අනන්‍යතා අර්බුදය හෙවත් අයිඩෙන්ටිටි ක්‍රයිසිස් හා අයිඩෙන්ටිටි කාඩ් ක්‍රයිසිස්

පසුගිය දවස්වල විමල් වීරවංශගේ දරුවන්ගෙ උප්පැන්න සහතිකකයි, කසාද සහතිකෙයි එළියටආවා.

දරුවන්ගෙ උප්පැන්න සහතිකවල විමල් දීලා තිබෙන්නේ බොරු උපන් දිනයක් බවත්, පසුව එය නිවැරදි කරන්නට සිදු වී තිබෙන බවත් පෙනෙනවා.

ඇතැමෙක් චෝදනා කරන ආකාරයට විමල් තමන්ගේ වයස අවුරුදු පහකින් වැඩි කර දක්වා තිබෙන්නේ සිය බිරිඳ තමන්ට වඩා වයසින් වැඩි බව සඟවා ගන්නයි.

ඔහුගේ කසාද සහතිකයේ සාක්ෂිකරුවකු ලෙස ටිල්වින් සිල්වා අත්සන් කරන්නේ පුවත්පත් කර්තෘවරයෙකු බව සඳහන් කරමිනුයි. ඔහු කිසි දිනෙක පුවත්පත් කලාවේදියෙකු ලෙස ප්‍රසිද්ධ වී සිටියේ නැහැ.

මේ අතර, විමල්ගේ බිරිඳ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කිරීම සම්බන්ධයෙන් ද චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඇය විවිධාකාරයෙන් නම් වෙනස් කර තිබෙනවා.

ප්‍රේමකුමාර් ගුනරත්නම් නොයෙල් මුදලිගේ වුණා. ඒ නොයෙල් මුදලිගේ ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙක් වුණා. දැන් ඔහුට යළි ශ්‍රී ලාංකික ප්‍රේමකුමාර් ගුනරත්නම් වන්නට ඕනෑ වී තිබේ.

විමල්ලා, කුමාර්ලා මේ අනන්‍යතා ක්‍රීඩාව කරන්නේ විප්ලවවාදී අනන්‍යතාවට මුවා වෙමිනුයි. තමන් මේ සමාජය වෙනස් කරන විප්ලවීය දේශපාලනයක යෙදී සිටින බවට ඔවුන් ස්වයං මෝහනයකට පත් වී සිටිනවා. 

ඇතැම් විට ඔවුන් අතීතයේදී එවැනි අවංක ආධ්‍යාශ පෙරදැරි කරගෙන ඉන්න ඇති. එහෙත්, අද වන විට නම්, ඔවුන් එවැනි ක්‍රම විරෝධී දේශපාලනයක යෙදී සිටින බවක් පෙනෙන්නට නැහැ. ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ඉතාමත් ම ක්‍රමානුගත ජීවිතයි. 

විවිධ නම් රැසක් හා ගමන් බලපත්‍ර රැසක් භාවිතා කරමින් කොටි සංවිධානය වෙනුවෙන් ආයුධ හා අරමුදල් රැස් කළ කේපී නම් ඇත්තෙන් ම ක්‍රම විරෝධී දේශපාලනයක නියැලුණ අයෙක්. ඔහු කොටි සාමාජිකයෙකු නිසා ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස ද හැඳින්වෙනවා. 

මේ දිනවල විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දීම සඳහා රජය ගනිමින් සිටින පියවරවලටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විරුද්ධයි. 

අයුක්ති සහගත සමාජ ක්‍රමයකට එරෙහිව කැරැලි ගසන්නට ජනතාවට අයිතියක් තිබෙනවා. එහෙත්, කැරැලි කියන්නේ අන් කිසිදු ඉඩක් නැති තැනක ජනතාවට ඉතිරි වෙන අවසන් විකල්පය මිස, දේශපාලන ව්‍යාපාරයක මූලික අරමුණ නො විය යුතුයි.

අනන්‍යතා ලියාපදිංචි කිරීම කියන කාරණයේ ඉතා වැදගත් දේශපාලනික විවාදයක් තිබේ. ඒ වනාහි රජය ඓන්ද්‍රියව ම ප්‍රජාතන්ත්‍රවාදී ද යන ගැටලුවයි. රජය යනු ස්වාභාවික ප්‍රපංචයක් නො වේ. එය ආධිපත්‍යය දරන සමාජ කණ්ඩායම විසින් තම උවමනාව පරිදි සකසා ගන්නා ලද පාලන මෙවලමකි.  එබැවින් අධිපති නොවන සමාජ කණ්ඩායම්වලට රජය ප්‍රශ්න කිරීමට තිබෙන අයිතිය යුක්ති යුක්ත වේ. රජය මේ අන්දමින් පුද්ගලයන්ගෙන් එක් රැස් කර ගන්නා දත්ත රජයට එරෙහි කැරැලි ගසන්නන් මර්දනය කිරීමට උපයෝගී කර ගත හැකි ය යන තර්කය අනන්‍යතා ලියාපදිංචියට එරෙහිව මතු කරන ප්‍රධාන තර්කයයි.

වර්තමාන‍යේදී පීඩිත වන සමාජ කණ්ඩායමක් විසින් බලය ලබා ගත් විටකදී වුවත් ඔවුන් රජය අහෝසි කරන්නේ නැත. ඔවුන් ද රජය සකසා ගන්නේ තම පාලනය තහවුරු කර ගැනීම සඳහා ඉවහල් වන මෙවලමක් ලෙසයි. එවිට අර දත්ත ම තම සතුරන්ට එරෙහිව ද පාවිච්චි කළ හැකි ය.

රජය හා පුද්ගල අනන්‍යතාව දෙස මීට වඩා වෙනස් ආකාරයකින් බලන්නට අවශ්‍ය යයි මම සිතමි.

රජය ස්වාභාවික නො වුණත්, රාජ්‍යය යන සංකල්පය මේ වන විට මිනිස් සමාජයේ මුල් බැසගෙන හමාර ය. එය ප්‍රතික්ෂේප කිරීම යනු මේ වන විට මිනිස් සමාජයට සිතා ගත හැකි තත්වයක් නො වේ. ඒ නිසා අප උත්සාහ කළ යුත්තේ රාජ්‍යයේ ප්‍රජාතාන්ත්‍රික හරය පංති හෝ සමාජ කණ්ඩායම්වල ආධිපත්‍යය තුළ වෙනස් කළ නො හැකි අන්දමින් ශක්තිමත් කිරීමයි.

ඒ සඳහා අපි හැකි උපරිමයෙන් නීති ගරුක විය යුතුයි. විප්ලවවාදියා වඩාත් නීති ගරුක, ඊටත් වඩා යුක්ති ගරුක පුද්ගලයෙක් විය යුතුයි. නීතිය වඩා යුක්තිසහගත වන අන්දමින් සංවර්ධනය කරන්නට ද සමාජය උත්සාහ කළ යුතුයි.  යුක්තිගරුක සංකල්ප මත පිහිටි සමාජයක් කුමන අර්බුදයකදී වුව ම්ලේච්ඡත්වය වැළඳගන්නේ නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. 1. මා දන්නා පරිදි, ලෙනින් යනු අන්වර්ථ නාමයකි. එහෙත්, අන්වර්ථ නාම යොදාගත යුත්තේ හොරා-පොලිස් සෙල්ලම සඳහා නොවිය යුතුය.
    2. රාජ්‍යය අහෝසි වීම ගැන කොමියුනිස්ට්වාදය කථා කරනවා නේද? රජයයන් අවශ්‍යයි. රාජ්‍යයනුත් අවශ්‍යද? (මා අදහස් කළේ වර්තමානයේ නොවේ.)
    3. පුද්ගල අනන්‍යතාව අද කාලයේ අත්‍යවශ්‍යමය. එය සමාජයේ පැවැත්ම කෙරෙහි අගනා මෙහෙයක් ඉටු කරයි. ඔබ සමග එකඟ වෙමි.

    ReplyDelete
  2. ශෂී පාස්පෝට් හදාගත්තේ පූස් පාට් ගොඩකට. පාස්පෝට් දෙක නෙමෙයි ඊටත් වඩා තියෙන්න ඇති. කටුනායක ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලයෙන් ඇහුවා නම් මෙයාලා රට යන එන හැටි බොහෝම ලස්සනට කියයි. ෂශීලගේ ක්ලබ් එකක් තිබුනා. ඒකේ අය තමයි, සුධර්මා නෙත්තිකුමාර, ෂෙරීන් කුමාරණතුංග, සබීතා පෙරේරා, සංගීතා වීරරත්න වගේ අය. මෙයාලා VIP ලොන්ච් එක හරහා කෝටි ගනන් වටිනා දේ මේ රටට ගෙනාවා. පැරාට මතක ඇති සබිතටත් කාළෙකට කලින් කුඩු චෝදනා එල්ල උනා. ඒවා ඉබේම යට ගියා. විමල් වීරවංශ කියන්නේ දුමින්ද හොඳම යාළුවෙක්. දුමින්ද මීටින් හැමෝම මග අරින වෙලාවේ විමල් කිසි අපුලක් නැතිව ඒවට් ගොඩ උනා. මම කියන්නේ නෑ මේ සෙට් එක කුඩු ගෙනාවා කියලා. නමුත් රේගුව තුල මේ ටීම් එක ප්‍රසිද්ධ වෙලා උන්නේ, ළෝකයේ තියෙන මිළ අධික ඉහළම නිශ්පාදන ඩුබායි හා සිංගප්පුරව හරහා මෙරටට ගෙනාපු පිරිසක් ලෙස. ඒ වගේම තමයි මේ සෙට් එකේ ලයිෆ් ස්ටයිල් එකත්. මට වෙලාවක් තියෙනවා නෑ. නැත්නම් ගවේෂනශීලී මාධ්‍යවෙදියකුට ජාත්‍යන්තර සම්මාන ගන්න කරුණු කාරනා මේ තුල තියෙනවා. කෙසේ වෙතත් අනාගතයේදි මේ සියාල්ල ඇතුලත් නවකතාවක් නම් මාතලන් ලියනවාමයි.

    ReplyDelete
    Replies
    1. රෙගුවෙ ඉන්න මිනිහෙක්ගෙන් ඇහුවා. එහෙම එකක් දන්න් නෑ කිව්වා.

      Delete
    2. රේගුවේද, රේල්ලුවේද දන්නේ නෑ.. රේල්ලුවේ උන් නම් මොකුත් දන්නේ නෑ...

      Delete
    3. එල එල ...ලියමුකො පොත ...අපි මග බලන් ඉන්නවා

      Delete
  3. ලංකාවේ සිට පිටරටවල්වලට සංක්‍රමණය වූ, නමුත් සිතින් ලංකාවේ ජීවත් වන අයටත් ඇත්තේ 'අයිඩෙන්ටිටි ක්‍රයිසිස්' එකක් නොවේ ද?

    ReplyDelete
  4. ලියා ඇති සමහර දේවල් මීටර් වෙන්නේ නැත. නමුත් අර //විද්‍යුත් ජාතික හැඳුනුම්පතට// ඇඟිලි සලකුණු ගන්න එකටනම් පට්ටම විරුද්ධය. ආන්ඩුවේ වැඩවල නිරවද්‍යතාව අනුව අවුරුද්දකට කී දාහකට විතර ‍හොඳ හොඳ පරිප්පු ලැබෙයිද? ගොඩක් වෙලාවට විට අපි වගේ හීනෙන් විතරක් හොරකම් වංචා කරන අය හොඳ හොඳ රොබරි වලට ඇතුලේ ඉදීවි.

    ReplyDelete
  5. //""කැරැලි කියන්නේ අන් කිසිදු ඉඩක් නැති තැනක ජනතාවට ඉතිරි වෙන අවසන් විකල්පය මිස, දේශපාලන ව්‍යාපාරයක මූලික අරමුණ නො විය යුතුයි""//
    මේ කාරණය අද විකල්ප දේශපාලන ධාරාවේ කොතරම් පිරිසක් වටහාගෙන තියෙනවද කියන එක ප්‍රශ්නයක් නේද?

    ReplyDelete
  6. මරා ශිරානිව අයින් කරන්න උදව් කරපු පවිත්‍රාට විදුලිබල ඇමතිකම දුන්නා. සිරා මොහාන් පීරිස් ව එලවන්න උදව් කරපු අලුත්කඩේ කලුකෝට් දාගත්ත තගාට BOI එකේ සභාපති කම දුන්නා. මොකක්ද වෙනස. යහපාලනේද යහ පාචනේද . එතකොට මරා = සිරා

    ReplyDelete
    Replies
    1. උපුල් රොයල්නෙ. අනික රනිල්ගෙ හෙන්චයියනෙ. ඒක නිසා අවුලක් නෑලු.

      Delete
  7. අනන්‍යතා අර්බුද නැත්නම් දේශපාලකයන් හෝ පක්ෂ ලොවෙත් නැත.
    කුසගින්න හා පිපාසය හේතු කොටගෙන පැන නගින අර්බුද හෝ කැරලී අනන්‍යතා අර්බුදයට අදාල නැත.

    .

    ReplyDelete
  8. පුලුවන්නං කියවලා බලන්ටකෝ.....
    http://existentialpsychology.org/index.php?option=com_content&task=view&id=37&Itemid=1

    ReplyDelete
  9. විමල්ගේත් කුමාර්ගේත් වෙනස හඳුනා ගැනිමට බැරි තරම් පැරා අඳබාල වී ඇත. එදාසමාජවාදි ජීවන විලාසිතාව ප්‍රවර්ධනය කළ පැරා අද උපරිම ලෙස නීති ගරුක වන ආකාරය ප්‍රවර්ධනය කරයි. බල්ලන් සමග නිදියන්නට ගොස් පැරාටද මැක්කන් බෝ වී ඇත. අනුකම්පා කරමු.

    ReplyDelete
    Replies
    1. මේ පක්ෂවලට පිටින් සිට බලන අයට ඇත්තෙන් ම මේ අයගේ වෙනස්කම් හඳුනා ගන්නට බැරි ය.

      අනෙක් පැත්තෙන් අප විසින් ඉදිරිපත් කර තිබෙන්නේ සංවාදය සඳහා අදහසක් මිස ආගමික දේශනාවක් නො වේ. එය ඔබ පිළි ගන්නා අදහසට එරෙහි වූ පමණින් බැහැර නො කර ඒ ගැන ඔබගේ මතය පැහැදිලිව ඉදිරිපත් කරන්න.

      අනුන්ට අනුකම්පා කරන්නට තරම් උදාරත්වයක් ඔබගේ අදහස් පළ කිරීම තුළ නැත.

      Delete
    2. දේශපාලන හේතූන් මත විදේශගත වෙන්න, අන්වර්ථනාමවලින් පෙනී ඉන්න බොහෝ දෙනකුට සිදුව තිබෙනවා. ලංකාවේ වගේම ලෝකයේ ඉතිහාසයේත් එවැනි අත්දැකීම් රැුසක් තිබෙනවා. වාමාංශික දේශපාලනයේ යෙදෙන, පීඩිතයන්්ගේ පැත්තෙන් දේශපාලනය කරන බොහෝ දෙනකුට මෙවැනි ප‍්‍රශ්නවලට ඉතිහාසය පුරා මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. ධනේශ්වර නීතිය එහෙම තමයි. මේ ප‍්‍රශ්නයට පිළිතුරු තිබෙන්නේ නීතිමය තත්වයන් ඉක්මවා ගිය දේශපාලන ප‍්‍රවේශයකින්.- කුමාර් ගුණරත්නම්

      Delete
  10. යුක්තිගරුක වියයුතුයි යන්නට මම කැමතියි හුදෙක්, නීතිගරුක වියයුතුයි කියනවට වඩා.

    මොකද මම හිතනවා '(පීඩිතයා) හැකි උපරිමයෙන් නීති ගරුක විය යුතුයි' කියන එක හරියට '(පීඩිතයා) ආගමානුකූල විය යුතුයි / පවු නොකෙරිය යුතුයි' වගේ කියමනක් කියලා. මේ දෙක තුනම පීඩක පක්ශය එච්චර ගනන් ගන්නේ නැහැනේ.

    - Dimithri

    ReplyDelete
  11. 1. පසුගිය කාලයේ ශිෂ්‍ය උද්ඝෝෂන ආදිය පැවැත්වෙද්දී ඒවා වලක්වමින් අධිකරනය වාරන නියෝග ලබා දුන්නේය. එවිට පීඩිතයා එම නියෝග වලට අවනත වී නීතිගරුකභාවය පෙන්විය යුතුද?

    2. පසුගිය කාලයේ වැඩවර්ජන නැවැත්වීම සදහා අධිකරන නියෝග යොදාගන්නා ලදී. කම්කරුවන් ඒවාට අවනත වී නීතිගරුකභාවය පෙන්විය යුතුද?

    3. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු මර්දන නීති තවමත් බලාත්මකය. පීඩිතයා සහ විප්ලවවාදීන් මේවාට සිය පක්ෂපාතීත්වය පෙන්වා නීතිගරුක විය යුතුද?

    4. ලංකාවේ වෘත්තීය සමිති නීතිය සෑදී තිබෙන්නේ හැකිතාක් වෘත්තිය සමිති තුල කම්කරුවන් සංවිධානය වීම අඩපන කරන විදිහකටය. වෘත්තීය සමිතියක් නිල වශයෙන් පිලිගැනීමට ආයතනයක සේවකයින් සියයට 40 ක් එතුල සංයුක්ත විය යුතු බව කියන්නේ ඒ නිසාය. මේ නීති පිලිගත යුතුද? ඒවාට අභියෝග කල යුතුද?

    5. කොලඹ නාගරික දුගීන් ඔවුන්ගේ පැල්පත් වලින් පසුගිය කාලයේ එලවා දැම්මේ ඔවුන් අනවසර පදිංචිකරුවන් වූ නිසාය. ඉන්පසු ඒ ඉඩම් ධනවතුන්ගේ ව්‍යාපාර සදහා බදු දීමට සැලසුම් කර තිබුනි. මෙතැනදී නීතිය තිබෙන්නේ කාගේ පැත්තේද? යුක්තිය තිබෙන්නේ කාගේ පැත්තේද?

    නීතිය ගැන අජිත් ගෙනෙන අදහස සාම්ප්‍රදායික අදහසකි. නීතිය යනු නියුට්‍රල් දෙයක් නොව පාර්ශවීය දෙයකි. එහි හැඩය තීරනය වෙද්දී සමාජයේ විවිධ කන්ඩායම් අතර තිබෙන බලතුලනය ඊට බලපාන අතර අවසන් විග්‍රහයේදී ඒවා සමාජයේ බලවත් කන්ඩායම්වල යහපත වෙනුවෙන් සේවය කරයි.

    විප්ලවවාදියා හැකි උපරිමයෙන් නීතිගරුක විය යුතුයි කියා කීමම විරුද්ධාභාසයකි. පවතින සමාජ සම්බන්ධතා සුජාත කරන යාන්ත්‍රනයකි නීතිය. විප්ලවවාදියා විප්ලවවාදියෙක් වෙන්නේම පවතින සමාජ සම්බන්ධතා වලට ඔහු විරුද්ධ නිසාය.

    ReplyDelete
    Replies
    1. විප්ලවවාදියා විප්ලවවාදියකු වන්නේ පවතින සමාජ සම්බන්ධතාවලට විරුද්ධ වීම නිසා නො වේ. සමාජ සම්බන්ධතා වඩා සාධනීය ලෙස සංවර්ධනය කරන නිසා ය.

      විප්ලවයකින් සෑම සමාජ සම්බන්ධතාවක් ම මුලිනුපු‍ටා දමා අලුත් සම්බන්ධතා නිර්මානය වේ යන්න මනෝරාජික අදහසකි.

      එහෙම විප්ලව ලෝකයේ කිසි කලෙක සිදු වී නැත. ඉතිහාසයේ විප්ලව ලෙස නම් වී තිබෙන්නේ සමාජ පරිවර්තනයන් මිස හුදු බල පෙරළි නො වේ.

      නීතිය සම්බන්ධයෙන් ද විප්ලව සිදු වන්නේ තිබූ නීති පද්ධතිය මුළුමනින් ම උදුරා දමා අලුතින් නීති ලිවීමෙන් නො වේ. ක්‍රමික සංවර්ධනයක් ඔස්සේ ය. එහිදී පැරණි නීති ආරක්ෂා වී තිබේ.

      උදාහරණයක් ලෙස වයස අවුරුදු 18ට අඩු පුද්ගලයෙකු සමග ලිංගිකව එක්වීම දූෂණයක් ලෙස සලකන නීති සමාජවාදී පාලනයක් තුළ ද වෙනස් විය යුතු නැත.

      නීතිය වඩා යුක්තිසහගත වන අන්දමින් සංවර්ධනය කරන්නට ද සමාජය උත්සාහ කළ යුතු බව මම කියා ඇත්තෙමි. ඒ නිසා ඔබ විසින් මතු කර දක්වන නීතිවලට අප එරෙහි විය යුතු බව අමුුතුවෙන් කිව යුතු නො වේ. ඒ නීති අහෝසි කර ගැනීමට අප උද්ඝෝෂණය කළ යුතු ය.

      නිදසුනක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගන්න. කොටි සංවිධානය මර්දනය කිරීමේ කාර්යයේදී මෙම නීති උපයෝගී කර ගත්තේ සිංහල සමාජයේ ආශිර්වාදය මැද ය. සිංහල වාමාංශිකයින් වන ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (අතීතයේදී) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කරන ලද මර්දනයන්ට සහයෝගය දුන් අයයි.

      මෙම නීති පැවතුණේ වාමාංශිකයන් ද ඒවාට ආශිර්වාද කළ නිසා ය. ඒවාට එරෙහිව උද්ඝෝෂණ, අරගල සිදු නො වූ නිසා ය.

      Delete
  12. Lanka wen desapalana hethumatha widesa gawuwn,wides gathawee indagena lankawe nirdana panthiya wenuwen nowa,pthama kutumbayan rakshanaya kranawa witharai.Anika iniya wiplawa wadeen Russiyawa,chinaya,kubawata yanne nethuwa, yannema,Adhirajya wadee ratawalatai emokada?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා