සුන්දර ඉංගිරිසි -1: පුදපු ගමන් කාපි යකා

මම ඉංගිරිසියට වන්දනා නො කරමි. එහෙත් ඒ බසට ආදරය කරමි. අපට ලෝකය දෙස බලන්නට කවුළුව විවර කර දුන්නේ ඉංගිරිසියයි. 

අප ඉංගිරිසි හෝ ඉංග‍්‍රීසි යයි කීවාට ඇත්තෙන් ම මේ භාෂාව ඉංග්ලිෂ් නම් වේ.

ඒකත් හරි අපූරු දෙයකි. අපි භාෂාවේ නම ම තත්භව කරගෙන තිබේ. භාෂාවකට වෙනත් භාෂාවකින් වචන ලැබෙන ක‍්‍රම දෙකක් තිබෙනවා. වචනය ඒ ආකාරයෙන් ම භාෂාවට පිවිසුණා නම් අපි එය තත්සම ලෙස හඳුන්වනවා. 'ඉංග‍්‍රීසි’ නම් වචනය වගේ බිඳී ඇවිත් භාවිතා වෙනවා නම් අපි එයට තත්භව යයි කියනවා.

මම හිතන්නේ සංස්කෘත භාෂාවේ වචන හැරුණාම අපේ සිංහලයේ වැඩියෙන් ම තිබෙන තත්සම හා තත්භව වදන් අයිති වන්නේ ඉංග‍්‍රීසි භාෂාවටයි. සිංහලයට අලූතෙන් එකතු වන වචනවලින් නම් වැඩිම හරියක් ඉංග‍්‍රීසි. 

උදාහරණයක් ලෙස, මම මේ ලිපිය ලියලා ජනරළ පත්තරේට ඊමේල් කරනවා. ඊමේල් කියන්නේ අලූත් වචනයක්. සමහරු මෙයට විද්‍යුත් තැපෑල කියනවා. ඒත්, මම නම් ඒ වචනයට ඒ තරම් කැමති නැහැ. විද්‍යුත් කියන වචනයෙන් හැඳින්වෙන්නේ විදුලිය හෙවත් ඉංග‍්‍රීසියෙන්electricity ගැන වෙන්නත් පුළුවන්. එතකොට මේක විදුලි තැපෑලක් ද? නැහැ. ඉංග‍්‍රීසියෙන්electronic කියන වචනය වෙනුවෙන් භාවිතා වන සිංහල වචනයක් නැහැ.  ඒ නිසා email එකට සිංහලෙනුත් ඊමේල් කියන එක තමයි වඩා හොඳ. මෙය අලූත් වචනයක්. එය තත්සම වචනයක්. 

සමහරු රේඩියෝවට ගුවන් විදුලිය කියනවා. වචනය ලස්සන වුණත්, මම නම් හිතන්නේ රේඩියෝ නම් ඉංග‍්‍රීසි වචනයේ අර්ථය ගුවන් විදුලිය කියන වචනයේ නැහැ. රේඩියෝ කියන වචනය සිංහල කටට හුරු වචනයක්. ඒ නිසා එහෙමම යොදන එක හොඳයි කියලායි මට නම් හිතෙන්නේ. 

ඉස්සර කාලේ ගමේ මිනිස්සු රේඩියෝවට වෑර්ලස් එක කියලාත් කිව්වා. මේ wireless නම් ඉංග‍්‍රීසි වචනය සිංහල ගැමි ව්‍යවහාරයේ තත්භව වුණ හැටියි. දැන් මේ වචනය ‘රැහැන් රහිත‘ කියලාත් පරිවර්තනය වෙනවා. ඒත්, එය රේඩියෝ සම්බන්ධයෙන් අදාළ නැහැ. විදුලි කම්බි දිගේ නැතිව ගුවන ඔස්සේ සංඥා ලැබුණු රේඩියෝව මුලින් ම වෑර්ලස් කියා හැඳින්වූයේ අප නොවෙයි, එංගලන්තයේ මිනිස්සුයි. 

අපි කම්බියට වයර් කියනවා. අසරු ඉංග‍්‍රීසි වචනයක්. වයර් කෑල්ල, වයර් රෝල වැනි වචනත් අපි පාවිච්චි කරනවා. ටිකක් නුහුගුණ අයට ‘වයර් මාරු වෙලා‘ කියලාත් කියනවා. වයරිං :(wiring) කරනවා කියන එක දැන් සිංහල ක‍්‍රියාපදයක් වෙලා. 

සිංහලේ තිබෙන ඉංග‍්‍රීසි හඳුනා ගැනීම රසවත් වැඩක් විතරක් නොවෙයි. එයින් ඉංග‍්‍රීසි ඉගෙන ගන්නත් පුළුවන්. මේ ලිිපි පෙළ කියවගෙන යනකොට ඔබට හිතේවි අපි කොච්චර නම් ඉංග‍්‍රීසි වචන ප‍්‍රමාණයක් අපේ කරගෙන තිබෙනවා ද කියලා.

අජිත් පැරකුම් ජයසිංහ (ජනරළ පුවත්පතට ලියන ලද කොලමකි)


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අපේ භාෂාවට වචන එක්වන ක්‍රම තුනක් තියනවා කියලයි මට මතක.

    1. තත්සම = සිගරට් > සිගරට්ටුව

    2. තත්භව = සිගරට් > දුම් වැටිය

    3. නිෂ්පන්න = (දැන් අභාවයට යමින් හෝ ගොස් තිබේ) Government = ගෝරමේන්තුව, Criminal = කිරිමේල්, Surveyor General = සරුව ජනෙල්

    ඉලෙක්ට්‍රික් කියන්නේ තනිකර විදුලි බලය පමණයි. ඉලෙක්ට්‍රොනික් කිව්වම විදුලි බලය සහ චුම්බක ශක්තිය මිශ්‍රව තියනවා. ඒ නිසා විද්‍යුත් කියන වචනය හොඳයි.

    හොඳ ලිපි පෙළක ආරම්භයක් බව කියන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා , පොඩි පැටලැවීමක් තිබෙනවා මට හිතෙන්නෙ නිෂ්පන්න වචන ගැන ඔබ දුන්නු උදාහරණ වල , නිෂ්පන්න වචන කියන්නේ මම අහල තියෙන විදිහට යම් භාෂාවකට වෙනත් භාෂාවකින් කිසිම සම්බන්ධයක් නැතුව කෙලින්ම ඒ භාෂාව තුලින්ම ඇති වුනු වචන.. මුල් ආර්ය භාෂා වගේ ඒවයෙ හැර අනෙක් භාෂාවල මේ වගේ වචන අඩුයි මම දන්න තරමට .. එහෙත් සිංහල නිෂ්පන්න වචන තිබෙනවා, හුඟක් ගස් වර්ග සතුන්ට කියන නම්, ඒ වගේම ඇඟේ කොටස් වලට කියන නම් මුහුණ , කකුල වගේ ඒව ලිඳ , වතුර වගේ ඒවත් නිෂ්පන්න වචන .. තව මම අහල තියෙනව හූඟක් විට භාෂාවක තියෙන අසභ්ය වචන නිෂ්පන්න වචන කියල...

      ...................

      පැරා ගුවන්විදුලිය කියන වචනේ තේරුම මදි කියනකොට ටෙලිවිෂන් එක රූපවාහිනිය වුණ එක ගැන මොකද හිත්න්නෙ : )

      Delete
    2. බොහොම ස්තුතියි ඒ දැනුවත් කිරීමට. උදාහරණ ටිකක් දුන්නනම් අපූරුයි.

      Delete
    3. // පොල්, කොස්, දෙල්, පලු, වීර, නෙල්ලි, නැදුන්, සියඹලා, නික, පුහුල්, වෙල, කුඹුර, ළිඳ, ළිප, ළඳ, ළදරු, පැදුර, වැව, තවාන, කකුල, මුහුණ, ලිහිණි //

      -- අරව නම් දාන්නෙ නෑ ඕං..

      Delete
    4. ඊමේල් එකට විද්‍යුත් ලිපිනය කියන යෙදුමට මමත් කැමති නැහැ. රූපවාහිනිය කියන වචනය නම් මට හිතෙන්නේ රූපවාහිනිය තුළ ඇති Picture Tube එක, එහෙමත් නැත්නම් Cathode Ray Tube කියන එක පදනම් කරගෙන ගොඩනගපු වචනයක් වෙන්න ඇති. නමුත් වර්තමානයේ අප දකින LCD හා LED යන්ත්‍රවලට එය අදාළ නැහැ.

      Delete
    5. electronics kiyana wachanayata sinhala wachanayak tiyenawa. eka godak aya dannathi ekai problem eka. mama eka kiyala dennam. ekata sinhalen kiyanne "widuthmaka" kiyala honde.

      Delete
  2. සිංහලෙන් රේඩියෝවට සෑදු නම රෙදෙව්ව.

    Radio = = අරීය + දෙව්ව = රෙදෙව්ව

    ReplyDelete
    Replies
    1. ඒ ආකාරයට මැවිසුරු ඊලියන් ද සිල්වා සෑදූ වචන රාශියක් අවශ්‍ය අයට මෙතනින් බලාගත හැක.
      http://kathandara.blogspot.com/2011/03/blog-post_17.html

      Delete
    2. හොඳ වචන සම්භාරයක්.

      Delete
  3. //විදුලි කම්බි දිගේ නැතිව ගුවන ඔස්සේ සංඥා ලැබුණු රේඩියෝව මුලින් ම වෑර්ලස් කියා හැඳින්වූයේ අප නොවෙයි, එංගලන්තයේ මිනිස්සුයි.//

    මම හිතාගන හිටියේ වෑල් එකින් එකට වයර් නැතුව පාස්සා ඇති නිසා ඒකට ''වෑර්ලස් '' කියලා කියුවා කියලා

    ReplyDelete
  4. රේඩියෝ කියන වචනය මට හිතෙන්නෙ රේඩියේෂන් ‍කියන ඉංගිරිසි වචනයෙන් ආපු එකක් කියල. රේඩියේෂන් කියන එකට සිංහලෙන් දැන් භාවිතා කරන්නේ විකිරණය කියලයි.රේඩියෝ කියන එකට අපි ගුවන් විදුලිය කියල භාවිතා කළාට බ්‍රෝඩ්කාස්ටිං කියන එකට කියන්නෙත් ගුවන් විදුලිය කියලනෙ.ඒත් ටෙලිකාස්ටිං එක පරිවර්තනය වුනේ රූපවාහිනිය කියලයි. එතකොට ශබ්දවාහිනී කියන්නෙ ඕඩියෝ යන්ත්‍රවලට. ශබ්ද විකාශන යන්ත්‍ර කියලත් කියනව.
    මේ වචන හැදෙන්න ඕනැ පරිවර්තනයෙන්ම නෙවෙයි. වචනයෙන් අදහස් කරන දේට ගැලපෙන ශබ්දයක් සහිත වචනයක් හදා ගත්තහම හරි. අපි "ගහ" කියන එකට ඉංගිරිසියෙන් කියන්නෙ "ට්‍රී" කියල. ඒ වචන හැදුනෙ පරිවර්තනයක් විදිහට නෙවෙයි. අර ගොයම් කපන යන්තරේට "සුනාමි" කියල කියන්නෙ. ඒ වචනෙ වැරදියි කියල අපි වගේ උගත් පණ්ඩිතයො කිව්වට මිනිස්සු වැඩි දෙනෙක් ඒකට කියන්නෙ සුනාමි කියලනෙ. ඉතින් ඒ වචනෙ වැරදියි කියන්න අපට තියන පදනම මොකක්ද? කිරි සහ තේ එකට කලවම් කරල සීනි දිය කරල හදන පානය "ටී" කියල අපි කියන්නෙ. සුද්ද ටී කියන්නෙ තේ වලට. ඉතින් ඒක එහෙමම තමයි. සිංහලෙන් ටී කියන්නෙ කිරි තේ වලට. ඉංගිරිසියෙන් ටී කියන්නෙ තේ වලට. ඉංගිරිසි වචන සහ සිංහල වචන ගලපන්න හදන එක මෝඩ වැඩක්. ඊ මේල් කියන එක විද්‍යුත් තැපෑල කියන එකට ගැලපෙන්නෙ නැත්තෙ "ඊ" කියන්නෙ "විද්‍යුත්" කියන එක නොවන නිසා කියල තර්ක කරන්න එපා. විද්‍යුත් තැපෑල කියන්නෙ අපි ඔය යවන ඊ මේල් වලට සිංහල භාෂාවෙන්. එත‍නින් එහාට තර්ක කරන්න එපා. වචනයකින් අදහස් කරන දේ හිතට වදිනවනම් ඒ වචනය ගැලපෙන වචනයක්, නිවැරදි වචනයක්. සමහර පාරිභාෂික වචන හිතට වදින්නෙ නෑ. ඒ නිසා ඒව භාවිතයෙන් ගිලිහෙනවා. පොතේ විතරක් ඉතිරි වෙනවා. ඒ වචන "වැරදි" වචන. වං ගෙඩියට මෝල් ගහට ඉංගිරිසියෙන් වචන හොයන්න එපා. පාරිභාෂික සුද්දෙක් ඇවිත් කියයි වං ගෙඩියට ලෙෆ්ට් නට් කියල. මෝල් ගහට නම් ඉතින් මිල් ට්‍රී කියලනෙ කියන්නෙ. එතකොට ඔබ දන්නවද කසාද - දික්කසාද හැදුනු හැටි?

    ReplyDelete
    Replies
    1. එතකොට හෙනහුරෝ ඇත්ත සුනමියය් යන්තරය එක්ක පැටලෙනවා ඕවට කියන්නේ අන්වර්ථ නම කියල

      Delete
  5. හොඳ තීරු ලිපියක් වගේම මෙතැනදී ඔබත් සමග එකඟයි

    ReplyDelete
  6. සර්වලෝක පූට්ටුව ගැනත් කියයි වගේ.

    ReplyDelete
  7. ස්තුතියි.

    මහාචාර්ය ‍කොටගම eco tourism කියන වචනයට දීලා ති‍‍යෙන්‍‍නේ “රූ ‍දෙස් සංචරණය“

    ‍මේ ව‍ගේ සිංහල වචන ගලප්පන්න කියාම ‍බොකු බඩවැල් කැල‍තෙනවා.

    ‍කොටින්ම වතාවක් “ප්‍රසම්පාදන“ කියන වච‍නේ දන්නැතිව මට විභාගයක් විනාස වුණා.‍ටෙන්ඩර් මිසක් ‍මොන ප්‍රසම්පාදනද?

    ReplyDelete
  8. මා මෙතෙක් කල් සිතා සිටියේ electric යන්න සඳහා විදුලිය යන වචනය සිංහලෙන් භාවිතා කරන බවත් electronic යන්නට විද්‍යුත් යන්න යොදන බවත්ය . සිංහල භාෂාවේ අපි එදිනෙදා භාවිතාවේ කතා කරන බොහෝ වචන, ඉංග්‍රීසි භාෂාවෙන් පැමිණි ඒවාටත් වඩා ඇත්තේ ලන්දේසි හෝ පෘතුගීසින් ගෙන් අවායයි සිතිය හැකි ස්පාඤ්ඤ භාෂාවේ බොහෝවිට යෙදෙන ලතින් සම්භවයක් ඇති තත්සම වචන බව මම තේරුම් ගත්තේ ඇමරිකාවේදී ලතින් ඇමරිකානු මිතුරන් හා මෙක්සිකානු ජාතිකයන් ඇසුරු කිරීමට ලැබීම නිසාය. මා සිංහල යැයි සිතා සිටි බොහෝ වචන උන්ගේ ඒවා බව දැන ගැනීමෙන් මම විමතියට පත්විය.

    ReplyDelete
  9. http://www.cnn.com/2014/03/03/living/grammar-day-irpt/index.html?hpt=hp_t3

    Enjoy!

    ReplyDelete
  10. karunakarala, kawruhari Goraka walata English walin kiyana wchanaya palakaranawada.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා