එකක් කඩතොලු වසන්නට ගොස් නැතක් කඩතොලු හැදුණු කොටදෙනියාවේ ළමා ඝාතනය

"මගේ පුතා එදා නිවසේ නිදාගෙන සිටියේ. පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ උදේ පාන්දර එකපාරටම නිවසට පැමිණියා. පස්‌සේ ඔවුන් පුතාගෙන් නොයෙකුත් දේ විමසන අතරේ පුතාගේ කාමරය අවුස්‌සමින් ඊයම් කොළ හෙව්වා. ඒ පුතා මත්කුඩු පානය කරන බව පවසමින්. එත් ගෙදර තිබුණු ඊයම් කොළයක්‌ නැහැ. පස්‌සේ ඔවුන් පුතාව අරගෙන යන්න ගියා.

“මම එදිනම සවස කොටදෙණියාව පොලිසියට පුතා බලන්න ගියා.. ඒත් දරුවා බලන්නවත් පොලිසිය මට ඉඩ දුන්නේ නැහැ. පොලිසියේ හිටපු උසස්‌ නිධාරියෙක්‌ ඉතාම කෝපයෙන් පහත් විදිහට මට බැණ වැදුණා. මම පොලිසියෙන් අහන්නේ ඇයි අපිට එහෙම කළේ කියලා. මගේ පුතා වරදක්‌ කළේ නැහැ. ඒ බව මම නිවසට ආපු පොලිස්‌ නිලධාරින්ට පුන පුනා කිව්වා. නමුත් ඔවුන් මට කන් දුන්නේ නැහැ. මහා මිනීමරුවෙක්‌ අරන් යනවා වගේ මගේ දරුවා අරගෙන ගියා.

“මම පොලිසියේ මහත්වරුන්ගෙන් අහන්නේ එකම දෙයයි. මගේ දරුවා තවමත් අවුරුදු දහහතක පාසල් ශිෂ්‍යයෙක්‌. කොහොමද මේ වගේ අවමානයක්‌ කළාම ඔහු සමාජයට මුහුණ දෙන්නේ. දරුවා ලබන වසරේ අපොස උසස්‌ පෙළ වභාගයට පෙනී සිටිනවා. මගේ දරුවා ඉගෙනීමට දක්‍ෂයි. ඔහු පහ වසර ශිෂ්‍යත්වය පවා සමත් වුණු දරුවෙක්‌. මගේ දරුවට අනාගතේ විවාහයක්‌වත් කර දෙන්න මට බැරි වන තත්ත්වයක්‌ නිර්මාණය වේවි. ඒකට වග කියන්න පොලිසියට පුළුවන්ද?"

මේ සැප්තැම්බර් 24දා දිවයින පුවත්පතේ වාර්තාවකින් ගත් කොටසක්. කතා කරන්නේ කොටදෙණියාව අකරන්ගහ පදිංචි පුෂ්පා ශ්‍රියානි ය. පසුගියදා කොටදෙනියාව පොලිසිය විසින් සේයා දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළේ ඇගේ 17 හැවිරිදි පුතාවයි.

මේ ඒ ගැන සැප්තැම්බර් 21දා දිවයින පුවත්පතේ ම පළ වූ වාර්තාවෙන් කොටසක්:

“කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ බරපතල සැකයක්‌ මතුවී ඇතැයි පොලිස්‌පති එන්.කේ. ඉලංගකෝන් මහතා "දිවයින"ට පැවසීය

“දැනටමත් ඒ පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක්‌ පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර ඒ ඔස්‌සේ සිදුකරන විමර්ශන අනුව ඝාතකයා කොටු කර ගැනීමට හැකි වනු ඇතැයිද පොලිස්‌පතිවරයා සඳහන් කළේය.

"සැක සහිත පුද්ගලයන් දෙදෙනාගෙන් එක්‌ අයකු සතුව තිබූ ලැප්ටොප් පරිගණකයක්‌ පොලිසිය භාරයට ගෙන ඇති අතර එහි සම්පූර්ණයෙන්ම අසභ්‍ය වීඩියෝ දර්ශන ගබඩා කර තිබූ බවද පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

"එම පරිගණයකය මේ වන විට වැඩි දුර විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යවා වාර්තාවක්‌ ලබා ගැනීමටද පොලිසිය කටුයුතු කර තිබේ.

"සිදු කරගෙන යනු ලබන විමර්ශන අනුව සේයා ඝාතනයේ සැකකරුවන් ඉක්‌මනින්ම කොටු කර ගැනීමට හැකි වනු ඇතැයිද සඳහන් කළ පොලිස්‌පතිවරයා මෙය අභිරහසක්‌ වීමට පොලිසිය කිසිසේත්ම ඉඩක්‌ නොතබන බවද පැවසීය.

“මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනකු මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද පොලිසිය කටයුතු කර තිබේ.

“සේයා ඝාතනයට සම්බන්ධ ඝාතකයා නිශ්චිතව හඳුනා ගැනීම සඳහා පොලිසිය දැනටමත් ජීව විද්‍යාත්මක පරීක්‍ෂණ ගණනාවකට යොමු වී ඇති අතර දැනට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ සේයා ළැදැරියගේ සිරුරේ තිබූ කොටස්‌ සන්සන්ධනය කර ඩීඑන්ඒ පරීක්‍ෂණයක්‌ සිදු කිරීමටද පියවර ගෙන ඇත."

මෙම වාර්තා දෙක ම ලියන්නට සමන් ගමගේ නම් මාධ්‍යකරුවා සම්බන්ධ වී ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

මෙම වාර්තාකරණයේ ඇති ගැටලු කීපයක් පෙන්වා දෙන්නට කැමැත්තෙමි. “සැක සහිත පුද්ගලයන් දෙදෙනාගෙන් එක්‌ අයකු සතුව තිබූ ලැප්ටොප් පරිගණකයක්‌ පොලිසිය භාරයට ගෙන ඇති අතර එහි සම්පූර්ණයෙන්ම අසභ්‍ය වීඩියෝ දර්ශන ගබඩා කර තිබූ බවද පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත."

තවත් වාර්තාවල සඳහන් වන ආකාරයට මෙම ලැප්ටොප් පරිගණකය ඉහත සඳහන් කළ බාල වයස්කාර සිසුවාට අයිති එකකි. කිසිදු පරිගණකයක් සම්පූර්ණයෙන් ම අසභ්‍ය වීඩියෝ දර්ශනවලින් පුරවන්නට බැරි ය. සාමාන්‍යයෙන් පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය හා වෙනත් මෘදුකාංග ස්ථාපිත කිරීම සඳහා පරිගණකයේ සැලකිය යුතු ඉඩක් වෙන් වේ. ‘අසභ්‍ය' වීඩියෝ නැරඹීමට ඇබ්බැහි වූ වැඩිහිටි පුද්ගලයකු හෝ සිය පරිගණකය සම්පූර්ණයෙන් ම එවැනි වීඩියෝ දර්ශනවලින් පුරවා ගනු ඇතැයි සිතිය නො හැකි ය. එසේම, ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ නැරඹීම සඳහා ඒවා පරිගණකයේ ගබඩා කර ගත යුතු නැත. ඒවා නැරඹීමේ පහසුකම් ලබා දෙන වෙබ් අඩවි ඕනෑ තරම් තිබේ. පසුගිය ආණ්ඩුව සමයේ මෙවැනි වෙබ් අඩවි ගණනාවක් ලංකාවේ සිට නැරඹිය නො හැකි අන්දමට බාධා පනවන ලදී. ඒවා තවමත් එසේ ය. මෙවැනි කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවට උපදෙස් දෙන අය මෙම විෂය ගැන කෙතරම් ගැඹුරු අවබෝධයක් ඇති අය ද යන්න ඇත්තෙන් ම ගැටලුවකි.  

අනෙක් පැත්තෙන් අසභ්‍ය යයි කියන වීඩියෝ බැලීම අපරාධයක් ලෙස සැලකිය හැකි තරම් අමුතු වැඩක් නො වේ. මේ පාසල් සිසුවා ඒවා බලන ඉතා සීමිත පිරිසක් අතරින් එක් අයෙකු ලෙස සැලකිය නො හැකි ය. මෙවැනි වීඩියෝ දර්ශන කිසිදාක නරඹා නැති අය ඒවා ගැන අසාමාන්‍ය පරිකල්පන නිර්මානය කරගෙන ඇති බව පෙනේ. ඒවා බලා තිබෙන ඇතැම් අයත්, පොලිසිය හා ආණ්ඩුවත් හැසිරෙන්නට උත්සාහ කරන්නේ ඒවා නරඹා නැති ගැමියන්ගේ මානසිකත්වයෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සිසුවා බරපතල අගතියකට පත් වූයේ ය. 

පොලිසිය ඔහු හා තවත් පුද්ගලයෙක් රිමාන්ඩ් කළේ ඇයි ද යන්න බරපතල ප්‍රශ්නයකි. ඔවුන්ගේ ඩී.එන්.ඒ. සහ ඝාතකයාගේ ඩී.එන්.ඒ. නො සැසඳෙන බව දැන් පොලිසිය ම පවසයි. පරීක්ෂණ මෙහෙයවීම සඳහා සැක සහිත පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ යුතු ම ද? අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් කිරීම කළ යුත්තේ පරීක්ෂණයේදී සැලකිය යුතු දුරට සාක්ෂි තහවුරු වුණොත් නොවේ ද? මව්පියන්ගෙන් යැපෙන බාල වයස්කාර පාසල් සිසුවකුට අධිකරණයෙන් පළා යාමට හෝ සාක්ෂි විනාශ කිරීමට තරම් හැකියාවක් තිබේ ද? පොලිසියේ ක්‍රියාකලාපය නිසා ඔහු සියදිවි නසා ගන්නට ඉඩ තිබෙන තත්වයක් නම් නිර්මානය වී තිබේ. රිමාන්ඩ් සිරගෙදර ඔහුට තිබෙන ආරක්ෂාව කුමක් ද? මෙවැනි බරපතල අපරාධ සම්බන්ධයෙන් සැකයට භාජනය වන්නන්ට සමාජය දක්වන ප්‍රතිචාරය මෙම පාසල් සිසුවාට රිමාන්ඩ් බන්ධනාගාරයේදී කුමන අන්දමින් බලපාන්නට ඇද්ද? 

මෙම සිසුවාගේ ලැප්ටොප් පරිගණකය ගැන අතිශයෝක්ති වාර්තාව මාධ්‍ය වෙත ලබා දෙන්නට ඇත්තේ පොලිසිය විසිනි. කිසිදු පැහැදිලි සාක්ෂියකින් තොරව සැකකරුවකු පමණක් බවට පත් වී තිබෙන බාල වයස්කාර පුද්ගලයකුගේ අතිශය පෞද්ගලික ජීවිතය පිළිබඳ එවැනි තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමත්, මාධ්‍ය ඒවා වාර්තා කිරීමත් කෙතරම් සදාචාරවාදී ද? ළමයකු සම්බන්ධයෙන් මේ අන්දමින් කටයුතු කිරීම අපචාරයක් නො වන්නේ ද? එසේ පිළි ගන්නේ නම්, එයට වගකිවයුතු පොලිසිය හා මාධ්‍ය වින්දිතයාට වන්දි ගෙවන්නේ කුමන ආකාරයෙන් ද?

මෙම අපරාධයේදී ජනමාධ්‍ය කටයුතු කළ ආකාරය අතිශය නින්දිත ය. විශේෂයෙන් ම, සිංහල පුවත්පත් හා සමාජ මාධ්‍ය කටයුතු කළේ අතිශය ආචාරධර්ම විරෝධී ස්වරූපයකිනි. දරුවාගේ මළ සිරුර හමු වූ අවස්ථාවේ මාධ්‍යකරුවන් දරුවාගේ පියා එක එක ආකාරයට තබමින් නිරුවත් මළ සිරුර ඡායාරූප හා වීඩියෝගත කරන්නට යාම හේතුවෙන් පියාත්, ජනමාධ්‍යකරුවනුත් අතර ගැටුමක් ඇති විය. ජනමාධ්‍ය විසින් පියා ද, මව ද, දරුවාගේ සීයා ද සැකයට භාජනය කරන ලදී. පවුලේ ගැටුම් හා පියාගේ අතීත සිද්ධි අතිශයෝක්තියට නඟමින් ඔවුන් වැරදිකරුවන් බවට පත් කරමින් ඔවුන්ගේ ජීවිත බරපතල අනතුරුදායක තත්වයකට පත් කරන ලදී. 

පොලිසිය විමර්ශන කරන ආකාරය අතිශය අපූරු ය. ඔවුන්ගේ සැකයට භාජනය වන හැම දෙයක් ම සැණෙකින් ජනමාධ්‍ය වෙත දැනුම් දෙන ආකාරය දැකිය හැකි ය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තුන්වන සැකකරුවකු ද දැන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් පිළිබඳව ද කලින් සැකකරුවන් පිළිබඳ සේ ම අනාවරණය කිරීම් හා පූර්ව විනිශ්චයන් සම්පාදනය සිදු වෙමින් තිබේ. 

බරපතල අපරාධයක් ඉදිරියේ ලංකාවේ වගකිවයුතු ආයතන හා සමාජය හැසිරෙන්නේ තනිකරම අයුතු ජනරාශියක් ලෙසයි. පසුගිය කාලයේ නම් පොලිසිය කළේ සැකකරුවන් නඩු විභාගයකින් තොරව මරා දැමීමයි. අධිකරණය, රජය හා සමාජය ඒ සැකකරුවන් ඝාතනය අනුමත කරමින් සැකකරුවන් ඝාතනය කළ මිනීමරුවන්ට නීතිමය මුක්තිය ලබා දුන්නේ ය. දැන් ඒවා සිදු වන්නේ නැත්තේ ආණ්ඩුව මුක්තිය ලබා දීමට සූදානම් නැති නිසා බව පැහැදිලි ය. සැකකරුවන් මරා දැමීමේ වගකීම සම්බන්ධයෙන් පෞද්ගලිකව කටයුතු කරන්නට සිදු වූ කල පොලිසිය තුළ සිදු වී තිබෙන පරිවර්තනය නිරීක්ෂණය කළ විට පසුගිය කාලයේ සිදු වූ ඝාතන හා ආණ්ඩුව අතර සම්බන්ධය පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන. 

එහෙත් තවමත් රන්ජන් රාමනායකගේ, සජිත් ප්‍රේමදාසගේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දක්වා ම දේශපාලන නායකයන් අයුතු ජනරාශි සමග රැල්ලට ගහගෙන යන්නට සූදානම් බව පසුගිය දිනවල මේ අය කළ මරණ දඬුවම ගැන කළ ග්‍රාම්‍ය ප්‍රකාශවලින් පෙනිණි. දේශපාලකයන්, වගකිවයුතු ආයතන හා ජනමාධ්‍ය දක්වා ම කටයුතු කරන ස්වරූපය විසින් පැරණි ප්‍රස්ථාව පිරුළක් සිහිපත් කරයි. “එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා - නැතක් කඩතොලු හදා දුන්නයි කම්මලේ ආචාරියා."

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ලංකාවේ ගුණදාස අමරසේකර, විමල් වීරවංශ වැනි සමහර පිස්සු බල්ලන් කොච්චර බිරුවත් බී.බී.සී. ආයතනය මොන තරම් සංයමයකින්, ශික්ෂණයකින් සහ වෘත්තියභාවයකින් ප්‍රවෘත්ති ගෙන එනවාද යන්න හොඳට ම වැටහෙනවා "දිවයින", "ලංකාදීප", "මවුබිම" හා "ලක්බිම" වැනි කඩමාලු කියවත්දී. වසර දෙකක පමණ සිට The Island පත්තරයත් ඒ කඩමාලු ගණයට වැටී තිබෙනවා. The Sunday Times පත්තරයත් කඩමාලු ගණයට වැටෙමින් තිබෙනවා යන්න මගේ නිරීක්ෂණය යි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඕනම කුණුගොඩක් කොපමණ නරක් උනත්,ගඳ ගැහුවත් විකුණා ගන්න හදන තැනකයි අද අපේ මාධ්‍ය ඉන්නේ.සමහර සිදුවීම් අතිශෝක්තියෙන් වර්තා කරන්නේ හරියට තමන් බලන් හිටියා වගේ.

      Delete
  2. සමහර වැඩ ගැන හිතන්නත් හිරිකිතයි!

    ReplyDelete
  3. ඔච්චර අපි බනින, මිනිස්සු පාරේ ටොයිලට් යනවා කියන ඉන්දියාවේ පවා අර සමුහ දූෂණයට ලක්වුන තරුණියගේ එක පින්තූරයක්වත් පත්තර, ටීවී වල නොයවා ඉන්න තරම් උන් සංවර වුනා. තිබුණ උද්ඝෝෂණ එකකදිවත් ඒ තරුණියගේ නමවත්, පින්තුරයක්වත් තිබුණේ නැහැ, තිබුනේ අන්වර්ථ නාමයක්. ඒකට අපේ වුන්. නිවුස් නැතුව වේලිලා, මේ වගේ එකක් ආවහම මාස ගානක් කන්න නැතුව හිටපු බලු රැලක් වගේ චාරයක් නැතුව මරාගෙන කනවා.

    මම දැක්කා ගොසිප් සයිට් එකක දාලා තිබුණා සේයා දියණිය මැරෙන්න කලින් දවසේ අම්මයි තාත්තයි ෂියයි එක්ක කරපු කතා, ,සේයා මියයන්න කලින් පැවසු වදන් කියලා, හිරිකිතයි...

    අර කොල්ලටත් අන්තිමට වුනේ මේක. ඇන්කර් තහනම ගැන වචනයක් නොකියපු, කොකාකෝලා ගැන වචනයක් නොකියනු මීඩියා අර කොල්ලව විකුණගෙන කෑවා. ලැප් එකේ පෝන් තියෙන එකා දුෂකයෙන් නම් මම හිතන්නේ ලංකාවේ කම්පුයුටර් තියෙන අයගෙන් සියයට අනුවක්වත් දූෂකයෝ

    ReplyDelete
  4. ඔය සමන් ගමගේ කියන බෝතල් පත්තරකාරයා ගිය ඉරිදා දිවයිනට ලියල තිබුන ලිපිය දැක්කද?යකෝ මූ හිතාගෙන ඉන්නෙ නෙට් කැෆේ යන වයසක අය ඒකට යන්නෙම පොර්න් බලන්න විතරයි කියලා.මුන් වගෙ බූරුවො ලියන ඒවා කියවන එවුන්ටත් මොලයක් නෑ.අර ඒ කාලෙ ජේ.ආර්.පප්පා විපක්ශ නායක වෙලා ඉන්න කාලෙ ආන්ඩුවෙ දිනමින පත්තරේ වර්ජනය කරන්න හොඳ කැම්ෆේන් එකක් කලා.දිවයිනටත් ඒ වගෙ කලොත් හොඳයි.

    ReplyDelete
  5. ශ්‍රී ලාංකීය ගවේෂනශීලී මාධ්‍යකරණය පැරා !!! :D
    ඕ යේස් …

    ReplyDelete
  6. කියන්න තිබෙන සියල්ල ලිපියේ කියා තිබෙනවා. ඒ ගැන සතුටුයි. ඇත්තටම මේ සියල්ල ආරම්භ වුනේ සේයා දැරියගේ නිරුවත් ඡායාරූප ගන්නට මාධ්‍ය උත්සාහ කළැ විට ඇගේ පියා එය වැළැක්වූ පසුයි. ඔහු සමග වෛර බැදගත් මාධ්‍ය ඔහු සමාජය ඉදිරියේ වරදකරුවෙක් කළා.එහි ප්‍රතිඵ්ලය දෙමවුපියන්ට තම දරුවාගේ සොහොන ලගටවත් යාමට ඉඩ නොදීමයි. අයුති ජනරාශියේ නියුතු වූවන් තාත්ත එලියට ගනිවු කියමින් ජනෙල් වලින් එබිකම් කළා. අයුතු ජනරාශියෙන් ඔහුට හානියක් වුනානම් මාධ්‍ය මාෆියාව ඊට වගකියනවාද

    දෙවෙනි කරුණ නිවසට එන අය සැකකිරීමයි.පාසල් සිසුවා හා ටයිල් බාස් අත් අඩංගුවට පත්වන්නෙ එලෙසයි.මෙතන තව පැත්තක් හිතන්න වෙනව. ටයිල් බාස්ල, ටී වී හදන අය, ජලනල කාර්මිකයො,පාන්කාරයො,කිරිකාරයො ,මනිබඩු වෙළෙන්දො වගෙ අය බරපතල අකර්මන්‍යතා රක්ෂනයක් දාගන්න වෙනව.මොකද ඔවුන් යන ගෙදරක අපරාධයක් වුනොත් ඔවුන් ඔලමොට්ටල පොලිස්කාරයන්ගෙ සැකයට භාජනය වෙන නිසා. ඊට පස්සෙ අල්ලගෙන ගිහින් වැරැද්ද අපිළිගන්න කියල ඇට කුඩු කරනව. මේක තමා මහලොකු විමර්ශනය.

    ඩී එන් ඒ තාක්ෂනය නොවුනානම් පාසල් සිසුවා සහ ටයිල් බාස් එල්ලුම්ගහට යනකම්ම පොලීසියත් මාධ්‍යත් ක්‍රියාකරනවා.

    මේ තත්වය හැමදාම තිබිය යුතුද. බියගම කොටේජ් ඝාතනය හා මීරිගම තරුණිය දූෂනය හා ඝාතනයේදී විශාල පිරිසක් පොලිස් වධ නිසා සදාකල් ආබාධිත වෙලා. සමහරුන්ට තරුණ වියේදීම අංශභාගෙ හැදිලා.

    මේ අයට පොලීසියෙන් වන්දි ගන්න ක්‍රමයක් අවශ්‍යයි. වධදීම් වලට සම්බන්ධ පොලිස්කාරයන්ගෙන් පුද්ගලික මුදලින් එම වන්දිය ගත යුතු අතර එම පොලිස්කාරයන් ගේ සේවය ටර්මිනේට් ම කළ යුතුය. ඉන්ටඩික්ට් කරල හොරාගෙ අම්ම විසින් කරන බොරු විනය පරීක්ෂන නොකර.

    ලැප්ටොප්වල අසභ්‍ය දර්ශන වලට කෙනෙක් සැකකරනවනම් මසාජ් ක්ලිනික් ගනිකා මඩම් අස්සෙ රිංගන පොලිස්කාරයො ගැනනෙ මුලින්ම සැකකරන්න ඕන.

    සාධාරන සැකයක් හා මූලික විමර්ශන වලින් තොරව අත් අඩංගුවට ගැනීම ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගැනීමෙන් නිදහස යන අයිතිය උල්ලංඝනය කිරීමක්.

    ඒ වගේම මේ සිද්ධිය වෙලාවෙ අයුතු ජනරාශීන් උසිගැන්වූ දේශපාලනඥයන් ගෙ ක්‍රියාවත් හෙළා දකින්න ඕන.

    ReplyDelete
  7. විදේශ රටවල පදිංචි සමහර අයත් දෙසැම්බර් මස මවුරටට පැමිණෙන බැවින් සිංහල බ්ලොග් කරුවන් එකතුවීමට දෙසැම්බර් මසදී සාදයක් සංවිධානය කිරීමට හැකියාවක් ඇත. මේ සඳහා සහ අනාගතයේ එවන් සංවිධාන කටයුතු සඳහා උපකාරී වීමට sinhala blogger ෆේස් බුක් පිටුවට එක් වන්න. සියළුම සාමාජිකයන් ඇඩ්මින් වරුන් ලෙස පත්කෙරෙන බැවින් සියළුම අයට එක හා සමාන අයිතිවාසිකම් ඇතිවනු ඇත. මෙය ඔබේ බ්ලොග් එකේ කමෙන්ටුවක් ලෙස කොපි කරන්න.

    ReplyDelete
  8. ඔය සැකකාරයා දිවයින "මාධ්‍යවේදි"(?)යෙක් ගේ යාලුවෙක් එහෙම නම් බංධනාගාරයට ගොස් ඔහුව සම්මුඛපරික්‍ෂණයකට ලක්කොට මම මේකට සම්භන්ධ නෑ . මට මේ දවස්වල අපලයි වගේ ප්‍රවෘත්තියක් ඉරිදා දිවයිනේ පලකරයි( සත්‍ය සිදුවීමකි)

    ReplyDelete
  9. මගේ ලැප් එක එහෙම ගත්තා නම් විනාශයි...

    ReplyDelete
    Replies
    1. මං ලැප ෆෝමැට් කරලම දැම්මා :D

      Delete
    2. මං මේ ගැන දාන්න හිතපු කෙමෙන්ටුව ඔළුව ඇතුලෙම ඩිලීට් කරල දැම්ම බන්. හෙහ් හෙහ්

      Delete
  10. මාධ්‍ය , සමාජ ක්‍රියාකාරිකයින් සහ ජනතාව මෙවැනි ගැටලුවක් ඇතිවු විට විවිධ ආකාරයෙන් හැසිරෙන්නේ ඇයිද යන් පිලිබදව අප විමසිල්ලෙන් අධ්‍යනය කල යුතුය. බොහෝ මාධ්‍ය, ගොසිප් සහ සමාජ ජාල වල සිටින විචාරකයින් මෙන්ම බොලොග් ලියන පුද්ගලයන් සහ රටේ සිටින බහුතරයක් අද දවසේ ඇතිවී තිබෙන තත්වයන් පිලිබදව පවසමිින් සිටිනුයේ කුමක්ද, ඒ සදහා ඔවුන් මෙහෙයවමින් සිටිනුයේ කවුරුන් විසින්ද

    මේ පිලිබදව ප්‍රසිද්ධියේ සියල්ලන් දොෂාරොපණය කරනු ලබන මාධ්‍ය යනු සමාජ අවශ්‍යතාවයක් වෙනුවෙන් ක්‍රියාත්මකවන හෝ ඒ වෙනුවෙන් මෙහෙයවන ආයතනයක් හෝ නොවෙයි. මාධ්‍ය ආයතනවල ප්‍රධාන ඉලක්කය වන්නේ වැඩි ලාභයක් උපයා ගැනීමය. ඒ සදහා ජනප්‍රියවීම සහ අනෙක් මාධ්‍යට පෙර සහ වෙනස් ආකාරයේ තොරතුරු සැපයිමක් සිදුකර යුතුව ඇත. එබැන් අද මෙන්ම හෙටද ඔවුන් විසින් සියලුම සිද්ධින් විවිධ ක්‍රෙමා්පායන් භාවිතා කරමින් ජනප්‍රිය කරනු ඇත.

    සමාජජාල වල සියල්ල ප්‍රසිද්ධ කරමින් සිටින පුද්ගලයන්ගේ හැසිරීම මාධ්‍යවලට වඩා යම් තරමක් වෙනස්වන අතර මෙහි බොහෝ පුද්ගලයන්ට ප්‍රසිද්ධ වීමට අවශ්‍යතාවයක් නොමැති අතර ඇත්තේ තමන් ජිවත්ව සිටින බවත් මෙවැනි සිද්ධින් පිලිබදව තමන් සංවේදි බවත් පරිඝණක තිරයක් ඉදිරියට ගොස් ප්‍රකාශ කිරිමය.

    බොලෙග් කරුවන් බහුතරයකටද මාධ්‍ය මෙන් අවශ්‍යතාවයක් නොමැති අතර ඔවුන් නිදහසේ තමන්ගේ හැගිම් ප්‍රකාශ කිරිම සදහා සහ මෙවැනි ගැටලුවක් පිලිබදව තමන්ගේ මතය ප්‍රකාශකර ගැනීමට කටයුතු කරමින් ඇ.

    බහුතරයක් ජනතාව එන රුල්ල සමග නැගි සිටින අතර ඒ අනුව පොයට බණ ඇසීමද, මැතිවරණයේදි දුෂණ හා යහපාලනයද මෙවැනි අර්බුධයකදි අපරාධ කරුවන් එල්ලිමටද, ආදී දිනෙන් දින මාධ්‍ය උඩ දමන බෝල වලට පහර දෙමින් සිටියි

    සියල්ලන්ම යතුර නැතිවු තැන වෙනුවට සොයමින් සිටිනුයේ එලිය තියෙන තැනය එය වඩාත් පහසු හා වෙහෙසකර නොමැත. අප ඉහත පිලිතුරු සොයමින් සිටින ජනතාව යොමුකල යුතුව තිබෙනුයේ එලිය තිබෙන තැනට නොව යතුර වැටි ඇති තැනටය.

    පොලිසිය මගින් විධිමත් පරික්ෂණයක් සිදුකිරීම, චුදිතයින්ට සහ අපරාධකරුන්ද මිනිසුන් ලෙස සැලකීම , ජනමාධ්‍ය සදාචාරත්මක වීම, සහ ජනතාව පවතින තත්වය අවබෝධ කරගනු ඇත්තේ සහ පවතින ආකල්පයන් වෙනස්කල හැකි වනුයේ මිනිසුන් වෙනස් කිරීමකින් පමණක් වනු ඇත.

    පොලිසිය මගින් නිවරදි අපරාධකරුවා අල්වා ගනු ඇතයි හෝ දැනට අල්ලාගෙන ඇත්තේ සැබෑ අපරාධකරුයැයි (සමහරවිට පොලිසියට තමන්ගේ ගැලවීම සදහා චොදනා සහිත වෙනත් දුබලයකුද අපරාධකරු කිරීමට හැකිය) විශ්වාස කිරීමෙන් හා ඔහුට දඩුවම් ලබාදීම හෝ එල්ලා මරා දැමිමෙන් සියල්ල විසදෙන්නේ නැත.

    අප ඇතිවී තිබෙන ගැටලුව පිලිබද සමාජයක් ලෙස මෙවැනි ගැටලු සදහා විසදුම් සෙවිම ආරම්භ කල යුතුව ඇත.
    පාසල් නොගිය කැලෙ පනිමින් සිටි පුද්ගලයකු ශික්ෂණය කිරීමට සමාජයට නොහැකි වී තිබෙන්නේ තමන්ගේ ළමයා පමණක් සමාජයේ උසස් කෙනෙකු කිරීමටත් අනෙකා පරාජය කිරීමත් පමණක් සමාජය මගින් පුරුදු කරන නිසාද?
    දොර ජනෙල් ඇරගෙන නිදාගත් දෙමාව්පියන්ට බයින ජනතාව දොර ජනෙල් වලින් වලින් ආරක්ෂාවීමට දගලන්නේ කාගෙන්ද?තමන් සමග සිටින සමාජයෙන් ? නැත්නම් සතුන් සහ සර්පයින්ගෙන් පමණක්ද ආරක්ෂාවීමටද?
    මෙවා පිලිබදව අවධානය යොමු කරමින් ආරක්ෂිත සමාජයක් ගොඩ නැංවිය යුතුය.

    ReplyDelete
  11. ආරක්ෂිත සමාජයක් ගොඩ නැංවීම සදහා එකිනකා විශ්වාස කරන, අර්බුධයන්හිදි හැගිම් වලින් තොරව සාමුහිකව පිලිතුරු සොයන ආකල්පයන් සමාජයට කාන්දු කල යුතුය. මෙවැනි තත්වයන් සහ හැසිරිම් විසින් අපට පෙන්වා දෙන්නේ සමාජයක් ලෙස අප කොතරම් අපේක්ෂා බංගත්වයකට පත්වී තිබෙද යන්නය.
    පොදුවේ ජනතාව ඉල්ලා සිටින්නේ අපරාධ කරුවාගෙන් අපව ඉක්මනින් ආරක්ෂා කර දෙන ලෙසය ඒ වෙනුවෙන් අපරාධකරු ඉතාමත් ඉක්මනින් නිරාවරනය කරන ලෙසත් ඔහු එල්ලා මරා දමා හෝ අපට ජිවත්වීමට පරිසරය සාමකාමි කර දෙන ලෙසත්ය.
    මෙවැනි පුද්ගලයන් මගින් මාහට අපරාධයක් විය හැකිබව සොයාගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් සහ නීතී සැදිමට කතා කරන ජනතාව අපරාධ අවම කරගැනීම සදහා ක්‍රමවේදයක් ඉල්ලා සිටින්නේ නැත.
    එමෙන්ම සමාජයක් ලෙස එකිනකා අතර විශ්වාසය පලුදුකර සහ අර්බුධයන් සහිත සමාජයක් සකස්කර ඇති පාලකයින් මේ මොහොතේදි සිදුකරමින් සිටින්නේ එන රුල්ල සමග තමන්ද අපරාධවලට විරුද්ධ බව පෙන්වීමටය.

    ReplyDelete
  12. දැන් ලස්සනම සෙල්ලම මේ ක්‍රමේ විවේචනය කරන්නත් පටන් අරන් තියෙනවා ඔය කියන මාධ්‍යයම එක එකාට ඇඟිලි දික් කරමින්.. නොදකින් කියල තමයි කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මෙන්න සුපිරි අදහස්... මං නම් දැං tv news බලන්නෙ ම නෑ. ඊට වඩා හොඳයි ඒ වෙලාවෙ නිදා ගන්නව. Jokes කියල හිතන් එකත් දිගටම බෑ න‍ෙ.

      Delete
  13. ලංකාවේ මිනිස්සුන්ගේ මනස විත්තිකරුවෙක්ගේ, චූදිතයෙක්ගේ හෝ අපරාධකාරයෙක්ගේ මානුෂික අයිතිවාසකම් හඳුනා ගන්න හෝ පිළිගන්න තරම් පරිනත වෙලා නෑ. ඕනම සිද්ධියක් අරන් ඒක අල්ලගෙන සති දෙක තුනක් ආතල් එක අරගෙන මාසයක් යද්දි සහමුලින්ම අමතක කරලා දානවා (අමතක වෙනවා). මෙතන තියෙන්නේ ඒ ආතල් එකට පරපීඩික කාමුකත්වය එකතු කරන්න යාම. එතකොට පට්ට ආතල්. ඒ පට්ට ආතල් එක ගන්න ඕනෑම මනුෂ්‍යය ජීවියෙක්ව අල්ලගෙන හපයක් වෙන තුරු විනාශ කරලා දාන්න ලංකාවේ බහුතරයකගේ ජනමනස ලෑස්තියි. ඒ තරම්ම නොසංසිඳුන අවශ්‍යතාවයක්, පිපාසයක් තියෙන්නෙ.

    ReplyDelete
  14. මෙම අයුතු ජන රාශියන්වල ආරම්භය වුනේ පුවඟුදූවේ විද්‍යා කියන දෙමළි මරාදැමීමේ සිදුවීමෙනුයි.
    එහිදී මෙරට මාක්ස්වාදීන් එම ජනරාශියට එක්වූයේ දෙමළුන් වීම නිසාම එය මර්ධනයට එරෙහි වුනා ඔවුනුත් මෙයට වගකිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. මොකාද මේ සිංහලෙන් වාක්‍යයක් ලියන්න දන්නෙ නැති බූරුවා?

      Delete
  15. Para consider editing the title of the post, the folk saying is "එකක් කඩතොලු මකාගන්නට ගොසින් මට උන් කාරියා
    සියක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. එහෙත් මේ ප්‍රස්ථාව පිරුළ මෙහෙමත් කියවෙනවා නේද? එය ලිපියේ කතා කරන දේවලට එතරම් අදාළ නැති නිසා මෙහෙම ම තබනවා.

      Delete
  16. කුණු රසට ආශක්තවීම අපට පරිණාමයෙන් ම උරුම වෙච්චි දෙයක්. නමුත් ලංඅනෙක් මිනිස්සු තමන් ජීවත්වන පරිසරයෙන්, සමාජයෙන්, අධ්‍යාපනයෙන් ලබා ගත්තු පෙරණයන් නිසා කුණු රස ලෝලිත්වය අඩු කරගෙන තියෙනව.
    අවසානවාකට ලංකාවෙ අපි තන්කර ම කුනු රසයට කැමතියි.. කැමති කුණු රසයට විතරමයි ද මන්ද..
    මේකට බොහෝ අය වගකිවයුතුමයි.
    තමන්ගේ පැවැත්ම සඳහා, සාහිත්‍යය කන්නද කියල අහපු රාජ්‍ය නායකයො හිටපු රටකින් ඊට වඩා දේ අපට බලාපොරොත්තු වෙන්නත් බැහැ.

    ReplyDelete
  17. ඔය ලැප්ටොප් කතාව ගැන මගේ අදහස් මීට කළින් අර ගූගල් අනාවරණය දවස්වලත් මං කිව්වා.
    අන්තර් ජාලයෙන් කුනුහරප බලන, ලැප් එකේ බ්ලූ ෆිල්ම් බලන එකා තමන්ගෙ ආශාවන් ඒවයින් සංතර්පණය කරගන්නවා. ඒක නොකරන එකාත්, එ්වායින් සෑහීමකට පත් වෙන්න බැරි එකාත් තමයි ප්‍රායෝගිකව තෘප්තිය ලබාගන්න හදන්නෙ. මම කියන්නෙ, මිනිස්සු වැඩිපුර “පෝර්න්“ බලන එකෙන් වෙන්නෙ යම් දුරකට කාමාපරාධ අඩු වෙනව කියන එක බවයි.

    ReplyDelete

  18. ඉන්දියාවෙ මාධ්‍ය එදා ක්‍රියාකරපු හැටි
    අති විශිෂ්ටයි. අපි තවමත් හිතාන ඉන්නෙ ඇගේ නම නිර්භයා කියල.

    ReplyDelete
  19. අත් අඩංගුවට පත් දරුවාගේ මවගේ අනන්‍යතාව හෙළි කිරීමෙන් වැලකුණා නම් හොඳයි. සමහර මාධ්‍ය දැනටමත් එය හෙළිකර ඇති. නමුත් එය තව දුරටත් පැතිරවිය යුතු නෑ.

    ReplyDelete
  20. අසික්කිත වැඩක් කලේ මාධ්‍ය.දැන් අර දරුවගෙ හිතේ මොනවගේ වෛරයක් පිරිල ඇද්ද.ඌ අනාගතේදී ඇත්තම අපරාධකාරයෙක් වෙන්න තරම් දරුණු වෙලා ඇති මෙලාකට

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා