2015-07-10

මේ නිහඬබව බිඳින්න - තව මොනවහරි කියන්න

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු උණුසුම් විය යුතුව තිබුණු දේශපාලන අවකාශය අධි ශීතකරණයක ගිල්වූ කලක මෙන් ගල් ගැසී ඇත. එක්සත් ජාතික පක්ෂය සන්සුන් හා ස්ථිරසාර ලෙස සිය ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කර තිබේ. තවම නම් මහමැතිවරණය එක් අස්සයකු පමණක් දුවන රේස් එකක් වැනි ය. පසුව එකතු වන අස්සයන්ට අල්ලන්නට අමාරු පරතරයක් එජාපය විසින් නිර්මානය කරමින් තිබෙන බව පෙනේ.

මේ මොහොත ක්‍රිශාන්ත එරන්දකගේ ගීතයක කියැවෙන ‘මේ නිහඬබව බිඳින්න - තව මොනවහරි කියන්නවැනි අවස්ථාවක් වී තිබේ. ඒ නිහඬ මොහොත දිග්ගැසෙමින් තිබේ. මහමැතිවරණයේදී ශ්‍රීලනිපයට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට කුමක් සිදු වේ ද යන්න මේ ලියන මොහොත වන විටත් කිසිවෙකුට හෝ පුරෝකථනය කිරීම දුෂ්කර වී තිබේ. ඇතැම් විට මෙම ලිපිය පළ වන විට වඩා පැහැදිලි තත්වයක් නිර්මානය වී තිබෙන්නට පුළුවන.

මෙහිදී වැදගත් ම සාධකය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය යනු ශ්‍රීලනිපයේ මූලිකත්වයෙන් යුත් සන්ධානයක් පමණි. ඉතිහාසය පුරා ම සමගි පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, එජනිස වැනි සන්ධාන නිර්මානය වී තිබෙන අතර ඒවා ඉක්මණින් කල් ඉකුත් වී තිබේ. එජනිස ද එවැනි කල් ඉකුත් වෙමින් තිබෙන සන්ධානයක් බව පැහැදිලි ය. එය බිහි වූයේ 2004දී ශ්‍රීලනිපය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ඓතිහාසික සන්ධානය වෙනුවෙනි. ඉන් පසු මහින්ද රාජපක්ෂ විසින් තම පවුල් බලය ශක්තිමත් කර ගැනීම සඳහා දේශපාලකයන් බිලී බා ගැනීමේ කෙමන බවට පත් කර ගත්තේ එජනිසයි. දැන් ජවිපෙත්, මහින්ද රාජපක්ෂත් යන දෙදෙනා ම ශ්‍රීලනිපයේ ප්‍රබල නිල හවුල්කරුවෝ නොවෙති. එහෙයින් එජනිස ද දැන් එක්ස්පයර් වූ සන්ධානයකි.

එහෙත්, මහින්ද රාජපක්ෂට, සිය පවුලට සහ ඔහුගේ චෞර ඇමති මණ්ඩලයේ හිටපු සාමාජිකයන්ට පැවැතිම තහවුරු කර ගැනීම සඳහා එජනිසය ප්‍රාණනාලයක් වී තිබේ. මොවුන් අතරින් ඇතැමෙක් නිල වශයෙන් ශ්‍රීලනිපයේ සාමාජිකයන් ද වන බැවින් ඔවුන්ට ශ්‍රීලනිපයට ද දැඩි බලපෑමක් කිරීමේ හැකියාව තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට තේරී පත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයකු ලෙස නො වන නිසා ඔහු පක්ෂ සභාපතිත්වයට පත් වීම නීත්‍යානුකූල නොවේ ය යන තර්කයක් දැන් මතු වෙමින් තිබේ. මෙම තර්කය පදනම් කරගෙන ශ්‍රීලනිපයට එරෙහිව මැතිවරණ වාරණයක් ලබා ගැනීමේ උත්සාහයක් ද මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රීලනිපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතට පත් වීම ජනවාරි 08දා ජයග්‍රහණය ඉදිරියට ගෙන යාමේදී වැදගත් සාධකයකි. ඒ අනුව, ශ්‍රීලනිපය දූෂිතයන්ගෙන් ගලවාගෙන යහපාලන ප්‍රතිපත්ති අනුකූලව ඉදිරියට ගෙන යාම සඳහා නායකත්වය දීමේ යුක්තියුක්ත වගකීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ නායකයා ලෙස පැවරී තිබේ. එහෙත්, එය අතිශය දුෂ්කර කර්තව්‍යයකි.

ශ්‍රීලනිපය මේ වන විට තේරුම් ගත නො හැකි දුෂ්කර බන්ධනයක් බවට පත් වී තිබේ. පහසුවෙන් ලිහා ගත නො හැකි අවුල්ජාලයක් බවට පත් වී තිබේ. එවැනි තත්වයක් හමුවේ පක්ෂයට නායකත්වය දීම යනු නායකත්ව පෞරුෂය පිරික්සන ලිට්මස් පරීක්ෂාවක් වැනි ය. මෙතරම් සංකීර්ණ අභියෝගයකට ශ්‍රීලනිප නායකත්වය ඉතිහාසයේදී මුහුණ දුන්නා නම් මුහුණ දෙන්නට ඇත්තේ 1959දී බණ්ඩාරනායක ඝාතනයෙන් පසුවයි.

බණ්ඩාරනායක මහතා 1956දී බලයට පත් වුණේ මහජන එක්සත් පෙරමුණෙ නම් සන්ධානයකිනි. පසුව එහි නිල හිමිකරුවා බවට පත් වුණේ පිලිප් ගුණවර්ධනයි. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු අගමැති පදවියට පත් වු විජයානන්ද දහනායක 1960 මාර්තු මැතිවරණ තරග කළේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නම් වූ අලුත් පක්ෂයකිනි. ඔහුට සිය ගාල්ල අසුනත් අහිමි විය. 1960 මහමැතිවරණයට ශ්‍රීලනිපය තරග කළේ සී.පී. ද සිල්වාගේ නායකත්වයෙනි. 1960 ජුලි මැතිවරණයට ශ්‍රීලනිපය තරග කළේ සිරිමා බණ්ඩාරනායකගේ නායකත්වයෙනි. එදා ද සමසමාජ පක්ෂය ශ්‍රීලනිපය සමග සන්ධානයකට එක් වී ඇමතිකම් ලබා ගැනීම සඳහා විවිධ උත්සාහ දැරුවේ ය.

අද තත්වය එදාට වඩා බෙහෙවින් සංකීර්ණ ය.

වත්මන් ශ්‍රීලනිප නායකයා වන මෛත්‍රීපාල සිරිසේන යනු පසුගිය ජනාධිපතිවරණයේදී එවකට නායකත්වයේ සිටි මහින්ද රාජපක්ෂට එරෙහිව තරග කළ පුද්ගලයෙකි. ශ්‍රීලනිපය ජනාධිපතිවරණයේදී කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන පැරදවීමටයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පක්ෂ පිරිස් විකල්ප ශ්‍රීලනිපයක් නිර්මානය කරන්නට උත්සාහ කරද්දී පක්ෂය භේද නො කර, නායකත්වය මෛත්‍රීපාලට දී යන්නැයි පක්ෂ නිලධාරීහු ඔහුට බල කළ හ. වර්තමානයේ ශ්‍රීලනිපයේ ලේකම්, එජනිස ලේකම් හා විපක්ෂ නායක වන්නේ එසේ බලය රැක ගත් පිරිසකි. ඔවුන්ගේ පක්ෂපාතිත්වය බල හුළං හමන දිශාව අනුව තීරණය වන බවක් දක්නට ලැබේ. ජනාධිපතිවරයාට ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීමේ හැකියාවක් නැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේ හා තම පවුලේ පැවැත්ම රැක ගැනීම පිණිස දැඩි අරගලයක යෙදී සිටියි. ඔහුගේ මූලික උවමනාව වන්නේ තමන්ටත්, තම පවුලටත් දූෂණ චෝදනා මත දණ්ඩනයට ලක් වන්නට සිදු වීම වළක්වා ගැනීමයි. ඒ වෙනුවෙන් එක්කෝ ආණ්ඩුව සමග සම්මුතියකට යන්නට හෝ නැතිනම් යළි බලය ලබා ගන්නට හෝ ඔහුට සිදු වී තිබේ. ඔහු මුහුණ දෙන අවදානම වැනි ම වූ අවදානමකට මුහුණ දී සිටින තවත් පිරිසක් ඔහුගෙන් රැකවරණය පතති. එසේම, ඔහුගේ පාලන ක්‍රමය තුළ සමාජය පුරා පතුරුවා හරින ලද දූෂණයෙන් ඵල නෙළා ගත් සුවිසල් සමාජ තීරුවකට ඔහු දේශපාලනයෙන් විතැන් වීම දරා ගත නො හැකිව තිබේ. ඔවුහු ඔහු පසුපස යමින් ඔහු නැවත දේශපාලනය වෙත කැඳවා ගැනීමට උත්සාහ කරති. ඔහු ඉන්නේ ගෙදර ගියොත් අඹු නසී - මග හිටියොත් තෝ නසී වැනි තත්වයක ය.

මෙම සංදර්භය තුළ ශ්‍රීලනිපයේ හා එජනිසයේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ඉතා බලවත් ය. පක්ෂ නායකයා ලෙස ඔවුන්ට සවන් නො දී කටයුතු කිරීමේ හැකියාවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නැත.
මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරණයේදී උපකාර කිරීමේ භයානක අභියෝගය භාර ගත් පිරිසක් ශ්‍රීලනිපයේ හා ඉන් පිටත සිටිති. මහින්ද රාජපක්ෂට හා ඔහුගේ දූෂිත අනුගාමිකයන්ට නාමයෝජනා දෙනවාට පවා ඔවුහු දැඩි ලෙස විරුද්ධ ය. මේ අතර ජනවාරි 08 විප්ලවයට සහයෝගය දුන් පුරවැසි බලවේග වෙනසේ අරමුණු ඉදිරියට ගෙන යන ලෙස ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කරති.

ජනමාධ්‍ය හැසිරෙන ආකාරය අර්බුදය තවදුරටත් උත්සන්න කරයි. විශේෂයෙන් ම, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම වෙනුවෙන් තරග වැදී සිටින අන්තර්ජාල මාධ්‍ය හා සමාජ මාධ්‍ය හැසිරෙන ආකාරය හේතු කරගෙන තත්වය තීව්‍ර වී තිබේ. ජනමාධ්‍ය විසින් විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් ප්‍රබන්ධ කරනු ලබන ප්‍රවෘත්ති හේතුවෙන් ජනාධිපතිවරයා ජනවාරි 08 වෙනසේ අරමුණු පාවා දී තිබේ යන චිත්‍රය නිර්මානය වී තිබේ.

මේ අතර ජනාධිපතිවරයා මුහුණ දෙන ගැටලුව වන්නේ, තමන් විසින් ගනු ලබන පියවර හේතුවෙන් පක්ෂය හා සන්ධානය බිඳ දැමීමේ වගකීම තමන් වෙත පැටවේ ද යන්නයි. කඩාගෙන යාමේ පළමු පියවර තැබීම මහින්ද රාජපක්ෂ පාර්ශ්වය වෙත ම පැවරීමට ඔහු උත්සාහ කරයි.

දැන් දැඩි කොන්දේසි සහිතව මහින්ද රාජපක්ෂට නාමයෝජනා පිරිනමන්නටත්, ඔහුගේ දූෂිත ම අනුගාමිකයන් ඇතුළු තවත් පිරිසකට නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නටත් ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව වාර්තා වේ. ඔහු විසින් ඉදිරිපත් කර තිබෙන කොන්දේසි අනුව මහින්ද රාජපක්ෂට තරග කළ හැක්කේ ශ්‍රීලනිප නො වන, සාමාන්‍ය අපේක්ෂකයකු ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පමණි. අගමැති අපේක්ෂකත්වයක් තබා දිස්ත්‍රික් නායකත්වයක්වත් ඔහුට නො ලැබෙනු ඇත. එපමණක් නොව, ජයග්‍රහණය කළ ද, ඔහුට එරෙහිව අධිකරණය හමුවේ දූෂණ චෝදනා එල්ල වූ විට ඉල්ලා අස් වීමට ඔහු කැමති විය යුතු ය.

මේ පල නො කියා පලා බෙදීම හමුවේ මහින්ද රාජපක්ෂ සිය දූෂිත අනුගාමිකයන් සමග වෙන ම තරග කළ යුතුව තිබේ. ඔහු සමග කීදෙනෙකු සන්ධානයෙන් හා ශ්‍රීලනිපයෙන් කැඩී යනවා ද යන්න දැන ගැනීම රසවත් පුවතක් වනු ඇත.

අවසානයේදී රටේ යහපත වෙනුවෙන් සිදු විය යුතුව තිබෙන්නේ ශ්‍රීලනිපය දූෂිත රාජපක්ෂ ක්‍රමයෙන් ගැලවීමයි. ඒ වෙනුවෙන් ලොකු මිළක් ගෙවන්නට සිදු වනු ඇති බව නියත ය. එහෙත්, ශ්‍රීලනිපයට අනාගතයට ගැලපෙන නවීන සමාජ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයක් බවට පත් වන්නට නම් මේ මිළ ගෙවන්නට සිදු වනු ඇත. ඉදිරි මහමැතිවරණයේදී පරාජය වීම එසේ ගෙවන මිළෙන් කොටසක් වන මුත්, පක්ෂය පිරිසිදු කර ගැනීම අනාගත ප්‍රාග්ධනයකි.

රාජපක්ෂ අනුගාමිකයන් ශ්‍රීලනිපයේ වෙන් කර ගත හැකි නම් එය ඉතා වැදගත් ය. ඔවුන් තනි කර ගත් විට ඔවුන්ට තීරණාත්මක පරාජයක් අත් කර දීම සඳහා වැඩ කිරීම ප්‍රගතිශීලී සමාජ බලවේගවලට පහසු වේ. දැනටමත් ඔවුන් පරාජයට පත් වී හමාර ය. මහින්ද රාජපක්ෂ ඡන්දයට එන එක මේ මොහොත වන විටත් අවිනිශ්චිත ය. ඔහුගේ පන්සල් යාම්, මහින්ද සමග නැගිටීමේ රැළි පමණක් නොව ඩලස් අලහප්පෙරුමලා නිකාඩෝ රස පැනවලට සමාන කරන මාධ්‍ය සාකච්ඡා පවා අවලංගු කර තිබේ. අභයාරාම කල්ලිය පොහොය නැතුවත් සිල් ගත් බඳු ය. රාජපක්ෂ ක්‍රමය මේ වේගයෙන් ම අවසානය කරා ළඟා වේවා යි ප්‍රගතිශීලී බලවේග ප්‍රාර්ථනා කරති.

(පසුගිය බදාදා දින සත්හඬ පුවත්පත වෙනුවෙන් ලියන ලද්දකි. පළ වී ඇද්දැයි නො දනිමි. තත්වය තවමත් ලොකු වෙනසක් වී ඇතැයි නො සිතමි.)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.