විකල්ප පුවත්පත්කලාව යනු මාධ්‍ය සංවිධානවලට හා දේශපාලන ව්‍යාපෘතිවලට කඩේ යාම නොවේ

(2010 අගෝස්තු 01, W3Lanka) සියතට ද ගහන ලදී. එවිට ද මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බව කියන රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලන පතාක යෝධයෝ දඩ බඩ ගා නිවේදන නිකුත් කරමින් එයට විරෝධය පළ කළහ. 


නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කට්ටිය රට ගිහින් නිසා පිකටිං පමණක් නොතිබිණි.


සියත නෙළා ගත්තේ තමන් වැපිරූ දෙයෙහි අස්වැන්නයි යනුවෙන් අප ලියූ ලිපිය හේතුවෙන් ඇතැමෙකුට ඩෝං ගිහින් තිබේ. එහෙත් එහි තිබෙන කරුණු ගැන කවුරුවත් මොකවත් කියන්නේ නැත. 

අප මෙම ප්‍රහාරය අනුමත කරනවාදැයි සමහරු අසති. නැත. අප කිසි සේත්ම මෙම ප්‍රහාරය අනුමත කරන්නේ නැත. 


මෙම ප්‍රහාරය පාලකයන්ගේ පැත්තෙන් වූ දෙයක් මෙන් ම වෙනත් ආකාරයකට වූ දෙයක් ද වන්නට පුළුවන. මේ මාධ්‍ය ආයතනය වනාහි රජ පවුලට කඩේ යමින් ලාභ ගරා ගැනීමේ චේතනාවෙන් ආරම්භ කර ආණ්ඩුවේ අනුග්‍රහයෙන් දැන්වීම් හා වෙනත් ආකාරවලින් පොම්ප වූ සොරකම් කරන ලද මහජන මුදලින් ගොඩනැඟුණු ආයතනයකි. 


ආණ්ඩුව මේ මාධ්‍ය ආයතනය වැට්ටවූ බව ඇතැමෙක් කියති. ජවිපෙ ආණ්ඩුවත් සමග දීග කන කාලයේ ලංකා පුවත්පතට ද ආණ්ඩුවේ දැන්වීම් ලැබිණි. දැන් ඒවා නැත. එමෙන් ම ලංකා පත්තරයට රාවයට මෙන් රාජ්‍ය නොවන සංවිධාන සල්ලි ලැබෙන්නේ ද නැත. එහෙත් ලංකා වැටී නැත. ලංකා නො වැටුණේ එහි අරමුණ සියතේ අරමුණට වඩා වෙනස් නිසා ය. 


අප විකල්ප මාධ්‍ය ගණයට අයිති නොවන බව ද, අපට රජ මාළිගය පෙනෙමින් ඇති බව ද ඇ‍තැමෙක් චෝදනා කරති. උදේ සිට රෑ වනතුරු උගුර ලේ රස වනතෙක් ආණ්ඩුවට බණිමින් ඉඳ, රජගෙදරින් ආරාධනාවක් ලද හැටියේ, රෑ හීනෙනුත් කතා කරන ජංගම දුරකථනයේ සිට පෑන, පැන්සල දක්වා සියල්ල ගෙදර තබා, ඇට කුට්ටමත් මිරිකවාගෙන, මානව හිමිකම් බල්ලාට දමා රජගෙදර බත් කන්නට දුවන නිවට වෘත්තීය සමිතිකාරයන් හෝ රජගෙදරින් පිනට දුන් මත්පැන් වඩියට පොර කෑ මාධ්‍යවේදීන් අතර අප නම් කවදාවත් සිටියේ නැත. 


මාධ්‍ය මර්දනයක් රටේ පැවතීම අවශ්‍ය වන්නේ පාලකයන්ට පමණක් නොවේ. ඇත්තම කීවොත් මර්දනය කරන්නට තරම් මාධ්‍යකරුවන් ලංකාවේ නැත. සල්ලි ටිකක්, තනතුරක් හෝ සූප්පු කරන්නට ලොකු ලොක්කන් සමග යාළුකමක් වැනි කටුවක් හෝ විසි කරනවා නම් දැන් ඔය රටින් බැහැරව සිටින ඇතැම් අය පවා බල්ලන් මෙන් මෙහි ගෙන්වා ගැනීමට පුළුවන. (එහෙම නැති එක්කෙනෙක්, දෙන්නෙක් පමණක් සිටින බව කියන්නේ ඔවුන්ට හිමි ගෞරවය අහිමි නො වීම පිණිස ය.) 


ලංකාවේ ජනමාධ්‍යය ඇද වැටී තිබෙන තත්වය දැන ගැනීමට අවශ්‍ය නම් පසුගියදා පැවැත්වුණ පුවත්පත් සම්මාන උළෙලේ සම්මාන ගත්, සම්මාන දුන් අය කවුරුද කියා සොයා බලන්න. 


මාධ්‍ය මර්දනයක් තිබෙන බව කීම අද වන විට පිරිසකගේ ජීවන මාර්ගය වී ඇත. ඒ අය හැම විට ම සෝදිසියෙන් සිටිති. මාධ්‍යවේදියකු ලිස්සා වැටුණොත්, ඔහු ලිස්සුවේ කෙසෙල් ලෙල්ලක් පෑගී නම්, ඒ කෙසෙල් ලෙල්ල විසි කළේ ඇමතියකුගේ ගෝලයකුගේ නෑයකු නම්, එය ද මාධ්‍ය මර්දනයකැයි අර්ථ දක්වා නිවේදන නිකුත් කරති. 


මේවා පසුපස ඇති ප්‍රධාන දෙයක් වන්නේ විදේශ සංවිධානවලින් ලැබෙන මුදල් ය. එසේ ම රට සවාරි, තර්ජිත යයි කියන මාධ්‍යකරුවන්ට දෙන සල්ලි, ඒවා පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් ලැබෙන වැටුප් හා දේශපාලන රැකවරණ ආදී තවත් බොහෝ දේ ද ඇත. අප මෙම ව්‍යාපෘතිවලට විරුද්ධ නැත. අප ප්‍රශ්න කරන්නේ ව්‍යාපෘති පවත්වාගෙන යාම වෙනුවෙන් ඕනෑම බලු වැඩකට කඩේ යාමට ඇති සූදානම පමණි. පරමාදර්ශ වීමට යත්න දරන අයට ව්‍යාපෘති වැසුණි නම් සාමාන්‍ය මිනිසුන් සේ කාට හෝ කුලියක් කර ජීවත් වීමට ආත්ම ශක්තිය තිබිය යුතු ය. 


ඒ අර්ථයෙන් ගත් කල පාලකයිනුත්, මාධ්‍ය සංවිධාන යයි කියන ඒවාත් අතර හොඳ අවබෝධයක් ඇතැයි සිතේ. මේ මාධ්‍ය සංවිධානවලට විරුද්ධව කිසිවකු පෑන එසවුවොත් ඔහු හෝ ඇය පත් වන්නේ දැඩි අනතුරුදායක තත්වයකටයි. පළමුකොට ම ආණ්ඩුවේ මාධ්‍ය මර්දනය හමුවේ එවැනි අය අසරණ වන අතර, මාධ්‍ය සංවිධාන බලපෑම හේතුවෙන් එවැන්නන්ට ලියන්නට පුවත්පතක් පවා නැති කෙරෙයි. 


අනෙක් පැත්තෙන් දේශපාලන ව්‍යාපෘතිකාරයෝ ද ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරන බව කියමින් ජනතාවට නැඟී සිටින්නැයි මොර දෙති. එහෙත්, ජනතාව දැන් මේ ගේම් හොඳින් දනිති. එසේ ම ජනතාව ද පාලකයන් හා මාධ්‍ය සංවිධාන තරමට ම දූෂිත ය. ඒ නිසා කිසිවක් සිදු වන්නේ නැත. සියල්ලෝ ම දූෂණයෙන් ජීවත් වෙති. 


වර්තමානයේදී විකල්ප පුවත්පත් කලාව වන්නේ පාලකයන්ගේ මාධ්‍ය මර්දනයට සේ ම මාධ්‍ය සංවිධාන ව්‍යාපාරිකයන්ගේ හා මාධ්‍යකරුවන්ගේ ආධිපත්‍යයට ද එරෙහිව ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් සටන් කිරීමයි. 


පටු අරමුණුධාරීන් විසින් දෙන ලද අර්ථකථනවලට යටින් ඇති සත්‍යය දැකිය හැකි විකල්ප චින්තනයක් ඇති කර ගැනීම හා අදහස් ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් සකලවිධ ආධිපත්‍යයන්ට එරෙහිව පෑන මෙහෙයවීම අද දවසේ ප්‍රගතිශීලී මාධ්‍යකරුවාගේ කාර්යභාරයයි. 


 Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. This is a sound analysis, and also good reply to the bloggers who replied to previous post on the same topic. The damage done by so called free media, is irreversible.

    ReplyDelete
  2. yes i agree with you.to decostrouct the popular ideology we need a political movement.are you in the such a movement?

    ReplyDelete
  3. මාධ්‍ය සහ මාධ්‍යකාරයෝ ගැන කියපු ටික නම් පට්ටපල් ඈත්ත.

    ඒත් ජනතාවගෙ රිඈක්ට් එකක් නැත්තෙ ගේම් ගැන දැනගෙන නෙවේ, උනුත් ගේම් එකේම කොටස්කාරයො නිසා.

    ReplyDelete
  4. ජයවේවා. 3 වැනි ආන්ඩුවේ ලිංගිකත්වය ගැන ලිව්වාට.
    මරුවා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා