ඡන්දය දෙන්නට යන්නට පෙර හිතට එන සිතුවිලි

අද පැවැත්වෙන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය ජාතික මෙන් ම ජාත්‍යන්තර වැදගත්කමකින් ද යුක්ත ය.

මෙහිදී ජනතාවට එක්කෝ ආණ්ඩුවට සුවිසල් වැඩි ඡන්දයක් ලබා දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුමත කරන්නට පුළුවන. ඒ කියන්නේ ආණ්ඩුවේ ජාත්‍යන්තර හුදකලාභාවය, දූෂිතභාවය, ජාතිවාදය, මානව හිමිකම් කෙරෙහි තිබෙන නො සැලකිල්ල, ප්‍රජාතන්ත්‍ර විරෝධීභාවය හා ඒකාධිපති පවුල්වාදය නැවත අනුමත කරන්නට පුළුවන.

ආණ්ඩුවට ඒ ජනවරමින් ඔකඳ වී තව තවත් ජාත්‍යන්තරව හුදකලා වන අන්දමේ ක්‍රියාමාර්ග ගන්නට පුළුවන. රටේ ඉතිරි සාරයක් ඇත්නම් එය ද සූරා කන්නට පුළුවන. ජාතික හෙළ උරුමය, බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධානවල පදයට නටමින් ජාතික ප්‍රශ්නය ආගම් ප්‍රශ්නයක් දක්වා ම අවුල් කරන්නට පුළුවන. ප්‍රජාතන්ත්‍රවාදයට සමච්චල් කරන්නට පුළුවන. යන යකා කොරහත් බිඳගෙන ම යන්නා සේ මහා ජන මර්දනයකට වුව මෙම ජනවරම යොදා ගන්නට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත.

මේ ඡන්දයෙන් ආණ්ඩුව ජය ගන්නට තිබෙන ඉඩකඩ වැඩි ය. මැතිවරණයේදී තරගය තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, විපක්ෂයත් අතර නො වේ. ආණ්ඩුවත්, විපක්ෂයත් අතර ය. ආණ්ඩුව සමස්ත රාජ්‍ය බලයමත්, මහජන මුදලුත් ඡන්දයට යොදවා තිබේ. එහෙව් ආණ්ඩුත් එක්ක ඡන්ද කර දිනන්නට පුළුවන් විපක්ෂ ලෝකයේ කොහේවත් නැත. එහෙත්, මෙවැනි ඡන්ද පවත්වන උතුරු කොරියාවේ, කියුබාවේ හෝ ඉරානයේ හෝ මෙන් සියයට අනූ ගණන් ප්‍රතිශත ලබා ගන්නට ද මේ ආණ්ඩුවට බැරි ය.

එහෙත්, ජනතාව ලෙස අපගේ වගකීම වන්නේ විපක්ෂය ශක්තිමත් කිරීම ය. ජනතාවට තමන්ගේ හිමිකම් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළ හැකි වන්නේත්, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් යම් තරමකට හෝ ආරක්ෂා කර ගත හැක්කේත්, ආණ්ඩුවේ දූෂණය යන්තමින් හෝ පාලනය කර ගත හැක්කේත් විපක්ෂය ශක්තිමත් වන තරමට ය.

රට ඉදිරියේ තිබෙන්නේ ඉතා දුෂ්කර කාලයක් බව නිසැක ය. යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ජාත්‍යන්තර හා දේශීය පරීක්ෂණ සඳහා තිබෙන බලපෑම් විෂයෙහි ද මෙම ඡන්ද ප්‍රතිඵලය අදාළ වේ. ආණ්ඩුවට ඕනෑ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා පහසුකම් සැපයීම ප්‍රතික්ෂේප කරන්නට හැකියාව තිබේ. එවැනි සංදර්භයක් තුළ සිදු වන ජාත්‍යන්තර පරීක්ෂණයක් ආණ්ඩුවට වඩාත් අවාසි සහගත වන බව නිසැක ය. දේශීය පරීක්ෂණ ගැන නම් ඉතින් කියන්නට දෙයක් නැත. ඒවා ඉතින් ලෝකල් වැඩ ය.

වසරින් වසර ජාත්‍යන්තර වශයෙන් වැඩි වැඩියෙන් හුදකලා වෙමින් තිබෙන ලංකාවේ ආණ්ඩුවට 2015 ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂමේ සැසිවාරය මීටත් වඩා දුෂ්කර වනු ඇති බව නිසැක ය. 

ඇමරිකාව ප්‍රමුඛ බටහිර ධනේශ්වර රටවලට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙල්ල කර ගැනීමට උවමනා වී තිබෙන බව පැහැදිලි ය. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කියන පරිදි ඔවුන් ඇමරිකාවට හිසරදයක් වී තිබෙන නිසා නො වේ. බටහිර රාජ්‍යයන් විසින් අනුදකිනු ලබන දැනට තිබෙන ධනේශ්වර දේශපාලන ක්‍රමය තුළ මෙවැනි ආණ්ඩු වල් පැළෑටි වී තිබෙන නිසා ය. වල් පැළෑටි යනු විකල්ප භෝගයක් නො වේ. නිකම් කඩාකප්පල්කාරීහු පමණ ය. කඩාකප්පල්කාරීන්ට දැක්මක් නැත. ඔවුන් කරන්නේ අල කිරීම පමණි. එය‍ට හොඳම උදාහරණය වත්මන් ආණ්ඩුවයි. 

ආණ්ඩුව බටහිරට මෙතරම් විරුද්ධ ඇයි? ජී.එල්. පීරිස් වැනි ඇමරිකන් ගැත්තන් ඇමරිකානු විරෝධයේ කුලී ප්‍රකාශකයන් බවට පත් වී තිබෙන්නේ ඇයි? මේ ඊනියා බටහිර විරෝධයට හේතු වන පැහැදිලි දේශපාලන මූලධර්මයක් තිබෙනවා නම් පෙන්වා දෙන්න. 

ලංකාවේ ආණ්ඩුව මේ වන විට කරමින් සිටින්නේ කුමක් ද? විවෘත ණය වෙළඳපොළින් ණය ගනිමින් ඔවුන් මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ 2004ට පෙර පැවති ආණ්ඩු සමයන්හිදී බටහිර රටවල මග පෙන්වීමෙන් ‍යෝජනා කරන ලද යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නො වේ ද? වෙනසකට ඇත්තේ දැන් ඒවා සිදු වන්නේ පාලක පවුලේ හිතු මනාපයට වීම හා චීනයෙන් හැර වෙනත් රටවලින් ආයෝජකයන් නො පැමිණීමයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණා නම් ඒවාට ආධාර දෙන කණ්ඩායම ලෙස හැඳින්වුණු බටහිර රටවල හා ජපානයේ සහාය ලැබෙන්නට ඉඩ තිබිණි. එහි හොඳ නරක දෙපැත්තක් තිබේ. දැන් සිදු වන්නේ චීනය නිර්දය අන්දමින් ලංකාව සූරාකෑම පමණි. 

බටහිර දියුණු ධනේශ්වර රටවලට අවශ්‍ය වන්නේ ලංකාව සිය බල අවකාශය තුළ රඳවා ගන්නට ය. ලංකාව උතුරු කොරියාව හෝ කියුබාව හෝ ඉරානය තරමින් ඔවුන්ට අභියෝගයක් නො වේ. ඔවුන්ට ලංකාව ගැටලුවක් වන්නේ ඒ රට පාලනය කරන්නේ විකාරකාරයන් පිරිසක් විසින් වීම නිසා පමණි. තුන්වන ලෝකයේ රටවල මෙවැනි විකාරරූපී ආණ්ඩු ඕනෑ තරම් තිබේ. එ් හැම එකක් සම්බන්ධයෙන්මත් බටහිර කටයුුතු කර තිබෙන්නේ මේ අන්දමට ම ය. බුරුමය සම්බන්ධයෙන් බටහිර රටවල් හා ඉන්දියාව කටයුතු කළ ආකාරය හා අවසානයේදී චීනය එයට දැක්වූ අනුකූලතාව ලංකාවට පාඩමක් ඉගෙන ගන්නට හොඳ උදාහරණයකි. 

මේ ගමන එතරම් දුර යා හැකි එකක් නො වේ. එහෙත් එහි තර්කානුකූල අන්තයක් දැකීමට ආණ්ඩුවට අවස්ථාව ද ලබා දිය යුතු ය. ප්‍රශ්නය තිබෙන්නේ ඒ වන විට රට වවුල් හපයක් බවට පත් වන එක ය. තව පරම්පරා ගණනාවකටවත් ගොඩ එන්නට බැරි අගාධයකට රට වැටෙන එක ය.

ඡන්දපොළට යාම මහා කම්මැලි වැඩක් බව ඇත්ත ය. ඒ ගත වන කාලය නිදා ගත්තත් සැප යයි සිතෙන සිතිවිල්ල පාලනය කිරීම අතිශය දුෂ්කර ය. එහෙත්, ඡන්දය නො දීම ද වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට සහයෝගය දීමකි. ඡන්දපොළට ගියත්, ආණ්ඩුවට ඡන්දය නො දී ඡන්දය දෙන්නේ කාට ද යන්න ද බරපතල ප්‍රශ්නයකි. ජවිපෙට ඡන්දය දෙන බව මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදී මම කීවෙමි. එහෙත් පසුගිය කාල සීමාව තුළ ජවි‍පෙ ක්‍රියාත්මක වූ ආකාරය හා විශේෂයෙන් ම ලාල් ක‍ාන්ත පුවත්පත්වලට දී තිබූ ඇතැම් සම්මුඛ සාකච්ඡා දුටු විට ඇති වුණේ කලකිරීමකි. ජවිපෙ විසින් මීළඟට බිහි කරන විමල් වීරවංශ, ලාල් කාන්ත යයි මට සිතේ. එහෙත්, වෙනත් විකල්පයක් නැති නිසා මගේ ඡන්දය ජවිපෙට ම දෙන්නට තීරණය කළෙමි. මනාප ගසන්නේ නැත. 

ජවිපෙට උවමනා නම් අප මේ කියන දෙය ගැඹුරින් තේරුම් ගන්නට පුළුවන. නැතිනම් සුපුරුදු අහංකාරකම රැකගෙන තවත් සමසමාජ පක්ෂයක් බවට පත් වන්නට පුළුවන. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. ජවිපෙ දැන් කළ යුත්තේ එදා කළාක් මෙන් ඉන්දියානු විරෝධී හෝ නැතිනම් ජාතිවාදී හෝ ආගම්වාදී හෝ කුමක් හෝ මඩ ගොහොරුවකට පැන කෙලීමයි. එවිට ජනවිඤාණය හා මොනවට බැඳී ජයකෙලි නැංවීමට හැකිවෙනු ඇත.

    ReplyDelete
  2. නොකරයි කියා ගැරන්ට් කළ නො හැක.

    ReplyDelete
  3. අනේ කවුරුහරි දන්නවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ජන්දේ දෙන්න කියන්නේ කාටද කියලා? මොකද මම පිළිගන්නේ එතුමාගේ මතය විතරයි.

    ReplyDelete
  4. මා රනිල් වික්‍රමසිංහ මහතාව විශ්වාස කරමි. පවතින දූසිත ක්‍රමයට සපුරා වෙනස් ක්‍රමයක් දකින පුද්ගලයෙකි රනිල් වික්‍රමසිංහ. ඔහුට විපක්ෂයක් ලෙස ජනතාව එක්රැස් කිරීම් හැකියාව අඩු වුවත් රජයක් ලෙස පත්වූ කලෙක ජනතාවට වඩාත් වාසිදායක ලෙස සමාජ ක්‍රමය හැරවීමේ වඩාත්ම හැකියාව ඇති පුද්ගලයා වන්නේ රනිල්වික්‍රමසිංහ වේ. ඕනෑම අයෙකු විසින් දැනට අප පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්ථා හොදින් කියවා බැලුවොත් දැනට පාර්ලිමේන්තුවේ සිටින වඩාත් පුළුල් දැනුමක් ඇති අපේ රටේ බොලද දේශපාලනයට නොගැලපෙන දාර්ශනික හරයකින් හෙබි පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බවට විනිශ්චය කරගත හැක. රනිල් යනු හුදෙක් විපක්ෂයේ සිට ආන්ඩුවට ඇනයක් වන ලවුඩ්ස්පීකරයකින් එහාට ගිය ලැබුන අවස්ථාවලදී මහජනයාට දිගුකාලිනව සෙත සැලසෙන වැඩ කල නායකයෙකි. මා අපේක්ෂා කරන ප්‍රාෙයා්ගික බුද්ධිමත් දේශපාලනය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ළඟ තිබෙන බැවින් එතුමා යම් තාක් කාලයක එක්සත් ජාතික පක්ෂ නායකත්වය දරයිද මා එතුමාගේ පක්ෂයට සියලු මැතිවරණවලදී ඡන්දය දෙමි. යම් දිනයක රනිල් වික්‍රමසිංහ නැති එක්සත් ජාතික පක්ෂයක් ඇතිවුවහොත් තවදුරටත් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයත් අතර වෙනසක් දැකිය නොහැකි වන අතර වෙනස් වන්නේ සැමවිටම වාසි තකා වැඩකරන බල ලෝභී පුද්ගලයින් රැසක් පමණි.

    ReplyDelete
    Replies
    1. ප්‍රදර්ශනාත්මක බෞද්ධයින් බහුල රටක රනිල් වික්‍රමසිංහ වැනි සැබෑ බෞද්ධයින් අතිශය විරලය. රනිල් ‘බුදුන් වදාළ ධර්මය' තම ජීවිතයට අදාළ කරගෙන සිටින්නේ ප්‍රදර්ශනය සඳහා නොවේ. සැප - දුක, නින්දා - ප්‍රශංසා, යස- අයස, ලාභ - අලාභ නම්වූ අටලෝ දහමෙහි අකම්පිතව අචංචලව සම සිතින් මුහුණ දෙන රනිල් වික්‍රමසිංහයන් තරම් නින්දාවට හා ගර්භාවට පාත්‍ර වූ වෙනත් නායකයෙකු අප රටේ නැති තරම්ය. ඒ කිසිවකින් රනිල් නොසැලේ.

      වෙනත් නායකයින් අපල උපද්‍රවයන්ගෙන් බේරී පින් රැස් කර ගැනීමට 'ධම්මපදය' කියවද්දී රනිල් වික්‍රමසිංහ මහතා ‘ධම්මපදය' ඇසුරු කරන්නේ තම ප්‍රඥාව වඩවා ගැනීමට හා තම ජීවන දර්ශණය තව තවත් පුළුල්කරවා ගැනීමටය. ධම්මපදයේ ‘සුඛ වග්ගය' වෙන් කොට ඇත්තේ රනිල් වැනි වූ අප්‍රමාණ මිනිසුන් වෙනුවෙනි.

      ලංකාවේ මෙතෙක් බිහිවූ හොඳම ලිබරල් නායකයා වන රනිල් ශිරාන් වික්‍රමසිංහගේ දේශපාලන භාවිතාව තවමත් ලංකාවේ ජනතාව හරිහැටි තේරුම් ගෙන නොමැත.

      අරාබි වසන්තය ප්‍රතික්ෂේප කරන රනිල් ජිනීවා ‘යුක්තියේ දෙවොලට' ගොස් යුක්තිය පතා හඬ තලන මානව මානවිකාවන්ට එකතු නොවී ජිනීවා වල දී ආන්ඩුව බේරා ගැනීමට තමන් කැමති බව පවසයි. ඔහු ඒ සඳහා ඉල්ලා සිටින්නේ 17 වන සංශෝධනය බලාත්මක කරන ලෙසයි. ජනාධිපති කෝපි බොන්න එන්න කියූ සැණින් රනිල් අරලියගහ මන්දිරයට යයි. ජෝන්ව ජනාධිපති සමග වතිකානුවට වන්දනාවේ යවයි. මුසම්මිල්ට ගෝඨා සමග ඩීල් දමාගැනීමට දී නොදැක්කා වගේ සිටී. ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමට ආණ්ඩුවට එකතු වන එජාප පාක්ෂිකයන් පිළිබඳව දක්වන්නේ අල්මැරුණු ප්‍රතිපත්තියකි. විරුද්ධ පක්ෂය දුර්වල කිරීම තුලින් සැබෑ ලෙස දුර්වල වන්නේ පවතින රජය බව රනිල් හොඳාකාරවම දනී.

      රනිල්ගේ ලිබරල් දේශපාලන මොලය ශ්‍රී ලංකාවේ දේශපාලනයට බරපතල වැඩිය. එය තේරුම් ගැනීමට නොහැකි පාක්ෂිකයන් ඒ සැම විග්‍රහ කරන්නේ ‘දේශපාලන නපුංසකයෙකුගේ ක්‍රියාවන්' ලෙසය.

      බලයට බඩගිනි මිනිසුන්ට රනිල් දෙන්නේ ක්ෂණික නූඩ්ල්ස් නොවේ. ඒ වෙනුවට රනිල් ලබාදෙන්නේ මාලුවෙකු බිලී බාගෙන කෑම සඳහා බිලී බෑමට බීලී පිති සහ බිලී කටු යනාදියයි. බොහෝ විට රනිල් ශිරාන් වික්‍රමසිංහගේ ලිබරල් දේශපාලන‍යේ ප්‍රතිඵල අත් විදින්නේ ඔහු නොවීමට පිළිවණ. එහි ප්‍රතිඵල නිතැනින්ම අත්වනු ඇත්තේ මතුදා පරම්පරාවටය.

      Delete
  5. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ක්‍රියාධරයෙකු වන සුමතිපාල මානවඩු සහෝදරයා හදිසියේ අප අතරින් සමුගත්තේය. මතවාදීව මොන ගැටළු තිබුනත් වාමාංශික දේශපාලනය වෙනුවෙන් ඔහු කළ කැප කිරීමට අප විප්ලවීය ආචාරය පුද කරන්නෙමු.
    ඔහුගේ මළ ගෙදරට සහභාගි වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විමල් කැටපේ ආරච්චිට සහ අජිත් කුමාර සහෝදරයාට මළ ගෙදර දී ජ.වි.පෙ සමාජිකයන් විසින් පහර දී ඇත.
    ජනතා විමුක්ති පෙරමුණ විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාධරයන් දෙදෙනෙකුට පහර දීම ගැන අප කල්පනා කරන්නේ කෙසේද? එම පහර දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපට ස්ථාවරයන් තුනක් ඇත
    01 මෙහිදී විමල් කැටපෙආරච්චි සහ අජිත් කුමාර යන පුද්ගල චරිත දෙකට මේ ආකාරයෙන් පහර දීම සම්බන්ධයෙන් අප අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ ඔවුන් ලංකාවේ දේශපාලන අරගලයේ කොටස්කරුවන් ලෙස සිය දායතක්වය ලබා දෙන බැවිනි.
    02 ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන් විමල්ට සහ අජිත්ට පහර දෙන විට එය ඔවුන් කරන්නේ හොද මිනිසුන් වීමට නොව නිදහස් මිනිසුන් වීමටය. නිදහස් මිනිසා යනු පවතින දේශපාලන සදාචාරය අත් හිටුවන්නාය. එනම් දේශපාලනය යනු සදාචාරය අත් හිටුවීමයි.
    03 දේශපාලනයෙන් පසමිතුරුභාවය ඉවත් කළ විට ඉතිරි වන්නේ ඉවරයක් නොවන සම්භාෂක අනෙකෙකි. අප කළ යුත්තේ දේශපාලනයට පසමිතරුභාවය සහ අඥය හදුන්වාදීමයි. එය කළ හැක්කේ පද්ධතිය බිහිකර ඇති හිංසාව නම් තුවාලය හිසාවෙන්ම සුව කිරීමෙනි. පාවා දීම සහ විමතික අදහස් පළකිරීම යනු වැඩ දෙකකි. පාවා දෙන්නන්නට අප පහර දිය යුතුය. ධනේෂ්වර රාජ්‍යය ඊනියා ත්‍රස්තවාදීන්ව දේශපාලනයෙන් ඉවත් කරන පරිදිම අපද සදාචාරයට බිය නොවී පාවා දෙන්නන්ව දේශපාලනයෙන් ඉවත් කළ යුතුය. දේශපාලනයෙන් පසමිතුරුභාවය ඉවත් කරන්නේ මාසික වැටුපකින් නඩත්තු වන මධ්‍යම පංතික ලිබරල්වාදී බුද්ධිමතුන්ය.
    එබැවින් අප සිටින්නේ දේශපාලනයේ වාමාංශික පසමිතුරුභාවය පැත්තේය. එහි උරුමයට අනුව විමල්ලාට අජිත්ලාට ඔහොම නොව රෝහල් ගත වන්නටම පහර දිය යුතුය. දක්ෂිණාංශිකයන් සමාජයෙන් ත්‍රස්තවාදීන් ඉවත් කිරීමට උත්සහ දරණ පදිරිම අරගලකරුවන්ව නොව පාවා දෙන්නන්ව සමාජ අරගලයෙන් ඉවත් කළ යුතුය. ඒ අයට සංස්කෘතික අරගලය තුල පැවතීමට ඉඩ දිය යුතුය.

    ReplyDelete
  6. "මෙහිදී විමල් කැටපෙආරච්චි සහ අජිත් කුමාර යන පුද්ගල චරිත දෙකට මේ ආකාරයෙන් පහර දීම සම්බන්ධයෙන් අප අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ ඔවුන් ලංකාවේ දේශපාලන අරගලයේ කොටස්කරුවන් ලෙස සිය දායතක්වය ලබා දෙන බැවිනි."

    "එබැවින් අප සිටින්නේ දේශපාලනයේ වාමාංශික පසමිතුරුභාවය පැත්තේය. එහි උරුමයට අනුව විමල්ලාට අජිත්ලාට ඔහොම නොව රෝහල් ගත වන්නටම පහර දිය යුතුය. "

    මානසික ‍රෝගයක් වුවත් දේශපාලන වචනවලින් න්‍යායගත කරන්නට සමතෙකුගේ අදහස් දැක්වීමකි. ත්‍රිමාන වෙබ් අඩවියේ පළ වන වර්ගයේ අදහසකි.

    වහා රෝහල් ගත වන්නේ නම් ලොකු සමාජ සේවයක් කළ හැකි ය.

    ReplyDelete
  7. ත්‍රිමාන වෙබ් අඩවියේ පළ වන වර්ගයේ අදහසකි.

    I still believe you can recognize your wife and her sister separately each other.


    ReplyDelete
  8. විවිධ වූ හේතූන් රාශියක් මත. ජෙප්පන්ට පළමු වරට ඡන්දය දුන්නෙමි. ලාල් කාන්තටත් මනාපයක් දුන්නෙමි. ඊළඟ විමල්දැයි කියන්නට දැන්මම කල් වැඩිය. නමුත් පොරට මා පෞද්ගලිකව කැමතිය.

    ReplyDelete
  9. ඔන්න මාත් ජන්දේ දීලා ආවා. එක්සත් ජාතික පක්ෂයට තමයි ජන්දය දුන්නේ.
    කොළඹ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලදී කතාකරපු තුන්දෙනෙක්ට මනාප දුන්නා.

    ගොඩක් තරුණ අය මේ පාර ජේවීපී එකට ජන්දය දෙන බවක් පෙනෙන්නේ. ඔන්ලයින් ෆෝරම වලත් අදහස් දාපු ගොඩක් අය කියා තිබුනේ එවැනි දෙයක්.සන්ධානයට නැතිව විපක්ෂයාට දෙන කොයි ජන්දයත් වටිනවා.
    හැබැයි මම නං එජාපය හැරෙන්න වෙන පක්ෂයකට ජන්දය දෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය කියන එක පරම්පරාවෙන් ඇවිත් දැන් ලේ වලට කවලම් වෙලා තිබෙන්නේ. ඒ හින්දා වෙන පක්ෂයට ජන්දය දෙන්න හිත හදාගන්න බැහැ.

    ReplyDelete
  10. උඹල මඟුලක් කතා කරනව අර පිනා පොස්ට් එකක් දාල. පින් පෝස්ට් එකක් බොලව්

    ReplyDelete
  11. අද සෑ තමයි සෑ කිව්වාලු....

    දන්නා කියනා කිහිප දෙනෙකුට කතා කලා...වෙනස් වෙනස් මත දරනා අය. මේක මගේ පුංචි සමීක්ශනය..

    කතා කරපු ගණන....10 (මාතර 5+ කඩුවෙල 5)
    ඡන්දය භාවිතා කලා යැයි කියූ ආකාරය:
    පො.පෙ....3
    ජවිපෙ...4
    යු.ඇන්.පී..2
    ෆොනි...1

    ජවිපෙට ඡන්දය පාවිච්චි කරපු හතර දෙනාගෙන් දෙදෙනෙකු ගියවර ආණ්ඩුවට කැම්පේන් කරපු දෙන්නෙක්.

    ReplyDelete
    Replies
    1. අරූ උඹේ සාම්පල් එකේ අවුලක් තියනවා කියල උඹටම පේනව නේ? ජෙප්පො තමයි එක!

      // ඒ කියන්නේ ආණ්ඩුවේ ජාත්‍යන්තර හුදකලාභාවය, දූෂිතභාවය, ජාතිවාදය, මානව හිමිකම් කෙරෙහි තිබෙන නො සැලකිල්ල, ප්‍රජාතන්ත්‍ර විරෝධීභාවය හා ඒකාධිපති පවුල්වාදය නැවත අනුමත කරන්නට පුළුවන.//

      ඒ කියන්නෙ පැරා මානවඩු ගෙ මළ ගෙදර ගිය උන්ට ගහපු එක අනුමත කරා වගේ නේද?

      මෝඩ කතා කියන්න එපා පැරා. අද ආණ්ඩුවට චන්දෙ දෙන උන් ගෙන් ඕන්නම් ආණ්ඩුවක් වෙනස් කරන්න තරම් ප්‍රතිශතයක් දෙන්නෙ අනිත් විකල්ප වලට තියන විවේචන සහ මොනව හෝ හේතු (යුද්දය, සංවර්ධනය) උඩ මේ ආණ්ඩුවට තියන කැමැත්ත නිසා. ගිරව් වගේ "ආණ්ඩුවට චන්දෙ දෙන්නෙ ආණ්ඩුව කරන ඔක්කොම අනුමත කරන නිසා" කියල අඳෝනා කිව්ව කියල ඒ මිනිස්සුන්ට ගානක් නෑ ඒ මිනිස්සු දන්නවා උන් චන්දෙ දුන්නෙ ඒකට නෙවෙයි කියල.

      මේ මොහොතෙ ජෙප්පන්ට චන්දෙ දෙන උන් ගැන මට ලොකු අවුලක් නෑ, නමුත් මම ලංකාවෙ හිටිය නම් චන්දෙ කටු ගානවා. ඉන්න එකා කුණු වෙනකම් ඔහේ බලාගෙන හිටියම අපිටත් දවසක හරි යනවා කියල ඉන්න උන්ට ඒක හරි කියල උල්පන්දම් දෙන්න මට ඕන නෑ.

      Delete
    2. මචං ඇනෝ....ඔය මම ටෙලිෆෝන් එකෙන් කතාකරපු 10 දෙනෙක්. 10 දෙනෙකුගෙන් හරියට වැඩේ හිතාගන්න බැහැ. ආණ්ඩුව ගැන තියෙන කළකිරීම පෙන්වන්න ජෙප්පන්ට ඡන්දෙ දෙන එක තමයි මේ 10 දෙනා අතරින් දෙන්නෙක් කරලා තියෙන්නේ. වෙන කොහොමද ඒ විරෝධය දක්වන්නේ? අජිත්ට ගහපු එකේ වැරැද්ද නෙමේ මේ වෙලාවේ මිනිස්සු දකින්නේ ..ආණ්ඩුවට පනිවිඩයක් දෙන එක. උඹ හිතනවාද අද රෑට ජෙප්පන්ට වැටෙන ඡන්ද ඉදිරි දැක්ම ද අපේ දැක්මද කියන එක කියවලා ඒකට දෙන ඡන්ද කියලා. මම හිතන්නේ මේ අවස්තාවේ පැරා හිතන එකමයි.

      Delete
    3. අරූ මචන් මම කලිනුත් කිව්වෙ මේ වෙලාවෙ ජෙප්පන්ට දෙන එක ගැන මට කිසිම අවුලක් නෑ. ඇත්තටම යූඇන්පී එකට දෙනවට වඩා නම් ජෙප්පන්ට දෙන එක මේ චන්දෙ දි සෙන්සිබල්.

      මට අවුල තියෙන්නෙ මේ පොදු පෙරමුණට චන්දෙ දෙන උන් මානව හිමිකම් කඩන එක, පවුල් වාදය "අනුමත කරන්න" චන්ද දෙනව කියන මේ හිඟන අඳෝනාව. පැරා හෝ උබේ යාලුවො ජෙප්පන්ට චන්දෙ දෙන්නෙ ගහපු එක අනුමත කරන්න නෙවෙයි වගේ, මිනිස්සු මෙච්චර ගොඩක් පෙරමුනට චන්දෙ දෙන්නෙ නිකන්ම නෙවෙයි මොනව හරි හේතු ඇතිව කියන එක පිලි ගන්න කම් මොන දේශපාලන පෙරළියක් වත් කරන්න බෑ මම හිතන විදියට. තමන්ව මාකට් කර ගන්න බැරි එකට රටේ ඉන්න උන්ට බැනල වැඩක් නෑ. විරෝදතා චන්ද වලින් ආණ්ඩු හැදුනත් වැඩි දුර යන්නෙ නෑ.

      Delete
  12. මේ ආණ්ඩුව ඔය කියන විදියට "බටහිර විරෝධී " කියලා ඔය කියන ""බටහිරට" දැනෙන්නෙවත් නෑනෙ...... පැරකුම් මහත්මයා අල්ලපු තැන වැරදුණා වත් ද ??? :D

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා