බ්ලොග් ලියන්නේ මොන හත්වලාමට ද?

(2011 ජනවාරි 09, W3Lankaබ්ලොග්කරණය යනු ප්‍රබල මාධ්‍ය අවකාශයකි. අදටත් වඩා හෙට අන්තර්ජාල ජනමාධ්‍ය සමාජයේ පුළුල්ව පැතිරෙනු ඇත. එහෙයින් අපි කැපවීමෙන් යුතුව වසර දෙකක් පමණ කාලයක් තිස්සේ ‍මෙම ව්‍යායාමයෙහි නියැලී සිටින්නෙමු. 


සිංහල බ්ලොග් අවකාශය නිරීක්ෂණය කිරීමේදී බ්ලොග්කරණයේ  යෙදෙන්නන් එසේ කරන්නේ ඇයි ද යන්න පිළිබඳ ‍පිළිතුරු කීපයක් සොයා ගත හැකි ය. 



  • සමාජ සේවයක් ලෙස
  • දේශපාලන අරමුණු උදෙසා
  • ආත්ම තෘප්තිය පිණිස
  • විනෝදය සඳහා
  • කීර්තිය පිණිස
  • අදහස් ප්‍රකාශනය සඳහා
  • යම් යම් හෙළිදරව් කිරීම් පිණිස
  • තම සතුරන්ට පහර දීම පිණිස



මෙය කියවන ඔබට වෙනත් ආකාරයේ අදහස් ද තිබිය හැකි ය. 


අප මෙම සටහන තබන්නේ මේ වන විට අප සහ අප වැනි බ්ලොග්කරුවන් කර මතට උස්සාගෙන, යකෝ මූ අපේ කර උඩට නැගලා, මූව බිම දාමු, ගහමු, කපමු, කොටමු, මරමු යයි කියමින් දඟලන පිරිසක් සිටින බැවින් ඔවුන්ට ද, පොදුවේ අප‍ගේ පාඨකයන්ට ද අප බ්ලොග්කරණයේ යෙදෙන්නේ ඇයි ද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නට ය. 


අප බ්ලොග්කරණයේ යෙදෙන්නේ ඉතා පැහැදිලිව ම දේශපාලනික උවමනාවක් වෙනුවෙනි. ඒ වනාහි මේ ආණ්ඩුව කුමන අන්දමකින් හෝ පෙරළා එක්සත් ජාතික පක්ෂය බලයට පත් කර ගැනීමේ හෝ රනිල් පන්නා සජිත් ප්‍රේමදාස නායකත්වයට පත් කර ගැනීමේ ආදී පටු දේශපාලනික උවමනාවන් නො වේ. එසේ නැතිනම් ජවිපෙ හෝ වෙනත් වාම දේශපාලන බලවේගයක් ප්‍රවර්ධනය කිරීම ද නො වේ.


අපට අවශ්‍යව ඇත්තේ සමාජයේ සිදු වන චලනයන් පිළිබඳ විශ්ලේෂණයක් කිරීමට හා සංවාදයක් ඇති කිරීමටයි. එහිදී න්‍යාය සම්පාදනය කිරීම වෙනුවට එකිනෙක සිදුවීම් කෙරෙහි අපි මූලික අවධානය යොමු කරන්නෙමු. ඒ පිළිබඳ අදහස් ගොඩනඟන්නෙමු. පිළි ගත් අදහස් අභියෝගයට ලක් කරන්නෙමු. 


එසේ ම, දේශපාලන පරමාදර්ශයක් ලෙස සමාජවාදය අලුතින් අර්ථකථනය කරන්නට අපි උත්සාහ කරන්නෙමු. අපගේ සමාජවාදය වනාහි කොයි රටක පවතින්නක් වැනි එකක්දැයි ප්‍රශ්න කිරීම අරුත් සුන් ක්‍රියාවකි. එය අතීතයේ කිසියම් රටක පැවති එකක් හෝ අනාගතයේ පැවතිය යුතු එකක් හෝ නො වේ. පරමාදර්ශයක් යනු හැම විට ම යථාර්ථය බවට පත් කර ගත යුත්තක් විය යුතු නැත. එය පහන් ටැඹක් වැනි මඟ පෙන්වන්නෙකි. 


අප සමාජවාදය අර්ථකථනය කරමින් ඉන්නේ මිනිසා මෙන් ම සොබා දහම ද සූරා නො කන, නිදහස, හිමිකම් හා, ප්‍රජාතන්ත්‍රවාදය මිනිසාට මෙන් ම සොබා දහමටත් හිමි වන සංදර්භයක් තුළ ය. ගතානුගතික මාක්ස්වාදයෙන් අප වෙනස් වන්නේ එහෙයිනි. 


අනෙක් පැත්තෙන් අපි ධනවාදයට අන්ධ ලෙස විරුද්ධ වන්නෝ නො වෙමු. ධනවාදය විසින් ලෝකයට ලබා දුන් බොහෝ දේ තිබේ. එසේ ම ධනවාදය යනු සමාජ සංවර්ධනයේදී මුළු ලෝකය ම විසින් පසු කරනු ලබන අනිවාර්ය මාවතකි. 


ධනවාදය සමග අපගේ මූලික විරෝධය වන්නේ එය ලාභය ම අරමුණු කර ගත් එකක් වීමයි. අන් සියල්ල අමතක කළත්, ලාභය අරමුණු කර ගත් සමාජයක් ඔස්සේ මානව වර්ගයාට යහපත් අනාගතයක් උදා කර ගත හැකි යයි අපි විශ්වාස නො කරමු.


මේ පිළිබඳව කීර්තිමත් චින්තකයකු වූ නැසී ගිය රෙජී සිරිවර්ධනයෝ අපූරුවට සටහන් කළේ මෙසේ ය:


‘මා සිතන පරිදි කෙනෙකුට සමස්ත මාක්ස්වාදී විශ්ලේෂණයෙන් ම ස්වායක්තව සමාජවාදයේ සාධාරණීකරණය කිරීමක් ගොඩනැගිය හැකියි. ධනවාදය සමග ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නය දුප්පත්කම වැඩි වීම වැනි පැරණි ප‍්‍රශ්න නොවේ. ඒවා ප‍්‍රතික්ෂේප කළ හැකියි. මානුෂීය අර්ථයෙන් ගත් කල ලාභය වෙනුවෙන් සංවිධානය කරන ලද ලෝකයක ජීවත් වීම හොඳ දෙයක් නොවේ.’  


සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවිය හැකි ය. 


අපි දැන් අපේ බ්ලොග්කරණයේ එක් අවධියකින් තවත් අවධියකට පිවිසෙමින් සිටිමු. මාධ්‍ය අවකාශය තුළ අප සිටින බව තහවුරු කිරීමෙන් පසු අප උත්සාහ කරන්නේ වඩා හරවත් අන්තර්ගතයන් නිර්මානය කිරීමටයි.


හිට්ස් වෙනුවෙන් බ්ලොග්කරණයේ යෙදෙන අය සමග අපගේ කිසිදු තරගයක් නැත. කිසිදු ප්‍රචාරයක් නරක ප්‍රචාරයක් නො වන මෙම ධනේශ්වර සංදර්භය තුළ අප පිළිබඳ ලෝකය ම දන්නා යම් යම් දේ අලුතින් ම සොයා ගත්තා සේ 'යුරේකා! යුරේකා' කියමින් නිරුවතින් පාරේ දුවන, අප කර තබාගෙන, කරේ නැග්ගා යයි අපට බැන වදින ඇනොනිමස් සුධීමතුන් කරන සේවයට අපි තුති පුදන්නෙමු. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. අනාගත දේශපාලන ව්‍යුහයක් ගැන කරන කතිකාවක් කොහෙත්ම වරදක් නොවේ. ඒත් අතීතයේ වූ වැරදි සකස් කරගන්නවා නම් වඩාත් සුදුසුයි නේද?

    - අතීත මාක්ස්වාදීන් මාක්ස් ලෙනින් වැන්නන්ට ආගමික වුත් උත්තරීතර වූ භක්තියකින් සැලකුවා. මෙය විවේචනය කලයුතු දෙයක්, ඔවුනුත් සාමාන්‍ය මිනිසුන්. කිව්ව කතා සනාතනික සත්‍ය නොවේ. ඉන් ගතයුත්තේ ගැලපෙන කොටස පමණයි.

    - සමාජවාදය ධනවාදය වගේ දේවල සම්මිශ්‍රණයකින් වඩාත් යහපත් ක්‍රමයක් ඇති වෙනවා. සහමුලින් ම සමාජවාදී වන්නට ගිය අයට වැරදුනේ ඔතනයි. ලාබය මත පදනම වූ ක්‍රමවේදයන් ද අවශ්‍ය වන තැන් තියෙන නිසා.

    - ලාබය හා ප්‍රාග්ධනය හරියට පාලනය කලොත් ඔබ කියන දුර්විපාක නවතන්නට පුළුවන්. ඇතැම් දියුණු යයි සම්මත රටවල ජිවන තත්වය ඉහල යන්නේ මේ ආකාරයෙන්.

    අවංක කතිකාවක් ඉඨාන වැදගත්. කඩේ යාමක් හෝ තෙල බෙදීමක් නොවන ලෙස වග බලා ගැනීම වැදගත්.

    ReplyDelete
  2. Where are those people who criticize you every day ? I do not see their comments here. they must be convinced by this letter ...

    ReplyDelete
  3. මම කල්පනා කරන විදිහට ඔනෑම කලාවක් අර්ථවත් වෙන්නෙ එය කොතරමි දුරකට සමාජ සංවේදීද යන කාරනාව මුල් කරගෙනයි,

    බිලොග් කරණයට සිංඩිකේටරක අවශ්‍යතාවය හා එහි කාර්ය්‍ය භාරය සිංඩිය යනු නීතිසමිපාදකයක් ද ???
    http://awakasha.com/?page_id=2313

    http://awakasha.com

    ReplyDelete
  4. samajaya rakina manussakama vadidiunu karana svadeenakama agayana bohovita janathava venuven penee sitina,samaja duracharayan dututhena penvadena ha eya viyauthu nivaradi akaraya penvadena ,kiyaveemen yamak ukahagatha heki blog ekak lesa w3 lanka semada agaya karmu,puvathpath men ayithikaruge gathi desapalanaya nomathiveemada ,boradiye malu nobana(udaharanayak lesa ada lanka e news balanna, Rathnasiri wikramanayaka mahathage prakasa allagan anduva ketavana lesa adahas palakara etha)blog ekakka thibiya yuthu gunanga lesa mama dakimi.hoda blog sada pavathiva.{Lanka e news gana sadahan kireema sadachara sampannada? meya palakireema editorta barademi)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා