ජනතාවනි, අවදියෙන්! මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අන්ත ජාතිවාදී අවධිය එළඹෙයි

පැවැත්වෙමින් තිබෙන මැතිවරණ ව්‍යාපාරය මෑත ඉතිහාසයේ පැවැත්වුණු සාමකාමී ම මැතිවරණ ව්‍යාපාරය ලෙස දැනට හඳුන්වන්නට පුළුවන. රාජ්‍ය අනුග්‍රහයෙන් මැතිවරණ දූෂණ හා මැරවරකම් සිදු නො වන නිසා ඉදිරි දෙසතියක පමණ කාලය තුළදී ද සාමය අපේක්ෂා කළ හැකි ය.

බොහෝ දෙනා මේ වන විටත් තමන් ඡන්දය දෙන පක්ෂ තීරණය කර හමාර ය. ගැටලුවකට තිබෙන්නේ මනාප අංක පිළිබඳ දැනුවත් කිරීම පමණි. ඒ වෙනුවෙන් දිගු කාලයක් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඇදගෙන යාම තේරුමක් නැති වැඩක් වී තිබේ. එය ආර්ථිකයට බරකි. ජනතාවට කරදරයකි. ඉදිරි මැතිවරණවලදී මේ ගැන සිතිය යුතු ය. ජනමාධ්‍ය අද තරම් දියුණු නැති යුගයකදී මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් ලබා දුන් තරම් දිගු කාලයක් දැනුත් අවශ්‍ය ද? 

ගිය අවුරුද්දට සාපේක්ෂව ජනමාධ්‍ය බෙහෙවින් මධ්‍යස්ථ ය. රූපවාහිනී සංවාද දේශපාලන සංවාදයේ ප්‍රධාන මෙවලම බවට පත් වී තිබෙන අතර ප්‍රධාන පක්ෂවලට ඒවායේ සාධාරණ අවස්ථා ලැබී තිබේ. රැස්වීම් යනු හුදෙක් බලය පෙන්වන සංදර්ශන බවට පත් වී තිබේ. මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයේ මූලික අරමුණ වී තිබෙන්නේ සෙනග ප්‍රදර්ශනයයි. ඒ වෙනුවෙන් රැස්වීමෙන් රැස්වීමට යන පසුපස එන පිරිවරක් හෙවත් බෑන්ඩ්වැගන් එකක් නිර්මානය වී තිබේ. එහෙත් මේ රැළිවල දක්නට ලැබෙන්නේ ජයග්‍රහණයේ ප්‍රීතියෙන් ප්‍රමෝදයට පත් පිරිසකට වඩා සිය නායකයාට අත් වී තිබෙන ඉරණම ගැන දුකින් හඬා වැළපෙන පිරිසකි.

අද වන විට උණුසුම් මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ ජාතික රගර් කණ්ඩායමේ ක්‍රීඩක හා හැව්ලොක් පිලේ නායක ලෙස කටයුතු කළ වසීම් තජුඩීන්ගේ මරණයයි. 2012දී සිදු වූ මෙම මරණය පිළිබඳ යට ගසා තිබුණු පරීක්ෂණය දැන් නැවත මතුපිටට පැමිණ තිබේ.  මහින්ද රාජපක්ෂගේ දෙවන පුතා වන යෝෂිත රාජපක්ෂ සමග සම්බන්ධයක් තිබුණු බව කියන හසාරා අබේනායක හා සම්බන්ධ සිද්ධියක් මත වසීම් තජුඩීන් ඝාතනය කරන ලදැයි යෝෂිත රාජපක්ෂ සැකයට භාජනය වී තිබේ. මරණය රිය අනතුරකින් සිදු වූවක් නොව ඝාතනයක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දැන් පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් කැඳවා තිබේ.

මෙම සිද්ධිය මතු වීම මහින්ද රාජපක්ෂ යුගය ගැන යළි සිහිපත් කිරීමට ඉවහල් වේ. මහින්ද රාජපක්ෂ බලයේ සිටියා නම් මෙවැනි සාමකාමී ඡන්ද ප්‍රචාරණයක් තිබේදැයි සිතා ගැනීමෙන් පවා ජනතාව තමන් භුක්ති විඳින නිදහස ගැන අවබෝධ කර ගත හැකි ය.

මැතිවරණයේදී තමන්ට අවාසි බව දැනෙන විට මහින්දවාදීන්ට සිහිපත් වන්නේ සුපුරුදු ජාතිවාදයයි. 2015 ජනවාරි 08දා දක්වා එය ඔවුන්ට අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂධයක් විය. මෙවර ඒ ජාතිවාදී බෝම්බය පත්තු කර තිබෙන්නේ විමල් වීරවංශවත් නො වේ. ඩලස් අලහප්පෙරුම ය. විමල් වීරවංශ යනු මේ වන විට උවමනාවට වඩා පාවිච්චි කිරීමෙන් ම වැඩකට නැති තත්වයට පත් වී තිබෙන වැසිකිළි මදින බුරුසුවක් බව එයින් පෙනේ. ඩලස් යනු හදිසියකට පිස් පෝච්චියක් මැද ගැනීමට මහින්ද විසින් ඉතිරි කර තබා ගන්නා ලද බුරුසුවක් විය යුතු ය.

දෙමළ සන්ධානය සිය දේශපාලන හා මැතිවරණ ක්‍රියාවලියේදී එක්‌සත් ජාතික පක්‍ෂයත් සමග අභ්‍යන්තර කතිකාවක්‌ මගින් එකඟතාවකින් කටයුතු කරන බවත් එම එකඟතාව වහාම රටට හෙළිදරව් කළ යුතු බවත් ඩලස් අලහප්පෙරුම පසුගිය සතියේ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ ය. 

මේ වනාහි 2005දී මහින්දගේ ජයග්‍රහණයට ඉවහල් කර ගත් අසාධාරණ අලි කොටි ගිවිසුම් කතාව නැවත වතාවක් කරළියට ගෙන එන්නට දරන නින්දිත උත්සාහයකි. එහෙත්, අලි කොටි කතාවේ නිර්මාපකයන් වූ මහින්ද රාජපක්ෂලා ඡන්දය දිනා ගැනීම වෙනුවෙන් මැතිවරණ වර්ජන ව්‍යාපාරයක් හරහා දක්වන ලද සහයෝගයට හිලව් ලෙස රාඩා සංවිධානය හරහා කොටින්ට කප්පම් ගෙවූ හැටි දැන් හෙළිදරව් වී හමාර ය. සුනාමි ව්‍යසනයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ජනයා සඳහා නිවාස සපයා දීමට යැයි අඟවමින් රාඩා හෙවත් ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සිය හරහා රු. මිලියන 125ක් කොටි සංවිධානයට ලබා දීම සම්බන්ධයෙන් දැන් විමර්ශනයක් සිදු වේ.

උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කරවීම, එම ප්‍රදේශ ස්‌වයං පාලනයට යටත් කිරීම, ජිනීවා වාර්තාව ක්‍රියාත්මක කරවීමට ජාත්‍යන්තරව ක්‍රියාත්මක වීම, උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට ජාත්‍යන්තරය මැදිහත් කර ගැනීම, ත්‍රස්‌තවාදීන් ලෙස සිරගත කර ඇති සියලු සිරකරුවන් නිදහස්‌ කිරීම එම එකඟතාවේ ඇතුළත් බව ඩලස් අලහප්පෙරුම පවසයි. 

දෙමළ ජාතික සන්ධානය එකම රටක් තුළ ෆෙඩරල් ස්වරූපී බලය බෙදීමක් ඉල්ලා සිටියි. එසේම, උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කරන ලෙස ද ඉල්ලා සිටියි. ඒවා දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ සටන් පාඨ මෙන් ම දේශපාලන අරමුණු ද වේ. එසේම, ඒවා අලුත් ඉල්ලීම් ද නො වේ. දෙමළ ජනතාව අතර එක් කලෙක බලවත් වූයේ වෙන ම රාජ්‍ය ඉල්ලීම බව අපි අමතක නො කළ යුතු ය. මහින්ද රාජපක්ෂ බලයේ සිටියදී පවා දෙමළ දේශපාලන වැඩසටහන විසින් ඉලක්ක කර ගනු ලැබුවේ ජාත්‍යන්තර මැදිහත්වීමකින් පැවැත්වෙන ජනමතවිචාරණයක් ඔස්සේ වෙන ම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කර ගැනීමයි. දෙමළ ජාතික සන්ධානය ඉතා පැහැදිලිව එකම රටක් තුළ බලය බෙදා ගැනීමක් වෙනුවෙන් අරගල කරන පක්ෂයකි.

පශ්චාත් විමුක්ති කොටි අවධිය තුළ ජාතික පදනමින් බලය බෙදීම යන සංකල්පය තව දුරටත් යුක්තියුක්ත ද යන්න සාකච්ඡා කළ යුතු ය. මන්ද, අප සිටින්නේ යුද්ධයෙන් සය වසක් ඉක්ම ගිය, ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් එක්ව අරගල කර ජය ගත් ලංකාවක ය.

එහෙත්, සාකච්ඡා හා සංවාද මාර්ගයෙන් ගොඩනගා ගන්නා යම් භූගෝලීය ඒකක ක්‍රමයක් ඔස්සේ, රටට ගැලපෙන ආකාරයකට බලය බෙදා ගැනීමෙන් රාජ්‍ය පාලනය තව දුරටත් ප්‍රජාතාන්ත්‍රික වේ. එසේම, තමන්ගේ ප්‍රදේශ පාලනය හා සංවර්ධනය පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමේ අවස්ථාව ද ජනතාවට හිමි වේ.

රටට ගැලපෙන බලය බෙදා ගැනීමක් පිළිබඳ සාකච්ඡා නො කර, සිංහල සමාජය තුළ නිශේධනීය සංඥාර්ථ ඇති කිරීමට හේතු වී තිබෙන ෆෙඩරල් සංකල්පය යළි ඉදිරිපත් කිරීම දෙමළ ජාතික සන්ධානය පැත්තෙන් කරන අනුවණකමකි.

ඒ හා සමාන හා ප්‍රතිවිරුද්ධ අනුවණ පාර්ශ්වයන් සිංහල සමාජයේ ද සිටින බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ විසින් දක්වන ලද ප්‍රතිචාරයෙන් පෙනේ. ජවිපෙ තවමත් ඉන්නේ බලය බෙදා ගැනීමෙන් අනිවාර්යයෙන් ම වෙන ම රාජ්‍යයක් නිර්මානය වේ යන 1987දී සිටි ජාතිවාදී, මුග්ධ ස්ථාවරයේ ම බව පෙනේ. දශක තුනක් තිස්සේ පළාත් සභා මේ රටේ ක්‍රියාත්මක වේ. ජවිපෙ ද පළාත් සභා නියෝජනය කරයි. 1987දී ජවිපෙ කී ආකාරයට පළාත් සභාවලින් රට බෙදී නැත.

දෙමළ ජාතික සන්ධානයේ ජාතිවාදී ඉල්ලීම් පරාජය කළ හැක්කේ ඒ හා සමාන තවත් ජාතිවාදයක් දකුණේ ඇවිලවීමෙන් නො වේ. දෙමළ ජනතාවගේ මධ්‍යස්ථ දේශපාලන ව්‍යාපාරය වන දෙමළ ජාතික සන්ධානය සමග දේශපාලනිකව ගැටීමෙන් හා එක්ව වැඩ කිරීමෙන් තත්වයන් වෙනස් කර ගත හැකි ය. අපි මේ ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් සොයා ගත යුතු ය. එය මගහැර යා හැකි නො හැකි ය.

දෙමළ ජාතික සන්ධානය මුහුණ දී සිටින ප්‍රශ්නය වන්නේ පළාත් සභාව ඔස්සේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට බැරි වීමයි. පසුගිය සමයේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට සිංහල ජාතිවාදී නායකයන්ට ද බැරි විය. ඒ විසඳුම් සොයා ගත හැක්කේ ජාතිවාදී පදනමින් නොව, ජාතික සමගිය හා රටට ගැලපෙන සංවර්ධන මාදිලියක් ඔස්සේ ය. 

ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව ජාතිවාදයට එරෙහිව නැගී සිටිය යුතු ය. 

මිනිසුන්ගේ පහත් ම රුචිකත්වයන් අවුස්සා ඡන්දය දිනා ගන්නට හදන මහින්ද රාජපක්ෂ කඳවුරේ ඩලස් අලහප්පෙරුම ඇතුළු ජාතිවාදී දේශපාලන නරුමයන් ඡන්දයෙන් පරදවා, පළවා හැරිය යුතු ය. 

- රාවය, 2015 - 08 - 02 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඇට අටෙන් පටන් ගත්තේ .....

    ඉවර උනේ
    01. කළු ජූලිය
    02. 83 වරජකයින් මරලා
    03. කලගෙඩි ලාම්පු නටලා
    04. කොල්ලෝ බුරුතු පිටින් මරලා
    05 ඉන්දියන් හමුදාව ගෙන්නලා.
    06 රාජ්‍ය ආයතන කුණු කොල්ලෙට විකුණලා
    07 අන්තිමට මහා බැංකුවටත් ගේම දීලා ...


    දැන් එන්න හදන්නේ ඇත මිට සරු කරන්නකියාගෙන
    කරන්න හදන්නේ

    01. ඉතුරුබැංකු ටිකට කෙලවන්න.
    (සුදීෂ මහත්තයෝ බැංකු ටිකට ගේම දෙන්න රනිල් ලොක්ක වැලි කෑවා නේද කලින් වතාවේ.)
    02. විදුලි බල මණ්ඩලයට කෙලලම දාන්න

    ReplyDelete
    Replies
    1. very good comment

      Delete
    2. ඇට අටෙන් පටන් ගත් එජාපය අවසන් කල තැනද 3.50 පාන් වලින් පටන් ගත් පොදු පෙරමුණ අවසන් කල තැනද සාම ගිවිසුමට එරෙහිව ඇරඹු එජනිසය අවසන් කල තැනද අතර ලොකු වෙනසක් නැත.
      යහපාලනයෙන් නැවත අරබන එජා පෙරමුණෙන්ද, අනාගතයට සහතික ලබාදෙන එජනි සංධානයෙන්ද අමුතු දෙයක් නොලැබෙනු ඇත

      Delete
  2. ඇයි දෙයියනේ මෙච්චර දෙයක් වෙලත් චන්දෙ දවසෙ දා රට ඉදන් ආපු මිනිස්සු ලක්ෂ 62 උබලගෙ වහල්හිමි මරාව එලෝගත්තෙ නේද.... අනිච්චේ සංසාරේ...

    ReplyDelete
  3. ඇට අටෙන් පටන් ගත් එජාපය අවසන් කල තැනද 3.50 පාන් වලින් පටන් ගත් එජනිස අවසන් කල තැනද අතර ලොකු වෙනසක් නැත.
    යහපාලනයෙන් නැවත අරබන එජා පෙරමුණෙන්ද අමුතු දෙයක් නොලැබෙනු ඇත.
    අප ජාති හා ආගම්වාදයට විරුද්ධ මතය වර්ධනය කල යුතුය. අප ජනතාවට අවධාරණය කල යුත්තේ ජිවත්වීමට සුදුසු නිවසක්, ඉඩමක් ජීවන ක්‍රමයක් නොමැති අපි පාලකයන්ගේ බල අරමුණු වෙනුවෙන් ඇට තලාගත යුතු නැති බව සහ පාලකයන් ජාතිය ආගම උතකර්ශයට ලක් කරනුයේ ජාතියට හෝ ආගමට ඇති භක්තියක් නිසා නොව ඔවුන්ගේ බලය පවත්වා ගෙන යාමේ අරමුණින් බව.

    පිඩිතයන්ට වැදගත් වනුයේ අපව පාලනය කරනුයේ සිංහලයෙක්ද, දෙමළෙක්ද, මුස්ලිම් කාරයෙක්ද යන්න නොව අපේ බලය අපි අත්පත් කර ගන්නේ කවදාද යන්නය. පාලකයන් අතර බලය බෙදා ගැනීම හෝ බදා ගැනීම වෙනුවෙන් වන අරගලයෙදි අප පෙනි සිටිය යුත්තේ පිඩිතයන් බෙදි නොයන පරිදි සහ පිඩිතයන්ගේ සහෝදරත්වය ආරක්ෂාවන පරිදිය.
    දැනට දකුණෙ සමාජ ව්‍යාපාරයන්ට උතුරේ නිර්ධනයින් සංවිධානය කිරිමට ඇති හැකියාව අවම බැවින්ද උතුරේ සමාජ ව්‍යාපාරයන්ට දකුණෙ නිර්ධනයින් සංවිධානය කිරිමට ඇති හැකියාව අවම බැවින්ද දකුණ සහ උතුර වෙන්වීම දක්වා බලය බෙදා ගැනීමක් නිර්ධන පාන්තිකයන්ට වැදගත් නැත. තම සහෝදරත්වය වර්ධනය කර ගනිමින් උතුරේ සහ දකුණෙ සමාජ ව්‍යාපාරයන් ගොඩ නැගිම සහ ජාති ආගම්වාදයට විරුද්ධව කොන්දේසි විරහිතව පෙනි සිටිම සමාජවාදය වෙනුවෙන් පෙනි සිටින්නන්ගේ වගකීමයි

    ReplyDelete
    Replies
    1. උතුර ඇතුලු සියලු පළාත් වලට බලතල ලබාදීම තුලින් නිර්ධනයන්ගේ කිසිවක් නැතිවන්නේ නැත.

      Delete
    2. හීන දකින්නෙක්. ඔය නිර්ධන පන්තිය ඉන්නෙ ඔහේගෙ ඔළුගෙඩියෙ. සැබෑ ලෝකයෙ ඔහොම නිර්ධන පන්තියක් නෑ. යූඇන්පියට සංධානෙට ඡන්දෙ දෙන්නෙ ඔය නිර්ධනයො තමා.
      නිර්ධන පන්තිය කියන්නෙ රැවුල් වවාගෙන රතු කමිස ඇදගෙන නන්දොඩවන අපතයො රෑනකට.
      වෙන කිසි එකෙකුට සමාජවාදයක් ඕන නෑ. හැමෝටම ඕන තම තමන්ගෙ දියුණුව

      Delete
  4. Ei, guy! 75 cysnide capsules have been arrested in the possession of an ex tiger militant is a news! But when it is mentioned, it is racism? What an idiot you are? When TNA says they want federal rule, should it not be spoken of? When tigers are organizing in secret, if I tell this news to someone is it a racism? You are really hypocrite! NGO kakkas only say this type of things!

    ReplyDelete
  5. @ Anonymous July 30, 2015 at 5:06 PM,,,

    ONLY BAYIYAAS LIKE YOU CAN WRITE THIS TYPE OF THINGS!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා