මෛත්‍රීපාල මහින්දට චෙක්මේට් වීම හා පුරවැසි දේශපාලනය

2015 ජනවාරි 08 දින පරාජයට පත් කර ජනාධිපති ධුරයෙන් පන්නා දමන ලද මහින්ද රාජපක්ෂ යළි කරළියට පැමිණීම ප්‍රබල අභියෝගයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඔහු මැතිවරණයට තරග කිරීම එතරම් දෙයක් නො වේ. එහෙත්, ඔහු ශ්‍රීලනිපය තුළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා චෙක්මේට් කිරීමට දරන ප්‍රයත්නය සාර්ථක වුවහොත් නම් එය බරපතල තත්වයකි. 

ජනවාරි 08 විප්ලවයේ අරමුණ වුණේ මහින්ද රාජපක්ෂ ක්‍රමය පරාජයට පත් කර ප්‍රජාතන්ත්‍රවාදයේ දොරටු විවර කිරීමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් ජනවරමක් ඇත්තේ ඒ වෙනුවෙන් ය. දැන් ඒ ජනවරමට පිටුපාමින් මහින්ද රාජපක්ෂටත්, ඔහු පසුපසින් එන රාජපක්ෂ ක්‍රමයටත් යළි දොර විවර කර දෙන්නට ඔවුන් කටයුතු කරනවා නම් එය පැහැදිලි පාවා දීමකි. 

මහින්ද රාජපක්ෂ යනු මහා ජන බලවේගයක් යයි වරදවා වටහා ගැනීමක් තිබේ. එහෙත්, එය තේරුම් ගත යුත්තේ සමාජ හා දේශපාලන ක්‍රමයක් ලෙසයි. එයට ඇති ජන පදනම ද එම සමාජ දේශපාලන ක්‍රමයේ පදනම මිස අන් යමක් නො වේ. රාජපක්ෂ ක්‍රමය තුළ දූෂණය, භීෂණය, නීතියෙන් මුක්තිය හා අයුක්තිය විමධ්‍යගත කරන ලදී. මේවායින් වරප්‍රසාද ලබන අලුත් පෙළැන්තියක් ගොඩනැගිණි. ඔවුහු දේශපාලන වශයෙන් බලය තහවුරු කර ගත් හ. 

රාජපක්ෂ ක්‍රමය යළි නගා සිටුවීමට උත්සාහ කරන බලවේගයෙන් සැලකිය යුතු කොටසක් මේ චෞර යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවෝ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සිට පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් හරහා ගොවි සංවිධාන නිලධාරීන් දක්වා ම විහිදී තිබෙන රාජපක්ෂ හිතවාදීන්ගේ යාන්ත්‍රණය තුළ සිටින්නේ රජය සමග කොන්ත්‍රාත් කරන, රජයට සැපයුම් කරන, රජයේ සමාගම්වල තනතුරු දරන, රාජ්‍ය අනුග්‍රහයෙන් විවිධ ව්‍යාපාර හා ජාවාරම්වල යෙදෙන, මහජන මුදල් කොල්ල කන, දේශපාලන බලය පාවිච්චි කර සිය සොරකම් වසා ගන්නාන්, නීතියෙන් ගැලවුණු අධමයෝ පිරිසකි. පසුගිය සමයේ රටේ දේශපාලන බලය අත්පත් කර ගත්තේ මෙම නව මජර පැළැන්තියයි. 

පසුගිය කාලයේ මේ රටේ ක්‍රියාත්මක වූ ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික ප්‍රතිපත්ති වනාහි එම පැළැන්තියේ උවමනාවන් මත සකස් වූ ඒවා ය. මෙරට සබුද්ධික පුරවැසියන් අඛණ්ඩ, දැවැන්ත අරගලයක් කළේ මේ ක්‍රමයට එරෙහිවයි. ප්‍රගතිශීලී ජනතාව ජනවාරි 08දා මහින්ද රාජපක්ෂට අත් කර දුන් පරාජය මේ චෞර ක්‍රමය පරාජය කළ ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් වන්නේ එහෙයිනි. 

අප විසින් රාජපක්ෂ ක්‍රමය පරාජයට පත් කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස බලයට පත් වූ ජනාධිපතිවරයා හා ආණ්ඩුව යනු ඒ මොහොතට ගැලපුණ එකක් මිස පරමාදර්ශී එකක් නො වේ. එහෙත්, නවීන තත්වයන්ට ගැලපෙන ආණ්ඩුවක් නිර්මානය කිරීම සඳහා එහි තිබෙන මෙවලම් භාවිතා කිරීමට සිදු වේ. වෙනසට දායක වූ සක්‍රිය පුරවැසියන් කරන බලපෑම ඔස්සේ ආණ්ඩුව ද පරිණාමය වනු ඇත. 

ආණ්ඩුව ජනතා බලාපොරොත්තු බිඳ දැම්මේ වතාවක්, දෙකක් නො වේ. ඇමති මණ්ඩලය හා ඉහළ නිලධාරීන් පත් කිරීමේ පටන් අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කර ගැනීමේ මෝඩකම දක්වා ආණ්ඩුව විසින් කරන ලද අමනෝඥ ක්‍රියා අපගේ දැඩි විවේචනයට ලක් විය. දූෂිතයන්ට එරෙහිව ක්‍රියා කිරීමේදී මූලධර්මයක් මත පිහිටා කටයුතු කරනවා වෙනුවට දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කරන ආකාරය ජනාධිපතිවරයා හා අගමැතිවරයා යන දෙදෙනාගේ ම පැත්තෙන් දකින්නට ලැබිණි. වෙලේ සුදා සමග ගනුදෙනු කර හසු වූ දුමින්ද සිල්වාගේ පවුලේ රූපවාහිනී නාලිකාවට අගමැතිවරයා සිය පළමු සම්මුඛ සාකච්ඡාව ලබා දුන්නේ ය. ජොන්ස්ටන් ප්‍රනාන්දුට නඩු වැටුණු චෝදනාව ම අනුර යාපාටත් ඇති බව වාර්තා විය. එහෙත්, පරීක්ෂණ සිදු වූයේ නැත. මහින්ද රාජපක්ෂට නැගිටින්නට අත දුන්නේ එජාපය බවට ද චෝදනාවක් තිබේ. 

කවර අඩුපාඩු තිබුණත්, පසුගිය මාස කීපය තුළ ආණ්ඩුව කළ සුබවාදී කාර්යයන් ද තිබේ. එ් අතරින් වැදගත් ම දෙය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, සාමය හා නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරන්නට ගත් පියවරයි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුව උත්සාහ කළේ ය. පසුගිය සමයේ ආණ්ඩුව විවේචනය කළ කිසිදු මාධ්‍යකරුවකුට තර්ජනයක් එල්ල වූයේ නැත. මාධ්‍ය නිදහස කෙතරම් වල් බූරු නිදහසක් වී තිබේ ද යත්, ආණ්ඩුවට තමන්ගේ මාධ්‍යවත් හරිහැටි මෙහෙයවා ගන්නට හැකි තත්වයක් පෙනෙන්නට නැත. පසුගිය සමයේ ඉතා සුලබ වූ දෙයක් වන අපරාධකරුවන් ආයුධ පෙන්නන්නට යාම ලෙස හැඳින්වුණ මිනීමරු ක්‍රියාව ද මුළුමනින් ම නතර විය. අධිකරණයට ආණ්ඩුව අැඟිලි ගසන බවක් පෙනෙන්නට නො තිබිණි. රාජපක්ෂවරු නම් බලයේ නො සිට පවා එසේ කරන බව ඇතැම් නඩු තීන්දු දෙස බලන විට පෙනේ. 

රාජපක්ෂ ආණ්ඩුව විසින් උලා කා තිබෙන ජාතික ආර්ථිකය නඟා සිටුවීමේ අති දුෂ්කර කාර්යයෙහිදී නම් ආණ්ඩුව සාර්ථක වූයේ නැත. එහි පැතිකඩ කීපයක් තිබේ. අස්ථාවර, තාවකාලික ආණ්ඩුවකට ආර්ථිකය සම්බන්ධයෙන් බැරෑරුම් තීන්දු, තීරණ ගන්නට බැරි ය. එසේම, ආයෝජක විශ්වාසය දිනා ගන්නටත් බැරි ය. ලංකාවේ ආර්ථිකයට අත්‍යවශ්‍ය උත්තේජකයක් වන ඍජු විදේශ ආයෝජන ලබා ගැනීම පැත්තෙන් රාජපක්ෂ ආණ්ඩුව තරමට ම වත්මන් ආණ්ඩුව ද අසාර්ථක ය. එහි තාවකාලික ස්වභාවය ද එයට ප්‍රබල හේතුවකි. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ඉක්මණ් මහමැතිවරණයක් ඉල්ලා සිටියේත් මෙම සංදර්භය නිසා ය. 

ආණ්ඩුවට එරෙහිව රාජපක්ෂවාදීන් විසින් මතු කරමින් තිබෙන්නේ කොළඹ නගරයේ අලංකරණය පවත්වාගෙන යන්නට අසමත් වීම වැනි කාරණා ය. ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මේවා නඩත්තු කළේ යුද හමුදාව යොදා ගනිමිනි. ඒ වෙනුවට මෙම කටයුතු ඒවා භාර විය යුතු අංශය වන කොළඹ මහ නගර සභාවට පැවරීම සිදු විය යුත්තකි. අවශ්‍යතාවන්ට දිගු කාලීනව ගැලපෙන පරිදි ආයතන ශක්තිමත් කළ යුතු ය. එහෙත්, ඒ සඳහා කාලය හා ක්‍රමානුකූල වැඩසටහන් අවශ්‍ය ය.

මේ අතර, ආණ්ඩුව රජයේ සේවක වැටුප් වැඩි කළේ ය. යම් බදු සහන ආදිය ද ලබා දුන්නේ ය. මේ වන විට ලෝක වෙළඳපොළේ ඉන්ධන මිළ ඉහළ ගොස් ඇතත්, රජය තෙල් හා ගෑස් මිළ වැඩි කරන්නේ නැත. ඒ ඔස්සේ උද්ධමනයේ යම් පාලනයක් සිදු විය. ජනතාවගේ මිළ දී ගැනීමේ ශක්තිය ද වර්ධනය විය. රජයේ සේවකයන් දෙදෙනෙක් එක් වන පවුල් කුඩා මොටෝරියක් ලීස් කරගෙන වැඩි වූ වැටුපින් ලීසිං වාරිකය ගෙවනු දක්නට ලැබිණි. මෙම ආර්ථික හා පාරිභෝජන ප්‍රවණතා දිගුකාලීනව ගතහොත් අසාර්ථක ඒවා වන මුත් මැතිවරණයක් ඉදිරියේ සිටින ආණ්ඩුවකින් අපේක්ෂා කළ හැකි ඒවා ය. කෙසේ වෙතත්, රාජ්‍ය ආදායම් අඩු වීම, අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස ඉහළ යාම හා ආර්ථික වර්ධන වේගය අඩු විම වැනි ආර්ථික ගැටලු රැසක් මතු වී තිබේ. ඇමරිකාව හා යුරෝපා සංගමය විසින් අත්හිටුවා තිබෙන ජී.එස්.පී. ප්ලස් බදු සහන ආපසු ලබා ගැනීමටත්, මත්ස්‍ය අලෙවිය සම්බන්ධයෙන් පනවා තිබෙන තහංචි ඉවත් කර ගැනීමටත් ආණ්ඩුව සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා විය. ඒවා සිදු වනු ඇත්තේ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ එම රටවලින් ලැබෙන සුබවාදී ප්‍රතිචාර මතයි. 

මේ කිසිවකට විසඳුම නැවත මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම නො වේ. මන්ද, රාජපක්ෂ ක්‍රමය යනු මෙම ගැටලු උග්‍ර කිරීමට හේතු වූ පාලන ක්‍රමයක් මිස මේවාට විසඳුම් ක්‍රියාත්මක කළ ආණ්ඩුවක් නො වේ. වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ලක්දාස් පනාගොඩ පසුගියදා වැදගත් හෙළිදරව්වක් කළේ ය. ඔහු පැවසූ පරිදි හම්බන්තොට වරාය ඉදිකිරීම වෙනුවෙන් ගත් ණය පමණක් ආපසු ගෙවීම සඳහා මේ වසරේ රුපියල් බිලියන හතක් ගෙවිය යුතු ය. එයින් බිලියන තුනක් පසුගිය ජනවාරියේ ගෙවන ලද අතර හතරක් ජුනි මාසයේ ගෙවිය යුතු ය. හම්බන්තොට වරාය උපයා තිබෙන්නේ මේ ගෙවන මුදලින් අංශු මාත්‍රයක් පමණි. 

හෙළිදරව් කරන ලද තවත් කාරණයක් වන්නේ මෙම ඉදිකිරීම වෙනුවෙන් ලබා ගත් ඩොලර් මිලියන 500 වෙනුවෙන් ගෙවීමට නියමිතව තිබූ 2%ක් පමණ වන පොළිය ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත 6% දක්වා වැඩි කරගෙන ඇති බවයි. ණයගැතියා ණය හිමියා ලවා පොළිය වැඩි කරවා ගත් මේ අභිරහස කුමක්දැයි මහින්ද රාජපක්ෂ, ප්‍රියත් බන්දු වික්‍රම වැනි අය හෙළිදරව් කළ යුතු ය.

රාජපක්ෂවරුන් නැවත බලයට පැමිණියහොත්, ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ දෝෂදර්ශනයට ලක් වී ඇමරිකාවෙන්, යුරෝපයෙන් අපනයන සම්බාධකවලට ලක් වී තිබෙන දේත් අහිමි කර ගැනීමේ අවදානමක් තිබේ. 

මේ අතර, රාජපක්ෂවාදීන් විසින් ඉත සිතින් ප්‍රාර්ථනා කරන ලද, එහෙත්, සිදු නො වූ දේ කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත් ය. රාජපක්ෂවාදීන් ඡන්දය අවසන් වූ හැටියේ කටකතා පතුරුවා හැරියේ කොටින් විසින් උතුරේ හමුදා කඳවුරු වට කර ඇති බවයි. ඔවුන් බලාපොරොත්තු වූ අන්දමින් කොටි සංවිධානයේ නැගිටීමක් සිදු වූයේ නැත. එහෙත්, උතුරේ ජනයාත්, දකුණේ ආණ්ඩුවත් අතර කිසියම් සංහිඳියාවක් ඇති වී තිබේ. ඉදිරි ආණ්ඩුවක දෙමළ ජාතික සන්ධාන ඇමතිවරුන් පවා සිටිය හැකි ය. උතුරත්, දකුණත් අතර නව සංහිඳියාවකට දොරටුවක් විවර වෙමින් තිබේ. 

ඒ නිසා මහින්ද රාජපක්ෂ යළි බලය අල්ලා ගැනීමට දරන උත්සාහය පැරදවීම වෙනුවෙන් පුරවැසි අවධානය දැඩිව යොමු විය යුතුව තිබේ. මහින්ද රාජපක්ෂට හා ඔහුගේ චෞර නඩයට ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු මට්ටු කිරීමට ඉඩ නො දිය යුතු ය. එය වැළැක්වීමට අවශ්‍ය ශක්තිය ශ්‍රීලනිපය තුළ නැති නම් පුරවැසියන් වශයෙන් පිටතින් ඒ ගැම්ම ලබා දීමට කටයුතු කළ යුතු ය. 

- අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2015 - 07 - 03
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මහින්ද මහත්තයා ආපහු ලන්කාවේ රාජ්ය නායකයා වුනොත් පැරා දිවි හානි කර ගනීද? අපට ටිකක් බයයි.....

    ReplyDelete
    Replies
    1. මැදමුලන රාජපක්ෂ රජකතා මාලාවේ අවසාන කොටසත් අගෝස්තු 17 සවස 4ට සමාප්තවේ !

      Delete
  2. පීචං සාරස, පීචං මහින්ද වෙනුවෙන් මැරෙන්නේ උඹලා වගේ හිඟන්නෝ ටිකක් විතරයි. මේ පාර කෙලෝගත්තහම එකත් ඉවරයි !!!

    ReplyDelete
  3. දුක කියන්නේ එන ඡන්දෙත්ටත් පසුගිය ඡන්දේ සටන්පාටම තමයි. අළුතෙන් එකතුවුනේ අර්ජුන මහේන්ද්‍ර ගෙ නම විතරමයි.

    ReplyDelete
  4. පිස්සු පිකුදු (හලාල්)July 2, 2015 at 11:21 PM

    තම්බි ඇලජීක් හලාල් බයියනේ ඇසහැරපියා බලවු !
    අභීත සිංහලයා තම්බි ගුබ්බෑයමක හලාල් වලදන හැටි..........

    http://www.inside.gossiplankanews.com/2015/07/uyskao-uqiasi-forlg-syska.html

    රාමසාන් උපවාස දින හමාරයකට සහභාගී වන අල්හාජ් මහින්ද රාජපක්ෂ සමග
    රු.10,000,00 සමෘද්ධි හාල් හොරා අල්හාජ් අබ්දුල් කාදර් (පසෙකින් වාඩි වී)

    මුසල්මානුවනේ තොපිටත් ලැජ්ජාවක් ඇත්තේම නැද්ද ?

    ReplyDelete
  5. ගම්පහ සුනිමල්July 2, 2015 at 11:57 PM

    පබා 2015 ජන්දේ ඉල්ලනවා ද?
    නිකං අහන්නේ මම ඇගේ රසිකයෙක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා