වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන

ලංකාවේ මිනිහෙක් මැරෙන්න අකැමැති ම විධිය හෙණ ගහලායි. 


වයස අවුරුදු විස්සක් විතර වූ මදාවි කාලෙ එක දවසක් මම හෙණ ගහද්දී බයිසිකලයක් පැදගෙන පාරේ ගියා. කන්දක් මුදුනෙදි දඩාං ගෑවා. මගේ ඇඟට උණු වතුර වැටෙනවා වගේ දැනුණා. මං හිතුවෙ කවුරුහරි මට වෙඩි තිබ්බා කියලයි. මම දිගට ම බයිසිකලේ පැද්දා. වූ දේ තේරුණේ ටිකක් දුර ගියාමයි. 


එදා හෙණ නො වැදුණ මං ඊට බොහෝ කාලෙකට පස්සෙ අනුරාධපුරේ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ගෙදරදි අපේ ඉස්සරහ ම මහ ගහකට හෙණ වැදිලා ගිනි ඇවිලිලා නිවිලාත් යනවා දැක්කා. මම හිතන්නෙ විනාඩියක් විතර ඇතුළත හෙණ කීපයක් ඒ ගහට වැදුණා. ඒක හරියට නපුරු හීනයක් වගේ. ඒ වෙලාවෙ ජයතිලක බංඩාරත් තවත් අපේ මිතුරෝ කීප දෙනෙකුත් එතැන හිටියා. 


අවුරුදු තුන හතරකට කලින් දවසක් අවුරුදු නිවාඩුවකට පසුව ගෙදර ඇවිත් පරිගණකය ක්‍රියා කරවා ගත්තා. වැස්සක ලකුණක්වත් තිබුණෙ නැහැ. දරාං ගාලා මහ අකුණක් ගැහුවා රවුටරෙත්, පරිගණකේ බල සැපයුමත් ඉවරයි. ඒති මං ඉතිරි වුණා. 


මේ වන විට, අකුණු මගේ රවුටර් තුන හතරකට වග කියලා තිබෙනවා. අකුණු ගහනකොට පරිගණකය භාවිතා කිරීම අනතුරුදායක ක්‍රියාවක්. ඒත්, මම මේ වැඩේ හරියට කරනවා. සමහර විට මම මැරෙන්නේ එහෙම වෙන්න පුළුවන්. 


මැරෙන එක නෙමෙයි වැඩේ, අරුන්ගේ තාත්තා මළේ හෙණ වැදිලායි කියලා ළමයින්ටත් අහන්න වෙන එකයි. 


අපි කෙනෙකුට සාප කරන නරක ම විධියක් තමයි, තොට හෙණ හත ම වැදියන් ය කියා කියන එක. මිනිහෙකුට හෙණ හතක් වදින්න ඕනැ නැහැ. එකක් වැදුණත් ඇති. මොකද, හෙණයක් නිසා ඇඟ හරහා යන විද්‍යුත් ධාරාව ඉහළ වෝල්ටීයතාවකින් යුත් අධිබල විදුලි ධාරාවක් නිසා. 


හෙණයක් වැදුණාම මිනිහෙක් මැරෙන්නේ ප්‍රධාන වශයෙන් කම්පනය නිසා මොළය, ස්නායු හා හදවත නතර වීමෙන් හෝ ශරීරය අධික ලෙස පිළිස්සීමෙන්. 


ඔබ අසල සිටින අයෙකුට හෙණයක් නිසා අනතුරක් සිදු විණි නම් මුලින් ම ඔහු හුස්ම ගන්නවාදැයි බලා නැතිනම් කෘත්‍රිම ශ්වසනය දෙන්න. වහා රෝහල්ගත කරන්න.


හෙණ ගැසීමෙන් ආරක්ෂා වන්න ඔබේ නිවසේ විදුලි උපකරණ පේනුවලින් ඉවත් කරන්න. 


එළිමහනේ හෝ විශේෂයෙන් ගස් යට ඉන්න එපා. ළඟදී ළමයෙකු මැරුණේ වැස්සට ගසක් යටට ගිය නිසා. 


නිවසක් ඇතුළේ සිටින්න. දොර, ජනෙල්, විදුලි උපකරණ, වතුර කරාම ආදියෙන් ඈත් වී සිටින්න. 


මේ වසර තුළ මේ වන විට ලංකාවේ මිනිසුන් 15ක්වත් අකුණු අනතුරුවලින් මිය ගොස් ඇති නිසා මේ ගැන ලාංකිකයන් සැලකිලිමත් විය යුතුයි. 


තවත් විස්තර සඳහා මෙතැන බලන්න.

මේ අපේ ගීත සාහිත්‍යයේ හෙන ගැසීම ගැන ගැයුණු අවස්ථාවක්


මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජීවිතයකි කඳුළු බොන
මිනී වලක මා යට කර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන


මුලදි  බැන්ද ආදරයක මිහිර දැන් .......


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Use a laptop. Its safer than a desktop computer.

    ReplyDelete
  2. Oya sudu van wala baya una ne....den politics nethuwa weather forcast denna patan gaththe....

    ReplyDelete
  3. http://w3lanka.blogspot.com.au/2012/04/blog-post_19.html

    මේවගේ පච ලියනකොට නම් වෙහි නැති හෙන ගහනවා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා