මර්වින් සිල්වා ජනාධිපති වනතුරු | Until Mervin Becomes President

((2010 අගෝස්තු 11, W3Lanka - මෙම සටහන 2007 දෙසැම්බර් අග හරියේදී ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න. කාලය විසින් තත්වයන් වෙනස් කර තිබේද යන්න තීරණය කිරීම ඔබට භාර ය.)
 දුටුගැමුණු පරපුරෙන් පැවත එන, ගරු කම්කරු ඇමති ආචාර්ය මර්වින් සිල්වා යන නාමකරණය සමග ‛දුටුගැමුණු‛, ‛ගරු‛, ‛ කම්කරු ඇමති‛ හා ‛ආචාර්ය‛ යන පද සියල්ල ම අර්ථ ශුන්‍ය හිස් වචන බවට පත් වේ.


ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා භූමියේදී ආචාර්ය මර්වින් සිල්වා අවමානයට ලක් කළ පිරිසගෙන් අති බහුතරය 2004 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයටත්, 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂටත් ඡන්දය පාවිචිචි කළ අය බවට සැකයක් නැත.


මර්වින්ට ඇන්න ටොකු එක අතකින් මර්වින් නමැති රූකඩය නටවන රාජපක්ෂ බල හවුලට ඇන්න ටොක්කක් වන අතර ම අනෙක් අතින් තම තමන්ටම ඇන ගත් ටොකු බව කිව යුතුව තිබේ. කෙසේ වෙතත්, පාලකයන්ගේ සපත්තු ලෙවකෑම බඩරස්සාව කර ගත් අධ්‍යක්ෂකලා සිටින රූපවාහිනියේදී මෙම දේශපාලක මැරවරයාට කදිම පාඩමක් ඉගැන්වූ රූපවාහිනී කම්කරුවන්ට අපි හිස නමා ආචාර කරමු.


ආචාර්ය මර්වින් සිල්වා 2004 මහ මැතිවරණයට තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි. එම මැතිවරණයේදී තමන් වෙනුවට ජවිපෙ අපේක්ෂක විමල් වීරවංසට ඡන්දය දෙන්නැයි කියමින් ඔහු පසුපස ගිය මර්වින් කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂකයන් අතරින් ලැබුණේ අඩුම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගනිමින් පරාජයට පත් විය.


එහෙත්, මෙම ජාතික වීරයා ජාතික ලැයිස්තුවට රිංගවාන සිටි තම බිරිඳගේ නමට ආදේශ වෙමින් පාර්ලිමේන්තුවට පැමිණියේ ඔහු කෙතරම් වැදගත් පුද්ගලයකු ද යන්න පෙන්වා දෙමිනි. 2005 ජනාධිපතිවරණ සමයේදී ඔහු රට යන අත දැනගෙන චන්ද්‍රිකා බංඩාරනායකට තිබූ ලැදිකම පාවාදෙමින් මහින්ද රාජපක්ෂගේ දෙපා නමැද බැතිමත් අනුගාමිකයකු බවට පත් විය. එදා රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළා නම්, බොහෝ විට ඔහු අද සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ය.


ආර්. ප්‍රේමදාසගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා රාජ්‍ය නායකයන්ට දේශපාලනයේදී ඉතා වැදගත් ලෝකයක සම්බන්ධීකාරක මෙහෙය කළ මෙම නූතන දුටුගැමුණු අද රජගෙදර පරවියා වී සිටින්නේ ඔහු රාජ්‍ය නායකයනට කළ මෙහෙය නිසාවෙනි.


පාලකයන්ගේ දේශපාලන සතුරන්ට මඩ ගැසීම ප්‍රවෘත්ති කලාව කර ගත් රූපවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ හදිසි වයර් මාරුවීමක් නිසා විකාශය නොකළ ගරු ඇමති මර්වින් සිල්වාගේ මාතර කතාව සේම ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට කළ අඩන්තේට්ටම ද රජගෙදර සැලසුම් බවට තතු දැන් හෙළි වෙමින් තිබේ. එහෙයින් මහ තැන්වලින් ගරු ඇමති මර්වින් සිල්වා ආරක්ෂා කරන බව නිසැක ය. දැනටමත් පරීක්ෂණ ඇරඹී තිබෙන්නේ රූපවාහිනී සේවකයන්ට විරුද්ධව මිස මර්වින්ට විරුද්ධව නොවේ.


අප දැන් සිටින්නේ අප වැපිරූ මෝඩකම්වල හොඳම අස්වනු නෙළා ගනිමින් සිටින වකවානුවකයි. රනිල් වික්‍රමසිංහ විසින් ගෙන එන ලද බටහිර ගැති නව ලිබරල්වාදී ධනේශ්වර වැඩසටහනට විකල්පය ලෙස, ජනතා විමුක්ති පෙරමුණේ සිට කොටි සංවිධානය දක්වා සුළු ධනේශ්වර බලවේග විසින් පෙරට ගන්නා ලද ජාතිවාදී, පවුල්වාදී, දූෂිත දේශපාලන පසුතාමීත්වයේ තිත්ත රස අත් විඳීමට සිදු වී තිබෙන්නේ පීඩිත ජනතාවටයි.


වත්මන් දේශපාලක පොලුකාරයන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී වළංකාරයාගේ හැට වසරක වැඩ දෙවසරකින් නිම කර දමමින් තිබේ.


මෙරට සියලු ප්‍රජාතාන්ත්‍රික ගොඩනැගීම් එක මත එක කඩා හැළෙමින් ඇත. විධායකය කොමිස් ගැහිලි සමග පමණක් නොව කුඩු ජාවාරම් සමග පවා ඈඳෙන තත්වයක් නිර්මානය වී තිබේ. මෙය අලුත්ම තත්වයක් නොවුණත්, එළිපිටම එසේ කිරීම හෙවත් බෙල්ලේ බැඳගෙන මස් කෑම චන්ද්‍රිකා බංඩාරනායකවත් මේ මට්ටමින් කළේ නැත.


මහජන නියෝජිතායතන හෙළු කඳවුරු වැනි ය. ඒවායේ සිටින්නෝ එළිපිටම කෝටි ගණනින් පගා ගසති. අද විරුද්ධ පක්ෂයේ සිට සරම් කඩාගෙන, සෙංකෝල උදුරාගෙන විරෝධය දක්වන එකා හෙට ආණ්ඩුවට එකතු වේ. ඒකාම හෙට විරුද්ධ පක්ෂයට ද මාරු වේ.


මේ අතර අධිකරණය එක වසරට ළමුන් ඇතුළත් කර ගන්නා ආකාරය ගැන චක්‍රලේඛ සකසයි.


මේ අතර මෙරට බුද්ධිමත්තු හා වාමාංශිකයෝ මල් වැවීම, මුද්දර එකතු කිරීම වැනි විනෝදාංශවලට සිත් යොමු කර නිහඩව සිටිති.


අහේතු කාලයට කජු ගෙඩිය ගසේ තිබියදී පුහුලම බිමට වැටෙන බව කියවේ. අප පසු කරමින් සිටිනුයේ එවන් සමයකි. අද තිබෙන තත්වය තුළ හෙට මර්වින් සිල්වා ජනාධිපති වුව ද අප පුදුම විය යුතු නැත. රාජ්‍ය නායක ධුරය ඒ තරමට මර්වින් සිල්වා වැනි අයට සමීප ය. එය විහිළුවක් නොවන්නේ එම තත්වය නිර්මානය කළේ අප හා අපගේ බුද්ධිමතුන් විසින් හෙයිනි.


ජවිපෙ මල්ලිලා ලවා මර්වින් චින්තනයක් ලියාගෙන රනිල්ට විරුද්ධව ඔවුන් කඩේ යවා ගැනීමට හැකි නම් මර්වින් සිල්වා හෙට මෙරට ජනාධිපති වීමට බැරි නැත.


විමානය හැදෙන්නේ යකාගේ හැටියට ය. යක්කු වනාහි අන් කවුරුවත් නොව ජනතාව වන මේ අප ම යයි වදාරමින් මෙම සටහන සමාප්ත කරමි.
-අජිත් පැරකුම් ජයසිංහ


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. Mema lipiya itama kalochitaya.Ada me rata pathwee thibena kagatu dayaka tathwayata apa siyalu denama wagakiwa youtuya.Anagataye dinaka ema papramparawa apata shapakaranu eta.Budhimatun kiyaganna niwatayan janatawata sataya helikireemata biyen eta,eeta hetuwa oun ratak gena nohitana awastawadeen relak bawata patwee eti bewini.Kawada ho dinaka janatawa satya wata gonukereemata heki nayakayek biwanaturu rata winashaya kara yanu eta.Sinhalayan tulin ewan nayakayaku behiweemada sitiya noheka.

    ReplyDelete
  2. රූපවාහිනී සිද්ධිය ගැන තව වරක් සිතන්න.

    මර්වින් නීතිය අතට ගැනීම වැරදි වගේම, රූපවාහිනී සේවකයන් නීතිය අතට ගැනීමත් වැරදියි නේද? දෙපාර්ශවයටම දඬුවම් දිය යුතුයි.

    වීඩියෝ කර තිබෙන්නේ රූපවාහිනී සේවකයන්ගේ වරද පමණක් නිසා මර්වින්ට විරුද්ධ චෝදනා අධිකරණයක ඔප්පු කිරීම අපහසු වෙවි.

    මර්වින් ඒ පුද්ගලයාට තර්ජනය කළ බවට අප කාටත් කිසිම සැකයක් නැතත්, රූපවාහිනී සේවකයන් හැර අන් සාක්කි නැති නිසා සැකයේ වාසිය මර්වින්ට ලැබෙන්නට බොහෝ ඉඩ තිබෙනවා.

    අනිත් අතට රූපවාහිනී සේවකයන් මර්වින්ට පහර දෙන හැටි වීඩියෝ පටයේම තිබෙනවා. මොන හේතුවක් මත කරත් ඒක නීතිය සියතට ගැනීමක්. පුද්ගල ආරක්ෂාවේ අයිතියේ සීමා වලින් බොහෝ ඈතට ගිය වරදක්.

    හැබැයි මේ පාර නම් මර්වින්ගේ වැරැද්දත් වීඩියෝ පටයේම තිබෙන නිසා අධිකරණයක් ඉදිරියට ගියොත් මිනිහට කිසිම ගැලවීමක් නෑ. ඒත් එහෙම නොකර උද්ගෝෂණ වලින් මේක විසඳන්න හදන අයට ඕනෙ දේශපාලන වාසි ගන්න හදන එක නේද? අඩුම තරමේ ඒ සමෘද්ධි නිලධාරියා බය නම්, ජනතා නියෝජිතයෙක් නීතිය අතට ගැනීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සකමක් හරි ගොනු කරන්න විපක්ෂයට පුලුවන්, හොඳ සාක්කිත් ඇතිව.

    ReplyDelete
  3. හාපික් පාරක් නෙද

    ReplyDelete
  4. There is a no law. So TV people did exercised natural law. This is what normally happened when the law gone to dogs.

    ReplyDelete
  5. "රනිල් වික්‍රමසිංහ විසින් ගෙන එන ලද බටහිර ගැති නව ලිබරල්වාදී ධනේශ්වර වැඩසටහනට විකල්පය ලෙස, ජනතා විමුක්ති පෙරමුණේ සිට කොටි සංවිධානය දක්වා සුළු ධනේශ්වර බලවේග විසින් පෙරට ගන්නා ලද ජාතිවාදී, පවුල්වාදී, දූෂිත දේශපාලන පසුතාමීත්වයේ තිත්ත රස අත් විඳීමට සිදු වී තිබෙන්නේ පීඩිත ජනතාවටයි."....Maxxa විනිවිඳ දැකීමක් ...

    ReplyDelete
  6. "මේ අතර මෙරට බුද්ධිමත්තු හා වාමාංශිකයෝ මල් වැවීම, මුද්දර එකතු කිරීම වැනි විනෝදාංශවලට සිත් යොමු කර නිහඩව සිටිති."
    මම ඔබ සමග සපුරා එකග වෙමි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා