සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සමීක්ෂණය ඔස්සේ මැතිවරණ ප්‍රතිඵලය අනුමාන කිරීම

ඉදිරි මහ මැතිවරණයේදී මහජන මතය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කිරීමට හොඳ සමීක්ෂණ වාර්තාවක් නිකුත් වී තිබේ. සමීක්ෂණය කර තිබෙන්නේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය විසිනි. දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ට තම ප්‍රචාරණ ව්‍යාපාර හා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය කිරීමේදී ද එය ඉවහල් කර ගන්නට හැකියාව තිබේ.

මෙම ජනමත සමීක්ෂණය සඳහා දිවයින පුරා දිස්ත්‍රික්ක 22හි ම ගෘහ ඒකක 1500ක් ආශ්‍රය කරගෙන තිබේ. පුහුණු සමීක්ෂකයන් 80දෙනෙකු යොදාගෙන, ප්‍රශ්න 35ක ප්‍රශ්නාවලියක් ඔස්සේ ජුනි මස මුල් සතියේ කරන ලද එම ජනමත සමීක්ෂණයේ වැදගත් නිරීක්ෂණ මෙසේ පෙළගස්වා තිබේ.

මීට වසරකට පෙර පවුලේ පැවති ආර්ථික තත්වය හා දැන් ආර්ථික තත්වය සන්සන්දය කිරීමේදී වර්ධනයක් සිදු වී තිබෙන බව 37.5%ක් දෙනා පිළි ගන්නා අතර 38%ක් දෙනා පවසන්නේ වෙනසක් සිදු වී නැති බවයි. වර්ධනයක් සිදු වී ඇති බව පවසන අය අතර සුළුතර ජාතීන්ට අයත් අය වැඩි ය. තත්වය නරක අතට හැරී ඇති බව පවසන්නේ 23%ක් පමණි. සිංහලයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් (42%) ඉන්නේ තත්වයේ වෙනසක් සිදු වී නැත යන ස්ථාවරයේ ය. සිංහලයන් අතර තත්වය වර්ධනය වී ඇති බව හා පිරිහී ඇති බව කියන දෙපිරිස ම 27%ක පමණ මට්ටමේ සිටිති.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී දේශපාලන වටපිටාව තුළ වැඩි නිදහසක් දැනෙන බව සහභාගිකයන්ගෙන් අඩක් පමණ ම පිළිගනිති. 37%ක් පවසන්නේ වෙනසක් සිදු වී නැති බවයි. නිදහස අඩු වී තිබෙන බව කියන්නේ 9.3%ක් පමණි. මෙහිදී ද සුළුතර ප්‍රජාවෝ වැඩි නිදහසක් ලැබී ඇති බව පවසන අතර බහුතර සිංහලයන් වැඩිපුර පවසන්නේ වෙනසක් සිදු වී නැති බවයි.

සාමාන්‍යයෙන් ගත් කල 56.8%ක් ජනයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුව ගැන තෘප්තිමත් ය. අතෘප්තිමත් බව පවසන්නේ 33.6%ක් පමණි. ජාතික පදනමින් ගත් කල, සුළුතර ප්‍රජාවන් අතර තෘප්තිමත්භාවය ඉහළ තත්වයක පවතී. සිංහල ජනතාව අතර 35.5%ක් තෘප්තිමත් ය. 34.3%ක් තරමක් අතෘප්තිමත් ය. දැඩි ලෙස අතෘප්තිමත් බව ප්‍රකාශ කරන්නේ සිංහලයන්ගෙන් 12.9%කි. 

පසුගිය වසරට සාපේක්ෂව රටේ යටිතල පහසුකම් සංවර්ධනය වැඩි වී තිබේ ද, බිඳ වැටී තිබේ ද යන ප්‍රශ්නයට ලැබුණු ප්‍රතිචාරය මෙසේ ය: 20.2%කු් වර්ධනය වී ඇති බව පවසති. 28%ක් පවසන්නේ තත්වයේ වෙනසක් සිදු වී නැති බවයි. 43.6%ක් ම යටිතල පහසුකම් සංවර්ධනයේ තත්වය පිරිහී ඇති බව පවසති. සිංහලයන් අතරින් 55%ක් ම යටිතල පහසුකම් පිරිහී ඇති බව පවසති. වර්ධනය වී ඇති බව පවසන්නේ 9.3%ක් පමණි. සිංහලයන්ගෙන් 27.5%ක් පවසන්නේ තත්වයේ වෙනසක් නැති බවයි.  

මෛත්‍රීපාල සිරිසේන රජයේ වැදගත් ම ජයග්‍රහණය ලෙස සැලකෙන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිළිබඳව දැනුමක් ජනතාවගෙන් 71%කට ම නැත. සිංහලයන් අතර මෙම නො දැනුවත්කම වැඩි ය. එය 79%කි. දෙමළ ජනයා අතරින් 28%කට ඒ පිළිබඳ දැනුවත්භාවයක් තිබේ.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දැනුවත් පිරිස් අතර 75%ක් ජනයා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනාගතයේදී රටට සෙතක් වනු ඇතැයි විශ්වාස කරති. එම අදහස සෑම ජන කොට්ඨාසයක් අතර ම එක සේ දක්නට ලැබේ. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හානිකර එකකැයි විශ්වාස කරන 9.1%ක් සිටිති. ඒ අතරින් බහුතරය සිංහල ජාතිකයෝ ය.

පසුගිය වසරට සාපේක්ෂව මාධ්‍ය නිදහස ඉහළ තත්වයක තිබෙන බව 60%ක් ජනයා පිළිගනිති. මෙම පිළිගැනීම සිංහල ජනයා අතර 50%ක් වන අතර සුළුතර ජාතීන් අතර 69%ට වැඩි ය.

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 43.6%ක් දෙනා පසුගිය වසරට සාපේක්ෂව ජීවන වියදම අඩු වී තිබෙන බව පවසති. 25%ක් පවසන්නේ වෙනසක් සිදු වී නැති බවයි. ජීවන වියදම ඉහළ ගොස් ඇති බව පවසන ප්‍රතිශතය 29%කි. මෙහිදී ද සිංහල ජනයා අතර ජීවන වියදම අඩු වී තිබෙන බව පිළිගන්නේ 35%ක් පමණි. සිංහලයන්ගෙන් 37.6%ක් පවසන්නේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බවයි. 

නීතියේ ආධිපත්‍යය සුබවාදී වෙනසකට ලක් වී තිබෙන බව 50%ක් ජනයා පිළිගනිති. 25%ක් පවසන්නේ වෙනසක් නැති බවයි. නීතියේ ආධිපත්‍යය වර්ධනය වී ඇති බව පිළිගන්නේ සිංහල නියැදියෙන් 41.5%ක් පමණි. සුළුතර ප්‍රජාවන් අතර මෙම පිළිගැනීම 50%ට වැඩි ය. එහෙත්, සිංහලයන් අතර පවා නීතියේ ආධිපත්‍යය පිරිහී ඇති බව පවසන ප්‍රතිශතය 13.3%ක් පමණි.

ශ්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා වර්ධනය වී ඇති බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 40%ක් දෙනා පවසති. පිරිහී ඇති බව පවසන්නේ 11.2%ක් පමණි. එහෙත්, 33%ක් ම ඒ ගැන කිසිත් දන්නේ නැත.

සමස්තයක් ලෙස රටේ ජනගහණයෙන් 49%ක් පමණ තමන් අයත් ජනවර්ගයේ අවශ්‍යතාවන් ඉටු වී තිබෙන බව පිළිගනිති. 27%ක් පවසන්නේ තත්වයේ වෙනසක් සිදු වී නැති බවයි. පසුගිය වසරට සාපේක්ෂව තම ජනවර්ගයේ අවශ්‍යතාවන්ගේ තත්වය පිරිහී තිබෙන බව පවසා තිබෙන්නේ 15.4%ක් පමණි. තමන්ගේ තත්වය පිරිහී ඇති බව සිතන්නේ සිංහලයන්ගෙන් 21%ක් පමණි. තමන් අයත් වන ආගම් සම්බන්ධයෙන් ද දක්වා තිබෙන්නේ මේ හා ආසන්න ප්‍රතිචාරයකි.

සුළුතර ප්‍රජාවන්ගේ හිමිකම් තහවුරු කිරීමට රජය වැඩිපුර මැදිහත් විය යුතු බව 84%ක් දෙනා පවසති. සිංහල ජනතාවගෙන් ද 79%ක් ඒ බව පිළිගනිති. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ වාර්ගික ප්‍රජාවන් අතර සම්බන්ධතා වර්ධනය වනු ඇති බව 68%ක් දෙනා විශ්වාස කරති. තත්වය වෙනස් නො වනු ඇතැයි පවසන්නේ 15%ක් පමණි. 

එසේම, යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා ආණුඩුව වැඩිදුරටත් කටයුතු කළ යුතු බව 90%ක් ම ජනයා ප්‍රකාශ කරති. සිංහල ජනයා අතර ද මෙම පිළිගැනීම ඉතා ඉහළ ය. 

‘යුද්ධයෙන් පසු සිංහල ජනතාවගේ අවශ්‍යතාවන් නො තකා හැර තිබේ' යන ප්‍රකාශයට එකඟ වී තිබෙන්නේ 16%ක් පමණි. සමස්තයක් ලෙස 68%ක් ම එය ප්‍රතික්ෂේප කර තිබේ. විශේෂයෙන් සිංහලයන් අතරින් 71%ක් ම තම අවශ්‍යතාවන් නොතකා හැර ඇති බව පිළි ගන්නේ නැත. 

සමීක්ෂණයට සහභාගි වූ නියැදියෙන් 41%ක් පවසන්නේ හමුදාවන්ගේ යහපැවැත්ම පසුගිය වසරට සාපේක්ෂව තහවුරු කර ඇති බවයි. 22%ක් දෙනා තත්වයේ වෙනසක් නැති බව පවසති. පිරිහී ඇති බව පවසන්නේ 14%ක් පමණි.

මහ මැතිවරණය ජනාධිපතිවරණයට වඩා වෙනස් ය. උතුරු, නැගෙනහිර පළාත්වල ඡන්ද බොහෝ දුරට ජනවාර්ගික පදනමින් දෙමළ හා මුස්ලිම් පක්ෂ අතර බෙදී යයි. රටේ සෙසු පළාත්වල සුළුතර ප්‍රජාවන්ගේ ඡන්ද වැඩි වශයෙන් ලබාගැනීමේ හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට බවට සැකයක් නැත. එය එක්සත් ජාතික පක්ෂයට ඉතා වාසිදායක තත්වයකි. එහෙත්, ජයග්‍රහණය කරන්නේ කුමන පක්ෂය ද යන්න තීරණය කිරීමේදී තවමත් සිංහල බහුතර ජනයාගේ ඡන්දය දීමේ රටාව ඉතා වැදගත් ය.

මෙම සමීක්ෂණය පදනම් කරගෙන අපට පැමිණිය හැකිව තිබෙන ඉතා පැහැදිලි නිගමනයක් වන්නේ සිංහල ජනයා අතර ජාතිවාදය සම්බන්ධයෙන් ඉහළ ප්‍රතිචාරයක් නැති බවයි. ඒ බව වාර්ගික අවශ්‍යතාවන්, බුද්ධාගම, හමුදා සෙබළුන්ගේ සුබසාධනය වැනි කාරණා සම්බන්ධයෙන් සිංහල ජනතාව දක්වා තිබෙන ප්‍රතිචාර ඇසුරින් පැහැදිලි වේ. මෙවර ද කොපමණ ජාතිවාදය ඇවිළුවත් සිංහල ජනයා වෙතින් ඡන්ද වර්ධනය කර ගත නො හැකි බව විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් අවබෝධ කර ගත යුතුව තිබේ. 

ආණ්ඩුව කෙරෙහි තෘප්තිමත්භාවය ප්‍රකාශ කරන 35%ක් පමණ වන සිංහල ජනයා බොහෝ දුරට එක්සත් ජාතික පක්ෂයේ සිංහල ජනතාව අතර ඡන්ද පදනම ලෙස අනුමාන කරන්නට පුළුවන. එජනිස මෛත්‍රීපාල පාර්ශ්වය හිමිකම් කියනු ඇත්තේ එයින් සුළු ප්‍රතිශතයකට පමණි. දැඩි ලෙස අතෘප්තිමත්භාවය ප්‍රකාශ කරන 13% නියත වශයෙන් ම මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ ස්ථාවර ඡන්ද පදනමයි. තරමක් අතෘප්තිමත්භාවය ප්‍රකාශ කරන 34% පාවෙන ඡන්ද ලෙස සැලකිය හැකි ය. අතෘප්තිමත් වූ පමණින් මෙම පිරිස ඍජුව ම මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට ඡන්දය දෙන පිරිසක් ලෙස නො සැලකිය යුතු ය. එම ඡන්ද බොහෝ දුරට එජාප, එජනිස, ජවිපෙ අතර බෙදී යනු ඇත. 

යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ විශේෂයෙන් ම සිංහල ජනයා අතර තිබෙන අදහස් එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාසිදායක බව පෙනේ. සිංහලයන්ගෙන් 55%ක් ම යටිතල පහසුකම් සංවර්ධනය බිඳ වැටී ඇති බව පවසති. පවුලේ ආර්ථිකය සම්බන්ධයෙන් සිංහලයන් වැඩි දෙනෙක් සිතන්නේ වෙනසක් සිදු වී නැති බවයි. එහෙත්, සෙසු කාරණා සියල්ලෙහිදීම පාහේ දක්නට ලැබෙන්නේ ආණ්ඩුවට සුබවාදී තත්වයකි. ආණ්ඩුවට තිබෙන සුබවාදී තත්වයෙන් වැඩි වාසි ලබන්නේ එක්සත් ජාතික පක්ෂයයි.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔය මොනවා කීවත් එදා උදේට ඉස්කෝලේ ඡන්ද පොළට ගියාම හිතෙන දේ අනුව තමයි සේරම තීරණය වෙන්නේ. ජනවාරි ඡන්දෙට වඩා වැඩි පිරිසක් ඡන්දේ දෙන්න නොගිහින් හිටියොත් ඡන්ද ප්‍රතිඵලය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත .අලුත් ආණ්ඩුවක් ගැන 33% ක් තරමක් සෑහීමකට පත්වෙනව කියන්නෙ නෙගටිව් තත්වයක්. සාමාන්‍යයෙන් අළුත් ආණ්ඩුවකට සමාජයේ ප්‍රබෝධයක් තියනවා.මේක ඉතිහාසයෙ ප්‍රථම වතාවට දැඛිය හැකි විශේෂ තත්වයක්

      Delete
  2. සිංහලයින්ට තියෙන අවුල අවුරුදු 10 තිස්සේ හවසට ටීවීකෙන් දැක්ක ගෝටගෙ 'සංවර්ධන මැජික්' නොදැක්ක එක... ඒවගේම සුලුජාතීන්ට සාපේක්ශව මේ අයට රාජපක්ෂලාගෙන් ආපු 'පීඩනය අඩු' නිසා 'දේශපාලන නිදහස' ආදිය ගැන සංවිදීත්වය අඩුයි...

    කොහොමත් කියන්න ඔනෑ සිංහලයින්ගෙන් 35-40% වර්ගවාදියො ඉන්නව.. උන් මහින්දට චන්දෙ දෙනව...
    සිංහලයින් අතරෙන් එජාපයට චන්ද ලක්ශ 45 විතරත් සුලු ජාතීන්ගෙන් ලක්ෂ 10 විතරත් ලැබෙනව... එජාපය පැහැදිලි පහුතරයක් ගන්නව.. ආසන 113 ට වඩා වැඩිවෙයි..

    ReplyDelete
  3. එජානිප 102
    එජාප 94
    ජවිපෙ 07
    ද්‍රජාස 17
    වෙනත් 5 ( මුකො 3, යාපනය ස්වාධින 1, සරත් ෆොන්සේකා 1)

    එජනිප - ගාල්ල , මාතර , හම්බන්තොට , මොණරාගල, රත්නපුර, අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල, කලුතර වැඩි බහුතරයකින් ජය ලබනු ඇත
    එජාප - කොළඹ, නුවර , නුවරඑළිය, බදුල්ල, අම්පාර, ත්‍රීකුණාමලය වැඩි බහුතරයකින් ජය ලබනු ඇත
    ගම්පහ, කෑගල්ල එජනිපයට වැඩි වාසි සහිතව වුවද අවසාන තීරණය වෙනස්විය හැක
    පුත්තලම. මාතලේ, එජාපයට වැඩි වාසි සහිතව වුවද අවසාන තීරණය වෙනස්විය හැක
    යාපනය, වන්නි, මඩකලපුව ද්‍රජාස වැඩි බහුතරයකින් ජය ලබනු ඇත

    ReplyDelete
    Replies
    1. ගාල්ල, හම්බන්තොට, පොලොන්නරුව සහ කළුතර ට ඇති ආශාව අතෑරලදාන්න.

      Delete
    2. අනික්වනම් දන්නේ නැහැ.කළුතරනම් සන්දානේ මේ පාර හොඳ කෑමක් කනවා. නිර්මලත් ඒක දැනගෙන අයින් වෙලා ඉන්නේ. මමත් කළුතර නාගොඩ පොරක්. සන්දානෙට යනඑනමන් නැතිව ඉන්නේ.

      Delete
  4. මම දන්න මහින්දට මේ චන්දෙදි බැහැල වැඩකරන ශ්‍රීලංකා කට්ටිය ඉන්නව එ කට්ටියත් කියන්නේ ජනවාරි 8 මහින්ද දිනුවනම් හිටියට වඩා දරුණු වෙනව කියල එත් තව පාරක් දෙනව කුඩු ගහල වගේ
    ගොඩක් අය එජනිපෙට දෙන්නේ පුරුද්දට හොදටම දන්නව මේක අවුල් කියල ඒත් දෙනව( අපේ බාප්ප කෙනෙක් ඉන්නව ප්‍රදේශිය සභා චන්දෙදි මස්සිනාට දුන්නේ නැහැ පොදු පෙරමුණෙ නෙමෙයි කියල)
    එජපෙට මැරුවත් දෙන්නේ නැහැ
    ජවිපෙට දිලා වැඩක් නැති නිසා දෙන්නේ නැහැ එජනිපෙ නැත්නම් දෙන්න ඉඩ තියෙනව
    වෙන එවට දෙන්නේ නැහැ දිලා වැඩක් නැති නිසා
    මේ වෙලාවේ චන්දෙ නොදා හිටියොත් එ් ගොඩක් එජනිපෙ චන්ද මේ චන්ද ගන්න තමයි විමලේ රැ දවල් කැගහන්නේ
    දිනන පැත්ත බලල දෙන කට්ටියකුත් ඉන්නව එ්ක නිසානේ හැමෝම දිනල කියන්නේ
    ප්‍රතිපත්ති කියවල ඒවා තෙරුම් අරගෙන මේව කරයි කියලනම් ලංකාවේ 10කට 20ට වඩා චන්දෙ දෙන්නේ නැතුව ඇති.

    එජාපෙටත් දෙන අය මේ වගේම තමයි
    ජවිපෙට දෙන්නේ අත්දැකිම් අඩු තරුණ කොල්ලො කෙල්ලො, කැම්පස් ළමයි සමග අර දෙක එපා වුන අයත් ටිකක් දෙයි මධ්‍යම පන්තියේ ටිකකුත් තියෙවි ඉස්සර දිපු පොඩි මිනිස්සුන්ගේ චන්ද දැන් දෙන්නේ එජනිපෙට

    චම්පිකත් මධ්‍යම පන්තියේ මිනිස්සුන්ගේ චන්ද ටිකක් ගනියි
    ගොඩක් යන්නේ එජාපෙට
    ලංකාවෙන්ම ගත්තහම එජනිපෙ 50 එජාපෙත් 50ට කිට්ටුව
    ජවිපෙ 5 ද්‍රජාස 6 ෆොන්සේකා 1 යි පෙරටුගාමී .5ක් වගේ ගනියි
    එජනිප 100
    එජාප 98
    ද්‍රජාස 15
    ජවිපෙ 7
    අනිත් ඒවා 5ය

    ReplyDelete
    Replies
    1. මෙහි අනෙක් යනුවෙන් සදහන් කර ඇත්තේ යාපනය ස්වාධීන කණ්ඩායම (01 හෝ 02), මඩකලපුව සහ වන්නි දිස්ත්‍රීක්වල මුස්ලිම් කොංග්‍රසය (02ක් හෝ 03ක්), යාපනය හා වන්නි දිස්ත්‍රීක්වල වෙනත් දෙමළ සංධානයන් (01) සහ සරත් ෆොන්සේකා (01) ආදී ලෙසය
      පෙරටුගාමීන්ට ආසන ලබා ගැනීමට නොහැකිය
      පෙරටුගාමී .5 ලෙස සදහන් කර ඇත්තේ චන්ද 50000ක් යන්නය
      එජනිපෙ චන්ද ලක්ෂ50 එජාපෙත් චන්ද ලක්ෂ 50ට කිට්ටුව
      ජවිපෙ චන්ද ලක්ෂ 5 ද්‍රජාස චන්ද ලක්ෂ 6 ෆොන්සේකා චන්ද ලක්ෂ 1 යි පෙරටුගාමී චන්ද 50000ක් වගේ ගනියි

      Delete
  5. // සිංහල ජනතාව අතර 35.5%ක් තෘප්තිමත් ය. 34.3%ක් තරමක් අතෘප්තිමත් ය. දැඩි ලෙස අතෘප්තිමත් බව ප්‍රකාශ කරන්නේ සිංහලයන්ගෙන් 12.9%කි. //

    තත්වෙ හිතපු තරම් සරල සහ පහසු නැහැ.

    රාජ්, මම මෙන්න මේකයි යහපාලන පෙරමුනට චන්දෙ දෙන්න කියන්නේ..

    මෙන්න මම රාජ්ගේ නවාතැනේ, "ඒ කාලෙ මේ කාලේ සහ ඉදිරි කාලේ...." ලිපියට ලියූ කොමෙන්ටුව.
    http://raj1st.blogspot.com/2015/07/blog-post_20.html?showComment=1437460621152#c8875182301134254778

    Dimithri

    ReplyDelete
  6. හෙහේ,ජවිපෙත් පහයි,පෙරටුගාමිනුත් පහයි.ජවිපෙ අටත් දොළහත් අතර ආසන සංඛ්‍යවක් දිනාගනීවි.

    ReplyDelete
    Replies
    1. peratuwata labai pukak!!

      Delete
    2. Manoj Fernando ජවිපෙත් පහයි,පෙරටුගාමිනුත් පහයි කියල ලියල තියෙන්නේ කොහේද හොදට කියවන්න ලියල තියෙන්නේ මොනවද කියල
      "ලංකාවෙන්ම ගත්තහම එජනිපෙ 50 එජාපෙත් 50ට කිට්ටුව
      ජවිපෙ 5 ද්‍රජාස 6 ෆොන්සේකා 1 යි පෙරටුගාමී .5ක් වගේ ගනියි" මේකේ තියෙන්නේ ජවිපෙ 5 පෙරටුගාමී .5 මේ කියල තියෙන්නේ චන්ද ප්‍රමාණය ගැන ලක්ෂ වලින් දෙකම 5යි 5යි කියල නෙමෙයි
      මම හිතන්නේ ජවිපෙ 7යි ( කොළඹ 2 , ගම්පහ 1යි, කුරුණෑගල 1 යි කලුතර හෝ හම්බන්තොට 1යි ජාතික ලැයිස්තුවේ 2යි)
      මීට අමතරව ගන්න සම්භාවිතාවයක් තියෙන්නේ ගාල්ල, මාතර, අනුරාධපුර, රත්නපුර හා ගම්පහ 2 , ජාතික ලැයිස්තුවේ 3 (මේකෙන් වැඩි ඉඩක් තියෙන්නේ ගම්පහ 2ක් වෙන්න තමයි)

      Delete
    3. JVP 15 අනිවාර්යෙන් ගන්නවා. මගේ ගණන 18 හෝ 19ක්.

      Delete
  7. Where I can find the original report? Para, Can you please give me a link?

    ReplyDelete
    Replies
    1. http://www.scribd.com/doc/269576572/Sri-Lanka-Political-Weather-Analysis-June-2015

      Delete
  8. පරදින බව දැනගෙනද කොහෙද විමල් වීරවංශත් කොළඹ දිස්ත්‍රික්කයේ පොකට් මීටින්වලට බැහැලා!

    ReplyDelete
  9. සමාවෙන්න. ලින්ක් එක දාන්න අමතක වුණා.

    ReplyDelete
  10. මේ හිගන දූපතේ බහුතරයක් පිරිමින් ඕනෑම තැනකට අද්දවා ගැනීමට හැකිය. මහින්ද රාජපක්ෂ විසින් පසුගිය කාලය පුරාවට සිදු‍කළෛ් එම ජඩ ක්රියා පිළිවෙතයි. අරක්කු බෝතලයක් දී, කෑම පැටකට් එකක් සහ ගතමනවාක් දි එසේ ගෙන්වා ගත් සෙනග, මාධ්‍යවලින් පෙන්නා තම ජයග්රහණය ස්ථිර බව මහින්ද එදා ජනාධිපතිවරණයේ දී කියා සිටියා මෙන්ම, අදත් කියා සිටි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා