2015-02-05

අනන්‍යතා අර්බුදය හෙවත් අයිඩෙන්ටිටි ක්‍රයිසිස් හා අයිඩෙන්ටිටි කාඩ් ක්‍රයිසිස්

පසුගිය දවස්වල විමල් වීරවංශගේ දරුවන්ගෙ උප්පැන්න සහතිකකයි, කසාද සහතිකෙයි එළියටආවා.

දරුවන්ගෙ උප්පැන්න සහතිකවල විමල් දීලා තිබෙන්නේ බොරු උපන් දිනයක් බවත්, පසුව එය නිවැරදි කරන්නට සිදු වී තිබෙන බවත් පෙනෙනවා.

ඇතැමෙක් චෝදනා කරන ආකාරයට විමල් තමන්ගේ වයස අවුරුදු පහකින් වැඩි කර දක්වා තිබෙන්නේ සිය බිරිඳ තමන්ට වඩා වයසින් වැඩි බව සඟවා ගන්නයි.

ඔහුගේ කසාද සහතිකයේ සාක්ෂිකරුවකු ලෙස ටිල්වින් සිල්වා අත්සන් කරන්නේ පුවත්පත් කර්තෘවරයෙකු බව සඳහන් කරමිනුයි. ඔහු කිසි දිනෙක පුවත්පත් කලාවේදියෙකු ලෙස ප්‍රසිද්ධ වී සිටියේ නැහැ.

මේ අතර, විමල්ගේ බිරිඳ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කිරීම සම්බන්ධයෙන් ද චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඇය විවිධාකාරයෙන් නම් වෙනස් කර තිබෙනවා.

ප්‍රේමකුමාර් ගුනරත්නම් නොයෙල් මුදලිගේ වුණා. ඒ නොයෙල් මුදලිගේ ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙක් වුණා. දැන් ඔහුට යළි ශ්‍රී ලාංකික ප්‍රේමකුමාර් ගුනරත්නම් වන්නට ඕනෑ වී තිබේ.

විමල්ලා, කුමාර්ලා මේ අනන්‍යතා ක්‍රීඩාව කරන්නේ විප්ලවවාදී අනන්‍යතාවට මුවා වෙමිනුයි. තමන් මේ සමාජය වෙනස් කරන විප්ලවීය දේශපාලනයක යෙදී සිටින බවට ඔවුන් ස්වයං මෝහනයකට පත් වී සිටිනවා. 

ඇතැම් විට ඔවුන් අතීතයේදී එවැනි අවංක ආධ්‍යාශ පෙරදැරි කරගෙන ඉන්න ඇති. එහෙත්, අද වන විට නම්, ඔවුන් එවැනි ක්‍රම විරෝධී දේශපාලනයක යෙදී සිටින බවක් පෙනෙන්නට නැහැ. ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ඉතාමත් ම ක්‍රමානුගත ජීවිතයි. 

විවිධ නම් රැසක් හා ගමන් බලපත්‍ර රැසක් භාවිතා කරමින් කොටි සංවිධානය වෙනුවෙන් ආයුධ හා අරමුදල් රැස් කළ කේපී නම් ඇත්තෙන් ම ක්‍රම විරෝධී දේශපාලනයක නියැලුණ අයෙක්. ඔහු කොටි සාමාජිකයෙකු නිසා ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස ද හැඳින්වෙනවා. 

මේ දිනවල විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දීම සඳහා රජය ගනිමින් සිටින පියවරවලටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විරුද්ධයි. 

අයුක්ති සහගත සමාජ ක්‍රමයකට එරෙහිව කැරැලි ගසන්නට ජනතාවට අයිතියක් තිබෙනවා. එහෙත්, කැරැලි කියන්නේ අන් කිසිදු ඉඩක් නැති තැනක ජනතාවට ඉතිරි වෙන අවසන් විකල්පය මිස, දේශපාලන ව්‍යාපාරයක මූලික අරමුණ නො විය යුතුයි.

අනන්‍යතා ලියාපදිංචි කිරීම කියන කාරණයේ ඉතා වැදගත් දේශපාලනික විවාදයක් තිබේ. ඒ වනාහි රජය ඓන්ද්‍රියව ම ප්‍රජාතන්ත්‍රවාදී ද යන ගැටලුවයි. රජය යනු ස්වාභාවික ප්‍රපංචයක් නො වේ. එය ආධිපත්‍යය දරන සමාජ කණ්ඩායම විසින් තම උවමනාව පරිදි සකසා ගන්නා ලද පාලන මෙවලමකි.  එබැවින් අධිපති නොවන සමාජ කණ්ඩායම්වලට රජය ප්‍රශ්න කිරීමට තිබෙන අයිතිය යුක්ති යුක්ත වේ. රජය මේ අන්දමින් පුද්ගලයන්ගෙන් එක් රැස් කර ගන්නා දත්ත රජයට එරෙහි කැරැලි ගසන්නන් මර්දනය කිරීමට උපයෝගී කර ගත හැකි ය යන තර්කය අනන්‍යතා ලියාපදිංචියට එරෙහිව මතු කරන ප්‍රධාන තර්කයයි.

වර්තමාන‍යේදී පීඩිත වන සමාජ කණ්ඩායමක් විසින් බලය ලබා ගත් විටකදී වුවත් ඔවුන් රජය අහෝසි කරන්නේ නැත. ඔවුන් ද රජය සකසා ගන්නේ තම පාලනය තහවුරු කර ගැනීම සඳහා ඉවහල් වන මෙවලමක් ලෙසයි. එවිට අර දත්ත ම තම සතුරන්ට එරෙහිව ද පාවිච්චි කළ හැකි ය.

රජය හා පුද්ගල අනන්‍යතාව දෙස මීට වඩා වෙනස් ආකාරයකින් බලන්නට අවශ්‍ය යයි මම සිතමි.

රජය ස්වාභාවික නො වුණත්, රාජ්‍යය යන සංකල්පය මේ වන විට මිනිස් සමාජයේ මුල් බැසගෙන හමාර ය. එය ප්‍රතික්ෂේප කිරීම යනු මේ වන විට මිනිස් සමාජයට සිතා ගත හැකි තත්වයක් නො වේ. ඒ නිසා අප උත්සාහ කළ යුත්තේ රාජ්‍යයේ ප්‍රජාතාන්ත්‍රික හරය පංති හෝ සමාජ කණ්ඩායම්වල ආධිපත්‍යය තුළ වෙනස් කළ නො හැකි අන්දමින් ශක්තිමත් කිරීමයි.

ඒ සඳහා අපි හැකි උපරිමයෙන් නීති ගරුක විය යුතුයි. විප්ලවවාදියා වඩාත් නීති ගරුක, ඊටත් වඩා යුක්ති ගරුක පුද්ගලයෙක් විය යුතුයි. නීතිය වඩා යුක්තිසහගත වන අන්දමින් සංවර්ධනය කරන්නට ද සමාජය උත්සාහ කළ යුතුයි.  යුක්තිගරුක සංකල්ප මත පිහිටි සමාජයක් කුමන අර්බුදයකදී වුව ම්ලේච්ඡත්වය වැළඳගන්නේ නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.