වැදි බස, වැදි රැස පිළි ගන්න ඔබ සූදානම් ද | Grant recognition for Vedda language and ethnicity

Oregon State University medical anthropology graduate
student Jill Priest (left)
and  Danigala Vedda chief
Maha Bandaralage Randunu Wanniya
(vedda.org)
(2010 අගෝස්තු 09, W3Lankaඅද ලෝක ආදි වාසී දිනයයි. ලංකාවේ ද සුපුරුදු කැලැන්ඩර් සංදර්ශනයක් පැවැත්වෙන්නට ඇත.


අපේ රටේ ආදි වාසීන් සිටීම අපට ආඩම්බරයකි. අපට ඔවුන් සුද්දන්ට පෙන්විය හැකි ය. අපට ම වුවත් බලන්නට ගොස් මී පැණි ටිකක් අරන් ආ හැකි ය. වැදි ජන ගී මොඩ් කර ගායනා කළ හැකි ය. පෙරහරවලදී කළු ළමයින් කීපදෙනෙකුට කොළ අතු අන්දවා පොරෝ අතට දී  වැදි නැටුම් නැටවිය හැකි ය. බී ගත් විට ඕයේ ඔජායේ වැනි ගීත ගයා නැටිය හැකි ය.


වැදි ජනයාට නම් අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් දෙක ම නැත. සම්ප්‍රදායිකව ඔවුන් දිවි ගෙවූ කැළෑව ඔවුන්ගෙන් උදුරාගෙන වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතට ගෙන දැන් සුද්දන්ට සෆාරි යාම සඳහා සූදානම් කෙරෙමින් තිබේ.


මිනිස් ගජ්ජුන්ට අවශ්‍ය සංදර්ශන පෙන්වීම වෙනුවෙන් වැදි ජනයා කෙටේරි කරේ ගසාගෙන සිටිය යුතු ය. නවීන වීම සඳහා ද ඔවුන්ට අවස්ථා නැත. දඩයමට කැළෑ නැත. ගොවිතැනට ඉඩම් නැත. ඉඩමට වතුර නැත. මිනිසුන්ට රැකියා නැත. ළමයින්ට හරි හමන් පාසල් නැත.


මේ කුමක් නැතත්, මිනිස් ගජ්ජුන්ට නැති එක් දෙයක් වැද්දන්ට තිබේ. ඒ මහ හූරෙකි. එනම් නායකයෙකි. ‍මිනිස් ගජ්ජුන්ගේ නායකයන් හා මේ මහ හූරා අතර ඇති වෙනස ඔහු පොත පත කියවන, හිතන මතන, ඉවසිලිමත්, බුද්ධිමත් අයකු වීමයි.


2010.08.09 දිනට ලෝක යෙදෙන ආදිවාසි දිනය සමරන කැලැන්ඩර් උත්සවය ගැන පසුගිය මාසයේ පැවති සාකච්ඡාවකට සහභාගි වෙමින් ආදිවාසි නායකයා කරුණු 20කින් සමන්විත ඉල්ලීම් ඇතුළත් ලියවිල්ලක් සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි වෙත ඉදිරිපත් කළේය.


වැදි භාෂාව ශ්‍රී ලංකාවේ පිළිගත් භාෂාවක් බවට පත් කරන ලෙස හා ජන සංගණන වලදී ජාතිය ලෙස “වැදි” යන නාමය යොදා තමන්ට රට තුළ නීත්‍යානුකූල පිළිගැනීමක් ලබා දෙන ලෙස වැදි නායක ඌරු වරිගේ වන්නියලෑත්තෝ ඉල්ලා සිටියි.


ආදිවාසී ජනතාවගේ සංස්කෘතික හා ජන ජීවිතය නඟාසිටුවීම සඳහා ගත යුතු පියවර රැසක් එම ඉල්ලීම් අතර ඇත. ඒ අතර ආදිවාසී ගම්මාන උදෙසා පානීය ජලය හා වාරිමාර්ග ව්‍යාපෘති සම්පාදනය කිරීම කෘෂිකර්මය නගාසිටුවීම, නිවාස හා ඉඩම් අවශ්‍යතාවය සපුරාලීම, වනපෙත ආශි‍්‍රත රැකියා ලබාදීමේදී ආදිවාසීන්ට ප්‍රමුඛතාවය ලබාදීම, ආදිවාසි ගම්මාන මූලික කර ගනිමින් ජන උරුම කේන්ද්‍ර පිහිටුවීම, සෞඛ්‍ය පහසුකම් නංවාලීම, ගම්මාන ආශි‍්‍රතව, පාසැල්, පෙර පාසල් ව්‍යාප්ත කිරීම, වාර්ෂික අයවැයෙන් කිසියම් ප්‍රමාණයක් අඛණ්ඩව ආදිවාසීන් වෙනුවෙන් වෙන් කිරීම, යන කරුණු ඇතුළත් වේ.


ආදි වාසී යන අර්ථකථනය ම නූතන සමාජයේ දියුණු යයි කියන මිනිසුන් විසින් දෙන ලද වැරදි අර්ථකථනයකි. දියුණු යයි කියන ජීවිතයට වඩා වෙනස්, සොබා දහම සමග පෑහුණ දිවියක් ගෙවන මේ මිනිසුන්ට එක්කෝ ඒ දිවිය දිගට ම ගෙන යාමට අවස්ථාව ලබා දිය යුතු ය. නැතිනම් ඔවුන්ට ද අධිපති ධාරාවේ මිනිස් ජිවිතවලට පිවිසෙන්නට සම අවස්ථා ලබා දිය යුතු ය. 


පවතින යථාර්ථය තුළ ඔවුන් අනිවාර්යයෙන් ම ආදි වාසී තත්වයෙන් මිදිය යුතු ය. වැදි යන සංස්කෘතික උරුමය රැක ගනිමින් ස්වකැමැත්ත පරිදි සමාජ සංවර්ධනය අත්පත් කර ගැනීමේ අවස්ථාව ඔවුන්ට විවර කර දිය යුතු ය. එය ඔවුන්ගේ පමණක් සටනක් නොවේ. යහපත් ලොවක් සඳහා පොදු සමාජ අරගලයේ ම කොටසකි. 


මේ සටහනත් කියවන්න: අපේ දරුවන්ට ඇත්ත කියමු -ඌරුවරිගේ වන්නියලැත්තෝ


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. "පවතින යථාර්ථය තුළ ඔවුන් අනිවාර්යයෙන් ම ආදි වාසී තත්වයෙන් මිදිය යුතු ය." විරුද්ධ පොජ්ජ මන්දු කරන්න ඕනා ඒ කතා පොජ්ජට....එතකොට අපි විකුනන්නෙ අහවල් එකද හුරෙ? පවිත්‍රා කැකුලීගෙ ආදර බස් හිත්ලෑවට මහින්ද හුරා කියන පොජ්ජ තමා මන්දු වෙන්නෙ...

    ReplyDelete
  2. ලංකාවේ "ආදිවාසින්" කියා ජාතියක් නැති අතර ඉන්නේ බිස්නස් එකට ආදිවාසීන් ලෙස ඇඳගත් තොරොම්බල් කාරයින් රැළකි. මොවුන්ගේ ආදිතමයා වන ඌරු වරිගේ තිසාහාමි තම බිරිඳ මරා පැනවිත් වෙන අයිඩෙන්ටිටියකින් සැඟවුණු මාතර පැත්තේ සිංහල මිනිහෙකි.

    බලන්න. http://taboosubjects.wordpress.com/2009/03/02/76

    - Taboo

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා