2013-06-04

අතුරලියෙන් ඉත්තෑකන්දට යන දේශපාලන භික්ෂුව ගැන රතන හිමිගේ ශෝකය

අතුරලියේ රතන හිමි වනාහි ලංකාවේ නූතන දේශපාලන භික්ෂුවගේ පුරෝගාමියා ය. එහෙත්, ලංකාවේ පළමු භික්ෂු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ එම යුගයේ ම මතු වූ තවත් දේශපාලන භික්ෂුවක් වන බද්දේගම සමිත හිමියෝ ය.

මේ හිමිවරු දෙදෙනා එක ම දේශපාලන සන්ධානයක් තුළ දෙමගක ගිය අය වෙති. 2004 සුනාමියෙන් කෙටි කලකට පසු මම හිරු පුවත්පත වෙනුවෙන් බද්දේගම හැඩි දෙමළ කන්දේ විහාරයට ගොස් බද්දේගම සමිත හිමියන් සමග සම්මුඛ සාකච්ඡාවක් කළෙමි. සුනාමියෙන් පීඩාවට පත් වූ මිනිසුන් වෙනුවෙන් එහිමියන් කළ අමිල සමාජ සේවාව එහිමියන්ගේ චරිතයේ කැඩපතකි. ව්‍යසන අරාජිකත්වය තුළ, කුණු වන මළ මිනී දහස් ගණනක් මැද, සන්නිවේදනය, සැපයුම් කපා හරින ලද තත්වයක් තුළ උන් වහන්සේ විසින් දෙන ලද නායකත්වය සැබෑ ‍දේශපාලන නායකත්වය යනු කුමක් ද යන්නට සාක්කියකි.

ඒ හිමියන්ගේ සීමාව නිර්මානය වන්නේ ඒ හිමියන් පිළිගත් සමාජවාදී, මානවවාදී දර්ශනය මත පදනම් වූ දේශපාලනය, සිය පැවැත්ම වෙනුවෙන් සුනාමි අරමුදල් පෞද්ගලිකව තමන්ගේ ගිනුමකට දමා ගන්නට සැලසුම් කළ නායකත්වයක් හමුවේ දන නැමීමත් සමග ය.

අතුරලියේ රතන හිමි ද එවැනි නායකත්වයක දර්පනය තුළ සිටියත්, එයට යටත් භික්ෂුවක් නො ‍වේ. රතන හිමියන්ටත්,ඔහු මිත්‍ර චම්පික රණවකටත් ජාතික නායකත්වය අත්පත් කර ගැනීමේ නො සැ‍ලෙන අරමුණක් තිබේ. ඒ වෙනුවෙන් ඉවසිලිවන්ත, උපායශීලී ගමනක් තිබේ.

අපි රතන හිමි ගැන කලින් සටහනක මෙසේ ලියුවෙමු.

2003දී සෝම හිමි 'අපවත් කළ' අවස්ථාවේ එම මරණය දේශපාලන බල ව්‍යාපෘතිය තුළ ස්ථානගත කළේ අසපු භික්ෂු බලවේගය විසිනි. දිලිසෙන සිවුරු පෙරවූ, මුහුණුවල පියරු ගා, තොල්වල ලිප්ස්ටික් ගා, සුවඳ විහිදුවමින් හුරතල් අන්දමින් බණ කියූ මේ සාදුලා මැද පංතික උපාසකම්මලා අතර මාකට් විය.

අසපු සාදුලාගේ දේශපාලන ‍අවසානය සලකුණු වුණේ සත්ගුණවත් ආචාර්ය මර්වින් සිල්වා විසින් සිවුර ය‍ටින් අත දමා කලටි පොල් වල්ලක් කරකවන්නා ‍සේ කරන ලද සාංඝික වෘෂණ කෝෂ ඇඹරිල්ලෙනි.

රැඩිකල් දේශපාලන භික්ෂුවක් වන අතුරලියේ රතන හිමි අසපුවක සිරගත වී සිටියදී ඉදිරියට ආවේ බණක්, භාවනාවක් නො දන්නා, මැරවරකම, ටුවරිස්ට් ගයිඩ් වැඩ, කාර් විකිණීම, බිස්නස් වැනි වැඩ කර කර සිටි අලුත් වලිකාර සංඝ පරපුරකි. හුරතලේට බණ කියන්න නො දත් මේ පරපුර තමන් දන්න, දන්න විධියට එක, එක දේ කරමින් සිටිති. ඔවුන් කරන දේ හැම අතින් ම රටටත්, සිංහල ජාතියටත් වින වේ.

තමන් විසින් ඉදිරියට ගන්නා ලද රැඩිකල් භික්ෂු ප්‍රවණතාව තමන්ගේ පාලනයෙන් ගිලිහී, රාජ්‍ය රැකවරණය සහිතව ප්‍රචණ්ඩත්වය කරා යොමු වී, තම දේශපාලනයේ පදනම වන භික්ෂුත්වය සොදා පාළු කර දමන ආකාරය පිළිබඳ රතන හිමියන්ගේ දොම්නස මෙහි පළ කර තිබෙන වීඩියෝවෙන් නිරූපණය වේ. 

මේ කාරණයේදී ඇත්තට ම අපට ද ඒ හිමියන් සමග බෙදා හදා ගන්නට දෙයක් තිබේ. පිස්සු බල්ලන් ලිහා දැමීම පහසු ය. ඒත් උන් ආපසු බැඳ දැමීම අතිශය දුෂ්කර ය. 

Buddhist monk, Sri Lanka යන යතුරු පද යොදා ගූගල්හි සෙවීමක් කර බලන්න. ලැබෙන රූප හා තොරතුරු හරි අපූරුයි නේ ද? මේ වනාහි ලාංකික බෞද්ධ භික්ෂුව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපයේ කැඩපතයි. 

මෙය ඇත්තෙන් ම දෙමළ ජාතිවාදීන්ට ඉතා වාසිදායක තත්වයකි. බෞද්ධ භික්ෂුව යනුවෙන් ගලගොඩඅත්තේ, ඉත්තෑකන්දේ සාදුලාගේ නම් ලෝකයට ඉදිරිපත් වීම දිව හක්කේ ගසාගෙන සිනා විය හැකි දේශපාලනික තත්වයකි. 

මෙහිදී මේ කාරණයත් කිව යුතු ය. මේ භික්ෂූන්ගේ ප්‍රශ්නය ඔවුන්ගේ නම්වල ම තිබේ. 

භික්ෂුත්වය දුෂ්කර ජීවිතවලින් ආර්ථික හා සමාජමය වශයෙන් මිදීමේ මාර්ගයක් බවට පත් කිරීමේ හා පහළ පංතික උන්නතිකාමීන්ට වේගවත් ඉදිරි ගමනක් සඳහා ඉවහල් කර ගත හැකි ආතතික, ආවේගශීලී බල අවකාශයක් බවට පත් කිරීමේ ආදීනව සිංහල බෞද්ධයන් පිට ම විනාශකාරී ලෙස පැටවෙමින් තිබේ. 

රතන හිමියන්ගේ දේශපාලන ව්‍යාපෘතිය දැන් මේ ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමේ උභතෝකෝටිකය තුළ සිර වී තිබේ. එහෙත්, එය ඉන් එහා ගිය, සමස්ත සිංහල ජාතියේ ම ප්‍රශ්නයකි. සියලු සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්නයකි. 

ජාතිවාදය තුළ සිර වෙමින් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය නො හැකියි. මේ වනාහි ජාතිවාදී අන්තවාදයේ ප්‍රතිඵල. ඒ නිසා අතුරලියේ රතන හිමියන්ට මේ ප්‍රශ්නය ගැන විවේචනයක් මිස විසඳුමක් යෝජනා කරන්න පුළුවන්කමක් නැහැ. 




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com