අතුරලියෙන් ඉත්තෑකන්දට යන දේශපාලන භික්ෂුව ගැන රතන හිමිගේ ශෝකය
අතුරලියේ රතන හිමි වනාහි ලංකාවේ නූතන දේශපාලන භික්ෂුවගේ පුරෝගාමියා ය. එහෙත්, ලංකාවේ පළමු භික්ෂු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ එම යුගයේ ම මතු වූ තවත් දේශපාලන භික්ෂුවක් වන බද්දේගම සමිත හිමියෝ ය. මේ හිමිවරු දෙදෙනා එක ම දේශපාලන සන්ධානයක් තුළ දෙමගක ගිය අය වෙති. 2004 සුනාමියෙන් කෙටි කලකට පසු මම හිරු පුවත්පත වෙනුවෙන් බද්දේගම හැඩි දෙමළ කන්දේ විහාරයට ගොස් බද්දේගම සමිත හිමියන් සමග සම්මුඛ සාකච්ඡාවක් කළෙමි. සුනාමියෙන් පීඩාවට පත් වූ මිනිසුන් වෙනුවෙන් එහිමියන් කළ අමිල සමාජ සේවාව එහිමියන්ගේ චරිතයේ කැඩපතකි. ව්‍යසන අරාජිකත්වය තුළ, කුණු වන මළ මිනී දහස් ගණනක් මැද, සන්නිවේදනය, සැපයුම් කපා හරින ලද තත්වයක් තුළ උන් වහන්සේ විසින් දෙන ලද නායකත්වය සැබෑ දේශපාලන නායකත්වය යනු කුමක් ද යන්නට සාක්කියකි. ඒ හිමියන්ගේ සීමාව නිර්මානය වන්නේ ඒ හිමියන් පිළිගත් සමාජවාදී, මානවවාදී දර්ශනය මත පදනම් වූ දේශපාලනය, සිය පැවැත්ම වෙනුවෙන් සුනාමි අරමුදල් පෞද්ගලිකව තමන්ගේ ගිනුමකට දමා ගන්නට සැලසුම් කළ නායකත්වයක් හමුවේ දන නැමීමත් සමග ය. අතුරලියේ රතන හිමි ද එවැනි නායකත්වයක දර්පනය තුළ සිටියත්, එයට යටත් භික්ෂුවක් නො වේ. රතන හිමියන...