ඇමති මණ්ඩලය ගැන කතා යට කතා

මේ දිනවල රටේ කතාබහට පත් වන ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවේ ඇමති මණ්ඩලයයි. ඇමති තනතුරු බෙදා දී තිබෙන ආකාරය අනුව යහපාලන බලාපොරොත්තු සුන් වී තිබෙන බව ඇතැමෙක් පවසති. මතුපිටින් බැලූ කල එහි ඇත්තක් ද තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණ ව්‍යාපාරයේදී කුඩු, එතනෝල්, ව්‍යාපාරිකයන්, මැරවරයන් මහජන නියෝජිතයන් බවට පත් වීමට එරෙහිව දැවැන්ත ප්‍රචාරණයක් සිදු විය. එහෙත්, මෙවර ද ජනතාව එවැනි පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් කළ අතර ඇමති මණ්ඩලය පත් කිරීමේදී ද එවැනි පුද්ගලයන්ට තනතුරු ලබා දී තිබේ.

එමෙන්ම, පසුගිය මැතිවරණවලදී යහපාලන විරෝධී මහින්ද රාජපක්ෂ සමග ඉදිරියෙන්ම සිටි පිරිසකට ද මෙවර ඇමති තනතුරු හිමි වී තිබේ. ශ්‍රීලනිපයෙන් ඇමති තනතුරු සඳහා පත් කරන ලද පිරිස කෙරෙහි සමාජයේ බලවත් විරෝධයක් දැකිය හැකි ය. එම ඇමතිවරුන් දෙස බලද්දී කිව හැකි දෙයක් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ශ්‍රීලනිපයේ මහින්ද රාජපක්ෂ කඳවුර දුර්වල කර තම බලය තහවුරු කර ගැනීම බවයි. තවත් කැබිනට් ඇමති තනතුරු දෙකක් විවෘතව තබා තිබෙන්නේ මහින්ද කඳවුරේ තවත් ප්‍රබලයන් දෙදෙනෙකු වෙනුවෙන් විය හැකි ය. මහින්දගේ ප්‍රබල හිතවතුන් ඇමතිකම් ඇමට දමා බා ගැනීමෙන් ජනාධිපති මෛත්‍රීපාල බලාපොරොත්තු වන්නේ මහින්ද දුබල කිරීමයි. එහෙත්, ඇතැමුන් මෙම තනතුරු භාර ගන්නේ මහින්ද රාජපක්ෂ කඳවුරේ උවමනා මත ම වන්නට පුළුවන. පසුගිය දිනෙක දිවයින පුවත්පතේ මුල් පුවතේ පළ වූ ප්‍රවෘත්තියකින් කියවුණේ මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ගය ඉදිකිරීම ආදී සංවර්ධන ව්‍යාපෘති නතර කර මත්තල ගුවන් තොටුපළ වී ගබඩාවක්‌ ලෙස දිගට ම පවත්වාගෙන යැමට කටයුතු කරනවා නම් තමන් ජාතික ආණ්‌ඩුවෙන් ඉවත් වන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර පැවසූ බවයි. මෙම ප්‍රකාශය කැබිනට් සාමූහික වගකීමට පටහැණි, විනයක් නැති කතාවකි. හවුල් ආණ්ඩුව තුළ දැඩි විනයක් පවත්වාගෙන යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී කටයුතු කරනු ඇත.

සියයක් පමණ වන ඇමති මණ්ඩලය විවේචනය කිරීමේදී සැලකිල්ලට ගනු ලබන තවත් වැදගත් සාධකයක් වන්නේ අමාත්‍යවරුන්ගේ වැටුප් හා වරප්‍රසාද වෙනුවෙන් යන අධික වියදමයි. එහෙත්, ඇත්තෙන් ම රාජ්‍ය සේවයේ සිට ලක්ෂ 15ක් වන කාඩරයට යන වියදම සමග සන්සන්දනය කර බැලූ විට මේ වියදම එතරම් විශාල නැත. මේ රජයේ සේවකයන් අතර මහින්ද රාජපක්ෂ රජය විසින් බඳවා ගන්නා ලද කිසිදු ඵලදායී සේවාවක් සපයන විශාල පිරිසක් වෙති. මෙම රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම ඇත්තෙන් ම ඇමති තනතුරු සංඛ්‍යාව අඩු කිරීමට වැනි ම වැදගත් පියවරකි. එහෙත්, කිසිවෙක් ඒ ගැන කතා නො කරති.

ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පියවර ගැනීමට ඉදිරි කාලයේදී රජයට සිදු වේ. මෙම අවස්ථාව සමාජයේ දැවැන්ත කැළඹීමක් ඇති කරන අවස්ථාවක් වනු ඇත. එය මහින්ද රාජපක්ෂ කඳවුරට කදිම අවස්ථාවක් පාදා දෙන්නට ඉඩ තිබේ. මේ වන විටත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආර්ථික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන්නට පටන් ගෙන තිබේ.

එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණ ලෙස බොහෝ දෙනෙක් දකින්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබා ගැනීමයි. එහෙත්, ඒ හා සමාන ම වැදගත් කාරණයක් වන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණයි. මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ ප්‍රධාන අරමුණ වන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණවලදී අවශ්‍ය ශක්තිය ලබා ගැනීමයි.

මේ වන විට රට ඉදිරියේ තිබෙන ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමේදී ඇඟ රිදෙන, ජනප්‍රිය නො වන ක්‍රියාමාර්ග ගැනීමට අනිවාර්යයෙන් ම සිදු වේ. නිදසුනක් ලෙස විනිමය පාලනය ඉවත් කිරීම නිසා මේ වන විටත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම අඩු වී බඩු මිළ ඉහළ යාමට පටන් ගෙන තිබේ. රට හමුවේ තිබෙන ආර්ථික අභියෝග ජයගැනීම සඳහා කටයුතු කිරීම පහසු නැත.

සරළව කිවහොත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් භාර දී ගොස් තිබෙන්නේ කුණු වූ ආර්ථිකයකි. විශාල වශයෙන් ණය ගනිමින්, දූෂණය ඔස්සේ ඒ ණයෙන් සැලකිය යුතු පංගුවක් සොරකම් කරමින්, ඉතිරිය ද ඵලදායී නො වන ව්‍යාපෘතිවල යොදවමින් රට විශාල ණය බරක ගිල්වා තිබේ. එපමණක් නොව, රාජ්‍ය අංශය අනවශ්‍ය තරම් ප්‍රසාරණය කිරීමෙන් රාජ්‍ය වියදම් තවත් ඉහළ නංවා තිබේ. වියදම්වලට සාපේක්ෂව රාජ්‍ය ආදායම් පවතින්නේ ඉතා දිළිඳු තත්වයක ය. රජයේ සමස්ත ආදායම ම වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නො වේ. ණය පොළී හා වාරික අයත් වන ණය සේවා වියදම් සඳහා මුදල් සපයා ගැනීමට සිදු වී තිබෙන්නේ තව තවත් ණය ගැනීමෙනි. දිගු කාලයක් තිස්සේ මෙය කිරීමෙන් රජය අන්තයක් කරා තල්ලු වී තිබිණි. කවර පාලකයෙක් බලයේ සිටියත් ආර්ථිකය කඩා නො වැටී පවත්වාගෙන යාමට නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නට සිදු වීම අනිවාර්ය ය. එම ක්‍රියාමාර්ගවලින් වැඩිපුර ම පීඩාවට පත් වන්නේ සමාජයේ දිළිඳු ම කොටස් ය.

පසුගිය අයවැයෙන් යෝජනා කරන ලද එක් වරක් පමණක් අය කරනු ලබන බදු පිළිබඳ විරෝධයක් මේ වන විට ද ව්‍යාපාරික ප්‍රජාව වෙතින් ද මතු වී තිබේ. සුවිසල් මන්දිරවලින් අය කරන බද්ද, ඉහළ ලාභ ලබන සමාගම්වලින් අය කරන බද්ද ආදී අයවැයෙන් යෝජනා කරන ලද සුවිශේෂ බදු හා සම්බන්ධ පනත් නව ආණ්ඩුව විසින් ගෙන එයි ද යන්න මේ වන විට සාකච්ඡාවට භාජනය වී තිබේ.

මේ අතර, නොවැම්බරයේ ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය සැකසීමට පෙර මුදල් ඇමති රවි කරුණානායක ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පසුගිය 09දා සිය කාර්යාලයේදී හමු වී සාකච්ඡා කළේ ය. ඉදිරි අයවැය යෝජනා ඉතා වැදගත් ය. නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති එමගින් පැහැදිලිව ප්‍රකාශයට පත් වනු ඇත.

රජයේ ආර්ථික ප්‍රතිපත්ති යොමු වන්නේ නව ලිබරල්වාදය දෙසට ද නැති නම් සීමා සහිත ලිබරල් ප්‍රතිසංස්කරණ වෙත ද යන්න අයවැයෙන් ප්‍රකාශ වනු ඇත.

ඇමති මණ්ඩලය සුවිසල් වීම ඇත්තෙන් ම ලංකාවේ දේශපාලන සංස්කෘතියේ 1977 සිට ක්‍රමයෙන් ගොඩනැගී මහින්ද රාජපක්ෂ පාලන සමයේ කූටප්‍රාප්තියට පත් වූ ගැටලුවකි. දිස්ත්‍රික් සමානුපාතික නියෝජනය හේතුවෙන් මන්ත්‍රීන් එකිනෙකා අභිභවා බලවත් වීමට යොමු වීම ද මෙයට එක් හේතුවකි. කොට්ඨාස නියෝජනය හඳුන්වා දී කලක් ගත වන විට මෙම තත්වය වෙනස් වන්නට ද පුළුවන. තේරී පත් වීම සඳහා තම කොට්ඨාසයේ ජනතාවට සේවය කිරීම කෙරෙහි ප්‍රමුඛතාව දක්වන්නට සිදු වීම එයට හේතුවයි. 

අනෙක් පැත්තෙන්, යෝජිත අමාත්‍යාංශ අධීක්ෂණ කමිටු ක්‍රමය ක්‍රියාත්මක වන්නේ නම් ඇමතිවරුන්ට අසීමිත ලෙස බලතල භාවිතා කරන්නට අවස්ථාව නැතිව යනු ඇත. එසේම, වරප්‍රසාද භුක්ති විඳීමට වඩා කාර්යසාධනය කෙරෙහි අවධානය යොමු කිරීමට ඇමතිවරුන්ට බල කළ යුතු ය. ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බල කළ යුත්තේ ඇමතිවරුන් මැනැවින් නියාමනය කරන්නට ය. කෙටියෙන් කියනවා නම්, ඇමති තනතුරු භාර දුන්නා වගේ ම කොන්ද කැඩෙන වැඩ කොටසක් ද ඇමතිවරුන්ට භාර දිය යුතු ය. 

ඇමති මණ්ඩලය සුවිසල් වීමේ ගැටලුව විසඳා ගැනීමේ මාර්ගය වැටී තිබෙන්නේ ඇමතිවරයාගේ දේශපාලන වටිනාකම අවම කිරීම ඔස්සේ ය. ඇමතිවරයකු යනු හිතුමතේ බලය පාවිච්චි කරන්නකු නොව, ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කරන්නකු හා ඒවා ක්‍රියාත්මක කරන්නකු බවට පත් කළ විට, ඇමතිවරයා යනු රැකියා දෙන, කොන්ත්‍රාත් දෙන, ඇලඩින්ගේ පුදුම පහන අතින් ගත් පුද්ගලයකු බවට පත් වන්නේ නැත. එවිට ජනතාවට වරප්‍රසාද ලබා ගැනීම සඳහා ඇමතිවරයා පසුපස ගාටන්නට සිදු වන්නේ නැත. ඇමති තනතුර අමතර බරක් බවට පත් වන විට හා තම කොට්ඨාසයේ ජනතාවට සේවය කිරීම ඊට වඩා ප්‍රමුඛ කාර්යයක් බවට පත් වන විට මේ ඇමති පෙරේතකම යම් දුරකට පාලනය වනු ඇත. 

අවසානයේදී කියන්නට ඇත්තේ මේ ප්‍රශ්නයේ වගකීම මුළුමනින් ම දේශපාලකයන්ට පමණක් පැවරිය නො හැකි බවයි. රටේ ජනතාව ලෙස අප අත ද එහි වගකීමෙන් සැලකිය යුතු පංගුවක් තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පවතින සියලු ආණ්ඩු වියදම් කරමින් සිටින්නේ රටේ සමස්ත මහජනතාවගෙන් උපයා ගනු ලබන සෘජු හා වක්‍ර බදු මුදල්ය. සියලු ව්‍යපාරිකයින් සහ ආයතන මගින් ගෙවනු ලබන මුදල්ද නැවත සේවකයන්ගෙන් හෝ පරිභෝගිකයන්ගෙන් අය කර ගෙවන බැවින් අවසාන වශයෙන් මෙම පාලකයන් කරන සියලුම සුදු ඔට්ටු ඇල්ලීම් වලට වන්දි ගෙවීමට සිදුවන්නේ බහුතරයක්වන පිඩිතයන්ටය.
    නැවත වටයකින් තමන් සුදු ක්‍රිඩාවෙන් පරාජයට පත්වන අවස්ථාවන් වලදි එහි බරද ජනතාවට දරා ගැනීමට සිදුවී ඇත. මහින්ද විසින් ජනතාව ඔට්ටු අල්ලා ගන්නා ලද ණය හා සිදුකරන ලද නාස්තිකාර වියදම් වෙනුවෙන් සහ ඒවා පෙන්වා බලයට පැමිණ රනිල් ඇතුලු නඩය ඉදිරියෙදි කරන ඔට්ටු ඇල්ලිම්වල පාඩුවද ජනතාව වෙත පැවරීමට බලා සිටින අතර යහපාලනය වෙනුවෙන් පෙනි සිටි පිරිස් දැන් දැන්ම එවා සාධාරණිකරණය කිරීමට බලා සිටියි.
    ආර්ථිකය අර්බුධයක තිබෙන බැවින් අප කල යුත්තේ අපෙන් එකතු කරන මුදල් පාලකයන් වියදම් කරනතුරු පටි තදකරගෙන සිටිමද
    මොවුන් නැවත නැවතත් මහින්ද පෙන්වමින් ජනතාව පිඩාවට පත් කරමින් සිටියි. මහින්ද විසින්ද කරණු ලැබුයේ මෙයම බව දැන් සියල්ලනටම අමතක වී ඇත.
    පටි තදකරගෙන සිටිමෙන් ලැබෙන කෙංගෙඩියක් නොමැත. අපේ මුදල් වියදම් කරන ආකාරය අප විසින් තිරණය කල යුතුය. ඒ සදහා බලය ධනපතින්ගේ බත් බැලයන්ට ලබා දී බලා සිටිමෙන් කිසිවක් සිදුනොවේ. සියලු ආකාරයෙන් පිඩාවට ලක්කර ඇති ජනතාව ක්‍රම වෙනසක් වෙනුවෙන් සංවිධානය කිරීම හැර මේ මොහොතේ පැලැස්තර විසදුම් වලින් පිඩිතයන්ට ලැබෙන සෙතක් නැත.
    පිඩිතයන් සංවිධානය වන තුරු උඩ බලාගෙන ඉන්නද යන්න මගෙන් අහන්නේ නැතුව ඒ වෙනුවෙන් කිසිවක් කිරීමට නොහැකිනම් පිඩිතයන්ට පටි තදකරගැනීමට උපදෙස් ලබා නොදෙන්න

    ReplyDelete
    Replies
    1. Hats offf lokka hats off.. Pattama comment eka..

      Delete
    2. මහජන මුදලින් වැටුප් ලැබෙන ස්ථිර රැකියාවක් තිබෙන, කරන වැඩ ප්‍රමාණයට සරිලනවැටුපක් ලැබෙන, අමතර ආදායම් මාර්ග ද ඇති, සිංහල, බෞද්ධ, ගොවිගම පිරිමියකු වන මම නම් පීඩිතයෙක් නොවෙමි. මට නිතර හමු වෙන ලක්ෂ 15ක් පමණ වන රජයේ සේවකයෝ බහුතරයක් මා වැනි අය වෙති. ඔය කියන පීඩිතයන් සංවිධානය කිරීමේ ව්‍යාපාරවල ඉඳගෙන පොරටෝක් දෙන අය අතර මෙවැනි අය සෑහෙන්න සිටිති.

      ඇත්ත පීඩිතයන් වන පෞද්ගලික අංශයේ කම්කරුවන්, කුලී ශ්‍රමිකයන්, වතු කම්කරුවන්, ගෘහ සේවකයන්, මැද පෙරදිග ශ්‍රමිකයන් වැනි අය කී දෙනෙක් ඔය පීඩිතයන් සංවිධානය කරන ව්‍යාපාරවල නායකත්වය හෝ සාමාජිකත්වය ගෙන ඉන්නවාදැයි සොයා බලන්න.

      පීඩිතයන්ට අවශ්‍ය නැති සංවිධානය කිරීම් පීඩිතයකු නො වන මට අවශ්‍ය නැත. මට අවශ්‍ය දැනට තිබෙන තත්වයන් වඩා හොඳ මට්ටමකට ගෙන ඒම සඳහා කරන දේශපාලනයකි.

      මම කිසිවෙකුට පටි තද කර ගැනීමට යෝජනා කර නැත. මා කියන්නේ තිබෙන තත්වයයි. ඇත්තයි. පෙනෙන විසඳුම් හා කළ හැකි දේවලුයි.

      පීඩිතයන් සංවිධානය කර විප්ලවය කර ඉන් පසු මේ සියලු ප්‍රශ්න විසඳීමට සිටින අය එසේ කර ගත්තාට අපට ප්‍රශ්නයක් නැත. එහෙත්, අපේ අදහස් පළ කරන්නට තිබෙන අයිතිය අපි පාවිච්චි කරන්නෙමු.

      Delete
    3. දැනට වඩා හොද තත්වයක් ඇති කිරීම තමයි අවශ්‍ය ඒ සදහා ඔබ කියන කරුණු තාවකාලිකව සුදුසුයි සැබවින්ම අවශ්‍ය වන්නේ ශ්‍රමය ඵලදායි ලෙස යෙදවෙන ක්‍රමයක් සකස් කිරීම
      ඒ සදහා රජයේ සේවයේ සිටින බහුතරයකගේ ශ්‍රමය සඵලදායි කිරීමවගේ දේවල් කරන්න වෙනව ඒ වගේම රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කරල අනවශ්‍ය ප්‍රමාණයට බදවාගෙන ඇති සේවකයින්ට විධිමත් වැඩපිලිවෙලක් හදන්න ඕන ත්‍රීවිල් රියදුරන්, හමුදා සාමාජීකයින් ආදී සේවා සැපයිමේ තියෙන තරුණ ශ්‍රමය නීශ්පාදන කේෂත්‍රයට ගෙන ඒම වගේ දේවල් කරන්න වෙනව

      කවුද එවා හදන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ පවතින ආණ්ඩුවලට නිශ්චිත වැඩපිලිවෙලක් නැහැ මිනිස්සුන්ගේ ජිවිත ගුණාත්මකව සංවර්ධනය කරන්න. ඔවුන්ට අවශ්‍ය ලාභය සහ චන්ද පමණයි

      ඒක නිසා යහපාලන නඩය හෝ මහින්ද පසුපස යෑමෙන් මේ ප්‍රශ්නය විසදෙන්නේ නැහැ. ඒක නිසා මේකට විකල්පයක් හදන්න ඕන.

      ප්‍රශ්නය තියෙන්නේ පිඩිතයන් සංවීධානය නොවෙන එකම තමයි දැනට පිඩිතයන්ට අවශ්‍ය නැතිවෙලා තියෙන සංවීධානය වීමේ අශ්‍යතාවය ඇති කරන්න ඕන.

      එහෙම නැතුව සිංහල නිසා අනෙක් සුලු ජාතින්ද, බෞද්ධ නිසා අනෙකුත් ආගම් අදහන අයද, ගොවිගම හින්ද පහල කුලවල අයද පිරිමියෙක් නිසා කාන්තාවන්ද පිඩාවට පත්කලා කියල පිඩිතයෙක් නොවි තියෙන්නේ නැහැ.

      Delete
  2. owa kiyapan lokka konde bandapu cheenunta..

    ReplyDelete
  3. ඔබ වැන්නෙක් මෙලෙස අතිශය පක්ෂග්‍රාහීව කරුණු දැක්වීම කණගාටුදායකයි. මේ කරුණු පෙර ආණ්ඩුව කාලයේත් ඔබට කිව හැකිව තිබුනා. වැරැද්ද වැරද්දමයි. කව්රු කලත්..

    ReplyDelete
  4. පැරා කොයිතරම් පුරසාරම් දොඩමින් හීන මැව්වත් මේ ආණ්ඩුව වැඩි කල් දුවන්නේ නෑ.

    ReplyDelete
  5. හයියෝ පැරා බ්‍රෝ,ද දැන්වත් ඔය මහින්ද එහෙම කෙරැව‍ෙ හින්දා යහපාලන ආන්ඩුවත් එහෙම කරන එක සාදාරනීකරනය කරන එක නවත්තන්ඩකෝ. ඇත්තටම කෝ ඔයාලාගේ යහපාලනය.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියල මොකටද? හැමෝම කයිය ගහනවා විතරයි. කරන්න ගියාම හැමෝම එකම ගූ හැලියේ. ඒවා හෝදන මිනිස්සුත් ඒ ගූ හැලියෙම තමයි.

      Delete
  6. පැරා ඔබ ගැන මෙසේ ලිවීමට සිදුවීම ගැන කනගාටුයි ඔබ ගලේ පහරපු බලලෙක් බවට පත් වි ඇත ඔබට වඩා සුනන්ද දේශපිය තමන්ගේ හෘදසාක්ෂිය අවධිකර ඇත http://www.lankaenews.com/news/2683/si මේ ලිපිය ඔබ බලන්නට අතැයි සිතේ කරැණාකර සිහිනයෙන් මිදෙන්න

    ReplyDelete
    Replies
    1. පැරාලා හැමදාම ජීවත්වුණේ හීන ලෝකවල තමයි.

      Delete
  7. අපි නම් ආණ්ඩු වෙනස් කිරීමේ ව්‍යායාමයට උර දුන්නේ ඔබ මෙන් සියලු ප්‍රශ්න එක රැයින් විසඳෙනු ඇතැයි සුබ සිහිනයක හිඳිමින් නො වේ. ඉදිරියේදී මුහුණ දෙන්නට තිබෙන ගැටලු ගැන අපට හොඳ අවබෝධයක් තිබිණි. ඒ නිසා ආණ්ඩුවට ගන්නට සිදු වන ක්‍රියාමාර්ග ගැන අපි දැන සිටියෙමු.

    ඔබ කියන්නට හදන අයුරින් අප නම් රැවටී නැත. එසේ ම, අපි අතගැසුවේ ආණ්ඩුකරණය සමග සම්බන්ධව කටයුතු කරන දේශපාලනයකට නිසා අපි පැන දුවන්නේ ද නැත.

    තමන්ට ගෝචර නො වන දේ දුටු විට පළා ගොස් බැන වදින නාස්තිකවාදී දේශපාලනය ඉතා සරළ ය. ඒකට හෘදය සාක්ෂිය අරක මේක කියාගන්නටත් පුළුවන. එහෙත්, රට යහපත් අන්දමින් වෙනස් කළ හැක්කේ දුෂ්කර තත්වයන් යටතේ අරමුණ වෙනුවෙන් කැප වීමෙනි. වත්මන් ගැටලු නිරීක්ෂණය කළ යුත්තේ ඒ අන්දමිනි. ඒ නිසා ඒ ගැටලු දුටු පමණින් අපි වියරු වැටෙන්නේ නැත. ප්‍රශ්න විසඳා ගැනීම පහසු නැත. කාලය ද ඒ සඳහා අවශ්‍ය සාධකයකි.

    ආණ්ඩුව සමග සිටිමින් විවේචනය කිරීම අපගේ මේ මොහොතේ ස්ථාවරයයි. ආණ්ඩුවට හා එහි නායකයන්ට මුහුණ දෙන්නට සිදු වී තිබෙන ගැටලු වනාහි මේ රටේ දේශපාලන සංස්කෘතියෙන් මතු වන ගැටලු ය. එම තත්වයන් ඇති වීමට මේ රටේ මහජනතාව ද සැලකිය යුතු දායකත්වයක් සපයා ඇති බව අමතක කළ නො හැකි ය.

    නිදසුනක් ලෙස මේ වන විට බරපතල ම ප්‍රශ්න මතු කර තිබෙන ඇමති තනතුරු දුන් ශ්‍රීලනිපයට මෙතරම් බලයක් අරගෙන දුන්නේ කවුරුද යන්න කල්පනා කර බලන්න.

    ReplyDelete
  8. පැරාගේ මුලිකවම ඉලක්කය විසදී ඇතැයි මම සිතමි. දැන් ඇත්තේ තියෙන හකුර රැක ගැනීම විය හැක. එය එසේම විය යුතුය. නොමැති නම් රටට ගොඩට හෝ වලට යාම තීරණය කල නොහැක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා