යාපනයේ සිදු වෙන්නට යන ‍ඓතිහාසික සිදුවීම

(2011 ජුනි 20, W3Lanka) යාපනයේ ඓතිහාසික සිදුවීමක් සිදු වන්නට යයි.


ඒ අනුව අලවෙඩ්ඩි ප්‍රදේශයේදී දෙමළ ජාතික සන්ධානය විසින් පවත්වන ලද මහජන රැස්වීමකට පහර දුන් හමුදා ඇඳුම් ඇඳ සිටි බව කියන හෝ හමුදාවේ විය හැකි හෝ පිරිසට කෙළ වෙන්නට යයි.


ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටද ඊට සම්බන්ධ අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගැනීමටද වරදකරුවනට උපරිම දඬුවම් ලබාදීමටද පියවර ගන්නැ’යි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතාට උපදෙස් දී ඇති බව අද දිනමිණ වාර්තා කරයි.


මෙම ප්‍රහාරය අතිශය සාර්ථක එකකි. මන්ද, එමගින් බලාපොරොත්තු වෙන ලද භීෂණය ඇති වූ බැවිනි. කොටින් ම කියනවා නම්, මෙම පහර දීම සිදු වූ අවස්ථාවේ එහි සිට පහර දෙන්නන් හඳුනා ගත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් පවා ඒ අය කවුරුදැයි කියා කියන්නට කට අරින්නට බිය වී ඇත.


ලක්බිම නිව්ස් පුවත්පත වාර්තා කරන පරිදි මෙම පහරදීමේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන්ගේ ආරක්ෂකයන් ලෙස කටයුතු කරන සිංහල පොලිස් නිලධාරීන්ට ද ඔවුන් තමන් කවුරුන්දියි හඳුන්වා දීමෙන් පසු පහර දී තිබේ. මාවෛ සේනාධිරාජා හා ඊ. සරවනපවන් යන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් දෙදෙනාගේ පොලිස් ආරක්ෂක නිලධාරීන් දෙදෙනා රෝහල්ගත කෙරිණි. මෙම පුවත්පත වාර්තා කරන පරිදි පහර දීම සිදු කළ 50කින් පමණ යුත් හමුදා භට පිරිස රයිෆල්වලට අමතරව පොලු, මුගුරුවලින් ද සන්නද්ධව සිට තිබේ.


මෙම සිද්ධිය වාර්තා වන්නේ අතුරු හමුදාවක් ද, පාලක සන්ධානයේ දේශපාලන පක්ෂයක් ද ලෙස කටයුතු කරන බියකරු ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP)නායක ඩග්ලස් දේවානන්දා ළඟ එන බව කියන පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති ධුරය සඳහා සිය අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කිරීමත් සමගයි.


රජයේ උපාය මාර්ගය වී තිබෙන්නේ උතුරේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික තේරීම බවට EPDPය පත් කිරීමයි. එ‍හිදී දකුණේ ප්‍රජාතාන්ත්‍රික තේරීම බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය පත් කර ගත් ආකාරය ම අනුගමනය කරමින් සිටින අතර, දෙමළ ජාතිකවාදී වූ උතුරේ පොළවේ අවාසිය මකා ගන්නට උත්සාහ කරන්නේ මහජන මුදල් දේවානන්දා හරහා විසි කිරීමෙන් හා භීෂණය වැපිරීමෙනි.


උතුරේ ජනතාව ද දකුණේ මිනිසුන් මෙන් පටු වාසි පිණිස, බලය හා ධනය ඇති හොඳ ම හොරුන්ට ඡන්දය දෙන තත්වයට පත් කර ගැනීම ආණ්ඩුව උතුරට දෙන්නට යන සැබෑ දේශපාලන විසඳුම බව පෙනේ. උතුරේ ජනයා දකුණේ ජනයාට වඩා විශාල වෙනසක් නැති නිසා මෙම උපාය මාර්ගය සාර්ථක කර ගැනීම දුෂ්කර නො විය හැකි ය.


එහෙත්, ඒ සඳහා ඇති බාධකය තමිල්නාඩුවයි. තමන් දන්නා අමු ම ආකාරයෙන් රාජ්‍ය ත්‍රස්තවාදය පාවිච්චි කර ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමේදී දකුණේ දේශපාලන පක්ෂවලට එයට එරෙහිව ජාත්‍යන්තරය ‍බලමුළු ගන්වා ගැනීමේ ශක්තියක් නො තිබුණ මුත් උතුරේ තත්වය වෙනස් ය. ආණ්ඩුව මේ ‍සෙල්ලම් කරන්නේ ඇවිලෙන ගින්දරක් එක්ක ය.


The Nation පුවත්පත වාර්තා කරන ආකාරයට ‍අලවෙඩ්ඩි සිද්ධිය සම්බන්ධයෙන් යාපනය හමුදා ආඥාපති මහින්ද හතුරුසිංහ හා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් අතර පැවති සාකච්ඡාවකදී හමුදාව සිද්ධිය පිළිබඳව සමාව අයැද ඇති අතර, වැරදිකරුවන්ට දඬුවම් කරන බව පවසා ඇත.


පුවත්පත් වාර්තා කරන අන්දමට ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදා පොලිසියේ විශේෂ කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා පොලිසියේ කණ්ඩායමක් වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර තිබේ.


ඇත්තෙන් ම, එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු වුවහොත්, එය නම් ඓතිහාසික සිදුවීමක් වනු ඇත. මන්ද, මැත ඉතිහාසයේ යාපනයේ සිදු වූ මෙවැනි මැරවරකම් අති විශාල ගණනක් සම්බන්ධයෙන් තවමත් කිසිවකු අත් අඩංගුවට පත් වී නො තිබීමයි.


උතුර සම්බන්ධයෙන් ආණ්ඩුවේ උපාය මාර්ගය ඇත්තෙන් ම උදව් කරන්නේ දෙමළ ඩයස්පෝරාවේ බෙදුම්වාදී බලවේගයන්ට ය. සිංහලයන් කිසි දිනෙක දෙමළුන්ට දේශපාලන විසඳුමක් නො දෙන බවට මෙම බලවේග කරන තර්කය ඔප්පු කිරීම ආණ්ඩුව විසින් ම කරමින් තිබේ.


ලංකාවේ සිංහල නායකයන් අවබෝධ කර ගත යුතු කාරණය වන්නේ උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට කටයුතු කළ යුත්තේ එය ලංකාවේ කොටසක් නිසා මිස ජයලලිතාට බියේ නො වන බවයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. //ලංකාවේ සිංහල නායකයන් අවබෝධ කර ගත යුතු කාරණය වන්නේ උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට කටයුතු කළ යුත්තේ එය ලංකාවේ කොටසක් නිසා මිස ජයලලිතාට බියේ නො වන බවයි.//

    Correct.

    ReplyDelete
  2. උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට කටයුතු කළ යුත්තේ එය ලංකාවේ කොටසක් නිසා මිස ජයලලිතාට බියේ නො වන බවයි.

    ReplyDelete
  3. උතුරේ ජනතාව ද දකුණේ මිනිසුන් මෙන් පටු වාසි පිණිස, බලය හා ධනය ඇති හොඳ ම හොරුන්ට ඡන්දය දෙන තත්වයට පත් කර ගැනීම ආණ්ඩුව උතුරට දෙන්නට යන සැබෑ දේශපාලන විසඳුම බව පෙනේ. උතුරේ ජනයා දකුණේ ජනයාට වඩා විශාල වෙනසක් නැති නිසා මෙම උපාය මාර්ගය සාර්ථක කර ගැනීම දුෂ්කර නො විය හැකි ය.

    kohomada tinkiri mole...

    ReplyDelete
  4. දමිළ ඩයස්පොරාවේ නායකයන්ට අවශ්‍ය වෙන්නේ බටහිර තමන්ව ත්‍රස්තයන් ලෙස නම් කර තිබීම අස් කරගන්නයි. ඒක කරන්නේ ලංකාණ්ඩුව තම රටේ වැසියන්ට දරදඬුකම් කරන රජයක් කියා පෙන්වලයි. ඉරානයේ බසීජ් වගේ මැරවර හමුදාවක් හදාගෙන රටේ මිනිසුන් බියගන්වන්නේ තමන් කෙරේ ජනයාගේ හොඳ හිත නැති වෙලා කියා සිතෙන නිසාදෝ?

    1972 ජේ.ආර්. ආණ්ඩු ක්‍රමය ගෙනාවේ එකසත් ජාතික පක්‍ෂයට 50% වඩා ඡන්ද ලැබුනත් ආසන ගණනින් පරදින නිසායි, නමුත් මොකද දැන් වුනේ? අද තමන්ගේ ගමෙන් නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවනවා වෙනුවට පක්‍ෂ ලැයිස්තුවකුයි පත් කරන්නේ. ඒ ලැයිස්තුවට එක ඡන්දයක්වත් නොලැබුනු, අමු අමුවේ අහිංසක මිනිසුන් මරපු නිසා ජාත්‍යන්තර පොලිසියෙන් අල්ලන්න බලන ත්‍රස්තයෙක් පත් කරලා මහ ඇමතිකමකුත් දුන්නා.

    තව ත්‍රස්තයෙක් බැංකොක් නගරයේදී FBI එක විසින් අල්ලන්න ඔන්න මෙන්න වෙනකොට බේරාගෙන ලංකාවට ගෙනාවා.

    කෝ යුද්දය කරපු එකේ ප්‍රතිපල? රට තවමත් පළාත් වලට බෙදලා. ඊළඟට එන්නේ උතුරු පළාතේ ආණ්ඩු සභාව රටෙන් වෙන් වෙන්න යෝජනාවක් සම්මත කරන එකයි. ඊළඟට Right for Self-determination කියලා බටහිර උත්ඝොෂන් කරන එකයි. කෝ රට ඒකීය කරා? බැරැක්කේ ඉන්නවා වගේ පිටත් කතා කරපු, අල්ලන්න අත්තක් නැතිව හිටි එවුන්ට රැවටුනු සේනාපතියා හිරේ දැම්මා. මොන වරද කළත් වීරයා වීරයාමයි.

    රටට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදි අණ්ඩුවකුයි. ඒ කියන්නේ කලින් කලට තමන්ගේ ගමේ කෙනෙක් තමන්ව නියෝජන කරන්න නීති සම්පාදන සභාවට යවන එකයි. ඒ වගේ එකක් 1972ට පෙර සාර්ථකව තිබුනා. ඒකේ කාටත් සාධාරණ බල තිබුනා. දමිළ නායකයන් හෙළයන්ට කළ අපහාස හැන්සාර්ඩ් වාර්තාව්ල දෙමළෙන්ම ලියවී තිබෙනවා. නමුත් අවුරුදු පහේ සළසුම් ක්‍රම අනුව රට දියුනු කරලා කාටත් සාමාදානයෙන් ඉන්න රැකියා කරගෙන ඉන්න තත්ත්වයක් අද තියෙන්නෙ තිබුනා.

    පළාත් පාලන සභා අහෝසි කරව්! නිකරුනේ විනාස කළ පාර්ලිමේන්තුව ආපසු දියව්!

    ReplyDelete
  5. පරා, මේ ප්‍රහාරය එල්ල කිරීමේ ආණ්ඩුවෙ පරමාර්ථය තේරුම් ගන්න අවශ්‍යයයි මුලින්ම,

    මෙතන ආණ්ඩුව කරන්නෙ දෙමළ ජනයාට වෙනම හැන්දකින් බෙදනවය කියන බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අස්ථාන චෝදනාව සම්පූර්ණ අසත්‍යයක්ය කියල ඔප්පු කරන්ඩ උත්සාහ කරන එකනෙව.

    " ඔන්න බලාපල්ල අපි හිංගලයන්ට දෙන සබ්බුවම තමයි දෙමලුන්ටත් දෙන්නෙ, ඉතිං උඹල කොහොමද කියන්නෙ අපි දෙමලුන්ට වෙනම විදිහට සලකනවයි කියල. " ඔන්න ඔහොම කිව්වැහැකි නෙව බය නැතුව,

    ඒ නිසා නිගමන වලට එන්ඩ ඉස්සර යම් සිද්ධියක යටින් කියවෙන්නෙ මොකක්ද කියල තේරුම් අරන් ඉන්න,

    දැන් ඊළඟ පාර ජිනීවා යද්දි අරන් ගියෑකි, අර නිදහස් දවසෙ යූඇන්පියට එල්ල කරපු ප්‍රහාරයෙ ඡායාරූපයි මේ ප්‍රහාරයෙ ඡායාරූපයි දෙකම. හෙහ්.....හෙහ්, ඊටත් වඩා අපූරු සාක්කියක් කොහෙද සුලු ජාතියටද මහ ජාතියට මෙන් සමානව සැලකීම ගැන.

    / ලංකාවේ සිංහල නායකයන් අවබෝධ කර ගත යුතු කාරණය වන්නේ උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට කටයුතු කළ යුත්තේ එය ලංකාවේ කොටසක් නිසා මිස ජයලලිතාට බියේ නො වන බවයි. /

    උතුරෙ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කලොත් උතුර ලංකාවෙ කොටසක් වෙන්නෙ කොහොමද පරා?

    රැවුලයි කැඳයි දෙකම නම් බෑ. එක්කො ලංකාවෙ කොටසක්, එක්කො ප්‍රජාතන්ත්‍රවාදය.....දෙකම නම් බෑ.අනික උතුරට විතරක් ප්‍රජාතන්ත්‍රවාදය දුන්නොත් ඒක දකුණට කරන බලවත් අසාධාරණයක්ය කියල හිතෙන්නෙ නැද්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා