සිදු වන්නේ නැත. හේතුව ඔහු ජාතික ප්‍රශ්නය විෂයෙහි සිටගන්නා ස්ථාවරය ආන්තික එකක් වන හෙයිනි. යුද්ධයේ දෙමළ වගකීම සිතාමතා අමතක කර දමමින් යුද ජයග්‍රාහකයා වන සිංහලයා තුළ වරදකාරී හෘදය සාක්ෂිය අවදි කරන්නට දරන තුලනාත්මක නො වූ ප්‍රයත්නය විසින් සිංහල මනස තුළ ජනනය කරන්නේ තව දුරටත් සිංහල ජාතිවාදය ම මොළවන හැඟීමකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. යුද්ධයේ දෙමළ වගකීම ගැන ප්‍රසන්න කතා කළත් ඒක සාපේක්‍ෂ එකක් වෙනවා නේද?

    මේ මූවි එක කලකට පෙර සිඩ්නි නුවර දී නරඹා අවසානයේ දී එය දොස්තයෙව්ස්කි ගේ The Meek One (A gentle creature) හි අනුවර්තනයක් බව දැක මට නම් ඇතිවුනේ තමරක් මුලා වුනාය වැනි හැඟීමක්! මා සිතා සිටියේ මේ කතාව ස්වතන්ත්‍ර නිර්මාණයක් කියායි!

    දොස්තයෙව්ස්කි ගේ කතාව:
    https://en.wikipedia.org/wiki/A_Gentle_Creature

    ReplyDelete
  2. රඟපෑම් නම් ඉතා හොඳයි!

    ReplyDelete
  3. දොස්තයෙව්ස්කි ගේ කතාවේ මෙලෙස තියෙනවා-

    "The narrator kisses his wife's feet and promises to be a changed man."

    මෙය සිංහල චිත්‍රපටියේ ද තියෙනු දැක අපේ සමහරු සිංහල සොල්දාදුවා ලවා දෙමළ කෙල්ලකට වැන්දවීමෙන් හමුදාවට අපහාස කර තියෙනවා කියා කළබල වුණා!

    ReplyDelete
  4. විලියම් ක්ශේක්ෂ්පියර් නම් ඔතෙලෝ වගේම වැනීසියේ වෙලෙන්දත් හැදුවා. අපේ උන් දන්නේ ඔතෙලෝ හදන්න විතරයි. මට දැන් ඔතෙලෝ ඇති වෙලා. මේකත් ඔතෙලෝම තමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා